වැලන්ටයින් දිනය සිහිගන්වන පැරණි ලක්දිව රාජ්‍ය කාමෝත්සව – Valentine’s Day in ancient Sri Lanka

0
1089

තවත් පෙම්වතුන්ගේ දිනයක් හෙවත් වැලන්ටයින් දිනයක් පැමිණ තිබේ.මීට දශක කිහිපයකට පෙර අපගේ සමාජය තුළ කිසියම් ඇගැයුමකට තබා දැන හැඳුනුමකටවත් පත්ව නොතිබූ මෙම වැලන්ටයින් දිනය හිටිහැටියේ අප ජන සමාජය මතට ‘පතිත වූයේ’ පවතින ආර්ථිකය අනවශ්‍ය ලෙස ඔඩු දිවීමේ රෝග ලක්ෂණයක් වන අධි පරිභෝජන වාදයේ අනිටු ඵලයක් ලෙසිනි.

වැලන්ටයින් දිනය නමින් හැඳින්වෙන මෙම පෙම්වතුන්ගේ දිනයට මුල්වී ඇත්තේ කිතුනු සාන්තුවරයෙකු පිළිබඳ පුරාණෝක්තියකි. එහෙත්, එවැනි සාන්තුවරයකු පිළිබඳ කිසිදු සඳහනක් කිතුනු සාන්තුවර නාමාවලියේ කොතැනකවත් නැත. ලිංගිකත්වය මුල් කොට ගත් යොවුන් ආදරය, සෙනෙහස යනු භාවමය පසුබිමක් හටගන්නකි. එබැවින්, මෙලෙස ව්‍යාජ ආගමික ‘ඇමක්’ යොදා යොවුන් පරපුරේ භාවයන් කුළුගැන්වීම මගින් ඔවුන් පාරිභෝගිකත්වයෙහි නතු කර ගැනීම මෙම වැලන්ටයින් දිනය පිළිබඳ කටුක සත්‍යය බව කිව යුතු ය. කොටින්ම කිවහොත් වැලන්ටයින් දින සැමරුම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙළෙඳ මගඩියකි.

තත්ත්වය මෙසේ වුවද කාමෝත්සව අප පැරණි ජන සමාජයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ජන ඇදහිලි සහ ජන ක්‍රීඩා වශයෙන් හැඳින්වෙන සාමූහික ක්‍රියාකාරකම්වල යම් යම් ලිංගිකත්ව ලක්ෂණ තිබූ අතර රටේ පාලකයන් සහ සාමාන්‍ය ජනතාව එක් කරන රාජ්‍ය කාමෝත්සව පවා පැරණි භාරතයේ මෙන්ම අප රටේද දක්නට ලැබිණ.
ගිරග්ග සමජ්ජ යනු බුද්ධ කාලීන ඉන්දියාවේ පවා පර්වතාශ්‍රිතව පැවැති එවැනි දැවැන්ත කාමෝත්සවයකි. මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ද මීට අතිශයින් සමාන කාමෝත්සවයක් පැවැති බව පෙනෙයි. අනුරාධපුර රාජධානියට අයත් විශිෂ්ටතම ස්වභාවික භූ නිර්මාණයක් වන මිහින්තලය ශ්‍රී ලංකාවේ පැවැත්වුණු මෙම සැණකෙළිය සඳහා තෝරා ගැනුණු බවට ඓතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ.

මෙම ගිරග්ග යන්නෙහි ගිරි+අග හෙවත් පර්වත මුදුන නැතහොත් පර්වත කෙළවර, පර්වත පාමුල යන අදහස පළ වේ. සමජ්ජ යන්නෙන් පැවැසෙනුයේ සමාජයීය එකමුතුව වැනි අදහසකි. ඒ කෙසේ හෝ අතීතයේ ඉන්දියාවේ පැවැති මෙම සුවිශේෂී සැණකෙළිය පිළිබඳ තොරතුරු ත්‍රිපිටක මූලාශ්‍රයන්ගෙන් පවා ලබා ගත හැක.
බුද්ධ කාලයේ පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම්, කඩු ශිල්ප, චිත්‍ර ශිල්ප, මල්ලව ‍පොර, සරඹ ක්‍රීඩා, ඇත් ‍පොර, එළු ‍පොර, දාදු ක්‍රීඩා, ඉන්ද්‍රජාලා, බිලි පූජා ආදියෙන් සමන්විත ආහාරපාන ඇතුළු ලෞකිකත්වයට අවශ්‍ය සෙසු සියලු අවශ්‍යතා සපුරාලන උත්සවයක් සේ හැඳින්විණ.

