යලට මහට දෙකටම මෝල්ලුය – Rice cultivation in Sri Lanka

0
761

වාසනාවකට මෙන් රටේ ජනතාව තවමත් තණකොළ සහ පුන්නක්‌කු බුදින්නේ නැත. එහෙත් ඒ දෙකම තුන් වේලටම කන පිරිසක්‌ සිතා සිටින්නේ ජනතාව ආහාරයට ගන්නේ ද ඒවා බවය. හාල් සම්බන්ධයෙන් නරකම පන්නයේ ආරංචි විටින් විට වාර්තා වන විට අපට සිතෙන්නේ එහෙමය. රජයේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු අයගේ “කෑම” ගැන අපට ප්‍රශ්න මතුවන්නේ එහෙයිනි.

පසුගිය යල කන්නයේ වී ගබඩා හිස්‌ කිරීම. ආණ්‌ඩුවේ උදවියට තවමත් හැකියාව ලැබී නැත. දැන් මේ වන විට මහ කන්නයේ අස්‌වනු නෙළීම ද ආරම්භ වී තිබේ. අපි මේ ගැන මීට පෙර ද අවධාරණය කළ බව සිහිපත් කරනු කැමැත්තෙමු. යල කන්නයේ සහල් ගබඩාවල තිබියදීම මහ කන්නය ආරම්භ වන විටම සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය, එක්‌සත් සහල් නිපදවන්නන්ගේ සංගමය, සුළු සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය ඒකාබද්ධව දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලට අනුව වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තුනක්‌ සහල් මෝල් හිමියන්ට ලබාදී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. එයින් රජයට සිදුවන පාඩුව ලක්‍ෂ දස දහසකට වැඩිය. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අය පවසන්නේ මෙම ගනුදෙනුව මහා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිප දෙනකු සමග සිදුකර තිබෙන බවයි.

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කරන ලද සාධාරණ යෝජනාවකට ගරු ඇමැතිවරයා එතරම් කැමැත්තක්‌ දක්‌වා නැත. බැලූ බැල්මට එම යෝජනාව සාධාරණ එකකි. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කියන්නේ “කෙටුම්” ගාස්‌තුව කපාහැර වී තොග සහල් කිරීම සඳහා ලබාදෙන ලෙසය. එමෙන්ම වී සහල් හුවමාරු ගනුදෙනුවක්‌ද යෝජනා වී තිබේ. වී කිලෝ සියයකින් සාමාන්‍ය සහල් කිලෝ හැටපහක්‌ නිෂ්පාදනය කළ හැකි බව කියති. එම ගනුදෙනුව ආණ්‌ඩුවටත්, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් ප්‍රතිඵලදායක වුවද එයද ඇමැතිවරයා ප්‍රතික්‌ෂේප කර තිබේ. ඊට හේතු ලෙස දක්‌වා තිබෙන්නේ එම මෝල් හිමියන් පෙර රජය සමයේ නිසි ලෙස ගනුදෙනුව පවත්වාගෙන නොගිය බවය.

මේ කතාබහ කවරක්‌ වුවද අවසානයේ කුඩා මෝල් හිමියන්ගේ සිට වී ගොවියා දක්‌වා පිරිසට බරපතළ අසාධාරණයක්‌ “සිදුවීමට නියමිත” බව පෙනේ. “හාල් මාµsයාව” ගැන මැතිවරණ වේදිකාවල පට්‌ට ගැසූ ආණ්‌ඩුවකටද ඊට නිසි පිළියම් යෙදීමට නොහැකි වී ඇති බවක්‌ පෙනේ.

රටේ වාර්ෂික වී නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 65 කි. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිහක්‌ද, මහ කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිස්‌ පහක්‌ද ලෙසය. ඇත්ත වශයෙන්ම රජය මෙයිsන් මිලදී ගන්නේ සියයට පහක තරම් ප්‍රමාණයකි. වැඩිම වුණොත් එය සියයට පහක තරම් ප්‍රමාණයක්‌ වේ. රටේ නිෂ්පාදිත වී අස්‌වැන්නෙන් ඉතිරි සියයට 94 ත් 95 ත් අතර ප්‍රමාණය මිලදී ගන්නේ පුද්ගලික අංශයයි. පුද්ගලික අංශය වී මිලදී ගන්නා විට වී ගොවියාටත්, ඊට පසුව පාරිභෝගිකයාටත් දෙවියන්ගේම පිහිට බව වත්මන් සහල් මිල අපූරුවට පෙන්වා දේ.

වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තුනක්‌ ටෙන්ඩර් කැඳවීමකින් තොරවම සහල් මෝල් හිමියන්ට ලබාදී ඇත්තේ එවැනි “දෙවියන්ටම පෙනිච්චාවේ” තත්ත්වයක්‌ තුළය.

ආණ්‌ඩුව හාල් මාµsයාව මර්දනය කරන්නට භාරදී ඇති ආයතන පෙනී සිටින්නේ වී ගොවියා හා පාරිභෝගිකයා වෙනුවෙන්මද යන ප්‍රශ්නයක්‌ මතුවේ. ඉහත තොරතුරුවලින් පෙනෙන්නේ ඒ උදවියද පුද්ගලික අංශය ගොඩදැමීමේ “මහඟු මෙහෙවරක්‌” ඉටුකරමින් සිටින බව පමණකි. බූස්‌ස පිහිටි රජයේ ආහාර ගබඩා සංකීර්ණය පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ සහල් කිලෝ විසි ලක්‍ෂ හැත්තෑ තුන්දහස්‌ හත්සිය පනහක්‌ ආහාරයට නුසුදුසු බව පසුගියදා වාර්තා වී තිබිණි. බෙදාහැරීමට ගෙන්වා තිබුණා යෑයි කියන මේ සහල් බෙදාහැර නැත්තේ ඇයි? ඊට වැයවූ මුදල කොපමණද යන්න පිළිබඳව ඉක්‌මන් හෙළිදරව්වක්‌ කළ යුතුව තිබේ.

ගොවියා මාස ගණනක්‌ දහදුක්‌ විඳ නෙළන අස්‌වැන්නේ ලාභය මහා පරිමාණ හාල් මෝල් විසින් මහ දවාලේ මංකොල්ලකන බව නොතේරෙන අයෙක්‌ සිටින්නට බැරිය. රුපියල් විස්‌සට විසි පහට ගොවීන්ගෙන් මිලට ගන්නා වී සහල් බවට පත්ව කිලෝව රුපියල් හැත්තෑවේ සිට එකසිය දහයක්‌ දක්‌වා වූ මිලකට වෙළෙඳපොළේ විකිණේ. ගොවියාට ලැබෙන සොච්චමින් ඊළඟ කන්නයේ වගා කරනවා වෙනුවට වහ කුප්පි මිලට ගැනීමට සිදුවීම වැළැක්‌විය නොහැක. බත් කන්නට කල්පනා කරන අපට ද සිදු වන්නේ වස බොන්නටය.

– Divaina