මහනුවර දළදා මාලිගාව අසලින් වැටී තිබෙන මහනුවර – මහියංගණ මාර්ගය (ඒ – 26) යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන මැදිහත්වීමෙන් පසුගියදා පැවැති උද්ඝෝෂණය අවසන් වූයේ ගුටි කෙළියකිනි. ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් සිදු කළ යුතු කාර්යයක් සිවිල් සංවිධාන මැදිහත්වීමෙන් සිදුකිරීමට යැම ගුටි කෙළියකින් කෙළවරවීම පුදුමයට කරුණක් නොවේ.
1998 වසරේ ජනවාරි 25 වැනිදා දළදා මාලිගාවට එල්ල වූ එල්ටීටීඊ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු මාලිගාවේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රධානතම පියවර වූයේ දළදා මාලිගාව අසලින් වැටී තිබෙන ඒ – 26 මාර්ගය තාවකාලිකව වසා දැමීමයි. එතැන් සිට රටේ ප්‍රභූවරුන්ට පමණක් විවෘත වූ මෙම මාර්ගය සටන් විරාම ගිවිසුම පැවැති 2002/2004 කාලය තුළ විවෘත කෙරුණු නමුදු එල්ටීටීඊය සටන් විරාම ගිවිසුම කඩ කිරීමත් සමඟ ඒ – 26 මාර්ගයට යළි ඉබියතුරු වැටුණි.
සමාජීය අර්බුදය
මහනුවර නගරය පිහිටා ඇත්තේ සානුවක බැවින් නගරයේ මාර්ග පද්ධතිය සකස් වී ඇත්තේ වට රවුම් ආකාරයටය. ඒ – 26 මාර්ගය වසා දැමීමත් සමඟ එම මාර්ගයෙන් ගමන් කළ යුතු රථවාහන ගමන් ගනු ලබන්නේ වැව රවුම මාර්ගයේය. මෙම මාර්ගය පටු මාර්ගයක් වීමත් නගරයට පැමිණෙන රථවාහන ප්‍රමාණය දිනෙන් දින ඉහළ යැමත් හේතුවෙන් මහනුවර නගරය ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය වැඩියෙන්ම පවතින නගරය බවට පත් විය.
මේ තදබදය පාසල් සිසුන්ට මෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට දැඩිව බලපාන ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. විශේෂයෙන් පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට සහ මහනුවර රෝහලට පැමිණෙන අසාධ්‍ය රෝගීන් බොහෝ දෙනකු මෙම මාර්ග තදබදය හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව මියගොස් තිබෙන අතර මාර්ග තදබදය හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන්ටද රෝහලට පැමිණීමට නොහැකි වීමෙන් අර්බුදය තවත් උග්‍ර අතට හැරී තිබේ.
මෙම මාර්ගය භාවිත කරමින් වෙළෙ¹ම් කටයුතු සඳහා දිනපතා මහනුවර නගරයට පැමිණෙන අම්පාර, පොතුවිල් සහ මහියංගණ ප්‍රදේශවල ජනතාව මෙම මාර්ග තදබදය හේතුවෙන් බලවත් පීඩාවට පත්ව සිටිති.
