බලාගෙනයි… ඔන්න එල්නිනෝ ඇවිත් – El Nino 2016 and climate change Sri Lanka

0
882
elnino

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලියු. එල්. සුමතිපාල

මේ දිනවල ලෝකයේ හටගෙන ඇති එල්නිනෝ තත්ත්වය නිසා ඉදිරි මාස 15ක පමණ කාලයේදී ශ්‍රී ලංකාවටත් වැසි අඩු වී වියළි තත්ත්ව ඇතිවීමට ඉඩ ඇතැයි ද ඒ පිළිබඳව සලකා බලා ජල සංරක්ෂණයට හා විදුලිබල ජලාශවල සුරක්ෂිතතාවට, කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ඩබ්ලියු.එල්. සුමතිපාල මහතා අනතුරු අගවයි.

මහාචාර්ය සුමතිපාල මහතා කලක් විවෘත විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යකු ලෙස ද ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙස ද දැනට ශ්‍රී ලංකා විද්වත් පරිසර වෘත්තියවේදීන්ගේ ආයතනයේ ප්‍රධාන සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

දැනට ලොව පුරා පවතින දේශගුණ විපර්යාස නිසා ඉදිරියේදී අපේ රටේ වෙරළ කලාපයට විශේෂයෙන් යාපනයට මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල පහත් බිම් සියල්ල මුහුදු වතුරෙන් යටවීමේ අවදානමක් ද පවතින බව ද ඒ මහතා පවසයි. අපි ඒ මහතා සමඟ ‍කළ සම්මුඛ සාකච්ඡාව මෙසේ දිග හරිමු.

මොකක්ද මේ එල්නිනෝ කියන්නේ?

සරලව කීවොත් එල්නිනෝව ඇති වන්නේ නැ‍ෙඟනහිර පැසිපික් සාගරයේ මතුපිට උෂ්ණත්වය වැඩි වීමයි. මෙය අවුරුදු 7 – 8 කට වරක් ඇතිවෙන දෙයක්. සාමාන්‍යයෙන් පැසිපික් සාගරයෙන් නැ‍ඟෙනහිර පැත්ත සීතලයි. නමුත් එහි උෂ්ණත්වය අස්වාභාවිකව වැඩිවීම නිසා මේ එල්නිනෝ තත්ත්වය වැඩි වෙනවා. මේ අස්වාභාවික තත්ත්වය නිසා වායු ගෝලයේ වෙනස්කම් රැසක් සිදු වෙනවා. එවිට ලෝකයේ ම කාලගුණය උඩු යටිකුරු වෙනවා. ලොව පුරා සමහර රටවලට අධික ලෙස වැස්සත් තවත් සමහර රටවලට අධික ජල හිඟයක් නියඟයක් ඇති වෙනවා. ඒ අනුව මැලේසියාව සිංගප්පූරුව ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල තදට වහිනවා. නැ‍ඟෙනහිර පැසිපික් සාගරයේ කවදාවත් වහින්නේ නැති මුහුදු කාන්තාර ප්‍රදේශවලට වහිනවා. එවිට ඇක්වදෝර් වැනි ප්‍රදේශවල ධීවර කර්මාන්තය අඩපණ වෙනවා.

මේ අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංගලිදේශය වැනි රටවලට ලැබෙන වැස්ස ඉතා අඩුවීමට පුළුවන්. මේක සරලව කීවොත් මුහුදේ බලපෑම වායුගෝලයට කරන බලපෑමක්.

මෙවැනි බලපෑමක් 1997 දී තද එල්නිනෝ තත්ත්වයක් ලෙස අපිටත් ආවා. මේ එල්නිනෝ තත්ත්වය සුළු ලෙස, මධ්‍යම වශයෙන් හා තද වශයෙන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා වායුගෝලයේ සුළං වර්ෂාව වැනි දේවල් ලොකු වෙනසකට භාජනය වෙන්න ඉඩ තිබෙනවා.

එල්නිනෝ තත්ත්වයක් දැන් ඇති වෙලාද අපේ රටට ඒකෙන් වන බලපෑම කුමක්ද?

