කොළඹ මහා කොන්ක්‍රීට්‌ වනාන්තරය මැද රෑට මැවෙන ‘කැලෑ පොළ’ – Jungle market at night in Colombo

0
1572

දුරුතු මාසය නිවාඩුව ද දුරුත්තේ සීතල තවමත් පහව නොගිය සේය. හිමිදිරිය ඇඟ හීගඩු නංවන සීතලෙන් යුක්‌තය. කොළඹ අහසට හිරු නැඟෙන්නට තවත් හෝරාවක්‌ දෙකක්‌ ගතවනු ඇත. අලුයම හෙයින්දෝ බේරේවැව පාවෙන වෙළෙඳසල හැලහොල්මනක්‌ නැති අලස නිදි සුවයක වැටී ඇති සේය. එහෙත්… ඉන් මඳක්‌ ඔබ්බට වන්නට පිහිටි “කොළඹ කැලෑ පොළ” ඇවිස්‌සුණ කඩි ගුලක්‌ බඳුය. රටේ සිවුදෙසින් පැමිණි වෙළෙන්දන්ගෙන් සහ විවිධ දැ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගික ජනතාවගෙන් “කැලෑ පොළ” සහ ඒ අවට ප්‍රදේශය කාලය අලුයම වුවද බෙහෙවින් ජනාකීර්ණය.

රැය පුරා නිදිවැරූ වියපත් මවක්‌ තම වෙළෙඳාම හමාරව ඇති බැවින් වෙළෙඳාම පිණිස “කීරමිටි” අතුරා තිබූ ඉටි කොළයද දෙකට තුනට නවමින් පන් මල්ලක බහාලන්නේ හැකි ඉක්‌මනින් නැවත ගම්බිම් බලා යැම පිණිසය. පහන් වෙමින් පවතින දවස කෙළවර යළි උදාවන රාත්‍රියත් සමඟ කීරමිටි වෙළෙඳාම පිණිස නැවත කැලෑ පොළට පැමිණිය යුතුය. එය ඇයට පමණක්‌ නොව කොළඹ පිහිටි කැලෑ පොළේ වෙළෙඳාම පිණිස රටේ සිව්දෙසින් පැමිණෙන වෙළෙන්දන් වෙළෙන්දියන්ගේ අනිවාර්ය අංගයක්‌ය. එබැවින්දොa දුප්පත්කම වට්‌ටිවල තබා විකුණමින් කැලෑ පොළ තුළ රැය පුරා නිදිවැරූ බොහෝ දෙනකුගේ දැස්‌ තුළ ජීවිතේ මහන්සිය පිළිබඳ බොහෝ කතන්දර ලියවී ඇති සේය.

රස, නීරස සම සමව කලවම් ව ඇතැයි සිතෙන විවිධ පළාත්වල සිට කැලෑ පොළට වෙළෙඳාම පිණිස පැමිණෙන මිනිසුන්ගේ වගතුගත් කැලෑ පොළ පිළිබඳ මෙතෙක්‌ බොහෝ දෙනෙක්‌ නොදත් අතීත අන්දරයත් ලියා තැබීම ගමනේ අරමුණ වූ බැවින් පළමුව වෙළෙඳාම පමණක්‌ නොව කැලෑ පොළ වෙළඳුන්ගේ එකමුතුව සංවිධානයේ සභාපති තල්දූවගමගේ සුරංග (36) අදහස්‌ දක්‌වන්නට විය.