පාරිසරික අර්බුදය
වායු දූෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම විද්‍යාඥයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පවසන්නේ ඒ-26 මාර්ගය වසාදැමීම හේතුවෙන් මහනුවර නගරයේ වායු දූෂණය ජාත්‍යන්තර වායු තත්ත්ව සහ ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව ප්‍රමිතීන් ඉක්‌මවා ගොස් ඇති බවය. පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ වායු දූෂණ ඒකකයේ අධ්‍යක්‌ෂ අනුර ජයතිලක මහතා පවසන්නේ මහනුවර නගරයේ වායු කොටස් මිලියනයක මයික්‍රෝන 10 ප්‍රමාණයේ දූවිලි අංශු 90 ට වඩා ඉහළ අගයක් පවතින බවද ඇතැම් දිනවල මෙම අගය 110 ඉක්‌මවා යන බවය. මිනිසාගේ සෞඛ්‍යයට හිතකර වායුගෝලය පැවතිය යුතු ප්‍රමිතිය වන්නේ වායු කොටස් මිලියනයක මයික්‍රෝන 10 ප්‍රමාණයේ දූවිලි අංශු 60 ට වඩා අඩු අගයක් වුවද මහනුවර නගරයේ එම ප්‍රමාණය දෙගුණයක් ඉක්‌මවා යැම නගරවාසීන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනෝමා සිරිබද්ධන මහත්මිය පවසන්නේ මහනුවර රෝහලේ වාර්තාවලට අනුව නගරයේ ජීවත්වන පාසල් දරුවන්ගෙන් සියයට හතළිහක් (40%) පමණ ස්‌වසන ආබාධවලින් හටගන්නා රෝගවලින් පීඩා විඳින බවයි. දිනෙන් දින පෙණහළු ආබාධ, මොළය ආශ්‍රිත ආබාධ සහ ස්‌නායු ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් තිබෙන බවත් ඊට ප්‍රධානතම හේතුව නගරයේ වායු දූෂණය බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසන්නීය.
ඒ – 26 ට එරෙහි විරෝධය
ඒ-26 මාර්ගය විවෘත කිරීමට එරෙහිව සෘජුවම නැඟී සිටියේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනාහිමියන්ව සිට අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ත නාහිමියන්ය. අස්‌ගිරි පාර්ශ්වයේ වර්තමාන මහානායක හිමියන් වන ගලගම ශ්‍රී අත්ථදස්‌සී හිමියන් එම සටන ඉදිරියට ගෙන යමින් සිටින අතර උන්වහන්සේ පවසන්නේ කුමන බලපෑම් පැමිණියද දළදා මාලිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බවය. මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වූයේ දළදා වහන්සේ නිසා බවත් එම නිසා දළදා මාලිගාව ආරක්‌ෂා කළ යුතු බවත් උන්වහන්සේ පවසති. නමුත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ මාර්ගය යළි මහජනතාවට විවෘත කළ යුතු බවය. ඒ-26 මාර්ගය යළි විවෘත කිරීම අස්‌ගිරි – මල්වතු විහාර පාර්ශ්වයේ මතවාදී ගැටුමක් බවට පත්ව තිබෙන අතර රජය ඊට මැදිහත් නොවීමට සෘජුවම බලපා ඇත්තේ මෙම කරුණය.
පසුගිය ජනාධිපතිවරණයේදී මහනුවර රිවර්ඩේල් හෝටලයේ පැවැති ජන හමුවකදී එවකට ජනාධිපති අපේක්‌ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නගරවාසීන් ඉදිරිපත් කළ මූලික ඉල්ලීම වුණේ යුද්ධය හේතුවෙන් වසා දැමූ ඒ-26 මාර්ගය යළි විවෘත කිරීමය. ජනාධිපතිවරණය ජයගත් පසු ඒ-26 මාර්ග බාධකය ඉවත් කිරීමට ප්‍රමුඛත්වය දෙන බවට එදා මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු විය. නමුත් ජනපති පදවි ප්‍රාප්තියෙන් වසරක් ඉක්‌ම ගියද මාර්ගය විවෘත කිරීම හෝ නගරයේ වායු දුෂණය අවම කිරීම සම්බන්ධයෙන් මේ දක්‌වා රජයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකොට නොමැත.
