සැලුන් දොරෙන් එහා පැත්ත – Saloon Sri Lanka

0
1612

සමාජ විමර්ශන

උස හම් තොප්පි පැළඳ පොන්චෝවෙන් දෙවුර වසාගෙන කොටු කොටු කමිස සහ ඩෙනිම් කලිසම් ඇඳි ගොපලු කොල්ලන් හෙවත් කව් බෝයිස්‌ලා තම අශ්වයා අසල කණුවක බැඳ තබා රිදී පාටින් දිලිසෙන දිග කාණු හතේ පිස්‌තෝලය සූදානම් කරගෙන එහා මෙහා දෙපැත්තටම පැද්දෙන සැලුන් දොරින් තැබෑරුමට ඇතුල් වන්නේ හතුරන් මෙහි ඇද්දැයි සෙවීමට වඩා පදම් කල ලී පටි වලින් සැදු බුජමක හෝ බූලියක පැහෙන බීර වීදුරුවක්‌ තොල ගා මඳක්‌ විවේකයෙන් විනෝදයෙන් ගත කරන්නටයි ඒ එදා ඇමෙරිකාවේ හෝ මැක්‌සිකෝවේ සංස්‌කෘතියයි.

අපේ රටේ මෙයින් කලකට පෙර ඉතා සුලබ ලෙස මෙම සැලුන් දොරවල් බාබර් සාප්පු වල දකින්නට තිබුණ අතර අද ඒවා කෙමෙන් ඉවත්ව එහා මෙහා පේන වීදුරු දොරවල් බවට වෙනස්‌ වී තිබේ. මෑතකදී අපේ කලාකාරයන් මෙන්ම දේශපාලනඥයන්ද මෙම යද්දී යන පැත්තට ඇරෙන එද්දී එන පැත්තට ඇරෙන සැලුන් දොරවල් ගැන කතා කළා අපට මතකය.

අපේ කතාව අද සැලුන් ගැන මිස සැලුන් දොරවල් පිළිබඳව නොවන නිසා අපි මාතෘකාවට බසිමු.

කිසි කෙනෙකුට හිස නොනමන සක්‌විති රජෙකුට පවා කරණවෑමියා ඉදිරියේ ඔලුව පාත් කරන්නට වන බවට ප්‍රකට කියමනක්‌ අපි අසා ඇත්තෙමු. එහෙත් රජෙක්‌ හැම කරණවෑමියෙකු ඉදිරියේම තම හිස පාත් කරන්නේවත් එහෙට මෙහෙට හරවන්නේවත් නැත .ඒ සඳහා ඔහු තමාට සුවිශේෂී හිතෛෂිවන්ත රාජකීය බාබර් කෙනෙක්‌ පත්කරගෙන සිටී රජවරු මෙන්ම පාතාල නායකයන් යෑයි කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ද තම කොණ්‌ඩය රැවුල කපා ගන්නට බාබර් කෙනෙකු වෙත ගොස්‌ හිස පාත් කරන්නේ ඉතාම භීතියකිනි. ඒ ඔහු තවත් පාතාලයෙකුගේ ඉත්තෙක්‌ හෝ මුදල් ලබාගෙන තම දැලි පිහියෙන් බෙල්ල ඇද දමාවී යන සැකය නිසාය.

“මම කාලයක්‌ නාවල පැත්තෙ ඉටපු පාතාලයේ සැට්‌ එකකම කොණ්‌ඩෙ කැපුවා මට මාර සැලකිලි කන්ඩ බොන්ඩ අරව මේව නාන්ඩ තියෙනව. ඇබැයි මාව ඇතුළට ගන්නෙ පුල් චෙකින් එකක්‌ දීල පනාවයි කතුරයි මැෂිමයි විතරයි පාවිච්චි කරන්න පුළුවන් දැල්ල (දැලි පිහිය) අල්ලන්න තියා ගේන්නත් තානම්. උදේ ගියාම එළියට එන්න වෙන්නෙ හවසට මාසයකට වතාවක්‌ යනවා. බොසාගෙනුයි එයාගෙ අයියල මල්ලිලාගෙනුයි කිසි ගැටලුවක්‌ නැහැ. කට්‌ එකටයි මසා- එකටයි ඔඳට ගෙවනව ඒත් ආක ඉන්න වටපඩයන්ගෙ ගෙම්බර් තමයි උහුලන්න බැරි උන් කොණ්‌ඩෙ කපාගෙන හෙඩ් මසා- එකක්‌ ගන්නවා. ඇරුනම තව තව දේවල් කර ගන්න හඅනවා අපි ඒවට නැහැ කොන්ඩෙ රැවුල කපනව විතරයි.”

