බටහිර හා ආයුර්වේද වෛද්‍ය කණ්‌ඩායමක්
එකමුතුව සොයා ගත් අපේම බෙහෙත් වට්‌ටෝරුවක්
ප්‍රතිකාර නොමිලේඅවශ්‍ය ඕනෑම අයෙකුට මනුෂ්‍ය ජීවිත
බේරා ගන්න වට්‌ටෝරුව දෙන්න ලෑස්‌තියි
මිනිසුන් බුරුතු පිටින් ජීවිතය ඉල්ලා ගෙන රෝගී පෝලිමට එකඟ වුවත් වකුගඩු රෝගයට මේ දක්‌වාම නිශ්චිත බෙහෙතක් සොයාගෙන නැහැ. වෛද්‍යවරු කියන විදිහට නිසි ප්‍රතිකාර විදියකුත් වකුගඩු රෝගයට මේ දක්‌වාම නැහැ.
රටේ හැමෝම වකුගඩු රෝගය වෙනුවෙන් මොනම හරි දෙයක් කරන්න උත්සහ කරනවා. මොනවත්ම බැරි කෙනා මේ රෝගීන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් හරි දෙනවා. හැමෝම එහෙම කරන්නේ මේ වකුගඩු රෝගයේ තියන බරපතළකම දන්න නිසා වෙන්න ඕනෙ. හැබැයි මේ රෝගය හැදුණු කෙනා විතරයි ඒකේ අරුමෙ කරුමෙ දන්නෙ. නිකං අයට මේක කොච්චර කිව්වත් කතාවක් විතරයි.
වකුගඩු රෝගය පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දු වෙන අතරතුරේ තමයි මට මේ කණ්‌ඩායම හම්බුණේ. කැබිතිගොල්ලෑව මධ්‍යස්‌ථානය කරගෙන වකුගඩු රෝගයට මේ පිරිස බෙහෙත් කරනවා. පසුගියදා මා ඒ පිරිස මුණ ගැහුණා.
මේ වෛද්‍ය කණ්‌ඩායම සම්පූර්ණයෙන්ම බටහිර වෛද්‍යවරුනුත් නෙමෙයි. ආයුර්වේද වෛද්‍යවරුනුත් නෙමෙයි. හොඳ සංකලනයක්. නිර්වින්දන වෛද්‍ය වරයෙකුත් ඉන්නවා. මම කතාව පටන් ගත්තේ නිශාන්ත කුමාරසිංහ වෛද්‍යවරයත් එක්‌කයි.
අපි මේක පටන් ගන්න පෙර ලොකු කතාවක් තියෙනවා. කෑගල්ලේ වහරක ගෝනගල් දෙණිය අරියචින්තාශ්‍රමයේ හැම ඉරිදම ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වුණා. මේකට වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් එන්න ගත්තා. ඒ එන අයගෙන් විශාල පිරිසක් සනීප වුණා. ඊට පස්‌සේ අපි කළේ මේ සායනයේදී රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග ගැනත් ප්‍රතිකාර විදි ගැනත් පර්යේෂණයක් ආරම්භ කළ එකයි. මේ පර්යේෂණ සෑහෙන කාලයක් කළා. හෙළ වෙදකමේ විශ්මිත බෙහෙත් වට්‌ටෝරුවක් ඔස්‌සේ අපි දැන් ඖෂධ නිෂ්පාදනය කරලා කැබිතිගොල්ලෑව පළාතේ වකගඩු රොගීන්ට ප්‍රතිකාර කරනවා. මේ ප්‍රතිකාර සියල්ලම අපේ කණ්‌ඩායම සම්පූර්ණයෙන්ම නොමිලයේ තමයි කරන්නේ. බෙහෙත් නිෂ්පාදනය කරන්නේ අපේ යාලුවන්ගෙන් ලැබෙන ආධාර මුදල් වලින්. මේකට ලොකු වියදමක් යනවා.
අපේ මේ වෛද්‍ය සායනයට එක්‌දාස් පන්සීයක් විතර එනවා. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහත්තයත්, කැබිතිගොල්ලෑව ප්‍රජා වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සුමනා බස්‌නායක, යුද හමුදාවේ කපිතාන් බුද්ධදාස වැලිවත්ත, වෛද්‍ය කැලුම් ලංකේස්‌වර, අනිල් කාරියවසම්, ඇතුළු පළාතේ තවත් බොහෝ දෙනෙක්. ලබාදෙන අනුග්‍රහය මත තමයි අපි මේ වෛද්‍ය සායනය පවත්වාගෙන යන්නෙ රජයෙන් අනුග්‍රහයක් නැහැ. කැපවීම මත යන මේ ක්‍රියාව ව්‍යාප්ත කිරීම තමයි ඉතාම වැදගත්.