“කැලෑ පොළේ” ඉතිහාසය අවුරුදු 80 ක්‌ විතර එහාට විහිදෙනවා. ඒ කාලේ ලොකු වට්‌ටිවල තියල ඔය පොඩි පොඩි දේවල් තමයි විකුණල තියෙන්නේ. ඒ අයට කියල තියෙන්නේ “වට්‌ටි අම්මලා” කියල. මගේ ආච්චිත් එහෙම කෙනෙක්‌. ඔහොම කොළඹ තැන් තැන්වල වෙන් වෙන්ව වෙළෙඳාම් කළ ඒ අය එක තැනකට එක්‌වෙලා වෙළෙඳාම් කිරීම තමයි කැලෑ පොලේ ආරම්භය. වෙනසකට තිබිල තියෙන්නේ වරින්වර ස්‌ථානය වෙනස්‌ වීම පමණයි. මේ ස්‌ථානයේ “කැලෑ පොළ තියන්න පටන් අරන් දැන් අවුරුදු ගානක්‌ වෙනව. මේකට බොහෝ දෙනෙක්‌ “කැලෑ පොළ” කියල කියන්න පුරුදුවෙලා තියෙන්නේ ඈත ගමේ ගොඩේ හැදෙන එළවළු, පලතුරු, කීර, කොස්‌, පොළොස්‌ විකුණන හින්දයි. රට වටේම මිනිස්‌සු ඒ දේවල් විකුණගන්න ගේන්නේ මෙතැනට. යාපනයෙ ඉඳල පවා මෙතැනට බඩු ගේනව. අනික තමයි පොළ ආරම්භ කරන්නේ රෑ දොළහෙන් පස්‌සේ වීම. එතැන ඉඳල එළිය වැටෙනකම් පොළ තියෙනව. ලංකාවෙ හැදෙන ඕනම දෙයක්‌ ගන්න පුළුවන් එකම තැන මෙතැන. එහෙම එන වෙළෙන්දන්ගෙන් දවසක “පොළ කාසි” විදියට ගන්නේ රු. 10 යි. ඒ ගන්නෙත් මේ ස්‌ථානයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවලට. මොකද?…. දවල් දවසෙ මෙතැන තමයි පාවෙන වෙළෙඳසැලට එහෙම නැත්නම් මේ අවට වෙනත් රාජකාරියකට එන අයගේ වාහන නතර කරන රථගාල. උදේ නවය දහය වෙනකොට රෑ තිස්‌සේ මෙතැන වෙළෙඳපොළක්‌ තිබුණද කියල හොයාගන්නවත් බැහැ. ඒ තරම් පිරිසිදුවට තමයි මේ ස්‌ථානය පවත්වගෙන යන්නේ.

ඔහුගෙන් අසා දැන ගැනීමට බොහෝ කාරණා ඇති බැවින් පළමුව කැලෑ පොළ තුළ රැය පහන්වන ආකාරය විමසූ අතර එයට ඔහුගෙන් ලැබුණ පිළිතුර මෙබඳු විය.

“මෙහෙමයි……. වැඩිපුරම මෙතැනට බඩු අරන් එන්නේ දුර පළාත්වල මිනිස්‌සු. ඒ අය රෑ 8.00 – 9.00 වෙනකොට මෙතැනට බඩු අරන් එනව. එහෙම ආවකියල වේලපහ වෙළෙඳාම් කරන්න බෑ. පොළ ආරම්භ කරන්නෙ රෑ 12 ට විතර. මෙතැන වෙළෙඳාම් කරන පිරිස එක්‌දහස්‌ පන්සීයක්‌ විතර වෙනව. හැම දවසකම ඔය කියන පිරිසෙන් හයහත්සීයක්‌ වෙළෙඳාම පිණිස එනව. රෑ දොළහෙන් පස්‌සෙ තමයි බඩු මිලදී ගන්න පාරිභෝගිකයෝ එන්නේ. හැමදාකම වගේ රෑ දෙක තුන වෙනකොට හත්අට දාහක සෙනඟක්‌ බලාගන්න පුළුවන්. මෙතැන බොහෝ වෙලාවට බඩු විකුණන්නේ තොග මිලට. මේකෙන් වැඩිපුරම ජීවත් වෙන්නේ කොළඹ මිනිස්‌සු නෙවෙයි. ගම්බද අහිංසක දුප්පත් මිනිස්‌සු. ලංකාවෙ ඕනෑම පළාතක වැවෙන වසවිස නැති පලතුරක්‌ එළවළු ටිකක්‌ ගන්නනම් මෙතැනට එන්න වෙනව.

