රතමිල්ල මාදු ගගෙන් නොව මිහිමතින් තුරන් වනු ඇත

0
1397

රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට පත් ශාකයක්‌ හැටියට හඳුනාගෙන තිබෙන දකුණු ආසියාවෙන්ම බළපිටිය මාදු ගඟ ආශ්‍රිත පාතමුල්ල ඕවිලාන දූපතේ රතමිල්ල නැමති කඩොලාන ශාඛය රැකගැනීමට නිසි වැඩපිළිවෙලක්‌ නොමැතිකම හේතුවෙන් විනාශ වෙමින් පවතී.

Lumnitzera littoria යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රතමිල්ල ශාකය ස්‌වභාවිකව දක්‌නට ලැබෙනුයේ පාතමුල්ල ඕවිලාන ගම්මානයේ බව පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා බළපිටිය ප්‍රාදේශීය සභාව එක්‌ව එම ස්‌ථානයේ සවි කරන ලද පුවරුවක සඳහන් වේ. එමෙන්ම වන සත්ව, වාක්‍ෂලතා ආඥා පනත අනුව මෙම ශාකයට හෝ කොටසකට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවත් මෙම ශාකය සුරැකීමට ඔබත් දායකවන්නැයි එම පුවරුවේ සඳහන් වේ.

රතුපාට මල් පිපෙන රතමිල්ල පමණක්‌ නොව සුදු පාට මල් පිපෙන රතමිල්ල ශාක පවා තිබෙන මෙම ප්‍රදේශයට නිසි සංරක්‍ෂණ වැඩ පිළිවෙළක්‌ නොමැතිකම කනගාටුදායක සිද්ධියකි. බොහෝ දෙනා කඩොලාන දිනෙන් දින කපා විනාශ කර නිවාස ඉදිකර තිබෙන අතර මාර්ගය සකස්‌ කිරීමට මැටි සහ කළුගල් යොදා තිබෙන අයුරු දැක ගත හැකිය. එමෙන්ම පාර සැකසීම සඳහා ඉවක්‌ බවක්‌ නැතුව කඩොලාන ශාක විනාශ කර ඇති අයුරු ද දැක ගත හැකිය.

රතමිල්ල ශාකය තිබෙන ප්‍රදේශය ප්‍රදේශවාසීන්ගේ පොදු වැසිකිළියක්‌ බවට පත් වී ඇති අයුරු පෙනෙන්නට තිබේ. වටිනා දුර්ලභ ශාකයක්‌ වන මෙය ආරක්‍ෂා කිරීමට නිසි ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යොදන ලෙස ප්‍රදේශවාසී කිහිපදෙනෙක්‌ම ඉල්ලා සිටිති.

බළපිටිය පාතමුල්ල පදිංචි කේ. ඩබ්ලිව්. සනත් කුමාර මහතා (33) මෙසේ කීය.

පාතමුල්ල ඕවිලාන ගම්මානයේ අපි උපන්නේ. මේ රතමිල්ල අපි ඉපදීමටත් පෙර තිබෙන්නේ. රතමිල්ල කියල කඩොලාන විශේෂයක්‌ බව අපි මුලටම දැනගෙන හිටියේ නැහැ. දැන් අවුරුදු විස්‌සකට පමණ ඉහත දී විශ්වවිද්‍යාලවලින් කණ්‌ඩායමක්‌ ඇවිත් පර්යේෂණ කරල රතුමල් පිපෙන රතමිල්ල ශාකය ආසියාවෙන්ම අපේ ගමේ පමණයි කියල ඒ අය ප්‍රකාශ කළා. එයින් පසුව තමයි මේ ශාකයට වැඩි අවධානයක්‌ යොමු වුණේ.

රතමිල්ල මල් පිපෙන කාලෙට මේ ප්‍රදේශයම රතු රෙද්දක්‌ එළුවා වගේ හරිම ලස්‌සනයි. මල් පරවී බිම වැටුණමත්, ගස්‌වල තිබෙන විටත් ප්‍රදේශයම රතු පාටයි. ඉස්‌සර රතමිල්ල ගස්‌ පනහක්‌ පමණ තිබුණු අතර දැන් ගස්‌ දහයකට පහළොවකට වඩා නැහැ. මෙය රක්‍ෂිතයක්‌ කර තිබුණත් මේ ශාක රැක ගන්න වැඩපිළිවෙළක්‌ නැති වීම ඉතාම කනගාටුදායකයි. මෙම ගස්‌ ටික ආරක්‍ෂා කරගෙන වියපත් අම්මා කෙනෙක්‌ සිටියා. එයා මියගියාට පසු රැක ගන්න කෙනෙක්‌ නැහැ.