දළදා මාලිගාවේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් ඒ-26 මාර්ගය වසා තැබිය යුතු නම් නගරයේ තදබදය අඩු කිරීමට විකල්ප විසඳුම් සංවාදයට ලක් කළ යුතුය. එවැනි විකල්ප විසඳුම් රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වී තිබුණද කිසිවක් මේ දක්‌වා ක්‍රියාත්මක වී නොමැත. මහනුවර නගරයේ තදබදයට විසඳුමක් වශයෙන් බෝගම්බර සිට බූවැලිකඩ දක්‌වා උමං මාර්ගයක් ඉදිකිරීම මහනුවර නගර සංවර්ධන සැලැස්‌මේ සඳහන් වුවද එම මාර්ගය අදටත් සැලසුම් පත්‍රිකාවක් පමණක් බවට පත්ව තිබේ. මහනුවර නගරයේ උමං මාර්ගයක් සැලසුම් කිරීම ඉතා සරල ක්‍රියාවලියක් නොවන අතර එය පරිසර වාර්තාවන්ට අනුව සිදු කළ යුතු දැවැන්ත ව්‍යාපෘතියකි. මන්ද මහනුවර නගරය පිහිටි භූ තලය ඉතා අස්‌ථාවර එකක් වන අතර උමං මාර්ගයන් සෑදීම සඳහා මහනුවර භූ තලය සුදුසුද යන්න භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් පර්යේෂණ සිදු කළ යුතුය. නුවර වැවට ඉහළින් ගුවන් පාලමක් ඉදි කිරීම තදබදයට විසඳුමක් වුවත් එමගින් පෞරාණික නගරයේ අලංකාරය විනාශ වී යන බවට මත පළ වී තිබෙන බැවින් එම යෝජනාවද සංවාද මට්‌ටමේ පවතින අතර අර්බුදය විසඳීමට ගෙන එනු ලැබූ කිසිදු යෝජනාවක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.
විෂ දුමට විසඳුම කුමක්‌ද
මහනුවර නගරයේ වායු දූෂණය සඳහා විසඳුම් ලෙස ඒ – 26 මාර්ගය විවෘත කිරීම, පේරාදෙණිය විලියම් ගොපල්ලව මාවත හා පැරණි පේරාදෙණිය පාරේ (සිරිමාවෝ බණ්‌ඩාරනායක මාවත) එක් දිසාවකට වාහන ධාවනය කිරීම, නගරයට පැමිණෙන බස් ප්‍රමාණය අවම කිරීම සඳහා නගරාන්තර බස් සේවාවක් ආරම්භ කිරීම, නගරය තුළ ඇති බස් නැවතුම්පළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවට යෝජනා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ඉදිරිපත් කර ඇත.
1998 වසරේ ඒ – 26 මාර්ගය වසා දැමීමෙන් පසු යළි 2002 වසරේ මාර්ගය විවෘත කිරීමෙන් පසු සිදු කරන ලද වායු තත්ත්ව පරීක්‍ෂණයේදී ඒ – 26 මාර්ගය විවෘත කිරීමෙන් පසු නගරයේ වායු දූෂණය සියයට පනහකින් (50%) පමණ පහළ ගිය බව මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පවසයි.
ඒ – 26 පාර විවෘත කිරීමෙන් සියල්ල විසඳේද?