දැන් මෙවර 2015 අවසන් වකවානුවේ සිට එල්නිනෝ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ අනුව ගිය වසරේ සිට අපේ රටේත් උෂ්ණත්වය වැඩි වේගෙන ගියා. එය එල්නිනෝ ආරම්භක සලකුණ ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් පසුගිය වසරේ වැස්ස හුඟක් තිබුණා. හුඟක් අය අපෙන් ඇසුවා එල්නිනෝ එනවා නම් වහින්නේ ඇයි කියලා. නමුත් දෙසැම්බර් ජනවාරි පෙබරවාරිවල ඊසාන මෝසම හරියට එන්නේ නැති වෙයි කියලා අපි හිතනවා. දැන් තිබෙන තත්ත්වය අනුව අපට වැස්ස අඩු වෙලා. ඉදිරි මාස 15 පුරා අපට වැස්ස අඩු වීමට පුළුවන්.‍

දැනට ඉන්දියාවේ සමහර ප්‍රදේශවල දැඩි නියඟ තත්ත්වයක් තිබෙනවා. නමුත් අපේ රට දූපතක් නිසා බලප‍ෑම් අඩුයි. තදට‍ එල්නිනෝ එකක් ආවොත් ඉන්දියාවටත් වගේ ම අපට බලපෑමක් ඇතිවෙනවා. 1992, 1997 වසරවල එල්නිනෝ තත්ත්ව ආවා. අපට තදබල බලප‍ෑම් කළා. මේ සැරේ ඒ තරම් බලපෑමක් එන එකක් නැහැ. ඒත් මේ වසරේ මුල් මාස 6 ඇතුළත වැස්ස හුඟක් අඩු වෙයි. ලබන අවුරුද්දේ මැද වෙන තුරු මේ තත්ත්වය තිබෙනවා.

කොහොමද අපි මේකට මුහුණ දිය යුත්තේ?

අපි මේ එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ යටතේ රටේ ම වාරිමාර්ග හා පානීය ජල සංරක්ෂණයට කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි. එසේ ම විශේෂයෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ඇති ජලය අරපරිස්සමින් කළමනාකරණය කළ යුතුයි. මහා ජලාශවලින් වැඩි ජලය කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීම සුවිශේෂ සැලසුම් දැන් සකස් කළ යුතුයි. ඉදිරි කන්න සඳහා නියඟයෙන් ඔරොත්තු දෙන වී වර්ග වැපිරීමට කටයුතු කිරීමට අත්‍යවශ්‍ය දෙයක්.

මේ එල්නිනෝ තත්ත්වය ලොව දේශගුණ විපර්යාස හා සම්බන්ධ වන්නේ මොන අයුරින් ද?

මම හිතන්නේ මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. පෙරහර එනවිට මුලින් ම යන්නේ කස කාරයොනේ. ඒ වගේ තමයි කාලගුණ විපර්යාස කියන දරුණු පරිසර උවදුර එනවිට මුලින් ම එන්නේ මේ එල්නිනෝ තත්ත්වය.

ඒ අනුව මේ එල්නිනෝ සමඟ ම හරි ඊට පසු හරි දේශගුණ විපර්යාස නිසා අපේ රටටත් පොදුවේ මුළු ලෝකයටත් දරුණු ස්වාභාවික විපත් ඇති වෙන්න පුළුවන්.

මොකක්ද දැන් ලොව විද්‍යාඥයන් වැඩිපුර කතාවෙන දේශගුණ විපර්යාස කියා කියන්නේ?

මිනිසාගේ ඍජු ගේ වක්‍ර බලපෑම හා ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතනු වායු ප්‍රමාණය වෙනස්වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස් වීම් ඇති වීම දේශගුණ විපර්යාස ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයට ප්‍රධාන හේතුව වූයේ වායුගෝලයේ පැවැති හරිතාගාර වායු සාන්ද්‍රණය කාර්මිකකරණය නිසා සමතුලිත තත්ත්වය ඉක්මවා යෑමයි. නමුත් මේ ලොවටම ඕන කරන හරිතාගාර වායු අපේ වායු ගෝලයට මුදාහැරීම පාලනයට කටයුතු කළ හැකි දියුණු රටවල් ඒ පිළිබඳව දක්වන උනන්දුව ඉතා අවමයි.

