මට එඩ්වර්ඩ් හමුවුණේ වසර 2013 දී බෙයිජිං නුවර පැවති දේශගුණ විපර්යාස සම්බන්ධ වැඩමුළුවකදීය. අඩි හයක් පමණ උස පුළුල් උරහිස් සහිත එඩ්වර්ඩ් ඉතියෝපියානු ජාතිකයෙකි. කෝපි කෝප්පයක් තොලගාමින් අපි දෙදෙනා ඉතියෝපියාව ගැන කතාකරන්න වන්නෙමු.
ඔබ එතරම් සුන්දර රටක් දැක ඇතැයි මා සිතන්නේ නැහැ. ඇඩිස් අබාබා නගරය පැරිස් නුවර වාගෙයි. රටේ මොන පැත්තට ගියත් ඔබට ලෝකයේ වෙන කොහෙවත් දකින්න නොලැබෙන ස්‌වභාවික සෞන්දර්යයන් දකින්න පුළුවන්. ඇත්තටම එය ලෝකයේ ඇති අති පූජනීය වූ දේශයයි, එඩ්වර්ඩ් කියාගෙන යයි. ඉන් නොනැවතී, තම පරිගණකයේ ගූගල් සෙවුම ඔස්‌සේ ඔහු තම රටේ ඇති සුන්දරත්වය මා ඉදිරියේ දැක්‌වීය.
ඇත්තෙම්ම එය සුන්දර දේශයකි. සුවිසල් ගොඩනැඟිලිවලින් හෙබි ප්‍රධාන නගර, ප්‍රෙෘඪ ඉතිහාසයක නටබුන්, චමත්කාර වර්ණ සංකලනයකින් යුත් දනකිල් ප්‍රදේශය, නිල් නයිල් නදිය අවට සාරවත් ප්‍රදේශ, සිනහමුසු මුහුණින් සිටින පෘෂ්ටිමත් පිරිමින් සහ ඉතා රූමත් කාන්තාවන්.
මට මගේ කුඩා කල මතක් වේ. සිසිර නම ඇති ගැටවරයන් දෙදෙනෙක් අපේ නිවසට යාබදව වාසය කළෝය. ඔවුන්ගෙන් ඉතා කෙසඟ සිරුරකින් හෙබි එක් අයෙකුව අනෙක් යහළුවන් හැඳින්වූයේ “ඉතියෝපියා සිසිර” නමිනි. සැකිල්ල පෑදුණ හරකෙකු දුටුවත් මූ ආවේ ඉතියෝපියවෙන්ද, කියා අසන පුරුද්දක් එවකට තිබුණි.
මා ලංකාවේ මිනිසුන් තුළ පවතින මේ අදහස ගැන එඩ්වර්ඩ්ට පැවසූ විට ඔහු කියා සිටියේ 80 දශකයේ ඉතියෝපියාවේ එක් ප්‍රදේශයකට බල පෑ දීර්ඝකාලීන ඉඩෝරය නිසා ඇතිවූ තත්ත්වයක් බටහිර මාධ්‍යය මගින් අතිශයෝක්‌තියෙන් හුවා දැක්‌වීම මෙම සංකල්පයට හේතු වූ බවයි. පසුව මා කළ හැදෑරීම්වලින්ද පැහැදිලිවූයේ මුල සිටම බටහිර අධිරාජ්‍ය වාදයට එරෙහිවූ ඉතිහාසයක් ඇති ඉතියෝපියාව මාධ්‍ය මාෆියාවේ දරුණු පහර දීම්වලට දිගටම මුහුණදී ඇති බවයි.
ජීවිත කාලය තුළ මට මුණගැසුණු සිය ගණනක් විදේශිකයන් තම රටවල් පිළිබඳව දැක්‌වූයේ එකම අදහසකි. ඒ තම රට ලෝකයේ ඇති උතුම්ම දේශය බවයි. මෙය ශ්‍රී ලංකාවටද පොදුය. අපේ පාසල්වලද දරුවන්ට කුඩා කාලයේ සිටම දේශාභිමානය වර්ධනය වන ආකාරයෙන්, ඉතිහාස කතා, ආදර්ශ පාඨ, ඔවදන් ඉගැන්වීම පුරුද්දක් ලෙස කෙරෙයි. මෙය ඉතා හොඳ ක්‍රියාවකි. එමගින් දරුවා තුළ තම රට පිළිබඳව ආදරයක් සහ ගෞරවයක් මෙන්ම තමා තුළද ආත්ම ශක්‌තියක් ඇති කරවයි. එහෙත් අවාසනාවට අප රටේ සිදුවන්නේ ඉන් පියවර ගණනාවක් ඔබ්බට ජනතාව ගෙන ගොස් ඔවුන්ව ජාති ආල ෆැන්ටසියක අතරමන් කර දැමීමයි.
