මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල සියයට හැත්තෑපහකින් පමණ අඩු වී තිබේ. සාපේක්‍ෂව බැලූ විට එය ඉතාමත් විශාල ප්‍රමාණයක අඩුවීමකි. පසුගිය 2014 වර්ෂය අවසන් වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 98 ක් ලෙසිනි. මේ මොහොත වන විට එය ඩොලර් 28 ක් දක්‌වා අඩු වී තිබේ. ඒ නිසාම මිල සූත්‍රය අනුව ගලපා මිල අඩු කිරීමේ ක්‍රියාවලිය සඳහා අදාළ අමාත්‍යාංශය මගින් එය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණද තවමත් එය ඉටුවන බවක් පෙනෙන්නට නැත. අප හැමදාමත් අත්විඳ ඇති පරිදි ලෝක තෙල් වෙළෙඳපළේ තෙල් බැරලයක මිල ඉහළ යන හැම වතාවකම දරා ගන්නට බැරි ආකාරයෙන් මිල ඉහළ දමනවා මිස, තෙල් බැරලයක මිල පහළ යන කිසිදු අවස්‌ථාවක එහි වාසිය නියමිත ආකාරයෙන් රටේ ජනතාවට ලැබුණේ නැත.
යාන්තමින් හෝ තත්ත්වයේ සුබවාදී පැත්තක් දකින්නට හැකි වූයේ 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්‌ඩු පෙරළියත් සමඟය. අලුත් (වත්මන්) ආණ්‌ඩුව තෙල් මිල අඩු කළ බව සැබෑය. එහෙත් ඒ කිසිවෙකුගේ හෝ ‘හපන්කමක්’ නිසා නොව 2015 ජනවාරිය වන විට තෙල් බැරලය ඩොලර් 60 ට අඩු වී තිබීම නිසාය. ඇත්ත වශයෙන් ම රටේ ජනතාව පසුගිය අය වැය පිළිබඳව ද සිහින පොදි බැඳ සිටි බව සැබෑය. ඒ අතර තෙල් මිල අඩුවීමේ සිහිනය ද විය. තෙල් මිල අඩු කිරීම සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයා කී කතාව ද ‘පරණ’ වෙමින් පවතී. ඒ පරණ කතාවට අනුව මිල සූත්‍රයේදී කරන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිලත්, ඊට දරන්නට වන වියදම් හා බදු ප්‍රමාණයත් අනුව මෙරට තෙල් මිල ගණනය කර මිල නියම කිරීමය. වඩාත් පැහැදිලිව කිවහොත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යැම අනුව මෙරට තෙල් මිල නියම කෙරෙන විනිවිද භාවයකින් යුත් ක්‍රමවේදයකි. එහෙත් මිල සූත්‍රය නම් පරණ කතාව වෙනුවට දැන් අලුත් කතාවක් කරළියට පිවිස තිබේ. ඒ කතන්දරයේ හැටියට ලෝක වෙළෙඳපොළේ මිල කුමක් වුවත් අපේ රටේ නොවෙනස් මිලක් පවත්වාගෙන යැමේ ක්‍රමවේදයක් සකස් කිරීමය. එය ඉතාමත් වටිනා ක්‍රමවේදයකි. ජනතාවට ‘චූන්’ වනු පිණිස කී කතාවක් නොවන්නේ නම් ආණ්‌ඩුවට තවත් ක්‍රෙඩිට් අවශ්‍ය නැත. එහෙත් ලෝක වෙළෙඳපොළේ මිල තුට්‌ටුවට බහින විට දේශීය වෙළෙඳපොළේ තෙල් මිල ස්‌ථාවරව තිබීම රටේ ජනතාවට මිල සහනය අහිමි වීමකි.
අදාළ වගකිවයුත්තන් කියන්නේ ලෝක තෙල් වෙළෙඳපොළේ මිල පහළ යැමේ වාසිය රට තුළ ක්‍රියාත්මක කිරීම අපහසු බවය. හේතුව අපේ රටේ ඛනිජ තෙල් සංස්‌ථාව අධික ලෙස පාඩු ලබා තිබීමය. ඒ නිසාම ඒ පාඩුව පියවා ගැනීම සඳහා තෙල් වලින් ලැබෙන ආදායම යෙදවීමට සිදුව තිබෙන බව අදාළ මහත්වරු ප්‍රකාශ කරති. කතාව ඇත්තය. තෙල් බාරව සිටි උදවිය එළිපිට සේම අත යට ගැසූ ‘ගේම්’ ද රටේ ජනතාවට අමතක නැත. තෙල් බාරව එන කවරෙකු වුවද එය ලොතරැයියක් ඇදීම, මැණික් පතලක් පවරාදීමක් හැටියට බාරගත් බව කිව යුතු නැත. මේ හතරමහ නිධානයෙන් ගොඩ ගිය අයට ජනතාව පිළිබඳව වගේ වගක් තිබුණේ නැත. දැන් ඒ කෙරුවාවල් වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. පාඩු පියවීමට පියවර ගැනීම ගැන කිසිවෙකුගෙත් ආරෝවක් නැත. ප්‍රශ්නය වන්නේ ඒ පාඩු ලැබීමට වරදකරුවන් වන්නේ රටේ සමස්‌ත ජනතාව ද යන්නයි.
2002 වර්ෂයේදී ලෝක වෙළෙඳපළේ තෙල් බැරලයක මිල ඩොලර් 32 ක් වූ විට ලංකාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 50 ක් ලෙසද, ඩීසල් ලීටරය රුපියල් 28 ක් ලෙස ද පැවැති බව අමතක කළ යුතු නැත.
සූත්තර සහ ක්‍රමවේදවලින් රටේ ජනතාවට පලක් නැත. ලැබිය යුතු අවම වාසිය හෝ රටේ ජනතාවට ලැබිය යුතුය. අනුන් කළ පවුවලට රටේ ජනතාවගේ බදු මුදල් මංකොල්ලකෑමට ආණ්‌ඩුවක් අවශ්‍ය නැත.
– Divaina