රේගුව පමණක්‌ නොව තවත් ආයතන අගුවට වැටීමට පෙර ය – Sri Lanka Custom

0
671

මේ රට පුදුම රටකි. හොරකම් නවත්වන්න යොදවා තිබෙන අයම හොරකම් කරති. ආරක්‍ෂාව සපයන්නටත්, නීතිය හා සාමය රකින්නටත් සිටින අයගෙන්ම ආරක්‍ෂා වන්නට ජනතාවට සිදුව තිබේ. ‘දූෂණය වංචාව නවත්වමු’ යෑයි කෑමොර දෙන අයම වැඩි වැඩියෙන් හොරකම් කරති. ඒ නිසාම මේ රට පුදුම රටක්‌ නොව අපූරු රටක්‌ බව අපට කියන්නට සිදුව තිබේ.

2015 ඔක්‌තෝබර් මාසයේ ද මේ රටේ එවැනි සිදුවීමක්‌ වාර්තා විණි. ඒ රේගුව සම්බන්ධයෙනි. ‘රේගුව’ විෂය පථය ගැන දිගු අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. රේගුව මගින් කරන පරීක්‍ෂණ ‘තිතටම’ සිදුවන බව රටේ ජනතාව තුළ දැඩි විශ්වාසයක්‌ තිබිණි. එහෙත් අප මේ සඳහන් කළ දිනයේ රේගුව සම්බන්ධයෙන් මැකිය නො හැකි කළු පැල්ලමක්‌ සටහන් විය. ඒ ලංකා ගමනාගමන මණ්‌ඩලය විසින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්‍ෂණ කටයුතු නතර කිරීමටත්, බදු මුදල් නොගෙවා සිටීමටත් කටයුතු කරදීමට අල්ලසක්‌ රේගු නිලධාරීන් තිදෙනකු විසින් ඉල්ලා සිටිනු ලැබීමේ සිදුවීමක්‌ නිසාය. මෙය එසේ මෙසේ ගාණක්‌ නොව රුපියල් මිලියන 125 ක (කෝටි 12.5 ක) අල්ලසකි.

රටේ බොහෝ රාජ්‍ය ආයතනවල මෙවැනි ‘අතයට’ ගනුදෙනු සිදුවන බව රහසක්‌ නොවේ. එහෙත් එම ප්‍රවෘත්තිය මාධ්‍යයටත් රටටත් විශේෂ ප්‍රවෘත්තියක්‌ ව තිබිණි. එම අල්ලස්‌ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් දෙදෙනකු අල්ලස්‌ කොමිසම මගින් අත්අඩංගුවට ගත් බව ඊයේ ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි. රේගුව මගින් කරන පරීක්‍ෂණ, වැටලීම්, අත්අඩංගුවට ගැනීම් ගැනත්, හසුවන මහා පරිමාණ ජාවාරම්කරුවන් ගැනත් නීති විරෝධීව ආනයන අපනයන කටයුතු කරන අය ගැනත් අසා ඇති රටේ ජනතාවට රුපියල් කෝටි 12.5 ක අල්ලස්‌ සිද්ධිය තරමක්‌ විමතිය දනවන කාරණයක්‌ වීම ස්‌වාභාවිකය. තවත් අය අත්අඩංගුවට ගත්තා යෑයි කීම තුළම මේ දූෂිත ක්‍රියාවලියේ තවත් පුරුක්‌ සිටිය හැකි බවට ඉඟි කරයි. එමෙන්ම කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග නොව මහ ගොඩක්‌ ඇති බවක්‌ ද පෙනේ.

මේ තත්ත්වය වහා අකාමකා දැමීමට පියවර නොගතහොත් කතාව වඩාත් නරක වීමට ඇති ඉඩකඩ වැඩිය.

මෑත කාලීනව මෙවැනි සිදුවීම් වාර්තා වූයේ රේගුව සම්බන්ධයෙන් පමණක්‌ නොවේ. වරාය, ගුවන් තොටුපළ, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර්Êරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී වශයෙන් තවත් බොහෝ ආයතනවල මෙවැනි අකටයුතුකම් රැසක්‌ සිදුවන බව විටින්විට වාර්තා වේ. ඕනෑම තැනක රාජකාරිය දේවකාරිය බවට පත් කරගත් උදවියත්, රාජකාරිය පාදඩකරණය කරගත් උදවියත් සිටින බව කිව යුතුය. බොහෝ රාජ්‍ය ආයතනවල හොඳ නම කැත වන්නේ රාජකාරිය පාදඩකරණය කරගත් නිලධාරීන් නිසා ය.

බොහෝ විට රජයේ ආයතන අන්තිම දූෂිත ස්‌ථාන බවට පත්වන්නේ දේශපාලන මැදිහත්වීම් නිසා ය යන්න සමාජගතව තිබෙන ජනප්‍රියම කතාවයි. සමහර විට හොඳම වර්ගයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසියාකාරව කරගෙන යැමේ අපහසුතා මතුවන්නේ ද එවැනි බලපෑම් නිසාය. රේගු නිලධාරින්ගේ සංගමය ඊයේ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා තිබුණේ ද ඒ හා සමාන කතාවකි. ඒ රේගු නිලධාරීන් විසින් සිදු කරන විමර්ශන කටයුතු ඉහළින් එන විවිධ බලපෑම් මත නතරවීම නිසා රජයට විශාල ආදායමක්‌ අහිමි වන බවත්, මේ නිසාම දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය වී ඇති බවත් ය.

රේගුවේ හෝ වේවා කවර තැනක වුව සිදුවන අක්‍රමිකතා නවතා දැමිය යුතුය. ඒ ගැන විවාදයක්‌ නැත. එමෙන්ම පවතින රජයේ වගකීම වන්නේ රේගුවේ සිදුවන අක්‍රමිකතා නවතා දැමීමත්, රේගුවට එල්ල වන කවර බලපෑමක්‌ වුවද නතර කර දැමීමත් ය.

නිලධාරීන් දේශපාලනඥයන්ටත්, දේශපාලනඥයන් නිලධාරීන්ටත් දොස්‌ පවරමින් කල් මරන විට සිදුවන්නේ කවර හෝ රාජ්‍ය ආයතනයක්‌ වුව තවදුරටත් දූෂණ, වංචා ගොහොරුවේ ගිලීයැම පමණකි.

– Divaina