ඔහු පවසන දේ සැබැවින්ම සත්‍යයක්‌ය. කැලෑව තුළ ඉබේ වැවෙන ඕනෑම පලතුරක්‌, පලා වර්ගයක්‌, බෙහෙත් ඖෂධයක්‌ ආදී ඕනෑම දේකින් කැලෑ පොළ පොහොසත්ය. ඒ පිළිබඳ අසා දැන ගැනීම පිණිස රටේ විවිධ පළාත්වලින් කැලෑ පොළට පැමිණ සිටි වෙළෙන්දන් කීපදෙනකු සමඟ කතා බහ කළ අතර පළමුව ඒ සඳහා ඉදිරිපත් වූවේ ලයනල් රාජපක්‍ෂ හෙවත් චමින්දය. ඔහු ඇතුළු තවත් කීපදෙනෙක්‌ වසර 15 ක තිස්‌සේ කැලෑ පොළට කරපිංචා රැගෙන එන්නේය. ඔවුන්ගේ කතා බහ මුළුතැන්ගෙය රසින් සුවඳින් පුරවන කරපිංචා තරම් රසවත් නැත.

“අපි එන්නෙ… තඹුත්තේගම, නවගත්තේගම ආදී පළාත්වල ඉඳල. දැන් අවුරුදු ගානක පටන් රස්‌සාව විදියට කරන්නේ මේක. කරපිංච කියන්නේ වගාවක්‌ විදියට ගෙවතුවල වවන දෙයක්‌ නොවෙයිනේ. කරපිංච කපන්න නම් කැලෑවයට යන්න ඕන. ඒක වෙන්නෙ මෙහෙමයි. හයහත් දෙනෙක්‌ සමහරවිට ඊටත් වැඩි පිරිසක්‌ කැලේට යනව. උදේ 8.00 වෙද්දී ඒ අය ඉන්නේ කැලේ. ගිය හැටියෙම කරපිංච නෑ. හොයාගෙන කැලේ ඇතුළට යන්න ඕන. පොඩි වාහනයක්‌ අරන් ඒකෙන් පුළුවන්තරම් දුර ගිහින් හෙවණක වාහනය නතර කරල ඉතිරි දුර යන්නෙ පයින්. ඒව අලි කොටි ඉන්න වනාන්තර. ඒ මදිවට මරු වැල්. මේ හැම දේකින්ම බේරිල කිලෝ මීටර් දහය පහළොව කැලේ ඇතුළට ගිහින් කරපිංච කපන දවස්‌ තියෙනවා. එහෙ අරන් එන කරපිංච කැලේ ඇතුළෙම කිරුම් බරට විකුණනව. කිලෝ එකකට ගෙවන්නෙ රුපියල් විස්‌සයි. එහෙම එකතු කරන කරපිංච ටික අරන් ඊළඟට යන්නෙ වැවකට. ඒ ගිහින් හෝදල කාරිය හමාර කරල මිටි බඳිනව. ඊට පස්‌සේ තමයි කැලෙන් එළියට එන්නෙ. ඊටත් පස්‌සෙ තමයි කොළඹ එන්න පිටත් වෙන්නෙ. මේක හැම දවසකම වෙන වැඩක්‌. රෑ හත අට වෙනකොට අපි කොළඹ. ඒ ඇවිත් වෙළෙඳාම් කරල අපේ පැත්තෙ නැති දේවල් මෙතැනින් අරගෙන ආපහු යනව. දෙයියනේ කියල හැම දවසකම කරපිංච කිලෝ හාර පන්සීයක්‌ ඊට අමතරව ගං එළවළු, දෙහි, දොඩම්, අඟුන ඉරමුසු, පොල්පලා, රණවරා, කෙකටිය, කොළඹට විකුණල හොයා ගන්න මුදලින් නවගත්තේගම, තඹුත්තේගම ආදී පැත්තෙ ඉඳලා එන හැට හැත්තෑ දෙනෙක්‌ කාටවත් අතනොපා ජීවත් වෙනව.”

ඔහුත් සමඟින් කතාබහ සිදුකළ තැනට මඳක්‌ දකුණු පසට වන්නට කැලෑ පොළ පිහිටි භූමිය මුළුමනින්ම වෙන්ව ඇත්තේ තැඹිලි වෙළෙඳාම පිණිසය.

