සිඳෙන්නට නොදී රැකගත යුතු හෝ ගානා පොකුණ – Kids movie

0
1772
hoo-gaana-pokuna

මෙම ලියුම්කරු මුලින්ම හෝ ගානා ‍පොකුණ දුටුවේ අවුරුදු හතේ අටේ වයසේදීය. ඒ කාලයේ ඉගෙන ගත්තේ හයේ පන්තිය දක්වා පමණක් පැවැති ගම් ඇල ඉරක් බප ඇල ඉරක් කිඹුල්ගොඩ කණිෂ්ඨ මිශ්‍ර පාඨශාලාවේය. නමුත් හෝ ගානා ‍පොකුණ බලන්නට මා කැටුව ගියේ පාසලෙන් නොවේ. එම අසිරිමත් සිදුවීම වූවේ දිවුලපිටියේ බෝමුගම්මන ලොකු අම්මා ලෙඩෙකු බලන්නට මාවද කැටුව මීගමු රෝහලට ගියවාරයේ උන්දෑ තුළ පහළ වූ මහාඵල මහානිසංශ පුණ්‍ය සිතිවිල්ලක අතුරු ඵලයක් වශයෙනි. ඉන්දික ෆර්ඩිනැන්ඩුව කලින් මුහුදට හෝ ගානා ‍පොකුණ කියන බව කියා දුන්නේ උන්දෑය.

සියනෑ කෝරළය මැදින් ගලා බසිනා ඌරුවල් ඔයටත්, ඇනිකට් හන්දියේ දුඹුරුපාට පාලම්වලටත් වැඩි ජල ස්කන්ධයක් දැක නොතිබූ මා අහසත් ‍පොළවත් එකට යා කරමින් බිහි වී තිබූ හෝ ගානා ‍පොකුණේ දැවැන්ත චමත්කාරය දැකීමෙන් ඇති වූ විස්මය මුසු සතුට අදටත් මුහුද දකින දකින වාරයක් පාවා සිහිපත් වන තරමට ප්‍රබලය.
එදා මෙදා තුර මවිසින් දැක ඇති විශ්වයේ සුවිශාලම වස්තුව වන හෝ ගානා ‍පොකුණ විසින් එවේ‍ලේ කුඩා මා තුළ ඇති කළ කැළඹීම කොතෙක්ද යත් ආපසු ගෙදර එන තෙක් මා ලොකු අම්මාගෙන් ඇසූ අනේක විධ ප්‍රශ්න කන්දරාව හේතුකොටගෙන මේකා හෝ ගානා ‍පොකුණටම දමා ආවා නම් කොතෙක් හොඳදැයි යන සිතුවිල්ල උන්දෑ තුළ ඇති නොවූණා නම් පුදුමයක් විය හැකි තරම් විය.

එදා මෙදා තුර හෝ ගානා ‍පොකුණ කොතෙක් දැක තිබුණද ඒ හැම අවස්ථාවකම ඒ ගැන හිතන්නට තිබූ දේවල් නම් අඩු වූවේ නැත.
දැන් මේ කියන්නේ ප්‍රතිභාපූර්ණ තරුණ නාට්‍ය කරුවෙකුවන ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් සිය ප්‍රථම සිනමා කෘතිය ලෙස ඉදිරිපත් කරන හෝ ගානා ‍පොකුණ බලන්නට අප කැටුව යාම ගැනය. දැන් අළුතින් සිතන්නට වී තිබෙන්නේ ඒ ගැනය. මෙම ලියුම්කරුට නම් එහිදී කියන්නට ඇත්තේද එදා ඔරිජිනල් කිඹුල් ගොඩයෙකුව සිටියදී හෝ ගානා ‍පොකුණ දැකීමෙන් ඇති වූ විශ්මයට සමාන අත්දැකීමක් සිනමා ශාලාව තුළදී හෝ ගානා ‍පොකුණ දැකීමෙන් නැවතත් ඇති වූ බවය. මක්නිසාද යත් ගෙවී ගිය දශක හතකට අවුරුද්දක් අඩු සිංහල සිනමා ඉතිහාසය මුලුල්‍ලේ ටයිටස් තොටවත්තගේ හඳයා චිත්‍රපටය හැරුණු කල වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ළමා චිත්‍රපටයක් යැයි කිව හැකි නිර්මාණයක් ලෙස දක්නට ලැබුණේ, හෝ ගානා ‍පොකුණ වන හෙයිනි.

