දෙන්න හැකිනම් එක බත් කටක්‌… – Need help to Mental Disorders

0
644

මොළය සහ හදවත යනු ඉතාම සංකීර්ණ අවයවයන්ය. මෙහිදී මොළය නොහොත් මනස විසින් ගන්නා තීන්දු තීරණ මිනිස්‌ ජීවිත යහපත්ව හෝ අයහපත්ව පවත්වාගෙන යාමට මූලිකවන්නේය.

ඉතාම සංකීර්ණ මිනිස්‌ මනස යම් හෙයකින් සුළුවෙන් හෝ වෙනසක්‌ වුවහොත් එය මානසික ප්‍රශ්ණයක්‌ බවට නිතැනින්ම පත්වන්නේය. එවිට සිදුවන්නේ ඔවුන්ගෙන් ලඡ්ජාව සහ බය ගැන ඇති හැඟීම් තරමක්‌ දුරට ඉවත්ව යාමයි. ඒ සමගම නිර්මාණයවන හුදකළා ලෝකවල ඔවුන් තනිවීම වැළැක්‌විය නොහැකි කාරණාවකි..

අවාසනාවට මෙවැනි වෙනස්‌වීම්වලට පත්වුණු අය දෙස සමාජයේ බහුතරයක්‌ දෙනා බලන්නේද වැරදි ඇසකිණි. සරදම් සිතකිණි. අමතන්නේ වැරදි බසකිණි.

බොහෝ රටවල මෙන්ම අප රටේ ද අසරණ වූ වැඩිහිටියන්ට සරණ පිණිස වැඩිහිටි නිවාසද, එවැනිම අසරණ වූ ළමුන්ට සරණ පිණිස ළමා නිවාසද රාජ්‍ය අනුග්‍රහයෙන් සහ පෞද්ගලික මට්‌ටමින් පවත්වාගෙන යති.

එහෙත් පෙරකී මනස වියවුල්ව අසරණ වූ අහිංසකයන් වෙනුවෙන් රාජ්‍ය මට්‌ටමින් හැරුණු කොට පෞද්ගලිකව බිහි කරන ලද මානසික ආරෝග්‍යශාලාවක්‌ මුළු ආසියාවටම වාර්තා වන්නේ එකකි. ඒ ශ්‍රී ලංකාවේ ජාඇල කනුවන ‘සහන මැඳුර’ ලෙස නම් කර පවත්වාගෙන යන මානසික සහන මැඳුරයි.

මෙම සහන මැඳුරේ නිර්මාතෘ වන්නේ කතෝලික පියතුමකු වන නිමල මරිය නිකායික ෆ්‍රැක්‌සිඩ් ඇන්තනී ප්‍රනාන්දු පියතුමාය.

ධර්මෝපදේශ අධ්‍යාපන ශාස්‌ත්‍රපති, මනෝ විද්‍යා ශාස්‌ත්‍රපති, මහාචාර්ය ෆ්‍රැක්‌සිඩ් ඇන්තනී ප්‍රනාන්දු පියතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් මෙන්ම ස්‌වෝත්සාහයෙන් හා පෞද්ගලික ධනයෙන් ගොඩනඟා ඇති මෙම සහන මැඳුරෙන් ඉතා විශාල අමිල සේවාවක්‌ සිදුවන බව අපට පවසන්නේ, කලෙක මානසික ආබාධයකට ලක්‌ව සිට මේවන විට සම්පූර්ණයෙන්ම සුවපත්ව රැකියාවක නිරත වන අයෙකි.

මමත් මගේ මිත්‍රයාත් පසුගිය දිනක ජාඇල කනුවන ප්‍රදේශයට යන්නේ මෙම සහන මැඳුරේ කටයුතු පිළිබඳ දැනුවත් වීම පිණිසය.

පරිසරය බොහෝ නිහඬය. නිසසලය. තාප්පයකින් වට වුණු අක්‌කර 04 ක භූමි භාගයක පසෙකට වන්නට සුවිසල් ගොඩනැඟිල්ලක සහන මැඳුර පිහිටා තිබිණි.

මල් පැළ මෙන්ම විසිතුරු ශාකවලින් අලංකාර කර ඇති මිදුල විශාලය. පිරිසිදුය. දැවැන්ත ගහ කොළ අපූරු සිසිලසක්‌ ගෙන එයි. අප ඔබ මොබ සැරිසැරුවෙමු.

