කොරති හිරගෙදරින් බිහිවුණු අපූරු කලාව – Korathi Prison Art

0
1290

මා චිත්‍ර අඳින්නට පටන් ගත්තේ දඬුවම් ලබා බෝගම්බර හිරගෙදරට පැමිණියාට පසුවයි. එහිදී ඊට පහසුකම් ද මඳ වශයෙන් ලැබුණි. මුලදී මා කුස්සි පාටියේ වැඩ කළ අතර ටික දිනකින් විවිධ නිර්මාණ කළ හැකි හිරකරුවන් සඳහා වෙනම පාටියක් ඇරඹුණු නිසා එයට ඇතුළු වීමට මටද හැකි විය. විශේෂයෙන්ම දේශපාලන හිරකරුවන් උදෙසාම ආරම්භ කළ මෙම විශේෂ පාටිය හඳුන්වන්නේ “හොබි ක්ලාස්” එක කියාය. කැටයම් චිත්‍ර, බිත්ති සැරසිලි ආදී විවිධ නිර්මාණ කිරීමට මෙහිදී අවස්ථාව ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය උපකරණද හිරගෙදර විසින් සපයන ලදී. මෙම අලුත් ස්ථානය අපට වඩාත් නිදහස් තැනක් විය. බොහෝ දේ ගැන සිතන්නටත්, ලියන්නටත්, ‍පොත් කියවන්නටත්, චිත්‍ර අඳින්නටත් මේ තුළ කිසියම් නිදහසක් ලැබුණ නිසා ඉන් උපරිම ප්‍රයෝජන ගන්නට සිතූ මා ද මට අවශ්‍ය චිත්‍ර උපකරණද සපයාගෙන වැඩි කාලයක් ඊට යොදවන්නට වීමි.

හිරගෙදර කාලය ගත කිරීම අතිශය දුෂ්කරය. හිරකරුවන්ට ඇති ලොකුම ප්‍රශ්නය කාලය ගෙවී නොයන එකයි කාලය ගෙවා දැමීමට ඇති එක් විදියක් ලෙස මා තෝරා ගත්තේ චිත්‍ර ඇඳීමත්, ‍පොත් කියවීමත්ය. අප සමග සිටි කීපදෙනෙක්ම මෙසේ කියවීමට පුරුදුව සිටියහ. බන්ධනාගාරය තුළ කුඩා පුස්තකාලයක් ඇත. දින කීපයකින්ම මෙම පුස්තකාලයේ ඇති ‍පොත් සියල්ල කියවා අවසන් කළෙමු. කියවීමේදී අසවල් විෂය කියා තෝරා ගැනීමක් නැත. අතට හසුවන හැමදෙයක්ම කියවීමි. සමහර විට සාපේක්ෂවාදය විය හැක. නැතිනම් රසායන විද්‍යාව හෝ වාග් විද්‍යාව වියහැක. නැතිනම් පූජාවලිය හෝ සද්ධර්මාලංකාරය හෝ ජාතක කතා වියහැක. නැතිනම් ත්‍රිපිටකය විය හැක. මේ කොයි දේත් කියවන්නට අප පෙළඹුණේ වෙන කරන්නට දෙයක් නොමැතිකම නිසාය. එයින් නොදැනීම අමතර දැනුමක් ලැබුණත් දැනුම වැඩිකර ගැනීමේ අරමුණින් නොකිය වූ බව සඳහන් කළ යුතුය. නවකතා, කෙටි කතා සියල්ල කලින් අහවර කළේ එයින් රසයක් විඳිය හැකි නිසාය. රුසියන් සාහිත්‍යයේ ලබාගත හැකි වූ හැම ‍පොතක්ම කියවීමු. මෙහි ‍පොත් නොමැති වූ කල පිටතින් ‍පොත් ගෙන්වා ගෙන කියවීමු. අප කවුරුත් තමන්ට ඇති විවිධ සම්බන්ධකම් අනුව ‍පොත් ගෙන්වා ගතිමු.