බොහෝ විට අප විසින්ම අපගේ ජනතාව හුරු කරවා ඇත්තේ මිම්මක් නොමැති සිහින සංකල්ප තුළ සිරවී සිටින අතර, එම සිහින විනාශ කිරීමට ලෝකයේ සිටින අනෙකුත් සියලු දෙනාම උත්සහ දරන බව සිතමින් වෛරයෙන් ජීවත් වීමටයි.
පසුගිය වසරේ ලංකාවට පැමිණි අතරවාරයේ මා හට හිතවතෙකුගේ දහසය හැවිරිදි පුතෙකුගේ අදහස්‌වලට කන්දීමේ අවස්‌ථාව උදාවිය. ලංකාව පිළිබඳව වැඩිහිටි කිහිපදෙනකු අතර ඇතිවූ කතා බහකට බලහත්කාරයෙන් මෙන් ඇතුළු වූ ඔහු කියාගෙන ගියේ, අපි තමයි ලෝකේ ඉන්න ශ්‍රෝෂ්ඨතම ජාතිය, අපේ තමයි ලෝකෙන්ම හොඳම භාෂාව, උතුම්ම ආගම, ප්‍රෙෘඪතම ඉතිහාසය ආදී වදන් වැලකි. මේ සියල්ලම අසා සිටි මා ඔහුගෙන් ඇසුවේ ඔය කියන ශ්‍රේෂ්ඨත්වය, හොඳකම, උතුම් බව ආදිය මැන්නේ කුමන මිනුම් දඬුවලින්ද කියාය. මේ අනපේක්‌ෂිත පැනයෙන් කලබල වූ ඔහු ඕවා එන් ජී ඕ කාක්‌කන්ගේ ප්‍රශ්න, කියමින් මට දොස් පවරන්න වූ අතර මගේ මිතුරා බැණ වැදී ඔහුව එතැනින් එළවා දැමීය.
මගේ මිතුරාගේ පුතා නියෝජනය කරන්නේ අද රටේ තරුණ මෙන්ම වැඩිහිටි සමාජයේද පොදු ආකල්පයයි. වතපොත පුරා පැතිර යන්නේද මේ අදහසයි. අපට ලෝකයේ ඇති දිගම ගංගාව, උසම ගොඩනැඟිල්ල, ඉහළම ඒකපුද්ගල ආදායම, වැඩිම ආදායමක් ලබන ගුවන්තොටුපොළ, විශාලම බහාලුම් පර්යන්තය සහිත වරාය නැත. ඒ වෙනුවට, ශ්‍රේෂ්ඨම, උතුම්ම, හොඳම, ලස්‌සනම, මනරම්ම, ප්‍රෙෘඪතම ඒවා එමට ඇත. ඊළඟට ඒවා විනාශ කිරීමට හැමවිටම අවි මානාගෙන ඉන්නා සතුරන්ද කෙළවරක් නැත.
ලෝකයේ ඇති හොඳම ඒවා අපිට ඇත්නම් අපේ දේශපාලකයන්ට කරන්න ඇත්තේ ඒවා සතුරන්ගෙන් ආරක්‌ෂා කරගැනීම පමණි. අප රටේ සිටි හා සිටින බොහෝ නායකයෝ මේ මනඃකල්පිත සතුරා දිගින් දිගටම හැඩ වැඩ දමමින් පවත්වාගෙන යන්නේ රට පාලනය කිරීමේ හෝ බලයට පැමිණීමේ පහසුම ක්‍රමය එය බැවිනි. එහෙත් අවාසනාවට ඇත්ත තත්ත්වය එය නොවේ. නේපාලය කවදාවත් එවරස්‌ට් කඳු මුදුන අලෙවි කළේ නැත. එහෙත් එවරස්‌ට් නැඟීමට වසරකට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව පාලනය කිරීමට නේපාල රජයට සීමා පැනවීමට සිදුව ඇත. ඒ එය ලොව උසම කඳු මුදුන නිසාවෙනි. සිංගප්පූරුව ඉතා කුඩා රාජ්‍යයක් වුවත් ලෝකයේ ඇති විශාලම වරාය සහ ගුවන්තොටුපළ ඔවුන්ට ඇත. එබැවින් රටේ ආර්ථිකය පිළිබඳව ඔවුනට වැඩි බියක් නැත. මැලේසියාවට සහ ඩුබායි දේශයට වැඩිම ජනතාවක් ඇදෙන්නේද ලෝකයේ ඇති උසම ද්විත්ව කුලුනු ගොඩනැඟිල්ල සහ උසම ගොඩනැගිල්ල නැරඹීමටය. අපිට මේ ආදී වූ කිසිවක් නැත. ඇත්තේ අප විසින්ම අර්ථ දක්‌වාගන්නා වචන කිහිපයකි. නමුත් ලෝකයාට ඒ ගැන වගක් නැත. සියවසකට පෙර සුද්දෙක් ලංකාව ගැන කී හොඳක් ඇත්නම් අපි එය හතර වටේට කරකවමින් තවමත් කරගහගෙන යන්නෙමු.