එම ස්‌ථානයේ ගොඩගසා ඇති තැඹිලි ගෙඩි සංඛ්‍යාව දස දහස්‌ ගණනක්‌ වුවද, රාත්‍රිය නිමාවත් සමඟ ඒවාට වූ දෙයක්‌ නැති තරම්ය. කැලෑ පොළ වෙත බහුලව තැඹිලි පැමිණෙන ප්‍රදේශ ලෙස ප්‍රකටව ඇත්තෙ කළුතර, හොරණ, අවිස්‌සාවේල්ල පූගොඩ ආදී ප්‍රදේශයන්ය. ඒ පළාතේ සිට කැලෑ පොළට රැගෙන එන තැඹිලි සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්‌ රෑට ලොරි රථ මගින් රැගෙන එන තැඹිලි පොළ භූමියේදී ගෙඩිවල ප්‍රමාණයන් අනුව වෙන් කරන අතර ඒවා අලෙවි වන්නේ විවිධ මිල ගණන් යටතේය.

වසර 30 ක්‌ තිස්‌සේ තැඹිලි වෙළෙඳාම තුළින් ජීවිතය සරිකරගත් පූගොඩ පදිංචි සීලවතී (අවු. 75) තැඹිලි වෙළෙඳාමෙන් ලද අත්දැකීම් මෙසේ හෙළි කර සිටියාය.

මගේ ජීවිතෙන් භාගයකට ආසන්න කාලයක රස්‌සාව විදියට කළේ තැඹිලි විකුණන එක. රටේ තියෙන තැඹිලිවලින් වැඩි කොටසක්‌ එන්නේ මෙතැනට. මෙතැනදී වෙන්නේ එහෙම ගේන තැඹිලි තොග මිලට විකුණන එක. තොගමිලට අරන් කීයක්‌ හරි තියාගෙන මෙතැනම ඒව විකුණන පිරිසකුත් ඉන්නවා. ඊට අමතරව කරත්තවල තියන් කොළඹ තැඹිලි කපන හුඟ දෙනෙක්‌ තමන්ට ඕන තැඹිලි ගන්න එන්නේ මෙතැනට. එක කරත්තයකට තැඹිලි ගෙඩි දෙසීයක්‌ දෙසීය පනහක්‌ වගේ ප්‍රමාණයක්‌ ගන්නව. පාන්දර දෙක තුන වෙනකොට තැඹිලි ගෙනියන්න එන කරත්ත හැට හැත්තෑවක්‌ මෙතැන තියෙනව. ඒව තමයි කොළඹ තැන් තැන්වලදී දවල් දවසෙ විකුණන්නෙ. රුපියල් පහළොවේ ඉඳල විස්‌ස විසිපහ වගේ ඉඳලම මෙතැනම තොගයට දෙන්න පුළුවන්. මං විතරක්‌ නෙමෙයි මගේ දරුවොත් රස්‌සාව විදියට කරන්නෙ කැලෑ පොළේ තැඹිලි විකුණන එක.

පූගොඩ සීලවතී කැලෑ පොළ තුළ තැඹිලි විකුණන එක්‌ වෙළෙන්දියක්‌ පමණිය. ඇගේ දරු මුණුපුරන් පවා ජීවිකාව ලෙස තෝරාගන ඇත්තේ ඇය විසින් දීර්ඝ කාලයක සිට කරගෙන එනු ලබන තැඹිලි විකිණීමේ වෙළෙඳාමය. මෙලෙස රටේ නන්දෙසින් කැලෑ පොළ වෙත තැඹිලි රැගෙන එන වෙළෙඳුන්ගේ සංඛ්‍යාව දෙතුන් සියයකින් යුක්‌තය.

මේ ආකාරයට නැතැයි කීමට කිසිවක්‌ නැති කැලෑ පොළ තූළ නැත්තේ මස්‌ සහ මාළු පමණය. ඒ හැර ගමේ ගොඩේ හැදෙන ඕනෑම දෙයක්‌ මිලට ගත හැකි ප්‍රධානම ස්‌ථානයක්‌ වන්නේ කැලෑවක්‌ පෙනෙන තෙක්‌ මානයක නැති කොළඹ කැළෑ පොළ තුළදී පමණය. කැලෑ පොළ වෙත කොස්‌ පොළොස්‌ බහුලව රැගෙන එන ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකටව ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයය. එසේ ගෙනෙනු ලබන කොස්‌ තොගයම මිලට ගෙන එම ස්‌ථානයේදීම ඒවා සිල්ලර මිල ගණන් යටතේ අලෙවි කරන අයි. ඡේ. කුසුමාවතී කැලෑ පොළ තුළින් ජීවිතය සොයාගන්නා අයුරු හෙළි කරන්නට විය.