මේක ලොකු ගෝලීය ප්‍රශ්නයක් නිසා ගෝලීය ලෙස රටවල් සියල්ල එක් වී දේශගුණ විපර්යාස අවම කිරීමට සාකච්ඡා සම්මන්ත්‍රණ සැසිවාර පවත්වනවා. නමුත් ඒවා සාකච්ඡා සම්මන්ත්‍රණවලට පමණක් සීමා වෙලා.

මේ පිළිබඳව ලොව පුරා සිටින විද්‍යාඥයන් දක්වන අදහස මොන වගේ ද?

1988 ද‍ී ලොව පුරා විද්‍යාඥයන් 4000ක් විතර එක්වෙලා LPCC නම් දේශගුණ විපර්යාසයක් පිළිබඳව අන්තර් ආණ්ඩු මණ්ඩලයක් පිහිටුවූවා.

මේක දේශපාලන සංවිධානයක් නෙමෙයි. විද්‍යාත්මක සංවිධානයක්. ඒ අය මේ සිදු වෙන දේශගුණ විපර්යාස පිළිබඳව වරින් වර වාර්තා නිකුත් කළා. ඒ අනුව දැනටම වාර්තා 4ක් නිකුත් කරලා තිබෙනවා. පැහැදිලිවම ඒ අය කියනවා ලොව දේශගුණය ඉතා භයානක ලෙස වෙනස් වෙනවා. ඒක ඉතා භයානක තත්ත්වයක්. ඒකට මූලිකම හේතුව මිනිසා විසින් වායුගෝලයට දමන කාබන් ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු බව ‍ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඔවුන් මෙහිදී පෙන්වනවා ඒ වායු ප්‍රමාණය වැඩි වෙන කොට වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වන බව.‍ කාල ගුණ වෙනස්වීම් සිදු වන බව කාලගුණ රටාව උඩු යටිකුරු වෙන බව. ඊට පසු 1992 මිහිතල සමුළුව මඟින් ද 1995, 2008 වසරවල පැවැති සමුළුවලින් ද තවත් සාකච්ඡා ගණනාවක් ද මේ පිළිබඳව තීන්දු තීරණ සම්මුති සන්ධාන ඇති වුණත් ඒවා කිසිවක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකට ප්‍රධාන ලෙස ලොව දියුණු රටවල් මේ තීන්දු තීරණ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දැක්වූයේ නැහැ.

ඉතින් මේකට තවම හරි විසඳුමක් නැද්ද?

ඒකට රටවල් 196 ක් එකඟවූ යම් එකඟතාවක් 2015 පැරිස් සමුළුවේදී ඇති වුණා. ඒ අනුව ලොව කාර්මිකකරණයට ලක් වූ 1800 වසරේදී මේ ලෝකයේ තිබුණු උෂ්ණත්වය, 2100 වසර වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක 2 කට වඩා වැඩි වීම වැළැක්වීමට සියලු රටවල් දායක වී යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

ලොව රටවල් 196ක් මේ කටයුත්ත වග බලා ගන්න අවශ්‍යයි කියල එහිදී එකඟතාවක් ඇති වුණා. ඒ සමඟම ඒ එකඟතාව අනුව මේ අගය සෙන්ටිග්‍රේඩ් 1.5 ට වඩා වැඩි නොවීමට කටයුතු සලසන බවත් මේ එකඟතාවෙන් ගිවිසුම්ගත කර තිබෙනවා.

අපේ රට මේ පැරිස් එකඟතාවට අනුගත වීමට මොකක්ද කරන්න හදන්නේ?

අපි මේකට අනුගත වීමට ජාතික මට්ටමේ වැඩපිළි‍ෙවළක් ක්‍රියාත්මක කරනවා. අපේ පරිසර ඇමැතිතුමා ද වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ සඳහා ‘නීල හරිත යුගයක් කරා’ යන නව වැඩපිළිවෙළක් පසුගියදා ක්‍රියාවට නැංවූවා. එය රටම වෙළා ගත් පරිසර හිතකාමී තිරසර සංවර්ධන වැඩපිළිවෙළක්.