අපගේ අදහස නම් ඒ – 26 මාර්ගය විවෘත කිරීමෙන් නගරයේ තදබදය සහ වායු දුෂණය අඩු නොවන බවයි. මන්ද මහාචාර්ය ඉලේපෙරුම මහතා පවසන පරිදි 2002 වසරේ සිදු කළ සමීක්‍ෂණයන් අදට අදාළ වන්නේ නැත. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2014 වසරේ පමණක් ශ්‍රී ලංකාවේ වාහන ජනගහණය ලක්‍ෂ 55 ක් වී තිබිණි. අද වන විට එම අගය ලක්‍ෂ 70 ආසන්නයට පැමිණ තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල ජනගහණ වර්ධනය සාපේක්‍ෂව වාහන ප්‍රමාණයද වර්ධනයට වී ඇති අතර මහනුවර නගරයේදී මේ දත්තවල පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි. එම නිසා මහනුවර නගරයේ තදබදය සහ වායු දූෂණය අවම කිරීමට ඒ – 26 පාර විවෘත කිරීම එක් විසඳුමක් පමණි. නමුත් මෙහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණක් පාර විවෘත කළ යුතු යෑයි හඬ නඟනා පිරිස් අමතක කර තිබේ. ඒ – 26 මාර්ගය වැටී ඇත්තේ දළදා මාලිගාව අසලින් වීම නිසා දිනපතා වාහන ගමන් කිරීම හේතුවෙන් භූමිය මත ඇති කරන පීඩනයෙන් දළදා මාලිගාවේ පෞරාණික ගොඩනැඟිල්ලට සිදුවිය හැකි හානිය කිසිවකු තක්‌සේරු කර නොමැත. මහනුවර නගරය යුනෙස්‌කෝ ලෝක උරුමයක් වන්නේ පෞරාණික දළදා මාලිගාව නිසාය. බුදුන්වහන්සේගේ වම් දන්ත ධාතුව පිහිටා තිබෙන නිසා එය සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව ගෝලීය බෞද්ධ ජනතාවගේ උරුමයක් බවට පත්ව තිබෙන අතර මහනුවර නගරය ගෝලීය සංචාරකයන් පැමිණෙන ප්‍රධාන නගරයක් බවට පත් වීමට ඉහත කරුණු දෙකම බලපා තිබේ. මේ භූමිය මත විශාල සංචාරක කලාපයක් නිර්මාණය වී ඇති අතර එහි කේන්ද්‍රය වන්නේ දළදා මාලිගාවය. එබැවින් නගරයේ තදබදය විසඳීමට ගන්නා තීන්දු තීරණවල දී දළදා මාලිගාවේ පැවැත්ම සම්බන්ධයෙන් ද ප්‍රමුඛත්වය දිය යුතුය.
පාර විවෘත කළ යුතු යෑයි හඬ නඟන පිරිස් දළදා මාලිගාවේ උරුමය අමතක කර ඇති අතර පාර විවෘත කරනවාට විරුද්ධ පිරිස් වාහන තදබදය හේතුවෙන් හටගෙන ඇති වායු දූෂණය අමතක කර තිබේ. නගරවාසීන්ට පමණක් නොව දළදා මාලිගාවේ පැවැත්මටද නගරයේ වායු දූෂණය ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
දළදා මාලිගාව පමණක් නොව ගෝලීය බෞද්ධ පුරාවිද්‍යාත්මක සංකීර්ණ බොහොමයක් නාගරික වායු දූෂණය හේතුවෙන් විනාශ වෙමින් පවතී.
වායු දූෂණයට බිලි වූ ගෝලීය බෞද්ධ උරුම
අට වැනි සියවසට අයත් චීනයේ ටැංග් රාජවංශ සමයේ ඉදි කළ මීටර් 71 උස Leshan Giant Buddha ප්‍රතිමාව නාගරික වායු දූෂණය හේතුවෙන් ඛාදනයට ලක්‌වෙමින් තිබේ. බුද්ධ ප්‍රතිමා සංකීර්ණය ආසන්නයේ පිහිටි ගල් අඟුරු බලාගාරයෙන් පිටවන විෂ දුම හේතුවෙන් හටගන්නා අම්ල වැසි හේතුවෙන් බුද්ධ ප්‍රතිමාව ඛාදනයට ලක්‌වෙමින් තිබේ.