ලංකාවේ කඳුකරය සුන්දරය. එහෙත් එය ලෝකයේ සුන්දරම කඳුකරය යෑයි කීමට පෙර ඔස්‌ටි්‍රයාවේ සහ පකිස්‌තානයේ කඳුකරයවත් යූ ටියුබ් ඔස්‌සේ නරඹන්න. අප රටේ ඇති ඓතිහාසික නටබුන් පිළිබඳව සතුටු වන්න. එහෙත් ඒවාට අලංකාර පද යෙදීමට පෙර ලෝකයේ වෙනත් බොහෝ රටවල ඇති පෞරාණික ස්‌ථාන පිළිබඳව සොයා බලන්න. ඉරානයට, ඉන්දියාවට, චීනයට පියනඟන්න.
අපි ලෝකයේ සුන්දරතම මුහුදු වෙරළවල් අපට ඇතැයි උදම් අනමු. එහෙත් බේකරියෙන් පාන් භාගයක් සහ පෙට්‌ටි කඩෙන් පරිප්පු පීරිසියක් මිලදී ගෙන, බෝක්‌කුව උඩ ඉඳගෙන දවාලට කන හම්පඩ සුද්දන් කිහිප දෙනෙක් මෙරට මුහුදු තීරයේ සුව විඳීමට පැමිණෙද්දී දහස් ගණන් කෝටිපතියන් ඉන්දුනීසියාවේ බාලි දූපතට, තායිලන්තයේ µqකට් සහ පතායා ප්‍රදේශවලට, හවායි දුපත්වලට ඇදෙන්නේ ඇයිදැයි අප සිතන්නේ නැත.
වසරකට ලංකාවට පැමිණෙන ධනවත් විදේශිකයන් ගණන මෙන් දෙගුණයක් කොළඹ ගුවන් තොටුපළ හරහාම ඉතා කුඩා මාලදිවයිනට ගමන් කරන බව කනගාටුවට කරුණක් නොවේද? 2013 වසරේ වැඩිම විදේශිකයන් පිරිසක් පැමිණි රටවල් දහයෙන් ඉන්දියාව ඉවත් කළ විට, ලංකාවට ආසන්න වශයෙන් 550,000 ක් පැමිණෙද්දී මාල දිවයිනට 1,100,000 පැමිණ ඇත. අපිට කොහේදී හෝ වැරදී ඇත.
සිහින ලෝකයෙන් නික්‌මී පියවි ලෝකයට පිය නැඟීමට දැන් කාලය එළඹ ඇත.
සංචාරක කර්මාන්තයෙන් රටක් ඉහළට ගැනීමට ලෝකයේ ලොකුම, උසම, හොඳම ඒවා අවශ්‍ය නොවන බව මගේ අත්දැකීමයි. මා පියනඟා ඇති ලෝකයේ බොහෝ සංචාරක ස්‌ථාන විදේශිකයන්ට ආකර්ෂණීය වී ඇත්තේ එහි ඇති නැරඹීමට හෝ රසවිඳීමට හැකි දෙයට වඩා සංචාරක සහ අලෙවි කළමනාකරණය නිසාය.
උදාහරණයක් ලෙස මම මැලේසියාවේ ඇති ධන උල්පතක් වන ජෙගෙන්ටින් හයිලන්ඩ් විනෝද උද්‍යානය (amusement park) ගන්නම්. කුඩා කඳු ගැටයක් සහ අසලින් ගලා යන දිය පහරක් ආශ්‍රිතව ගොඩනඟා ඇති මෙම උද්‍යානය කිසිදු, පාරිසරික, ඓතිහාසික හෝ ජෛව විද්‍යාත්මක වැදගත්කමක් නොමැති ස්‌ථානයකි. එහෙත් එය මැලේසියාවට මිලියන ගණනින් සෙනඟ අද්දවයි. ලංකාවේ මෙබඳු ස්‌ථාන දහසකට වඩා ඇති බව මගේ හැඟීමයි. එහෙත් ඒවා ධන උල්පත් කිරීමට හැකි බව අප සිහිනෙන්වත් සිතා නැත. මා මගේ ලාංකික මිතුරන්ට නිතර කියන දෙයක් නම් “කිතුල්ගල” මැලේසියාවේ හෝ චීනයේ තිබුණා නම් අද එය ඩොලර් කන්දක් බවට පත්වී තිබෙනු ඇති බවයි.