දිව්‍ය පූජාවකට සහභාගි වී සිටි ෆ්‍රැක්‌aසිඩ් ඇන්තනී පියතුමා අප ඉදිරියට පැමිණියේය.

ඉතාම ප්‍රියමනාප පෙනුමකින් මෙන්ම අව්‍යාජ සිනාවකින් පිරි පියතුමා ඉතාම කුළුපගව අප සමඟ පිළිසඳරේ යෙදිණි. ආගිය තොරතුරුවලින් අනතුරුව සහන මැඳුරේ කටයුතු පිළිබඳව ද අපට දීර්ඝ විස්‌තරයක්‌ කළේය.

“මම ඇමරිකාවේ ඉතාම දරුණු ගණයේ අපරාධකරුවන් සිටින සිර ගෙයක මානසික වෛද්‍යවරයා ලෙස සේවය කළා. එහිදී මට ලැබුණු සියලුම වැටුප් එකතුකර තමයි මේ සහන මැඳුර ආරම්භ කළේ. ඒ මීට අවුරුදු 25 කට ඉස්‌සර.

එයට හේතු ගණනාවක්‌ තිබුණා. අපේ රටේ බොහෝ අපරාධ වුණු රටක්‌. දෙමාපියන් ඉදිරියේ දරුවන් මෙන්ම දරුවන් ඉදිරියේ දෙමාපියන් මරා දාපු රටක්‌. එමෙන්ම විවිධ අපරාධ අසාධාරණ කම් ඕනෑ තරම් සිදුවුණු රටක්‌. එවැනි දේ දැකීම නිසාත්, වෙනත් හේතූන් නිසාත් අප රටේ මානසික රෝගී උදවියගේ ප්‍රමාණය එන්න එන්නම වැඩියි. නමුත් එයාලට ප්‍රතිකාර කරන්න මධ්‍යස්‌ථාන තියෙන්නේ දෙකයි. අංගොඩ සහ මුල්ලේරියාවේ. ඒවත් රාජ්‍ය මට්‌ටමින් ක්‍රියාත්මක වෙන්නේ. මට දැඩිව දැණුනා මෙවැනි ආයතන තව තවත් ඇතිකළ යුතු බව.

මම මේ මානස්‌ක වියවුලට පත් අහිංසක අය වෙනුවෙන් සහන මැඳුර හැදුවට පස්‌සේ රෝගීන් හිsටියේ 10 – 15 ක්‌ විතර. මේ මධ්‍යස්‌ථානය ප්‍රසිද්ධ වෙන්න වෙන්න රෝගීන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණා. අදත් නේවාසික ප්‍රතිකාර ගන්න උදවිය ස්‌ත්‍රී සහ පුරුෂ 45 ක්‌ පමණ ඉන්නවා. මේ වසර 23 තුළ සුවපත්ව පිටව ගිය ගණන නම් දහස්‌ ගණනක්‌. ජාති භේදයක්‌ ආගම් භේදයක්‌ නැතිව අදත් අපි ඕනෑම මානසික රෝගියෙක්‌ භාර ගන්නවා.

ෆ්‍රැක්‌aසිඩ් ඇන්තනී පියතුමා සහන මැඳුරේ අතීතයත් වර්තමානයත් ඉතාම හොඳින් අපට පැහැදිලි කළේය.

ඉතාම පිළිවෙළට මෙන්ම විනය ගරුකව නේවාසික රෝගීන්ගේ දවස ගෙවන්නේ නිර්මිත කාල සටහනකට අනුවයි.

උදැසන 5.30 පමණ නේවාසික රෝගීන් අවදි වන්නේ ඉමිහිරි සංගීත නාදයත් සමගිනි. ඉන් පසු තේ පානය ද අධ්‍යාත්මික භාවනා ක්‍රම සහ ආගම් ඇදහීමට ද විශ්‍රාමික හමුදා නිලධාරියකු විසින් පුහුණු කරන ශරීර සුවතා වැඩසටහන්වලින් පසු උදැසන ආහාරය ද ලබා දී අනතුරුව මල් වැවීම, එළවළු වැවීව වැනි වතු වැඩ පුහුණුව ද, දිවා ආහාරය ලබාදීමෙන් අනතුරුව විවේක කාලය ද උදය වරුව වැඩසටහනට අයත්ය. සවස්‌ කාලය ගෙවෙන්නේද එවැනිම කාල සටහනකට අනුව. එහිදී විශේෂත්වය වන්නේ ඔවුන්ට වෘත්තීය පුහුqqqqණු ක්‍රමවේදයන් ලබාදීමයි. මේ යටතේ ලණු ඇඹරීම, ඉටි පන්දම් හැදීම, කොහු කර්මාන්ත ආශ්‍රිත නිර්මාණ ඇතුළු විශාල රැකියා මාර්ගික ක්‍රමවේදයන් ඔවුන්ට ලබාදීම සිදු කරති.