එයට හිතවත් මුලාදෑනීන්ගේ සහය ලැබුණි. ඇතැම් මුලාදෑනීන් සමග අප මිතුරන් ලෙස ඇසුරු කළ නිසා ඔවුන් මගින් මෙම ‍පොත් ගෙන්වා ගැනීමට හැකි විය. මේ දිනවල මගේ සහෝදරිය ලවා විශ්වවිද්‍යාල පුස්තකාලයේ ‍පොත්ද මට ගෙන්වා ගැනීමට හැකි විය. ඊට උදව් කළේ එවකට ඇය සමග එකට ඉගෙනගත් සිසුවෙකි. ඔහුගේ පියා අප බන්ධනාගාරයේ ජේලර්වරයකු වූ නිසා පහසුවෙන්ම එම ‍පොත් මට ගෙන්වා ගැනීමට හැකිවිය. මෙම යහපත් ජේලර්වරයා දැනට වසර කීපයකට පෙර මියගිය බව මට දැනගත හැකි විය. මට උදව් කළ ඔහුගේ පුතා එම විශ්වවිද්‍යාලයේම ප්‍රසිද්ධ කථිකාචාර්යවරයකු ලෙස දැන් සේවය කරයි.

පිටතින් ‍පොත් ගෙන්වා ගැනීමේදී හැකි තරම් විශාල ‍පොත් ගෙන්වා ගැනීමට අපි උනන්දු වුණෙමු. එවිට ඒවා වැඩි කලක් කියවිය හැක. මා මේ දිනවල කියවූ විශාලතම ‍පොත “කරමසෝ සහෝදරයෝ”ය. එය මට විශාල නැත. කියවා ඉවරවේය යන ලෝබකම නිසා දිනකට කියවන්නේ පිටු 100-150ක් පමණය. මේ අයුරින් එම ‍පොත මාසයක් පමණ කියවූවෙමි.

චිත්‍ර ඇඳීම කාලය ගෙවා දැමීමට හොඳ මාර්ගයක් වූවා සේම එයින් ආස්වාදයක්ද ලැබිය හැකි බැවින් ඉක්මනින් එපා නොවේ. මගේ බරපතළ දඬුවම ලෙස චිත්‍ර අඳින්නට නියමවී තිබිම පිළිබඳව මම සතුටු වුණෙමි. ක්‍රමයෙන් සෙසු හිරකරුවන්ද විවිධ නිර්මාණ කරමින් කාලය ගෙවා දමන්නට උත්සාහ කළ සැටි මට මතකය. ‍පොල්කටුවලින් විවිධ නිර්මාණ කිරීම, දත්බුරුසු මිටෙන් මුදු, මාල පෙති ආදිය නිර්මාණය කිරීම, කීටැක් නිර්මාණය කිරීම, ලෑලි කෑලිවල චිත්‍ර ඇඳ හෝ ඇලවීම මගින් හෝ කැලැන්ඩර සෑදීම, ‍පොල් කෙඳිවලින් මාල සෑදීම වැනි විවිධ නිර්මාණ මේ දිනවල හිරගෙදර පැතිරී තිබුණි. මේවාට චිත්‍ර හා සැලසුම් නිර්මාණය කරදීම මගේ ප්‍රධාන කාර්යය විය. පාටි වේලාවෙන් බැහැරව බොහෝ හිරකරුකරුවෝ කුමක් හෝ මෙවන් කාර්යයක් කරමින් කාලය ගත කරති. මගේ සේවාවට කාලයක් නැත. සමරවිට රාත්‍රියේද ඔවුන් වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කිරීමට මට සිදුවේ. හිරකරුවන් කරන මෙම නිර්මාණ මිලදී ගැනීමට පිරිසක් ද සිටියහ. ඒ බන්ධනාගාර මුලාදෑනීන්ය. ඔවුන් බිඩිවලට සුරුට්ටුවලට හෝ සුළු මුදලකට මේවා මිලදී ගනිති. හිරකරුවන්ට මෙය අගනා වෙළෙඳාමකි. ඒ නිසා බැරි බැරි ගාතේ හෝ කිසිවක් නිර්මාණය කර මුලාදෑනියකුගේ ඇඟේ් ගසා කීයක් හෝ උපයා ගැනීමට මෙම හිරකරුවෝ උත්සාහ කළහ. ඒ වෙනුවෙන් ඔවුහු දිවා රෑ මහන්සි වූහ.