සාමාන්‍ය කලා කෘතියකට වඩා ළමයින් උදෙසා කෙරෙන නිර්මාණයක ඇති වටිනාකම වන්නේ එය පරම්පරා දෙකක් වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කිරීමට සමත් වන බැවිනි. මක්නිසාද යත් මූලික වශයෙන් වැඩිහිටියන් පමණක් රස විඳින සාමාන්‍ය කලා කෘතියක් මෙන් නොව ළමා නිර්මාණයක් වැඩිහිටි සහ ළමා යන පරම්පරා දෙකටම රස විඳිය හැකි බැවිනි.


නමුත් අප රටේ මෙම පරම්පරා දෙකෙහිම අවාසනාවට මෙන් විශේෂයෙන්ම ළමා පරම්පරාවේ අවාසනාවට සිංහල සිනමාව ආරම්භ වී වසර 69 ක් සපුරන මේ මොහොත දක්වා ළමා නිර්මාණයයි කටපුරා කිව හැකි සිනමා නිර්මාණ කීයක් බිහි වුණාදැයි යන්න ගැන සිතන්නට උත්සාහ ගැනීමම කණගාටුවට කරුණකි.
සිනමා මාධ්‍යය තුළ ළමුන් මෙහෙයවීමේ ශක්‍යතාව පිළිඹිබු කරන සෝමරත්න දිසානායක ඇතුළු දෙතුන් දෙනෙකුගේ චිත්‍රපට හැරුණු කල, හැත්තෑවේ දශකයේ ටයිටස් තොටවත්තයන් නිර්මාණය කළ හඳයාගෙන් පසුව සිංහල සිනමාව තුළ කඩඉමක් සනිටුහන් කරනු ලබන්නේ ඉන්දික  ෆර්ඩිනැන්ඩුගේ හෝ ගානා ‍පොකුණ යයි අප නැවතත් කියන්නේ එහෙයිනි.

ළමයාට ළමයා ලෙසත් වැඩිහිටියාට තමා තුළ සිටින ළමයා තුළින් මෙන්ම වැඩිහිටියා තුළින්ද ඒ චමත්කාරය විඳිය හැකි ලෙස ඉදිරිපත් කෙරෙන හෝ ගානා ‍පොකුණ යනු සිංහල සිනමාවට එකතු වූ හොඳ ළමා චිත්‍රපටයක්ය යන ආස්ථානයේ පමණක් තැබිය යුත්තක් නොවේ. මූලික වශයෙන් ගත් කළ එය අපේ සිනමා ගමන්මගට එකතු වූ විශිෂ්ට සිනමා පටයකි.

ළමා චිත්‍රපටයක් සඳහා වූ ආකෘතිමය ලක්ෂණ, එහි සීමාවන්, ඉතා හොඳින් වටහාගෙන තිබිම හෝ ගානා ‍පොකුණ තුළ එක්වරම කැපී පෙනෙන ලක්ෂණය ලෙස පෙනී යයි. ළමයින් සඳහා වු නිර්මාණයකදී, විශේෂයෙන්ම ළමා සිනමා කෘතියකදී දෘශ්‍යමාන විය යුතු සුන්දරත්වය, අහිංසක මානුෂික හැඟීම්වල ප්‍රබලත්වය, කෲරත්වයෙන් තොර වීම, ඔවුන් අතර එකිනෙකා කෙරෙහි ඇති විය යුතු සෙනෙහස ආදි කාරණා ලොකු කුඩා ප්‍රේක්ෂක සහෘදයා වෙත සංවේදී භාවයක් ජනිත වන අයුරින් ඉදිරිපත් කිරීම ආදී බරපතළ අභියෝග රැසක් වෙයි. ඒ සියල්ල සමබරව පවත්වා ගනිමින් මුල සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයා එකසේ ඇඳ බැඳ ගන්නා ළමා කෘතියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මක් නිසාද යත් මේ ගනුදෙනුව පවතින්නේ ළමයින් සමග විනා වැඩිහිටියන් සමග නොවන හෙයිනි. ළමයින් චිත්‍රපටය එපා කිව්වා නම් අධ්‍යක්ෂවරයාට කට උත්තර නැතිවන හෙයිනි. වැඩිහිටියන් ප්‍රතික්ෂේප කළා නම් විචාරකයින්ට බනිමින් පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දී හිත සනසා ගන්නට හෝ ඉඩ තිබුණත් ළමයින්ට වැඩේ එපා වුවහොත් හෝ ගානා ‍පොකුණටම පනිනවා හැරෙන්නට කළ හැක්කක් නැත.

