පාරට බැසීම මරුවාට අත වැනීමක් වන තරමටම රිය අනතුරු බහුල වන බවක් පෙනෙන්නට තිබේ. ප්‍රශ්නය වන්නේ මාරක රිය අනතුරු එකපිට එක සිදුවෙද්දිත් බොහෝ රියෑදුරන් ඒ පිළිබඳව තඹේකට මායිම් නොකරන තත්ත්වයක් මතුව තිබීම ය. පෙරේදා (26 දා) දික්‌වැල්ලේදී සිදු වූ රිය අනතුර ඊට ආසන්නතම නිදසුනයි. එහිදී පාපැදියක ගමන් කරමින් සිටින කුඩා දරුවකු හා එම දරුවාගේ පියා හප්පාගෙන කාර් රථයක් වේගයෙන් ධාවනය වන්නේ අසල සවිකර ඇති CCTV (සීසීටීවී) කැමරා පද්ධති කිහිපයකම එම අනතුරේ බරපතළකම සටහන් කරමිනි.
රථය පදවන තකතීරු අම්බරුවා එම වාහනය ධාවනය කරන්නේ මහපාරේ නොව පදිකයන් ගමන් කරන තීරුව තුළ බව සීසීටීවී දර්ශන නරඹන ඕනෑම කෙනකුට වැටහෙයි. අනතුරට ලක් වූ දරුවාටත් පියාටත් අමතරව එම තීරුවේ රැඳී සිටි තවත් මඟීන් කීපදෙනකුම බේරෙන්නේ අනූනවයෙන් බව එම දර්ශන නරඹන ඕනෑම කෙනකුට පෙනේ.
තවත් සිදුවීමක් ඒ ආසන්නම දිනවල වාර්තා වී තිබිණි. ඒ අම්බලන්තොට මයුරපුර ප්‍රදේශයේදී කහ ඉරෙන් පාර මාරුවීමට ගොස් වැලි පැටවූ ටිපර් රථයක හැපීමෙන් එතැනදීම මියගිය දරුවෙකු පිළිබඳව කතාවය. දරුවා අනතුරට පත්ව තිබුණේ දහම් පාසල නිම වී නිවසට යමින් සිටියදී ය.
එමෙන්ම පසුගිය දිනවල රටේ කොයි කා අතරත් වැඩිම කතාබහට ලක් වූ සිදුවීම වූයේ දෙමටගොඩදී කහ ඉර මතදී කාර් රථයකට හැපී මියගිය මව හා දියණිය පිළිබඳ පුවතය. මේ සියලු සිදුවීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලිවම පෙනෙන කාරණය වන්නේ අනතුරට පත් වූ මරණයට පත් වූ සියලුම දෙනා නියමිත මාර්ග සංඥා, මාර්ග නීති රීති පිළිපදිමින් ගමන් කළ බවය.
මාර්ග සංඥා පිළිබඳව කිසිදුÊතැකීමක් නොකර වෙඩි කෑ ඌරන් මෙන් ගමන් කර ඇත්තේ ‘රිය – ඇදුරන්’ යෑයි සිතා සිටින වඳුරන් ය. ඇත්ත වශයෙන්ම පදිකයන් ද මහාමාර්ගය භාවිත කරන ආකාරයේ ඇත්තේ නොසැලකිලිමත් බවක් බව කිව යුතුය. එහෙත් මෑත සංඛ්‍යා ලේඛන සැලකූ විට පදිකයන් වැඩි වශයෙන් අනතුරට පත්ව ඇත්තේ නොසැලකිලිමත්කම හා අවධානය අඩු නිසා නොව රියෑදුරන්ගේ නොසැලකිලිමත්කම නිසා බව පැහැදිලිය.
මෙරට සිදුවන මාරක අනතුරුවලින් සියයට හතළිස් අටක ප්‍රමාණයක් සිදුවන්නේ රියෑදුරු බලපත්‍ර නැති හෝ රියෑදුරු පළපුරුද්ද වසර තුනක්‌වත් නැති රියෑදුරන් අතින් බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දේ. රියෑදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනස්‌කම් ගණනාවක් සිදුවිය යුතු බව එම දත්ත ඉඟිකරයි.
සාමාන්‍යයෙන් රියෑදුරු බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන් ලිත පරීක්‍ෂණයකට පෙනී සිටින්නේ ප්‍රායෝගිකව ඒ ගැන සොයා බලමින් නොව රියෑදුරු බලපත්‍ර ආයතනයකින් හෝ පොත් සාප්පුවකින් ලබාගත හැකි මාර්ග සංඥ පොත ‘කඩපාඩම්’ කරමිනි. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඉරි ගැසීමට තරම් එම දැනුම ප්‍රමාණවත් විය යුතු යෑයි උපදෙස් දෙන්නේ රියෑදුරු බලපත්‍ර කලින් ලබාගත් අයයි. මහා මාර්ගයට පිවිසි පසු මාර්ග සංඥ පිළිබඳව හෝ මාර්ග නීති රීති පිළිබඳව නියම අවබෝධයක් බොහෝ දෙනකුට නැති බව කහ ඉරි අසලදී, මාර්ග සංඥ පුවරු ආදිය ඇති තැන්වල හිඳ නිරීක්‍ෂණය කරන්නකුට අවබෝධ කර ගත හැකි කාරණයකි.
මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාවේ වාර්තා අනුව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් ඉහළයන මාර්ග රිය අනතුරු සංඛ්‍යාව සැලකූ විට දිනකට පුද්ගලයන් හයත් – හතත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වේ. තුවාල ලබන ප්‍රමාණය ඊටත් වඩා වැඩිය. මේ සියලු කාරණා පිළිබඳව අවධානයෙන් සොයා බලන විට පැහැදිලිවන කාරණයක් තිබේ. ඒ එම අනතුරු වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ අධික වාහන තදබදයක් හෝ දවසේ කාර්යබහුල නොවන අවස්‌ථාවල බවය. නිවැරැදිව කිවහොත් මාර්ගය නිදහස් යෑයි හැඟුණු හැම මොහොතකම රියෑදුරන් යෑයි වරදවා වටහාගෙන සිටින බොහෝ දෙනකුට යක්‍ෂයා ආරූඪ වන බව ය. මාර්ගය නිදහස් යෑයි හිතන හැම මොහොතකම ඕනෑම වාහනයක් පදවන අයකුම වඩාත් කල්පනාකාරී විය යුතු බව අපේ හැඟීමයි. රියෑදුරෙකු සතුව මුනිවරයකු සතු ඉවසීමක් තිබිය යුතු යෑයි කියන්නේ එහෙයිනි.
1995 වර්ෂයේ සිට මේ දක්‌වා සෑම වසරකම රෝහල්ගත වීමේ ප්‍රධාන හේතුව හදිසි අනතුරු ය. ඉන් සියයට තිහක්‌ම මාර්ග අනතුරු නිසා සිදුවන රෝහල්ගත කිරීම් ය. තත්ත්වය පිළිබඳව කියන්නට ඊටත් වඩා නිදසුන් අවශ්‍ය නැත.
මාර්ග ආරක්‍ෂාව පිළිබඳව මීටත් වඩා අවධානයක් යොමු කළ යුතු බව අප වගකිවයුත්තන්ට සිහිපත් කර සිටිමු.
– Divaina