ත්‍රිපිටක මූලාශ්‍රවලට අනුව බුදුන් වහන්සේගේ අග සව්වන් වන සැරියුත් මුගලන් මහ තෙරවරුන් කෝලිත, උපතිස්ස නම් වන ගිහි කල ද ගජ මිතුරු දෙපළකි. බුද්ධ කාලයේ රජගහනුවර පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළියට සහභාගි වන ඔවුහු එහි ඇති අගතිගාමීත්වය දැක සසර කලකිරෙති. ඒ අනුව වුව අපට යම් අනුමානයකට පිවිසිය හැක්කේ මෙම ගිරග්ග සමජ්ජ කාමෝත්සවය එවක ජන සමාජයට ‘ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමට’ දී තිබූ එක්තරා අවස්ථාවක් බවය.
ඒ කෙසේ හෝ පසුකාලීනව මේ තත්ත්වය කෙතරම් අගතිගාමී අයුරින් ඉස්මතු වී ද යත් භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයාට (ක්‍රි.පූ. 268-232) මෙවන් අගතිගාමී සමාජ සැණකෙළි නතර කරන මෙන් ආඥා පැනවීමට පවා සිදුවී ඇත.

එතුමන් විසින් පිහිටුවන ලද පළමු ගිරි ලිපියෙහි ‘න ච සමාජ කතවේ‍යා්’ යනුවෙන් ‘සමාජ කර්තව්‍යයන් නොකළ යුතු ය’ යනුවෙන් සඳහන් වෙතත් එලෙස නතර කළ යුත්තේ මෙබඳු නිසරු සැණකෙළි පමණක් බව ද පැහැදිලි ය. වත්මන් සමාජයෙහි වුව ‘සමාජ’ යනුවෙන් පුළුල් අරුතක් පළවන මුත් ඊට ‘ශාලා’ යන්න එක්වීමත් සමග එක් නිශ්චිත අරුතක් පමණක් ගම්‍ය වන බව මෙහිදී සිහිගැන්විය යුතුය. ඒ අනුව අශෝක අධිරාජයා විසින් සමාජමය කටයුතු (සමාජ කටයුතු) නොකළ යුතු බවට ආඥා පනවා ඇත්තේ මෙම ‘එළිමහන් සමාජ ශාලා’ පැවැත්වීමෙන් සමාජයට සිදුවන අවැඩ මනාව වටහා ගැනීමෙන් පසුව විය යුතුය. ඒ කෙසේ හෝ ඊට පසුව අප රටේ පැවැති විවිධ කාමෝත්සව පිළිබඳ ඓතිහාසික තොරතුරු දුලබ නොවේ.

බක් මාසයේ නව සඳ බැලීමෙන් හිමි වන සැප සම්පත් අතරට ස්ත්‍රී සැපය ද අයත් බවට වර්තමානයේ ද යම් පිළිගැනීමක් තිබේ. එමෙන්ම නව සියවසේදී පමණ ලියැවුණු බව සැලකෙන සීගිරි ගීයකින් මෙම නවසඳ බැලීමේ ප්‍රතිඵල පිළිබඳව පැවසෙයි. සීගිරිය නැරඹීමට පැමිණි තරුණයකු විසින් එහි කැටපත් පවුරේ ලියා ඇති මතු කුරුටු ගීයෙන් පළවනුයේ නව සඳ බැලීම මගින් තමන් දැන් ස්ත්‍රී සැප ලැබිමට සුදුසුකම් ලබා ඇති බවකි.
අඟනිනි අත් සලව් මෙගී ‍පොහොන්නෙක් නැතිද නව බග් ළසන්ද දුම් මිනිසක්හු නොවජන්නෙයි
මෙහි සාමාන්‍ය අරුත වනුයේ ‘කාන්තාවෙනි, අත් සලවු. (අත් වනව්) මාගේ මේ ගීය අගයන්නකු නැති වෙතත්, බක් මාසයෙහි නව සඳ දැක පැමිණි තරුණයකු (වන මා) නොසලකා හරින්න එපා.