“මං දවසකට කොස්‌ ගෙඩි විසිපහක්‌ විතර මිලට අරන් ඒවා සුද්ද පවිත්‍ර කරල මෙතනම විකුණනව. මේ දවස්‌වල කොස්‌ ගෙඩියක්‌ මිලට ගන්නේ රු. 150 ක වගේ මිලකට. කොස්‌ හිඟ කාලෙට මේ මිල ගණන් ඉහළ යනව. ඒ කාලෙට රෑ 10 වෙනකොට කැලෑ පොළට එන්න ඕන. මොකද වේලාසන ආවේ නැත්නම් බඩු ගන්න බැරි වෙනව. නැත්නම් කැලෑ පොළට අපි එන්නෙ රෑ 1 ට විතර. ඒ ඇවිත් පාන්දර වෙද්දී මෙතන කොස්‌ගෙඩි විස්‌සක්‌ විසිපහක්‌ විකුණගෙන පාන්දරින්ම ආපහු ගෙවල්වලටත් යනව. මේ වෙළෙඳාමේදී නිදි මරන්න සිද්ධ වුණාට අපිට දවල් දවස ඉතුරු වෙනව. මේ වෙද්දී වසවිස නැති හින්ද කොස්‌වලට හොඳ ඉල්ලුමක්‌ තියෙනවා.

කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ මැද පිහිටි කැලෑ පොළත් ඒ ආශ්‍රිත ජීවිකාවේ නිරත වන දහස්‌ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවලින් හරි අඩක්‌ පමණ ගෙවී ඇත්තේ රාත්‍රී කළුවර මැදය. කැලෑ පොළ වෙත බඩු මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලොරි රථ ත්‍රීවීල් රථ විශාල ප්‍රමාණයක්‌ අවට ඇති අතර ත්‍රීවීල් රථ රියෑදුරෙක්‌ වන ජනක තමන් නියුතු රැකියාව පිළිබඳවත් කැලෑ පොළ තුළ සිදුවන දේ පිළිබඳවත් තොරතුරු පවසන්නට විය. එය කැලෑ පොළ පිළිබඳ පොදු ප්‍රකාශයක්‌ බඳුය.

“මං මෙතැත ත්‍රීවීල් රස්‌සාව කරන්න පටන් අරන් අවුරුදු 8 ක්‌ විතර වෙනවා. දෙයියනේ කියලා දවසට රුපියල් දෙතුන් දාහක්‌ හොයාගෙන කාටවත් අත නොපා ජීවත්වෙන්නෙ කැලෑ පොළට පින් සිද්ධ වෙන්න. රටේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර එන වෙළෙන්දන්ගෙන් තමයි කැලෑ පොළ පවත්වාගෙන යන්නේ. රම්පෙ, සේර ටික එන්නේ හංවැල්ල, කිරිඳිවැල පැත්තෙන්. ගොනිකා, තෙබු, හීන්බෝවිටිය කලවම්පලා, බටු ආදිය මතුගම පැත්තෙන්. වෙරළු තියෙන කාලෙට ඒව ගේන්නේ ගාල්ල, නෙළුව පැත්තෙන්. අනෝදා, ගඩුගුඩා, පෙයාස්‌ වගේ දේවල් තවත් පළාතකින්. ඔය වගේ මුළු රටේම එකතුවක්‌ මෙතැනි තියෙනවා. අපි හිතමු ගාල්ල පැත්තේ නැති බෙහෙත් ඖෂධයක්‌ එහෙම නැත්නම් වෙනත් දෙයක්‌ අනුරාධපුරයේ තියෙනවා. ඒක ගෙන්න ගන්න ඕනනම් මෙතැනිට ඇවිත් ඒ වුවමනාව ඉටුකර ගන්න පුළුවන්. අනුරාධපුරේ ඉඳලා මෙතැනට වෙළෙඳාමට එන කෙනෙකුට කිව්වම ඒ දේ ගෙනත් දෙනවා. වැව් කරවල ටිකක්‌ බෙහෙතකට, පූජාවකට ඕන කරන නෙලුම් මල්, නෙලුම් අල ඔය හැම දෙයක්‌ම මෙතැන තියෙනවා. උදේට ඉස්‌කෝල ගේට්‌ටු ගාව විකුණන වෙරළු, ලොවි, කටුලොවි, අඹ, පේර, ඒ අය ගෙනියන්නේ කැලෑ පොලෙන්. පලා මිටියක්‌ ගත්තත් සාමාන්‍ය වෙළෙඳපළට වඩා තුනෙන් එකක්‌ අඩුවට මෙතැනි අලෙවි කරනවා. ඊට අමතරව බෙහෙත් ගහපු නැති කෙසෙල් ටිකක්‌ ගස්‌ලබු ගෙඩියක්‌ වුණත් සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙන්නේ මෙතැනින්. කොළඹ මැනිං මාර්කට්‌ එක පෙනෙන දුරින් තියෙන කැලෑ පොළ ආරම්භ කරන්නේ රාත්‍රියේ හින්ද රටේ හුඟ දෙනෙක්‌ මේ පිළිබඳව නොදැනුවත් හින්ද මේ පිළිබඳ දැනුවත් කිරීම අගය කළ යුත්තක්‌.