දැන් නාවලට කිට්‌ටුව පොඩි බාබර් සැලුන් එකක්‌ කරගෙන යන මංජු පාතාල භාසාවෙන්ම තම අදහස්‌ ඉදිරිපත් කළේ එහෙමයි. ඔහු ළඟ පොඩි ලලනා ගතියක්‌ තිබුණට ඉස්‌සර නාවල කට්‌ටියත් එක්‌ක පොඩි පොඩි සිල්ලර ගේම් වලටත් බැහැල තියෙන කෙනෙක්‌ අනං මනං දේට ඔහු එකඟ නැහැ.

අද අප රටේ විවිධාකාර මාදිලියේ බාබර් සැලුන් දකින්නට ඇත. දේශපාලනය කරන මැති ඇමැතිවරුන් ව්‍යාපාර ලෝකයේ ධන කුවේරයන් ජනප්‍රිය නළුවන් කලාකාරයන් අතරින් බහුතරයක්‌ දෙනා තම කොණ්‌ඩය රැවුල කපා ගන්නට යන්නේ නගරයේ ඇති සුපිරි පන්තියේ අධික මිලක්‌ ගෙවිය යුතු බාබර් සැලුනය වෙතයි. මෙවන් සැලුන් පිහිටා ඇත්තේ සමහරවිට තරු පහේ හෝටලයකයි. එසේත් නැත්නම් සුපිරි තත්ත්වයේ ඇති ෂොපිං මෝල් එකක හෙවත් සාප්පු සංකීර්ණයකයි. සමහර ධනවතුන් එවන් සැලුන්වල සිටින සුපිරි පන්තියේ බාබර්ලා තම නිවසටම ගෙන්වාගෙන ලොකු මිලක්‌ ගෙවා තමන්ගේත් දරුවන්ගේත් රැවුල් කොණ්‌ඩ කපා ගනී.

මධ්‍යම පන්තියේ අය සඳහාද වෙන්වුණ බාබර් සාප්පු අපට දකින්නට ඇත. එවන් තැනකට ගියාම සැප පහසු පුටුවක වාඩිවී සිට පත්තරයක්‌ සඟරාවක්‌ කියවා අසල ඇති රූපවාහිනියෙන් ඩිස්‌කවරි හෝ ඇනිමල්ස්‌ වර්ල්ඩ් වර්ගයේ වාර්තාමය චිත්‍රපටයක්‌ නරඹමින් හිඳ තම වාරය ආ පසු කොණ්‌ඩය කපාගෙන පාඩුවේ එළියට ආ හැකිය.

මුදල් හදල් නැති හෝ තිබුණත් කොණ්‌ඩය කපා ගැනීමට ලොකු මුදලක්‌ වැය කිරීමට අකැමැති අය වෙනුවෙන් ඇරුණු තුන් වැනි පන්තියේ බාබර් සැලුන්ද අද නගරයේ එමටය. මෙවැනි සුපිරි මධ්‍යම සහ තුන්වැනි පන්තියේ බාබර් සැලුන් නගරයේ සහ නගරාශ්‍රිත පලාත්වල තිබුණද අද ගමට යන්නට යන්නට තාම දකින්නට ඇත්තේ අප කලින් කී දිළිඳු මොඩලයේ තුන්වැනි පන්තියේ බාබර් සැලුන්ය. එහි සේවය කරන කරණවෑමියන් නගරයේ අය මෙන් ශේඩඩ් ඩෙනිමක්‌ ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ අතේ වළලු ඇඟිලි වල මුදු ගෙලේ මාල පැළඳි මොඩ් හෙයාර් ඩ්‍රසර්ලා නොව සුදු සරම බැනියම අඳින හම් හවඩියක්‌ හෝ මහත ඉන පටියක්‌ බැඳගත් සරළ සාමාන්‍ය පීතර මාමලාය. සමරසේන අංකල්ලාය. හැට පැන්නත් සැලුන් අයියාය. (ගම් වල සමහරු කරණවෑමියා අමතන්නේ සැලුන් අයියා සැලුමා බාබයියා ආදී නම් වලිනි.)

“ඔය මොන පන්තියේ මොන ආකාරයේ සැලුන් දාගෙන කොච්චර ගාණක්‌ අය කලත් මගේ අත්දැකීමේ හැටියට ඔය කොයි බාබර් ගාවත් තියෙන්නෙ එකම ගති ලක්‍ෂණ.”