මෙම කලා කෘතිවලට අපූරු නමක් පටබැඳී තිබුණි. “කොරති” යනු ඒ නමයි. “මට කොරතියකට චිත්‍රයක් ඇඳලා දෙනවාද” කියා මගෙන් කවුරු හෝ විමසූ කල මා අසන්නේ මොකක්ද “කොරතිය” කියාය. එවිට ඔහු මල්වාස් එකක්, පැන්ඩන්ට් එකක්, ලාම්පු ආවරණයක් ආදී තම අවශ්‍යතාව කියයි. මේ හැමදේටම “කොරති” යන හාස්‍යජනක නම යෙදී තිබිම පිළිබඳ කතාවත් අපූරු එකකි.

හිරගෙදර “කොරතිකාරයා” කියන්නේ කපටියා, ලෝකෝත්තරයා යන අරුතිනි. අනෙක් අය චාටුවෙන්, කපටිකමින් රවටා තමන්ගේ වැඩය කර ගැනීමට ශූර හිරකරුවන්ට කියන්නේ “කොරතිකාරයා” කියාය.
“අරූ නම් මාර කොරතිකාරයෙක් තමයි”
“ඌ නියම කොරතියක් තමයි මට දැම්මේ”
“කොරතිකාරයන්ට නම් අහුවෙන්න එපා”

මේ “කොරති” යන වචනය හිරගෙදරදී භාවිත වන අවස්ථා කීපයකි. ඒ අනුව අනුන් රවටා කීයක් හෝ කඩා ගැනීම සඳහා කරන නිර්මාණය ද නිකම්ම “කොරතිය” බවට පත්විය. ඇත්ත වශයෙන්ම සෑම කලා නිර්මාණයක්ම මේ අයුරු “කොරති” නොවේ. ‘කොරති’කාරයන් විසින් තම වාණිජ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ පමණක් එනමින් හැඳින්වීම සාධාරණය. නමුත් හිරගෙදර නිර්මාණය කරන හැම කලා භාණ්ඩයකටම අවසානයේ ඒ නම භාවිත වන්නට විය.
හිරකරුවන් වෙනුවෙන් කරන මේ කිසිම “කොරති” වැඩක් වෙනුවෙන් මා කිසිවක් ගත්තේ නැත. ඔවුන්ගෙන් ගන්නට දෙයක් නැත. සමහරු බිඩියක් සුරුට්ටු කෑල්ලක් දීමට උත්සාහ කරයි. මා ඒ සියල්ල කාරුණිකව
ප්‍රතික්ෂේප කර ඔවුන් වෙනුවෙන් සිය කැමැත්තෙන්ම මගේ සේවාව කළෙමි.

මේ මිනිසුන් පිළිබඳව මා තුළ ඇත්තේ දැඩි අනුකම්පාවකි. ඔවුන් කීයක් හෝ සොයා ගන්නටත් කාලය ගෙවා දමන්නටත් කාන්සිය මගහරවා ගන්නටත් මේවා කරන බව මම දනිමි. මා කරන්නේ ඔවුන්ට ඒ සඳහා අවංකව උදව් කිරීම පමණි. මේ අතර ඉතා අගනා නිර්මාණද ඔවුන් අතින් බිහිවූ බව මට මතකය. විශාල රුවල් ඔරු, නැව්, අහස් යානා ආදී අලංකාර කලා නිර්මාණ ඇතැම්හු නිර්මාණය කළහ. ඒවා අවසන් කිරීමට අවශ්‍ය වර්ණ ගැන්වීම් සියුම් තැන් සකසා දීම මගේ කාර්යයි. විවිධ වර්ණ ලී පතුරු සියුම්ව කපා තවත් ලෑල්ලක අලවා ඉතා අගනා කලා නිර්මාණ කිරීමට දක්ෂ දෙතුන් දෙනෙකුම සිටියහ. ඔවුන්ගේ නිර්මාණ ඇතැම් විට ඉහළ මට්ටමේ ප්‍රදර්ශනවලටද ගෙන ගියහ. සමහර දිනවල මට ලැබි ඇති ඇණවුම් ප්‍රමාණය අතිවිශාලය. ඒවා අවසන් කිරීමට විශාල කාලයක් ගතවේ. එවන් අවස්ථාවල තමන්ගේ නිර්මාණය කලින් කරදෙන ලෙස මා වෙත කෙරෙන ඇවිටිලි කෙඳිරිගෑම් කෙළවරක් නැත. වැඩිපුරම මෙසේ කරදර කරන්නේ සල්ලි හදිස්සිකාරයන්ය. ඔවුන්ගේ හදිස්සියේ තරම අනුව මම ඒවා ඉක්මනින් කරදෙයි.