මීට අමතරව බෙහෙත් ලබාදීම, සෞඛ්‍ය පරීක්‍ෂණවලට සම්බන්ධ කටයුතු ද දිනපතාම සිදුකරයි.

මේ කටයුතු සඳහා ක්‍රිෂාන්ත ජයලත් පියතුමාට අමතරව චාලට්‌ කන්‍යා සොහොයුරියද කළමණාකාර ආශීර්වාදන් මහතා සහ මැල්කම් ජෑන්ස්‌ යන මහත්වරුන්ගේ පූර්ණ දායකත්වයද ලැබෙන බව ෆ්‍රැක්‌aසිඩ් පියතුමා පැවසීය.

එතුමා පවසන්නේ සුවපත් ව පිටව ගිය රෝගීන් ගණනාවක්‌ම මේ වනවිට මෙරට මෙන්ම පිටරට ද රැකියාවල නිරත වෙන බවයි. ඉන් කිහිපදෙනෙක්‌ ම තම මාසික වැටුප් ලබා ගැනීමෙන් අනතුරුව සහන මැඳුර වෙත එන්නේ තමන්ට හැකි ප්‍රමාණයකින් වියළි ආහාර ද්‍රව්‍ය පිරවූ මලු කිහිපයක්‌ ද රැගෙනය.

මෙම සහන මැඳුර පවත්වාගෙන යැම සඳහා පිටරටකින් හෝ එන්.ජී.ඕ. ආයතනයකින් හෝ රාජ්‍ය අනුත්‍රහයකින් කිසිම මුදලක්‌ හෝ වෙනත් ආධාරයක්‌ ලැබෙන්නේ නැත. සමහර නේවාසික රෝගීන්ගේ භාරකරුවන් විසින් සුළු සුළු මුදල් පරිත්‍යාග කළ ද එය රෝගීන්ගේ දින 2 – 3 ක ආහාර ලබා දීමටවත් ප්‍රමාණවත් නොවන්නේය.

මේ වන විට පිං කැමති දානපතියන් විසින් උදේ, දිවා, රාත්‍රි ආහාර ලබා දුන්නත් මාසයකට දින 15 කට වැඩි ප්‍රමාණයක්‌ ආහාර ලබා දෙන්නේ ෆ්‍රැක්‌aසිඩ් ඇන්තනී පියතුමා විසින්මය.

නේවාසික අහින්සකයින්ගේ කතා බහට ඇහුම්කම් දෙමින් විවිධ ක්‍රියා නරඹමින් කාලය ගෙවූ අප සහන මැඳුරෙන් නික්‌මයන විට බොහෝ සවස්‌වී තිබිණි.

ආදරය සහ මිනිස්‌කම හඳුනන පිං කැමති මහත්වරුනි, නෝනාවරුනි, අප ඔබගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරන්නෙමු. හැකිනම් එක්‌වරක්‌ හෝ ජා-ඇල කනුවන පිහිටි සහන මැඳුරට ගොඩවන්න. ඔබට පෙනේවි මේ මානසික රෝගීන්ගේ ජීවිතය නිරෝගීව පවත්වාගෙ යැමට ෆ්‍රැක්‌aසිඩ් ඇන්තනී පියතුමා සහ කාර්ය මණ්‌ඩලය මොන තරම් කැප කිරීමක්‌ කරනවාදැයි කියා.

එක්‌ දාන වේලක්‌ සඳහා වැය වන්නේ රුපියල් 15,000 කට අඩු ප්‍රමාණයක්‌. අඩුම තරමේ එක්‌ වේලක්‌ හෝ අහිංසකයන්ට සැපයීමට ඔබට හෝ ඔබ කණ්‌ඩායමට හැකි නම් ඒ පිනෙන් ඔබට කිසිම ආත්මයක මානසික ප්‍රශ්නයක්‌ නම් ඇති නොවණු ඇත.

ෆ්‍රැක්‌aසිඩ් ඇන්තනී පියතුමාගේ 0776696194 දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට තවත් විස්‌තර ලබා ගත හැකිය.

අමරසිංහ මාලගේ
– Divaina