සැලුන් ගැන ඔබේ අදහස මොකක්‌දැයි මම අසා සිටි විට වැල්ලවත්තේ සනී අංකල් මට දුන් උත්තරයයි. ඒ මාසයකට අඩුම වශයෙන් දෙපාරක්‌වත් කොණ්‌ඩය කපන ඒ කපන හැම වතාවකටම බාබර් සාප්පුව වෙනස්‌ කොට අලුත් එකකින් සේවය ලබා ගන්නා අසූ තුන් හැවිරිදි සනී අංකල් වැඩිදුරටත් තම අදහස්‌ මෙසේ ඉදිරිපත් කළේය.

“වැඩි හරියක්‌ බාබර්ලා කුකුල් කේන්තිකාරයෝ පොඩ්ඩ වරදින්න බැහැ. ඒ වගේමයිs උන් ඔක්‌කොමල රෙද්ද පොරවන්නේ තුවායෙන් කොණ්‌ඩ කෑලි ගසාදාන්නෙ වතුර විදින්නේ මැසිම අල්ලන්නෙ හෙඩ් මසා- කරල ඇඟිලි කඩන්නෙ එකම විදියට හරියට කතා වෙලා වගේ ඒ වගේමයි. මම දැකල තියෙනව ගොඩක්‌ අය හේත්තුවො උන් හරිම කැමැතියි කොණ්‌ඩෙ කපද්දි කොණ්‌ඩෙ අයිතිකාරයගෙ ඇඟට හේත්තුව දාන්න කොල්ලො කුරුට්‌ටො තරුණ ගැටයන්ට මුන් හේත්තුව දානව වැඩියි මන් දන්නෙ නැහැ ඒ ඇයි කියල.”

කොණ්‌ඩය කපන රස්‌සාවට එන අය අතර ගෑනු ලක්‌ෂණ ඇති ගැහැනුන් මෙන් අඳින්නට පළඳින්නට කැමැති එසේම සමලිංගික සේවනයට ලොල් වූ පුද්ගලයන්ද ඇත්තටම එමටය. බහුතරයක්‌ දෙනා ඇඟටම හේත්තුවී කොණ්‌ඩය කපන්නට හරිම ආසාවක්‌ දක්‌වයි. සැලුන් සංස්‌කෘතියේ බාබර් සමාජයේ මෙසේ කරනවාට කියන්නේ හීන් ආතල් ගන්නවා කියාය.

සයිමන් අයියාද රට සුපතළ කරණවෑමියෙකි. ඔහුගේ බාබර් සාප්පුව තිබුණේ කොළඹ නාලන්දා විදුහලට මායිම්ව තිබූ කුඩා කඩමණ්‌ඩියේය. එකල නාලන්දා සිසුන් උදෑසනම පත්තරයේ හෙඩිම බලන්නට හෝ පාසලට යැමට පෙර උදේට සහ පාසලින් පසුව සමාජගතව බස්‌ එකේ සහ කාන්තා පාසල් අසල සෙම පෙරන්නට යැමට පෙර තම කොණ්‌ඩය පීරාගෙන පවුඩර් ටිකක්‌ මුහුණේ උලාගන්නට වවුල් දොර මෑත් කර ඇතුල්වූවේ සයිමන් අයියාගේ සැලුන් එකටයි. ඒ හැමටම සයිමන් අයියා එකසේ සැලකුවේය. අවවාද අනුශාසනා දුන්නේය. එමෙන්ම පන්ති වෙලාවේ කට්‌ටි පැන යන කොල්ලන් ශිෂ්‍ය නායකයින් හඹා එද්දී ඒ කොල්ලන් බේරා ගන්නටත් ශිෂ්‍ය නායකයන් ඉවත්ව යනතෙක්‌ සැඟවී සිටින්නටත් පහසුකම්ද සැපයුවේය සමහර දඩබ්බර කොල්ලන් සැලුන් එකට රිංගා සිගරැට්‌ උරද්දී කුණුහරුපෙන් පවා බැණවැදී එලවා දමන්නටත් නමුත් කවදාවත් ඔවුන්ව ගුරුවරුන් වෙත පාවා නොදෙන්නටත් සයිමන් අයියා කාරුණික විය. එකල දිනපතා පුවත්පත්වල අන්තිම පිටුවට පෙර පිටුව වෙන්වී තිබුණේ රට පුරා පෙන්වන චිත්‍රපට සහ ශාලා පිළිබඳ විස්‌තර සහ දැන්වීම්වලට වූ අතර අප පාසලේ සිටි දර්ශන හපුගොඩ හැම සිකුරාදාම පාසැලට එන්නට පෙර සයිමන් අයියාගේ සැලුන් එකට රිංගා එහි ඇති පත්තරේ පික්‌චර් පිටුව හොරාට ඉරාගෙන ඇවිත් අපට පෙන්වන්නේ සිකුරාදා දහයයි තිහට බලන්න හොඳ චිත්‍රපටය කලින්ම තෝරාගන්නයි. සයිමන් අයියා අද මියගොසිනි. නමුත් එදා පටන් ඔහු සමඟ සිටි ගෝලයා වන මර්වින් අයියා තාම සැලුනය කරගෙන යයි.