‘කොරති’ කලාකරුවන් අතර සිටින අතිශූර සියුම් වැඩකාරයන් තම නිර්මාණ දැඩි පරිශ්‍රමයක් යොදා අවසන් කරන අයුරු පුදුම සහගතය. මෙය අසවල් දිනට කලින් අවසන් විය යුතු යැයි නියමයක් නැති නිසා තමාට අභිමත කාලයක් යොදා හැකි තරම් ලස්සනට එය අවසන් කළ හැක. මොවුන් හදිස්සිකාර කොරති කලාකරුවන් නොව සැබෑ කලාකරුවන්ය. ‍පොල්කටු නිර්මාණ පැතිරී ගිය කාලයේ හැම කෙනෙක් අතම ‍පොල්කටුවක් තිබෙනු දැකිය හැක. මෙසේ එක් කලා කෘතියක් එක් මාධ්‍යයක් ජනප්‍රිය වූ කල සියල්ලෝම රැල්ලට මෙන් එයම කරති. ඊළඟට වෙනත් නිර්මාණයක් හිරගෙදර තුළ ජනප්‍රිය වේ. එවිට ඔවුහු ඊට නැඹුරු වෙති. ‍පොල්කටුවලින් මල්වාස්, විවිධ ආභරණ, මල් ආදී විසිතුරු නිර්මාණ කරද්දී මොවුන් දක්වන ඉවසීම කැපවීම පුදුම සහගතය. ‍පොල්කටුව වතුර දමමින් ගලක හෝ සිමෙන්ති ‍පොළොවෙහි හෝ උලා මුලින්ම කෙඳි ඉවත් කර කළු පාට කටුව මතු කළ යුතුය. ඒවාට නිසි ආයුධ නැතිව වුවත් මොවුන් කෙසේ හෝ තම කාර්යය කර ගනිති. ටින්කර් පාටියෙන් මුවහත් යකඩ පතුරු, පිහි, නියං ආදිය සාදා ගනිති. කියත් නොමැති නිසා යකඩ හෝ බෙලෙක් පටිවල තවත් තද යකඩ ඇණයකින් දැති ගසා කියත් සාදා ගනිති. මෙයට සති ගණනක් මහන්සි විය යුතුය. මෙසේ ආයුධ සාදාගත් පසු තවත් සති ගණනක් තිස්සේ ‍පොල්කටුව සියුම්ව කපා ගැනීමට වැය කරති. අදාළ චිත්‍රය හෝ මෝස්තරය මතුකරගන්නේ ඉන් පසුවයි.

ඉන් මතුපිට දිළිසෙන තුරු මැද ගනිති. එයට ඔවුන් භාවිත කරන්නේ රෙට්ටුව නමැති කැන්වස් රෙද්ද හා දත් බෙහෙත්ය. රෙට්ටුව මත දත් බේත් ගා ඒ මත කලා නිර්මාණය දිගු වේලාවක් ඇතිල්ලීමෙන් දිළිසෙන ඔපය ලබාගත හැක. මේ අයුරු දත් බුරුසු මිටිවලින් අපූරු ලෙස මුදු සෑදීමද මොවුන්ගේ විස්මිත නිර්මාණයකි. එහි සියුම් බව දිළිසෙන ගතිය
මනබඳනාසුලුය. මුද්දට මැණික් ගලක් බඳුව දිළිසෙන රත් පැහැ බුරුසු කෑල්ලක්ද ගිල්වා මොවුන් කරන නිර්මාණ ඇතැම් විට කෙනකුට කවර අමුද්‍රව්‍යකින් කළා දැයි කියාවත් සිතාගත නොහැක. එසේම රන් මාලයක් බඳුව කොහු කෙඳිවලින් මාල සෑදීම ද අපූරු සියුම් කර්මාන්තයකි. කුඩා කම්බියක කොහු කෙන්ද රිද්මයකට පටලවමින් දරණුවක් මෙන් එක් එක් ඉතා කුඩා මුදුව සාදා ගන්නා ඔවුහු ඊට යා කරමින් එක් එක් මුදුව බැගින් සම්බන්ධ කර මාසයක් පමණ මහන්සි වී මාලයක් ගොතා ගනිති. ඒවාට කහ පාට යොදා රන් මාලයක් සේම නිර්මාණය කිරීමට මොවුහු අති දක්ෂයෝය.

– Lakbima