ක්‍රි. ව. 316-917 යුගයට අයත් ටැංග් රාජවංශ සමයේ ඉදි කළ Longmen grottoes බුද්ධ ප්‍රතිමා සංකීර්ණයද අම්ල වැසි හේතුවෙන් ඛාදනයට ලක්‌වෙමින් තිබේ. ගල් ලෙන් තුළ පිහිටි බුද්ධ ප්‍රතිමා ලක්‍ෂයක් පමණ විනාශ වෙමින් පවතින අතර බෞද්ධ පුරාවිද්‍යා සංකීර්ණයේ විනාශයට බලපා ඇත්තේ වායු දූෂණයයි. මේ සියල්ල යුනෙස්‌කෝ ලෝක උරුමයන් වන අතර පවතින පාරිසරික සාධක ඉදිරියට පැවතුණහොත් මෙවැනි ගෝලීය බෞද්ධ නටබුන් පෘථිවියෙන් සදහටම තුරන් වී යනු ඇත.
ගෝලීය බෞද්ධ නටබුන් පමණක් නොව ඉන්දියාවේ ටඡ්මහල් මන්දිරයද ග්‍රීසියේ Acropolis of Athens පුරා විද්‍යා සංකීර්ණයද විනාශයේ පතුල කරා පියනඟමින් සිටින්නේ වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා අම්ල වැසි හේතුවෙනි. අම්ල වැසිවලට නිරාවරණය වූ වටිනා කිරිගරුඬ නිර්මාණ වැලිකැට බවට පත්වෙමින් තිබීම ෙ€දවාචකයකි. මේ හේතුව නිසා ටඡ්මහල් මන්දිරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ මෝටර් රථ ටඡ්මහල් සමීපයට පැමිණීම තහනම් කර ඇති අතර ඔවුන් සඳහා විශේෂ රථගාල් ඇති කර එම රථගාල්වල සිට විද්යුත් බස් රථ මගින් සංචාරකයන් ටඡ් මහල් වෙත පැමිණිම සිදු කෙරේ.
මහනුවර නගරයේ වායු දූෂණය හේතුවෙන් මහනුවර හා පේරාදෙණිය ආශ්‍රිතව අම්ල වැසි ඇතිවීම සියයට හතළිහකින් (40%) පමණ ඉහළ ගොස් තිබෙන බව මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පවසයි. ගෝලීය වායුගෝලීය සාධක අනුව මහාචාර්ය ඉලේපෙරුම මහතා පවසන කතාව සුළුවෙන් බැහැර කළ නොහැක. මීට පෙර අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල ඉදිකිරීමට ගිය රථවාහන නැවතුම්පළ ව්‍යාපෘතිය නතර කිරීමට මූලිකව බලපෑවේ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී මහ බෝධියේ පැවැත්මට සිදුවන හානියයි.
ගෝලීය අර්බුදය
ඉන්දියාවේ නව දිල්ලි නගරයද වායු දූෂණය වැඩිම නගරයක් වන අතර පසුගියදා එම නගරයේ වායු දූෂණය ලෝක සම්මත ප්‍රමිතියට වඩා හතළිස් ගුණයකින් ඉහළ ගොස් තිබුණි. පරිසර සංවිධාන යොමු කළ පැමිණිල්ලක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු මාසය තෙක් දිල්ලි නගරය තුළ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කළ අතර නගරයට ඇතුළු වන ඩීසල් ටැක්‌සි රථද සීමා කරමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුව අනුව වසර දහයක් පැරණි ට්‍රක් රථ දිල්ලි නගරයට පැමිණීමද නගරය හරහා වෙනත් ප්‍රාන්තයන් වෙත ගමන් කිරීමද තහනම්ය.