විශාල අමතර වියදමක් නොමැතිව වුවත් අපට අලෙවි කළ හැකි සීගිරිය, දළදා මැඳුර, රජරට නටබුන් ආදී ස්‌ථානද අප මනාසේ කළමනාකරණය කිරීමට නොදන්නා සේයකි. මෙම ස්‌ථානවලට ඇතුළු වීමට ඩොලර් 20.25 වැනි මිලකට විදේශිකයෙක් ටිකට් පත් මිලදී ගත යුතුය. දේශීය සංචාරකයකුට මේ සඳහා ගෙවීමට සිදුවන්නේ ඩොලර් එකකටත් අඩු මුදලකි. මෙමගින් අප සංචාරකයා මුලින්ම සිත් වේදනාවට පත් කරයි. රටක් ලෙස අප මුදල් සෙවිය යුත්තේ මෙලෙස ඇතුළුවීමේ ටිකට් පත්වලින් නොවන බව අපේ පාලකයන්ට නොතේරීම අපේ අවාසනාවයි. මෙලෙස අධික මුදලකට ඇතුළුවීමේ ටිකට් පත් විකුණා අප සොයන මුදල සොච්චමකි. එහෙත් එමගින් අප ලෝකයට දෙන පණිවුඩය මෙරටට ලැබීමට තිබෙන ඩොලර් කෝටි ගණනක් නවතාලයි.
එලෙස අධික මිලකට ටිකට් පතක් ගෙන ඇතුළුවන විදේශිකයකුට, භාවිත කිරීමට සුදුසු වැසිකිළියක් නැත, අවශ්‍ය ආකාරයට කෑමක් බීමක් මිලදී ගැනීමට ආපනශාලාවක් නැත. මහන්සි වූ විට රැඳී සිටීමට විවේකාගාරයක් නැත, ඇතුළත සංචාරයට විදුලියෙන් දුවන මෝටර් රථ නොමැත. සමහර ස්‌ථානවල අව්වෙන් වැස්‌සෙන් ආරක්‌ෂා වීමට ආවරණයක් හෝ නොමැත. අප ඉන්දියාවේ සිට ඇමරිකාව දක්‌වා සියලුම රටවලින් පැමිණෙන විදේශිකයන්ගෙන් අය කරන්නේ ස්‌විට්‌සර්ලන්තයේ සංචාරක ස්‌ථානයකට ඇතුළු වීමේදී අය කරන මිලයි. එහෙත් ඔවුන්ට ලබාදෙන්නේ ඉන්දියානුවෙකුට ඉන්දියාවේදී ඩොලර් භාගයක ටිකට් පතක් ගත් විට ලැබෙන සැලකිල්ලයි. මේ ආකාරයට රටක සංචාරක ව්‍යාපාරය දියුණු කළ නොහැක.
ප්‍රථමයෙන් කළ යුත්තේ තෝරා ගත් සුදුසුකම් සහිත පිරිසක් ලෝකයේ ඇති ප්‍රකට සංචාරක ස්‌ථානවලට යවා ඔවුන්ගෙන් ක්‍රමවත් ලෙස සකස් කළ වාර්තාවක් ලබා ගැනීමයි. ඉන් පසු ඒ අනුව අපගේ අඩු පාඩු නිවැරදි කරගැනීමයි. අවාසනාවකට මෙවැනි සංචාරයක් ගැන සඳහන් කළ පමණින් ඉදිරියට පැමිණෙන්නේ දේශපාලන හිතවත්කම් සහ ආයතන ප්‍රධානීන්ට සම්බන්ධතා ඇති පුස්‌සන් පිරිසකි. සාප්පු සහ විනෝද සවාරියක් යැම හැරුණු කොට ඔවුන්ගෙන් ගත යුත්තක් නැති වනු ඇත. මේ බව දැනගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කළ යුතුය.
මීට වසර කිහිපයකට පෙර Lonely Planet ආයතනය මගින් නම් කළ ලොව ඉහළම සංචාරක අගයක් ඇති මුහුදු වෙරළ ලෙස උණවටුන වෙරළ දෙවරක් තේරිණි. අප මේ අවස්‌ථාවලින් ප්‍රයෝජන ගෙන ඇත්ද? බොහෝ රටවල් මෙබඳු තේරීමක් වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් වැය කරද්දී අපට එය නිකම්ම ලැබුණේය. නිකම්ම ලැබුණු දෙය අපි නිකම්ම පා කර හැරියෙමු.
නැවත වරක් වසර 2016 දී සංචාරකයන් යා යුතුම රටක් ලෙස ජාත්‍යන්තරය විසින් ලංකාව තෝරාගෙන ඇත. මෙවරත් අපි එය නිකම්ම පා කර යවමුද?
මහාචාර්ය චන්දිම ගෝමස්
පුත්‍රා සරසවිය, මැලේසියාව