බක් මාසයෙහි නව සඳ – එනම් බක් මස නව සඳ දුටු තරුණයකු කාන්තාවන්ගේ සමාගමට විශේෂයෙන් සුදුසු වෙතැයි යන අදහස මේ ගීය රචිත නව වැනි සියවසේ දී මෙරට පැවැතුණු බවක් පවසන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් වැඩිදුරටත් පවසනුයේ එමගි න් එම කාලයේ මෙහි පැවැති කාමෝත්සවයක් පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබාදෙන බව ය.

ශ්‍රී ලංකාවේ පැවැති පංචකාම සම්පත් භුක්තිවිඳීම මුල් කොට ගත් මෙම සැණකෙළි සම්ප්‍රදාය දොළොස්වන සියවසෙන් ඇරැඹි ‍පොළොන්නරු යුගයේදී පවා පැවැති බවට ඓතිහාසික සාක්ෂි වංශ කතා මූලාශ්‍ර වලින් පැහැදිලි වෙයි. වසන්ත ඛීල හෙවත් සමයුස්සව නම් වන සැණකෙළියක් පිළිබඳව මහාවංශයේ හැටහතර වන පරිච්ජේදයේ 9-14 ගාථා පාඨයන්ගෙන් ප්‍රකාශ වීම ඊට හොඳම නිදසුනකි. එහි පැවැසෙනුයේ ‍පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා ළමා කාලයේ තමන්ගේ (සුළු) පියා වන කීර්ති ශ්‍රී මේඝ (උප) රජු සමග සංඛ නම් සෙන්පතියා වෙසෙන ‘බදලත්ථලී’ නම් ග්‍රාමයට පැමිණීමක් පිළිබඳව ය. එම ගමෙහි දින කිහිපයක් ගත කරන කීර්ති ශ්‍රී මේඝ රජු සංඛ සෙනෙවියා අමතා මෙසේ කියයි.

දැන් මගේ පුතා තරුණයෙක්. රජකම ලැබිමට සුදුසුයි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය මඟුල් උපකරණ සූදානම් කරන්න.
මේ ඇසූ සංඛ සෙනෙවියා සියලු මඟුල් උපකරණ සැපයූ අතර රජතුමා තුන් දවසක් තෙරුවන්ට මල් පහන් පුදා වේද පරප්‍රාප්ත බමුණන්ගේ උපදෙස් මත තේජාන්විතව ඒ මංගල්‍ය කටයුතු නිමකොට ඉන් අනතුරුව පැරකුම් කුමරුන් හා ‘වසන්ත ක්‍රීඩාවේ’ යෙදුණු බව එහි සඳහන්ය. සෘතු භේදයක් දක්නට නොලැබෙන ශ්‍රී ලංකාවේ පැවැති මෙම ‘වසන්ත ඛීල’ සැණකෙළිය භාරතීය සංස්කෘතියෙන් අපට උරුම කම්සැප මුල්කොට ගත් එකක් බව පැහැදිලි ය.
දඹදෙණි යුගයේ (ක්‍රි.ව. ක්‍රි.ව. 1220-1345) ලියැවුණු පූජාවලියෙන් ද මෙවන් කාමෝත්සවයක් පිළිබඳ වටිනා තොරතුරු රැසක් හමුවෙයි. ඉන් පැවසෙනුයේ මෙම උත්සවයේදී එකල නිවෙස් තුළටම සිරවී සිටි කතුන්ට පෙර නොවූ විරූ නිදහසක් ලැබි එක්තරා සීමිත අන්දමකින් ඔවුන් ‘ජනතාකරණයට’ ලක්වූ බව ය. ඒ බව පැවසෙන පූජාවලි පාඨය මෙසේය.

