ඩෙංගුත් ලෙඩක්‌ද?

0
1863

වැසි සමය ආරම්භ වී තිබේ. උතුරන්නට නොවැස්‌සත් තිබුණු රස්‌නය හැටියට ඒ වැස්‌සද ප්‍රමාණවත්ය. වැස්‌ස ආරම්භ වන විටම ඩෙංගු ගැන කතාව පටන්ගෙන තිබේ. කොහොමත් වැස්‌ස සමඟ වසංගත රෝග ගණනාවක්‌ පැතිර යැම සාමාන්‍ය කාරණයකි. ප්‍රශ්නය වන්නේ වැසි සමය හරියටම ආරම්භ වීමටත් පෙරම බස්‌නාහිර පළාත තුළ ඩෙංගු රෝගය තදින් පැතිර යන බවත් එම පළාත ඩෙංගු දැඩි අවදානම් කලාපයක්‌ ලෙස නම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටීමය. මුළු රටෙන්ම වාර්තා වන ඩෙංගු රෝගීන් සියයට 98 ක ප්‍රමාණයක්‌ සිටින්නේ බස්‌නාහිර පළාතේ බව කියෑවේ. මෙය හිටි හැටියේ වර්ධනය වූ තත්ත්වයක්‌ නොවන බව කිව යුතුය. පසුගිය වසරේ (2015) මුල සිටම බස්‌නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවල එවැනි තත්ත්වයක්‌ දක්‌නට ලැබුණු බව විටින් විට වාර්තා විය.

ඩෙංගු නොව ඕනෑම වසංගතයක්‌ පැතිර යන විට ඒ ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අනිවාර්යයෙන්ම දකින්නට ලැබේ. ඩෙංගු රෝගය විෂයයෙහි එය වඩාත් වැඩි දියුණු තත්ත්වයක්‌ අත්පත් කරගෙන තිබේ. ඩෙංගු උවදුරෙන් වළකින හැටි පෝස්‌ටර්, අත් පත්‍රිකා, බැනර් ආදී වශයෙන් ගම් දනව් පුරා බෙදාහැරීම නිරන්තරයෙන් සිදුවේ. පාසල් මට්‌ටමේ සිට ඉන් ඉහළට වැඩමුළු ද කප්පරකි. මදිපාඩුවට අහුමුළුවල “දුම්” ගසමින් යන ව්‍යාපෘතිද බොහෝය. ගමෙත් නගරයෙත් නිවාස වැටලීම් ද දඩගැසීම් ද සිදුවේ. ඒත් “ඩෙංගු” යහතින්ය. ඊට හේතුව කුමක්‌ද? උත්තරය සරලය. කොළඹ රවුමක්‌ ඇවිදින්න තත්ත්වය වටහා ගත හැක. ඩෙංගු වැනි උවදුරක්‌ මර්දනය කිරීම සඳහා වැදගත් සාධක අතරින් පිරිසිදුකම සහ පිළිවෙල ප්‍රධානය. බස්‌නාහිර පළාතට දැන් නැත්තේද මේ දෙකය. කොළඹ රවුමක්‌ ඇවිදින්නට යෑයි කීවේ ඒ නිසාය. බස්‌නාහිර ඩෙංගුවලින් අංක එක වූයේ ඇයි දැයි යන්න එවිට වටහාගත හැක. අවුරුද්දකට පෙර පිරිසිදුව තිබූ කාණු පද්ධති මදුරුවන් බෝවීම වෙනුවෙන් සකස්‌ කර ඇති ටැංකි මෙනි. නිතර ජලය පිරී තිබේ. බේරේ වැව අසලින් යනවිට දැනෙන දුර්ගන්ධයම පිරිසිදුකම සහ පිළිවෙළ ගැන බොහෝ දේ කියා දේ. ඉතාම ආසන්න කාලයේ රටේ ජනමාධ්‍ය බොහෝමයක පළවූ ප්‍රවෘත්තියක්‌ සිහිපත් කළ යුතුය. ඒ, බස්‌නාහිර පළාත තුළ පිහිටි බොහෝ රාජ්‍ය ආයතන පිහිටි ප්‍රදේශ ඩෙංගු මදුරුවන් බහුල තැන් හැටියට හඳුනාගෙන තිබූ වාර්තාවන්ය.

මේ රටේ ජනතාව පමණක්‌ නොව අදාළ බලධාරීන් පවා වසංගත රෝග පයිසෙකට මායිම් නොකරන බවක්‌ පෙනේ. ඩෙංගු නොව ඊට වඩා මාරාන්තික රෝගයක්‌ පැතිර ගියද තම තමන්ගේ අපිරිසිදු ජීවන රටාව සහ අපිළිවෙල වෙනස්‌ කරන්නට ඒ කිසිවකුත් සූදානම් නැත. ඩෙංගු වැඩමුළු, වැටලීම් ඇති දිනට පසු දින සිටම ඩෙංගු තවාන් ආරම්භ කිරීම රටේ ජනතාවගේ පුරුද්දය. හිස්‌ ටින් කැබැලි, තැඹිලි කෝම්බ, යෝගට්‌ කෝප්ප, සහ උපත් පාලන කොපු පවා අතන මෙතන විසිකර ඩෙංගු මදුරුවට සිය වර්ගයා බෝකර බස්‌නාහිර නොව තවත් පළාත් කිහිපයක්‌ම මාරාන්තික කිරීම සඳහා බිත්තර දැමීමේ පහසුකම් ඇති ස්‌ථාන සකසා දෙන්නේ රටේ ජනතාවය.

කොපමණ වැටලීම් කරත් රටේ තිබෙන හෝටල් තරම් අපිරිසිදු තැන් තවත් තිබේද යන්න සැක සහිතය. සමහර හෝටල් කුස්‌සි සහ වැසිකිළි අතර එතරම්ම වෙනසක්‌ නැත. මුලින්ම අප මේ ටික තේරුම් ගත යුතුය. නොඑසේනම් තත්ත්වය තේරුම්ගත යුතුය. අදාළ බලධාරීන් සිය වගකීම හරි හැටි ඉටු නොකරනවා යෑයි කනට දෙකක්‌ හෝ ගසන්නට ඇත්තේ අපේ ‘ඩියුටිය’ හරි හැටි කළ විටය. අතන මෙතන කහලගොඩවල් ගොඩ කරමින් රටේ ජනතාව තවමත් බලාසිටින්නේ කොයි ආණ්‌ඩුවෙන් හරි කියුබාවේ ඩෙංගු මර්දන බැක්‌ටීරියාව ගෙන්වා මේ රටෙන් ඩෙංගු සහමුලින්ම තුරන්කරාවි යෑයි යන බලාපොරොත්තුවෙන් නම් එය හිතළුවකි. අපට කියන්නට ඇත්තේ රටේ ජනතාවත්, අදාළ බලධාරීනුත් මෝඩ බවය, රැවටිල්ලකට හසුවී ඇති බවය.

– Divaina