කැලෑ පොළ තුළ වෙළෙඳාමේ යෙදෙන්නන් මුහුණ දෙන පොදු ගැටලු කීපයක්‌ ද වන අතර ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ වැසිකිළි, කැසිකිළි පහසුකම් කිසිවක්‌ ඔවුන්ට නොතිබීමය.

ඒ සඳහා ඔවුන් පාවෙන වෙළෙඳසැල පිහිටි ප්‍රදේශය වෙත යා යුතුය. වයස අවුරුදු අසූව අනූව අවදියේ පසුවන වියපත් මවුවරුන් තවමත් මෙම ස්‌ථානයේ වෙළෙඳාමේ නිරතවන අතර ඔවුන්ටද ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති වීමය. එයට විසඳුමක්‌ ලෙස බොහෝ දෙනෙක්‌ ඉල්ලා සිටියේ රජයට බරක්‌ නොමවෙමින් ජීවිකාව පවත්වාගෙන යන ඔවුන් වෙත රජයේ අවධානය යොමු විය යුතු බවය. වරින්වර තැනින් තැනට යන කැලෑ පොළ පවත්වාගෙන යැම සඳහා ස්‌ථිsර ස්‌ථානයක්‌ ලබා දෙන්නේ නම් එය දහස්‌ සංඛ්‍යාත වෙළෙඳුන් වෙනුවෙන් සිදු කරන මහඟු මෙහෙවරක්‌ බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

කැලෑ පොළ තුළ සිදුවන දැ දකිමින් ගතකළ කාලය තරමක්‌ වියකෙමින් තිබුණ අතර උස්‌ ගොඩනැඟිලි අස්‌සෙන් උදෑසන හිරුරැස්‌ විහිදුවන මොහොත උදාවී ඇත. පිරිසක්‌ තැන්තැන්වල ගොඩගැසී ඇති කසළ ගොඩවල් කුණු බක්‌කිවලට දමමින් අවට පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත වෙමින්ය. ඒ සඳහා කොළඹ නගර සභාවේ කම්රකැවන්ට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනකු පත්කර ඇත. වෙළෙඳුන්ගෙන් ලබාගන්නා රුපියල් 10 ය ඔවුන්ගේ වැටුප් ගෙවීම පිණිසය. රාත්‍රිය පුරා නිදිවැරූ ඇස්‌වලට නින්ද ළඟා වන්නෙ හිරු නැඟීමත් සමග බැවින් ඔවුන් තව දුරටත් වෙහෙසට පත් නොකළ යුතුය.

අපි වෙන්ව ආවෙමු.

රුවන් ජයවර්ධන
Divaina