අපේ රට මේකට අනුගත වීමට පුනර්ජනනය බලශක්ති භාවිතයට ප්‍රමුඛත්වයක් දෙනවා. ඊට අමතරව කාබනික කෘෂිකර්මය විදුලි වාහන පාවිච්චිය තිරසාර පාරිසරික සංචාරක ක්‍රම, පාරම්පරික කෘෂිකාර්මික ක්‍රම, සූර්ය බලය, සුළං බලය හා රළ බල විදුලිය මෙන් ම දැව ඉන්ධනය පාවිච්චි කර තිරසර සංවර්ධනයට අපි වැඩ සටහන් ක්‍රියාවට නංවනවා.

පසුගිය කාලේ ලොව දියුණු වූ රටවල් ගිය මාර්ගයේ ගිහිල්ල නෙවෙයි අපි දියුණු වෙන්න ඕන. දියුණු වූ රටවල් දියුණු වුණේ කෙළින් ම වසර මිලියන ගණනක් පොළොව යට පැවැති පොසිල ඉන්ධන ටික කෙටි කලක් ඇතුළත දහනය කරලා එමඟින් ආර්ථික ලෙස විශාල දියුණුවක් ලබාගැනීමෙනුයි. එයින් ඇතිවන බලපෑම අද මතු පරම්පරාවටම හානියක් සිදු කරනවා. රජය අපේක්ෂා කරන්නේ තෙල් මත යැපෙන ආර්ථික දියුණුවක් කරා නොගොස් තිරසර වූ පරිසර හිතකාමී වූ ‘නීල හරිත ආර්ථික රටාවක්’ කරා රට යා යුතු බවයි. ඒ බව අපේ ජනාධිපතිතුමත් තේරුම් අරන් මේ නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා.

මේ එකඟතාවලට අනුගත නොවී දිගටම හරිතාගාර වායු වායුගෝලයට ගියොත් මොකද වෙන්නේ?

මුලින් ම සිදු වන දේ තමයි හරිතාගාර වායු නිසා වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වීම. ඒ නිසා මුහුදේ අයිස් කඳු දිය වෙනවා. ග්ලැසියර දිය වෙනවා.‍ හිමාලය අවට ඇති හිම දිය වෙනවා. අයිස් තට්ටු දිය වෙනවා. ඒ සමඟම මුහුදු මට්ටම ඉහළ ගිහින් අපේ මුහුදු බඩ ප්‍රදේශ යට වෙන්න හුඟක් ඉඩකඩ තිබෙනවා.

හරිතාගාර වායු පිටවීම ලොව සියලු රටවල් මඟින් පාලනය නොකළහොත් මුළු ලොවටම විපත් රැසක් ඇතිවේවි. අපේ රටට විශේෂයෙන් උතුරු නැ‍ඟෙනහිර පළාත්වල කුඹුරුවලට මුහුදු ජලය පැමිණ වගා පාළු වීම සිදු වෙන්න පුළුවන්.

ඒ සමඟම වෙරළ අසල තිබෙන දියුණුම නගර සමුද්‍ර ඛාදනය වගේම මුහුදු මට්ටම ඉහළ යෑම නිසා අහිතකර බලපෑම් වලට ලක් වෙනවා. ඒ වගේ ම මුහුද අසල තිබෙන ප්‍රධාන මාර්ග දුම්රිය මාර්ග යට වෙන්න පුළුවන්. මැසි මදුරු උවදුර වැඩිවීමටත් උෂ්ණත්වය වැඩිවීමට හේතුවක්.

මේ සියල්ල නිසා ආර්ථික, ගමනාගමන, සාමාජික ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තිබෙනවා‍. මේ පිළිබඳව රජය දැනටම අවධානය යොමු කර තිබෙනවා. ඒත් කාර්යක්ෂම ලෙස නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම මදි.