එදා මතු මාලෙන් යටි මාලයට නොබස්නා යටි මාලෙන් එළිපත පැන පිටට නොයන කුල ස්ත්‍රී තම තමන්ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමග සියලු සතුන්ටම පෙනි පෙනී උයන්, ‍පොකුණු ගම්තොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදින්නාහු ය. එදවස් රජ, බමුණු, වෙළෙඳ, ගොවි සිව් කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාල පුරුෂයෝ අද අප හා සමාන කුල ඇති උත්තම ස්ත්‍රීන් සිත්සේ බලම්හයි වුව ද මලකුදු ගෙන ඒ ඒ සන්ධියෙහි සිටගෙන කැමති කැමති කුල ස්ත්‍රීන් කරට මල් දම් දම දමා සිත්සේ කෙළින්නාහුය.
පූජාවලිය මගින් එලෙස රචනා වී ඇත්තේ බුද්ධ කාලීන භාරතයේ කතා ප්‍රවෘත්තියකි. එහෙත්, එමගින් ග්‍රන්ථය ලියූ සමයේ සමකාලීන තොරතුරු නොපැවැසෙතැයි කිව නොහැක.

පන්සිය පනස් ජාතක ‍පොතේ එන උන්මාදන්තී ජාතකයට අනුව පැරණි භාරතයේ ඉල් මාසයේ පැවැති නක්ෂත්‍ර ක්‍රීඩාවක් හෙවත් නැකත් කෙළියක් පිළිබඳව සඳහන් ය. එහිදී වීදි සංචාරය කරන රජතුමන් හට නගරයේ කුල ස්ත්‍රීන් විසින් මල් ඉසීමේ චාරිත්‍රයක් තිබූ බව පැවැසෙයි. එම ජාතකයෙහි සඳහන් අන්දමට අරිෂ්ට නුවර අභිපාරක නම් සෙන්පතියාගේ බිරිඳ වන උන්මාදන්තිය සිව් මැදුරු කවුළුව සමීපයේ සිට තමන්ට මල් ඉසිනු දැකීමෙන් සිවි රජතුමන් කාමයෙන් සිහිමුලාවට පත්වෙයි. නක්ෂත්‍ර ක්‍රීඩාවක් සේ සැලකුණු මෙය සැබැවින්ම කාමෝත්සවයක් බවට එය ද සාධාරණ අනුමානයකි.

ඉල් මාසයේ පැවැති බව පැවැසෙන කාර්තික උත්සව යනු ද පුරාණ භාරතයෙන් ශ්‍රී ලංකාවට දායාද වූ කාමෝත්සවයකි. මෙහිදී කැති නැකතේ සිට රෙහෙණ නැකත වෙත චන්ද්‍රයා සපැමිණ ඉල් පුර පසළොස්වක දින පදනම් කරගනිමින් පුරාණ භාරතයේ මෙම කාර්තිකෝත්සවය පැවැති බව අනුමාන කළ හැක. මෙහි සඳහන් රෙහෙණ හෙවත් රෝහිණිය චන්ද්‍රගේ භාර්යාවය. චන්ද්‍ර ඇය හා රමණයට එක්වීම කාර්තික මාසයේ නැතහොත් ඉල් පුර ‍පෝදා සිදුවීම මත එදින රාත්‍රිය කාම උත්සව සඳහා යොදාගන්නට ඇත. ඒ අනුව මෙම කාර්තික උත්සව මුලදී ලෞකිකත්වයට පදනම් වූ කාමෝත්සව ස්වරූපයෙන් පැවැති බව පෙනෙයි.