යුරෝපයේ බොහෝ නගරවලට ඩීසල් වාහන පැමිණීම තහනම් කර ඇති අතර එම නගරවල කාබන් ඩයොක්‌සයිඩ් වායුව පිරිපහදු කරන යන්ත්‍ර සවිකර නාගරික වායුව දූෂණය වීම පාලනය කරගෙන තිබේ. සිංගප්පූරුව, ටෝකියෝ යන නගරවල මෙම යන්ත්‍ර මගින් නාගරික වායුව පිරිසිදු කර නගරවාසීන්ට සුවදායක පරිසරයක් බිහි කර තිබේ. ඕලන්ද නිර්මාණකරුවකු වූ ඩෑන් රූස්‌ගාර්ඩ් විසින් නිර්මාණය කර ඇති Smog free ව්‍යාපෘතිය මගින් කියුබික් මීටර් 30,000 ක වායු කලාපයක් පිරිසිදු කිරීමට වැය වන්නේ පැයකට අඩු කාලයකි. එම නිසා මෙම ව්‍යාපෘතිය නාගරික දූෂණය පවතින රටවල වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබේ.
මහනුවර නගරයේ තදබදය පමණක් නොව වායු දූෂණය විසඳීමට ගත යුතු ක්‍රියා මාර්ග බොහොමයක් අප අමතක කර දමා තිබේ. 1998 වසරේ පාර වසා දැමූ මොහොතේ සිට වායු දූෂණය වෙනුවෙන් ගත යුතු ගෝලීය ක්‍රියා මාර්ග අනුගමනය කළේ නම් අද මෙවැනි අර්බුද මතුවන්නේ නැත.
දළදා මාලිගා පරිශ්‍රය ලෝක උරුමයක් වන්නේ පෞරාණික සාධක මෙන්ම පාරිසරික සාධකවල වටිනාකම මතය. පෞරාණික සාධක ආරක්‍ෂා වී පාරිසරික සාධක විනාශ වන්නේ නම් එය ලෝක උරුමයක් බවට පත් වන්නේ නැත. යුනෙස්‌කෝ සංවිධානය ලෝක උරුමයන් නම් කිරීමේදී පාරිසරික සාධකවලට වැඩි ප්‍රමුඛත්වයක් දෙනු ලබයි. ඉදිරියේදී ලෝක උරුමයන් ප්‍රකාශයට පත් කිරීමේදී වායු දූෂණය සිදුවන පුරාවිද්‍යා සංකීර්ණ පිළිබඳව ඔවුන් දැඩි අවධානයක් යොමු කර තිබේ. එබැවින් ශ්‍රී ලංකා රජය මහනුවර නගරයේ වායු දූෂණය අවම කිරීමට ගන්නා පියවර ප්‍රමාද නොකළ යුතු වන්නේ ඉදිරියේදී ලෝක උරුම ලැයිස්‌තුවෙන් මහනුවර නගරය ඉවත් වීමට වැඩි ඉඩක් තිබෙන බැවිනි.
දළදා මාලිගාව ඡේතවනාරාමය වී බුදුන් වහන්සේ අද එහි වැඩසිටියේ නම් ඒ – 26 මාර්ගය විවෘත කිරීමට පළමු පියවර තබන්නේ උන්වහන්සේය. මන්ද බෞද්ධ දර්ශනයේ පරම අරමුණ මානවයාගේ පැවැත්ම ආරක්ෂා කර, ජීවිතයේ සංතෘෂ්ඨිය විඳ, නිර්වාණාවබෝධය ලබා ගැනීමය. නමුත් ශ්‍රී ලංකාවේ බෞද්ධාගම ක්‍රියාත්මක වන්නේ දියවන්නා ඔයෙන් එතෙර වී ජීවිතයේ සංතෘෂ්ඨ§ය විඳ ගැනීම උදෙසාය. දළදා මාලිගාව ඉදිරිපිට පාර මේ තරම් සංකීර්ණ දේශපාලන ප්‍රශ්නයක් වී ඇත්තේ මේ නිසාය. රටක් ලෙස අප ගන්නා තීන්දු තීරණවලදී ප්‍රමුඛත්වය දිය යුත්තේ මානව සංහතියේ පැවැත්ම වෙනුවෙනි. මානවයන් විනාශ වී ඉතිරි වන උරුමයන් හි වටිනාකම් තීරණය කරන්නේ කවුද?
රසී වීරසිංහ
– Divaina