කැබිතිගොල්ලෑවේ මේ සායනයෙන් බෙහෙත් ලබාගත්ත වකුගඩු රෝගීන් විශාල පිරිසක් සුවය ලබලා තියෙනවා. විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ත නායක හාමුදුරුවෝ තමන්ගේ දායක කාරකාදීන්ට ලබාදෙන මේ සහයෝගය ගැන කතා කළේ ලොකු පුන්‍යාණුමෝදනාවකුත් එක්‌කයි. මේ වෛද්‍ය සායනය ඒ තරමට ජනප්‍රිය වේගෙන එනවා. පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනකොට බෙහෙත් වැඩි ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. විශාල වියදමක් දරලා ඖෂධ හොයාගෙන බෙහෙත් හදලා නිකම්ම දෙන්න වුණාම මේක දරාගන්න බැහැ. හැබැයි නිකම්ම දෙනවානම් අපේ මිනිස්‌සු දෙමළ පත්තරේ වුණත් අරගෙන කිහිල්ලේ ගහගෙන යනවා කියලා කියමනක් තිබුණට කැබිතිගොල්ලෑවේ වෛද්‍ය සායනයට එන අයට නම් ඒක අදාල නැහැ. එතෙන්ට එන්නෙම රෝගීන් තමයි. මේ නිසා රෝගීන්ට ඖෂධ හදන්න යන වියදමට රජය හෝ වෙනත් සංවිධානයක් දායක වීම දැන් අනිවාර්ය වෙලා තිබෙනවා.
අප දැක්‌ක ඊළඟ කාරණය තමයි මේ පළාතේ වකුගඩු රෝගියෝ හැම ගමකම ඉන්නවා. කැබිතිගොල්ලෑවෙ එක වෛද්‍ය මධ්‍යස්‌ථානයකින් විතරක් මේ විදිහෙ වෛද්‍ය සායනයක් කරලා මේ වැඩේ ගොඩදාන්න බැහැ. මේක පළාත පුරාම ව්‍යාප්ත වෙන්න ඕනේ.
මේ ව්‍යාපෘතියට අතගහලා ඉන්න විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියක් වන පුෂ්පා කුලනාථ මහත්මිය ආචාර්ය වෛද්‍යවරියක්. නිශාන්ත කුමාරසිංහ වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක්. කිත්සිරි ජයසේකර වෛද්‍යවරයා නිර්වින්දන වෛද්‍යවරයෙක්. මේ පිරිස අවුරුදු ගානක් පර්යේෂණ කරලා ඖෂධවල අඩංගු සංඝඨක ගැන හොයලා බලලා තමයි නව ප්‍රතිකාර ක්‍රමයක් සකස් කරලා තියෙන්නේ. ඖෂධ වට්‌ටෝරුව හදලා තියෙන්නෙත් එහෙමයි.
කතාකරගෙන යනකොට දැණුනු එක දෙයක් තමයි මේ තුන්හතර දෙනා විතරක් තමයි කැබිතිගොල්ලෑවේ වකුගඩු රෝගීන් සනීප කළේ කියලා එයාලට තනියම බුදුවෙන්න වුවමනාවක් නැහැ. මේ අය කැමතියි ඕනෑම තැනක මේ වගේ සායනයක් පටන්ගන්නවා නම් වෛද්‍ය උපදෙස් තාක්‍ෂණය ලබලා දෙන්න. ඒ වගේම බෙහෙත් වට්‌ටෝරුවේ බෙහෙත් අංශුමාතයක් වත් අඩු කරන්නෙ නැතුව දෙන්නත් සුදානම්.
මේ නිසා ආණ්‌ඩුවට පුළුවන් බෙහෙත් හදන්න උදව් කරන්න. ඒ වගේම හැම ගමකම තියෙන පුංචි පුංචි වෛද්‍ය මධ්‍යස්‌ථානවල මේ සායන ආරම්භ කරන්න. වෛද්‍යවරු පුහුණු කරන්න මේ සායන වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න යම් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ආණ්‌ඩුවට පුළුවන්. ඒක කරන්න කියලා තමයි රෝගියෙක් විදිහට මමත් රජයට ආරාධනය කරන්නේ.
මේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබාගත්ත වකුගඩු රෝගීන් මනීප වෙනවා. වකුගඩු රෝගවල රෝගී අවස්‌ථා එමටයි. වකුගඩුවේ ලප ඇතිවීම, ඇකිලීම දියවීම ආදී වශයෙන් වකුගඩු රෝග ගණනාවක් තියෙනවා. මේ රෝගයන් ගැන විස්‌තර කරන්න අවශ්‍ය නෑ. ඉතාම කෙටියෙන් කියනවානම් වකුගඩු බද්ධ කරන්න ඕනෙ කියන රෝගීන්ට හැර අනෙක් වකුගඩු රෝගීන්ට මේ සායනයෙන් සුවය ලබන්න පුළුවන්. වකුගඩු බද්ධ කරන්න ඕනේ කියන අය මේ සායනේට ආවොත් ඒක නිට්‌ටාවටම හොඳ කරගන්න බැරිවුණත් තමන්ගේ ආයුෂ කාලය එහෙම තැන්නම් ජීවත් වෙන්න තියන කාලය වැඩිකරගන්න පුළුවන්. ඒ තරමටම මේ කැබිතිගොල්ලෑවේ වෛද්‍ය සායනය ප්‍රබල වෙලා තියෙනවා. දැන් කරන්න වෙලා තියෙන්නේ මෙතන සංවර්ධනය කරණ ගමන් තවත් සායන මධ්‍යස්‌ථාන ගණනාවකට මේක ව්‍යාප්ත කරණ එක තමයි.
අතුරු ආබාධවලින් තොර මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා රජයේ දායකත්වය අපි ඉල්ලුවත් මේ ගැන මගේ අත්දැකීම් එක්‌ක කතා කරන්නත් බයයි. රජරට වකුගඩු රෝගය මුලින්ම මතුවුණු කාලේ 1994 දී විතර අනුරාධපුර රෝහලේ බුබුදු දෙනගම කියන වෛද්‍යවරයා මේ ගැන පර්යේෂණයක් කළා. ඒ ගැන පත්තරේකට ලියන්න කෙනෙක් ඉදිරිපත් නොවුණු නිසා මා වවුනියාවේ ඉඳලා ඇවිත් “දිවයින” ඉරිදා පත්තරේට ඒක ගැන ලිව්වා. දේශපාලනඥයින්ට ඒ වෛද්‍යවරයා යෝජනා කළ දේවල් මහා හිසරදයක් වුණා. අවසාන ප්‍රතිඵලය වුණේ වෛද්‍ය පුබුදු දෙනගමට කැලෑබඳ ප්‍රදේශයක රෝහලකට මාරුවීමක් ලැබුණු එක විතරයි. වකුගඩු රෝගය හෙම්බිරිස්‌සාව උණවගේ පැතුරුණා.
ඊට පස්‌සෙ 2013 අවුරුද්දෙ මැදවච්චියේදී මෙහෙම සායනයක් ආයුර්වේද වෛද්‍යවරු පිරිසක් විසින් පටන් ගත්තා. ඒක ගැන “දිවයින ඉරිදා පත්තරේට ලිව්ව ගමන් ඒක බාරව හිටපු උත්පලා වෛද්‍යවරිය මාරු කරලා දැම්මා. දේශපාලනය මේ විදිහට වැඩ කරන්නේ ඇයි කියන එක අදටත් ප්‍රශ්නයක්. ඒත් ඒ අය කරන්නෙම ඒකම තමයි.
මේ වෙනකොට වකුගඩු රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා හමාරයි. තත්ත්වය එහෙම තියෙද්දී කැබිතිගොල්ලෑව වෛද්‍ය සායනයට ආණ්‌ඩුව උදව් කරණ එක නවත්වලා දාල ඒකෙ වෛද්‍යවරුන්ට ලෙඩ දායිද කියලත් ලොකු සැකයක් තියෙනවා. රෝගීන්ගේ නාමයෙන් එහෙම නොවී ආණ්‌ඩුවෙ අවදානය මේ තැන විධිමත් කරන්නත්, ඒක ව්‍යාප්ත කරන්නත් යොමු වෙයි කියලා අප විශ්වාස කරනවා. ඒ වගේම රෝගීන්ට නොමිලේ දෙන බෙහෙත් ටික හදාගන්නත් ක්‍රමයක් සකස් වෙයි කියලා අපි ඒ වගකීම මේ රජයට බාර දෙනවා.
දිනසේන රතුගමගේ
– Divaina