පුරාණයේ දඹදිව පැවැති මෙම කාර්තික උත්සව පිළිබඳව පන්සිය පනස් ජාතක ‍පොතේ ද සඳහන් වෙයි. එහි කුරුධර්ම ජාතකයේ දැක්වෙන පරිදි එදවස අප මහා බෝසතාණෝ කුරු රට, ඉඳිපත් නුවර රජ කරන සමයේ පෙර සිරිත් අනුව කාර්තික උත්සවයකට සහභාගි වී තිබේ. එහිදී ‘විත්තරාජ’ සමග ‍පොකුණු තෙරක සිට සිව්දෙසට විදින හී සර සතරකින් එකක් තමන් නොදැනුවත්ව එම ‍පොකුණේ සිටි මත්ස්‍යයකුට වදින්නට ඇතැයි සිතූ රජතුමා තමන් රකින කුරු ධර්මය පිළිබඳව සැක උපදවා ගත් බව එම ජාතකයෙහි සඳහන් ය. මෙහිදී මෙම සිව් දෙසට හීතල විදීමේ චාරිත්‍රය අනංගයාගේ මල් හී සර සංකේතවත් කෙරෙන අභිචාරාත්මක කාමාරාධනයක් බව නිසැක ය.
මෙහිදී මහාවංශයේ දසවන පරිච්ජේදයේ 87-88 ගාථා පාඨවලින් පැවැසෙන නැකත් කෙළි දිනවලදී’ ‘පණ්ඩුකාභය රජ තෙමේ චිත්තරාජ සමඟ සම අස්නෙහි හිඳ දෙව් මිනිස් නැටුම් කරවමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී’ යන පාඨය ද අපගේ සිහියට නැංවෙයි.

එහිදී දැක්වෙන චිත්තරාජ යනු කුරුධර්ම ජාතකයේ සඳහන් චිත්තරාජ හෙවත් අනංග සංකල්පයම නම් ක්‍රි.පූර්ව හතරවන සියවසේ පණ්ඩුකාභය රජු දවස ද මෙරට රාජ්‍ය මට්ටමේ කාමෝත්සවයක් පැවැති බව පිළිගැනීමට අපට සිදුවෙයි. එහෙත්, පසුකාලීනව මෙම කාමෝත්සවය බෞද්ධ ආගමික උත්සවයක් බවට පත්වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ.

කුරුණෑගල යුගයේ (ක්‍රි.ව. 1326-1335) ලියැවුණු පන්සිය පනස් ජාතක ‍පොතේ සේම දඹදෙණි යුගයේ ලියැවුණු සද්ධර්ම රත්නාවලිය සහ දළදා සිරිත යන කෘතීන්වල ද මෙම කාර්තික උත්සවය පිළිබඳව සඳහන් වෙයි. දළදා සිරිතෙහි ඒ පිළිබඳව සඳහන් වනුයේ කාන්තියේ රජ දරුවන්ට පඬුරු පානා නොයෙක් ධුරයෙන් පළමුවැ දළදා පඬුරු පෑ පසුව රජ දරුවන්ට පඬුරු පානා ඉසා යනුවෙනි. මින් පැවැසෙනුයේ කාර්තික මංගල්‍යයේදී රජවරුන්ට පුද පඬුරු ප්‍රදානය කිරීමට පෙර දළදා වහන්සේට පුද පූජා පැවැත්විය යුතු බවකි. ඒ කෙසේ හෝ මහනුවර යුගය පමණ වනවිට මෙය දළදා උත්සවයක් මුල්කොට ගත් ලෙසට විකාශනය වී තිබේ. ඒ අනුව අද වන විට මෙරටින් රාජ්‍ය මට්ටමේ කාමෝත්සව අතුරුන්දවී ඇති මුත් ව්‍යාපාරික ප්‍රජාව විසින් යළි ඒවා ඇරඹීමට දරන ආයාසය මෙම වැලන්ටයින් උත්සව සැණකෙළි ආදියෙන් මනාව ප්‍රදර්ශනය වෙයි.