කොණ්‌ඩය කපා ගැනීමට රැවුලේ කට්‌ එක තියන්නට හිසෙහි කැටයම් ස්‌ටයිල් එකක්‌ දා ගන්නට ජෙල් ගා කොණ්‌ඩය උත්තුංග කරන්නට කෙස්‌ පාට කරන්නට හෙඩ් මසා- එකක්‌ ගන්නටද මෙන්ම පච්චා කොටා ගනන්ටද අද තරුණයෝ බාබර් සැලුන් වෙත යන්නේ එවායේ වර්ණවත් පච්චා කෙටීමත් කන් ඇහිබැම සහ නිකට විද කරාබු බෝල කුඩා උල් සහ ඊතල ආදිය (ඒඑඑදද aබා චසැරජැ) ඇතුල් කර දෙන නිසාය. මෙය මා දකින්නේ විලාසිතාවක්‌ මෙන්ම ස්‌වපීඩා කාමුකත්වයේ ප්‍රාථමික අවධියක්‌ ලෙසිනි.

සමහර කුඩා බාබර් සාප්පුවල පිටුපස හෝ ඇතුල් කාමරයක සිගරට්‌ ගංජා සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන බවටද අපට සාක්‍ෂි ලැබී ඇත. බොහෝ විට මෙසේ වන්නේ තරුණ ගැටයෙක්‌ තනිවම කරගෙන යන කුඩා සැලුන් වලයි. ඔහුත් මතට ලොල් අයෙක්‌ නම් කට්‌ටිය ඔහු සොයා විත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට වැඩි ප්‍රවණතාවක්‌ දක්‌වයි. මෙවැනි බාබර් සාප්පුවක්‌ අඳුනා ගැනීම එතරම් අසීරු නැත. ඒ එහි ඇති ඝෝෂාකාරී සංගීත නාද රතු ලයිට්‌ බිත්තියේ අලවා ඇති භයානක හෝ අද්භූත පින්තූර එහි ගැවසෙන අයගේ ඇස්‌වල ස්‌වභාවය හැසිරීම් රටාව සහ ඇතුළෙන් එළියට ගලා එන සිගරට්‌ සහ වෙනත් මත් දුම් සුවඳිනි.

හෝමාගමට නුදුරු මෙවැනි බාබර් සැලුනයක්‌ ඇති අතර එහි රසගුලාව කියා කුඩා කාමරයක්‌ සැලුනය පිටුපසට වෙන්නට යාබදව අළලා ඇත. එහි නිතර රතු පාට කුඩා බල්බයක්‌ දැල්වෙයි. කුඩා ඇඳක්‌ සහ සංගීතය සපයන සෙටප් එකක්‌ද ඇත. නගරයේ සැරිසරන රස්‌තියාදු තරුණයෝ මෙන්ම හිරිමල් වයසේ සිටින නාඹර පාසල් සිසුන්ද කොණ්‌ඩය කපන මුවාවෙන් මෙහි පැමිණ රසගුලාවට රිංගා සිගරට්‌ ගංජා සහ කේරළ ගංජා උරණ බව ප්‍රසිද්ධ රහසකි.