එසේ නොවී හෝ ගානා ‍පොකුණෙන් එතෙර වන්නට අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු ශක්තිමත් පහුරක් ලෙස යොදා ගත්තේ ඔහුගේ නිර්මාණශීලී තිර රචනයයි. මෙම තිර රචනය විසින් මූලිකව ළමා චිත්‍රපටයක් සඳහා පදනම දමනු ලැබූවද එය අපට මාන කීපයකින් සමාජය දෙස බලන්නට ඉඩ සලස්වන්නකි. නමුත් අප රථයකින් නිශ්චිත ගමනක් යද්දී ඉබේ දකින්නට සලස්වන්නක් ලෙස එම ප්‍රශ්න ඉදිරිපත් කරනවා විනා ඒනා ගමනට බාධාවක් කර නොගැනීමට අධ්‍යක්ෂවරයා මැනවින් වග බලාගෙන තිබේ.
ඒ අනුව ප්‍රේක්ෂකයාගේ සමාජ අවබෝධය හා රස විඳීමේ හැකියාවට සමානුපාතිකව බලන්නේ නම් මෙම චිත්‍රපට එක පැත්තකින් අප රටේ සමාජ අසාධාරණය සහ අසමානතාව ගැන කෙරෙන පිළිබිඹුවකි. තවත් පැත්තකින් එම අසාධාරණයට එරෙහිව ගොඩනැගෙන අරගලය පිළිබඳව අමුතුම මානයකින් කෙරෙන නිර්වචනයකි. එමෙන්ම තවත් පැත්තකින් මෙය අයෙකුගේ පුද්ගල පෞරුෂය අරබයා කෙරෙන විවරණයක් මෙන්ම, ඒ හරහා සමාජයේ ඇතැම් ප්‍රපංචයන් බරපතල විවේචනයකටද ලක්කෙරෙන්නකි. තවත් පැත්තකින් ධනාත්මක චින්තනය පිළිබඳව කතා කරන්නෙකුට හොඳ උදාහරණයකි. මේ සියල්ලම අතරේ රංගනය යනු කවරේද යන්නත්, හාස්‍යය යනු චිත්‍රපටයකින් කොයිතරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ හැකිද යන්නත් ගැන කදිමට උදාහරණ සපයන්නක්ද වෙයි. නමුත් මේ සියලු කාරණා කෘතියේ මුඛ්‍ය වෘතාන්තයට කිසිදු බාධාවක් නොකර ගනිමින් ඉදිරිපත් කිරීම තුළ ප්‍රේක්ෂක අප හමුවේ ඉතා නිර්මාණශීලී සිනමා අධ්‍යක්ෂණයක් ලෙස හෝ ගානා ‍පොකුණ නම් ළමා චිත්‍රපටය ප්‍රක්ෂේපණය වෙයි.
මෙහිදී අප නැවතත් අවධාරණය කරන්නේ අප රටට හොඳ ළමා චිත්‍රපට නැති වීමේ පටන් හෝ ගානා ‍පොකුණ වැනි චිත්‍රපට රැක ගැනීමේ උත්සාහයක් නොමැති වීම දක්වා සියලු කාරණා සිනමාව අරබයා දේශපාලනික බවය.