මෙම ගස්‌ පැළ කර ගැනීම සඳහා බද්ධ කිරීමට අතු සකස්‌ කිරීම කර ඇතත් එය සාර්ථක වෙලා නැහැ. බද්ධ කිරීමට සූදානම් වන තැන්වලින් තමයි ගස්‌ ටික මැරෙන්නේ. දැනටත් පොලිතින්වලින් ඔතා තිබෙන එම තැන්වලින් ගස්‌ මියගොස්‌ තිබෙන හැටි දැකගන්න පුළුවන්. දැනටත් ගස්‌ විශාල ප්‍රමාණයක්‌ම දිරා පත් වෙලා තිබෙනවා.

මෙම රතමිල්ල ශාකය තිබෙන ඉඩම රජයට පවරා ගැනීමට සූදානම් වූ අවස්‌ථාවේ අයිතිකරුවන් විශාල ප්‍රමාණයක්‌ ඉදිරිපත් විSම නිසා එය මග හැරී ගියා. දැන් තියාම ගස්‌ ටික ආරක්‍ෂා කරගන්න වැඩ පිළිවෙළක්‌ නොයෙදුවොත් තිබෙන ටිකත් විනාශ වෙන්න පුළුවන්.

සුදු පාට රතමිල්ල නැඟෙනහිර පළාතෙන් පළමුවරට සොයා ගත් බව පත්තරවල පළ වී තිබුණා. එහෙත් පාතමුල්ල ගම්මානයේ එම ශාකය තිබෙනවා. එහෙත් කිසිවෙකුගේ අවධානය ඒ කෙරෙහි යොමු වෙලා නැහැ. එහෙම වුණාම ඒ ටිකත් විනාශ වෙන්න ඉඩ තිබුණා.

බළපිටිය පාතමුල්ල ඕවිලාන ගම්මානයේ පදිංචි වැඩිහිටියකු වන හඳුන්නෙත්ති රිස්‌මන් ද සොයිසා මහතා (67) පවසා සිටියේ මේ අයුරුණි.

කොළඹින් එක එක මහත්වරු ඇවිත් පර්යේෂණ කරන්න කියලා මේ ගස්‌වල අතු කපාගෙන යනවා. දැන් බොහෝ ගස්‌ දර කොටස්‌ බවට පත් වෙලා. කිසිම නඩත්තුවක්‌, ආරක්‍ෂාවක්‌ නැහැ. ගස්‌වලට හානි කරන අයට දැඩි දඬුවම් දෙනවා කියලා බෝඩ් එකක්‌ ගහල තිබෙනවා. ඒකට කවුරුවත් බය නැහැ. මේ තරම් වටිනා දෙයක්‌ ආරක්‍ෂා කරගන්නා පාලනයක්‌ නැහැ.

ඉස්‌සර වගේ නෙවෙයි දැන් මාදු ගඟේ කිඹුල්ලු ගහනය වැඩි වෙලා. ඒකත් මේ ගස්‌ ආරක්‍ෂා කරගන්න බාධාවක්‌ වෙලා. ඒ වගේම මේ ප්‍රදේශය ප්‍රදේශවාසීන් කිහිප දෙනකුගේ පොදු වැසිකිළියක්‌ බවට පත්වෙලා. මේ ගස්‌ නරඹන්න අධ්‍යයනය කරන්න පාසල් දරුවන් පවා එනවා.

ඒ එන දරුවන්ට නාසය වසා ගෙන යන්න සිදු වෙලා තිබෙන්නේ. මේ ඉඩම හෝටලයක්‌ ගහන්න රජයට ගන්න සූදානම් වුණේ. අපි මැදිහත් වෙලා එය නතර කර ගත්තේ. මේ ශාක ටික රැක දෙන්න කියලයි ඉල්ලන්නේ.

හික්‌කඩුව වන සත්ව අඩවි සහකාර කේ. ඒ. දයානන්ද මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

මේ පිළිබඳව මෙතෙක්‌ දැනුවත් වෙලා හිටියේ නැහැ. දැනුම් දීම ගැන ස්‌තුති වෙනවා. ඉදිරියේදී එම ශාක රැක ගන්න කටයුතු කරනවා යෑයිද කීය.

– Divaina