බාබර්ලා ගැන කතා කරද්දී බෝකුන්දර රොකා ගැන නොකියාම බැරිය. සිත් ගන්නා සුලු ප්‍රියමනාප තරුණයෙක්‌ වන ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ජංගම බාබරයෙකි. දැන් දැන් බද්දට රැගෙන හෝ තමන්ගේම කියා සැලුන් කළද එකල ඔහු නිවසින් එළියට බහින්නේ කුඩා කතුරක්‌ හෝ පනාවක්‌ පමණක්‌ තම හමගිය ඩෙනිමේ පිටුපස සාක්‌කුවේ ඔබාගෙනයි. කිරුලපන, කූඹිකැලේ තිඹිරිගස්‌යාය, හැටේවත්ත බොරැල්ල, සිංහදූපත හෝ මරදාන ලොගට්‌ලේන් වැනි අඩු ආදායම්ලාභීන් වෙසෙන ජනාකීර්ණ වත්තකට උදේම බහින ඔහු කාගේ හෝ ගෙදරකින් ණයට ඉල්ලා ගන්නා කුඩා මුහුණ බලන කන්නාඩියක්‌ අසල ගසක රඳවා පුටු කබලක්‌ද ඉල්ලාගෙන ගස්‌ සෙවණේ තබාගෙන තම රස්‌සාව පටන් ගනී. පනාව කතුර සහ ජලය පමණක්‌ පාවිච්චි කරමින් ඉතාම සාධාරණ හෝ අතේ තියන ගානට දුප්පත් අයගේ කොණ්‌ඩය රැවුල කපන නිසා ඔහු සොයා ලොකු කුඩා බාල මහලු ගැහැනු පිරිමි කස්‌ටමර්ලා එන්නේ පෝළිමේය. කොණඩය කැපීම මඳකට නවතන ඔහු රොක්‌ නැටුමක්‌ නටමින් තාලයකට සුමියුරු ගීතයක්‌ ගයන්නටද අමතක නොකරයි. කෙසේ වෙතත් සවස්‌ ජාමයේ ඔහු යළිs වත්තෙන් පිටවෙන්නේ සාක්‌කුව බරට මුදල් පුරවාගෙනයි.

සිරගෙවල්වලද බාබර්ලා සහ සැලුන් තිබේ. බාබර් පාටි කියා වෙනම වැඩ අංශයක්‌ද ඇත. ඒවාට අනුයුක්‌ත කරන්නේ කොණ්‌ඩ කපන්නට දන්නා අලුතින් එන සිරකරුවන්ය. හිරගෙදර සැලුන් එකේ වැඩියෙන්ම කොණ්‌ඩ කැපෙන්නේ හිරකාරයන්ට වඩා මහත්තුරුන්ගේය. වැලිකඩ හිරගෙදර ඇති සැලුන් එක ලස්‌සන කාමරයකි. කාමය රාගය ඇවිස්‌සෙන අඩ නිරුවත් තරුණ සුරූපී කාන්තා රූප වලින් එහි බිත්ති සැරසී තිබේ. සිරගෙදර තුළ කරණවෑමි පන්ති පවත්වා කොණ්‌ඩා කපන ශිල්පීන් පුහුණු කිරීමද කරනු ලබය.s සිරකරු සුබසාධන සංගමය මගින් එසේ පුහුණු කරන ලද සිරකරුවෝa සිය ගණනක්‌ නිදහස්‌ වී පැමිණ තමන්ගේම කියා සැලුන් රට පුරා පවත්වාගෙන යති.

තායිලන්තයේ බැංකොක්‌ සහ පතායා, මැලේසියාවේ ක්‌වාලාලම්පූර් සහ මෙලාකා, පිලිපීනයේ මැනිලා වැනි නගරවල දහස්‌ ගණන් සැලුන් ඇති අතර පිරිමින් සඳහාම වෙන්වුණු අමුතුම මාදිලියේ සැලුන් වර්ගයක්‌ මම දැක ඇත්තෙමි. ඒවායේ කෙරෙන්නේ කොණ්‌ඩය කැපීම හිස මසාඡ් කිරීම සහ ඇස්‌වල කන් වල සහ නාසයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමයි. මෙවැනි සැලුන්වලට යැමට විදේශ රටවලින් එන පිරිමින් පොරකන්නේ එහි සේවය කරන බාබර්වරියන්ගේ කරුණා ගුණය නිසා සහ ඔවුන් ඇඳන් ඉන්නා ඉතා කුඩා කොට කලිසමෙන් නිරුවත් දෙපා පෙනෙන නිසාත්, තම පුන් පියයුරු කිටි කිටියේ තද කර බැඳගෙන ඉතා කුඩා රෙදි කඩකින් ඒවා අඩක්‌ වසාගෙන සිටින නිසාත් විය යුතුය. අනික්‌ කරුණ ඔවුන් අසුන්ගෙන සිටින තම සේවාලාභියාගේ කන් සහ නාසා සුද්ධ කරන්නේ ඉතාම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් ඔවුනගේ මුහුණ තම අඩ නිරුවත් ළැම මත හොවාගෙන නිසාත්ය.

සැලුන් ගැන ලිව්වා ඇතැයි සිතමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
– Divaina