ඒ හැරුණු කල හෝ ගානා ‍පොකුණ ගැන කිව හැකි තවත් නිර්වචනයක් ලෙස අර්ථ දැක්විය හැක්කේ එයද ප්‍රබල දේශපාලනික චිත්‍රපටයක් බවය.
එහෙත් කතා නායිකාව වන ගුරුතුමිය රතු ඇඳගෙන පාසල් නොඑන බැවින්ද, දරුවන්ට පන්ති පහ ගැන කියා නොදෙන බැවින්දෝ අප රටේ විප්ලවවාදි නායකයන් කිසිවෙකුගේ හෝ අවධානය මේ වෙත යොමු වී නැත. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන්නේ මෙම කෘතියේ යටි පෙළ තුළින් මතු කෙරෙන්නේද එවැනි දේශපාලනයක් ගැන ප්‍රශ්න කිරීමක් වන හෙයිනි.

මේ කාරණා ගැන කතා කිරීමෙන් හෝ ගානා ‍පොකුණ නමැති විශිෂ්ට ළමා සිනමා පටය දේශපාලනික චිත්‍රපටයකට ලඝු කිරීමකට කිසිසේත් අදහස් නොකරමු. එකිනෙකට නොපරදින දක්ෂතාවන්ගෙන් සහ අනන්‍යතාවන්ගෙන් යුත් ළමුන් 18 දෙනෙකු මෙහෙයවමින්, ඉන්දික ෆර්නැන්ඩු කළ මෙම නිර්මාණය සඳහා අනසූයා  – ජයලත් මනෝරත්න, දයා දේව, ලූෂන්  සැනට් දික්කුඹුර ඇතුළු සියලු නළු නිළියන්ද, සංස්කරණය, කැමරාකරණය ඇතුළු සෙසු ශිල්පීන් විසින්ද ලබා දෙන ලද දායකත්වය විශිෂ්ටය. කලා අධ්‍යක්ෂණය ගැන කතා කරනවා නම් කඩයේ එල්ලනන්නට ගෙනා කෙසෙල් කැන් හොරු කපනා ආකාරයට කපා තිබුණා හැරෙන්නට වෙන කිව යුත්තක් නැති තරම්ය.

එම සියලු දෙනාගේ දායකත්වය අප දකින්නේ කලාත්මක මෙහෙවරක් තරමටම රටේ දරු පරපුර වෙනුවෙන් කළ සද්කාර්යයක් ලෙසය. ඒ සද්කාර්යය දිගටම පවත්වාගෙන යා හැක්කේ හෝ ගානා ‍පොකුණ වැනි නිර්මාණ සිඳී යාමට ඉඩ නොදීමෙනි. කොතෙක් දිරිමත් වුවත් චිත්‍රපටයේ එන අනසූයා ඉස්කෝ‍ලේ හාමිනේට හෝ ඉන්දිකලාට පමණක් එය තනිව කළ හැක්කක් නොවේ.

අවශ්‍යව ඇත්තේ පවතින දේශපාලන බලයෙන් ඇබිත්තක් නිවැරදිව ඒ සඳහා යොමු කරවීම පමණි. සිංහල සිනමාවට හැට නවය පිරෙද්දී හෝ හෝ ගානා ‍පොකුණෙන් එතෙරව අපට දිගු ගමනක යෙදිය හැක්කේ එවිටය.

මෙය, දරුවාද කිහිල්‍ලේ ගසාගෙන දෙකයි පණහේ ටෙලිනාට්‍ය බලන දෙමව්පියන්ට මඬු වලිගයෙන් තලා හෝ දරුවන් සමග බලන්නට යැවිය යුතු යැයි වගකිවයුත්තන් අවබෝධ කරගතහොත් හෝ ගානා ‍පොකුණ වැනි නිර්මාණ සිඳී යා නොදී රැකගත හැකි වනු ඇතැයි සිතමු.

තිස්ස ප්‍රේමසිරි
– Lakbima