ග්‍රේට්‌ වෙස්‌ටර්න් කන්දේ අසිරිය සොයා

0
1437

අධික තෙත් කලාපීය වන පියසක්‌ වන මෙහි තෙත් කලාපීය සත්ත්වයන් සේම වල් ඌරා, මුවා, ගෝනා වැනි සතුන්ද පක්‍ෂි වර්ග ද ජීවත් වන බැව් මතක තබාගන්න. නිශ්චිත ගමන් මඟක්‌ නොමැති හෙයින් ගම්වැසියකුගෙන් නිවැරැදි ලෙස මාර්ගය අසාගෙන හෝ දුම්රිය ස්‌ථානය හරහා ගමේ මඟපෙන්වන්නෙකු සහිතව මෙතැන් සිට ගමන පටන් ගත යුතුය.

ගේ්‍රaට්‌ වෙස්‌ටර්න් යනු විදෙස්‌ රටක ස්‌ථානයක්‌ කියා ඔබ සිතනවා ඇත. නමුත් මේ සැබැවින්ම ලංකාවේ පිහිටි සුන්දර කුඩා ගම් පියසක නමකි. තලවකැලේ හා රදැල්ල අතර පිහිටි මෙම ගම්මානය උඩරට දුම්රිය මාර්ගයේ හරි අපූරු තෝතැන්නකි. නානුඔය නම් මහවැලි ගඟේ අතු ගංගාව ඇරඹෙන්නේ මෙම ප්‍රදේශයේ පතාක යෝධයෙකු සේ නැඟී සිටින ලංකාවේ හත්වැනි උසම කන්ද වන ගේ්‍රට්‌ වෙස්‌ටර්න් කන්දෙනි. මීටර් 2212 ක්‌ පමණ උසැති මෙම කන්ද පිහිටියේ ග්‍රේට්‌ වෙස්‌ටර්න් දුම්රිය ස්‌ථානයට පිටුපසිනි. හැටන් නුවරඑළිය මාර්ගයේ යන ඔබට මෙම සුවිසල් කන්ද දැකිය හැකි අතර එම කඳු ගැටය තරණය කළ ක්‍රියාදාම චාරිකාව මෙසේ සටහන් කරන්නෙමු.

වටගොඩ හා රදැල්ල අතර ගේ්‍රට්‌ වෙස්‌ටර්න් දුම්රිය ස්‌ථානය පිහිටියේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 1464 ක උසකිනි. කඳු නඟින්නන් හා සංචාරකයන් විශේෂයෙන්ම නැඟිය යුතු කන්දක්‌ වන මෙම ස්‌ථානයට ආ හැකි සුදුසුම ප්‍රවාහන මාධ්‍යය නම් දුම්රියයි. හැටන් – නුවරඑළිය මාර්ගයේ සිට පැමිණිය හැකි මුත් එය දුම්රිය ස්‌ථානයට කි. මී. 5 ක්‌ පමණ දුරය. රාත්‍රි තැපැල් දුම්රියේ කොළඹ සිට පැමිණ පාන්දර 3.00 ට පමණ දුම්රිය ස්‌ථානයෙන් බැසිය හැකි අතර අලුයම එහි හිඳ උදැහැනැක්‌කෙම ගමන ආරම්භ කළ හැක. දුම්රිය ස්‌ථානයේ සිට රේල් පාර දිගේ නානුඔය දෙසට කි. මී. 2 ක්‌ පමණ පා ගමනින් යන විට කඳු දෙකක්‌ යාකරමින් සැදුණු අලංකාර යකඩ පාලම අසල වම් පසින් ඉහළට ඇදී යන පියගැටපෙළක්‌ තිබෙයි. එම පියගැට පෙළෙහි අවසානය වනුයේ මේ අවට වතු වැසියන්ගේ කෝවිලක්‌ වෙතිනි. එම කෝවිල් භූමියට පැමිණි පසු ඊට පිටුපසින් පිහිටි අන්ධකාරය හා මීදුම නිරන්තරව ගැවසෙන වන පියසට ඇතුළු විය හැක.

ආරම්භයේ සිට තබන හැම පියවරකදීම ඔබට කූඩැල්ලන්ගෙන් පීඩා විඳීමට සිදුවන නමුත් මෙම ගමනේ කටුක බව හා උද්‍යාගශීලී බව නිසා මෙම අභියෝගයට ඔබ ප්‍රිය කරනු නොඅනුමානය. අධික තෙත් කලාපීය වන පියසක්‌ වන මෙහි තෙත් කලාපීය සත්ත්වයන් සේම වල් ඌරා, මුවා, ගෝනා වැනි සතුන්ද පක්‍ෂි වර්ග ද ජීවත් වන බැව් මතක තබාගන්න. නිශ්චිත ගමන් මඟක්‌ නොමැති හෙයින් ගම්වැසියකුගෙන් නිවැරැදි ලෙස මාර්ගය අසාගෙන හෝ දුම්රිය ස්‌ථානය හරහා ගමේ මඟපෙන්වන්නෙකු සහිතව මෙතැන් සිට ගමන පටන් ගත යුතුය. සාම්ප්‍රදායික තෙත් කලාපීය ශාක හා පඳුරු අතරින් ගමන පටන් ගත් අපි ක්‍රමයෙන් තරමක නැග්මක්‌ තරණය කරමින් උස්‌ තුරුලතා පිරි අඳුරු වන පියසට ඇතුළු වුණි. සාමාන්‍යයෙන් උදේ සවස වෙනසක්‌ නොමැතිව මෙම කන්ද මීදුමෙන් වැසී පවතියි. එලෙස අඩ අඳුරු ගුවන් තලය වනයේ තිබෙන තුරුලතා වලින් බැඳි උඩු වියනින් වසාගෙන සිටින නිසා තරමක අඳුරු ස්‌වභාවයක්‌ පවතියි. මීටර් 200 ක්‌ පමණ ඉහළට ඇදුණු අපි ගල් වැටියක්‌ අසල නතර වී ගිමන් හැරියෙමු. ඒ අතර අපව බැලීමට පැමිණි මීදුම් රොද ගස්‌ අතරින් එබිකම් කරනු අපට දැකගත හැකිවිය.

නැවත ගමන ඇරඹූ අප කඩාවැටුණු පස්‌ කණ්‌ඩියක්‌ අසලින් ඉතා අමාරුවෙන් ඉහළට නැඟ ගතිමු. පාසි බැඳුණු ගස්‌ කඳන්ද පඳුරුවලට නැඟ ඇඟේ එල්ලෙන්නට මාන බලන කූඩැල්ලන්ගෙන් බොහෝ කරදර සිදු විය. තව තවත් කැලයේ ඉදිරියට යන විට විටෙක පඳුරු ඈත් මෑත් කරමින්ද තුරුලතා අහක්‌ කරමින්ද ඇදුණෙමු. කුඩා දිය සීරාවන් සමහර ස්‌ථානවල දැකිය හැකි අතර ඉත්තෑවන් විසින් හාරන ලද ස්‌ථානද දැකගත හැකිවිය. විටෙක බුරුල් පසට අඩි තබන විට ඒවා ගැලවිණි. තවත් විටෙක කටු අකුල් වැදී අපගේ දෙපා සීරීමට ලක්‌විණි. මිනිස්‌ වාසයෙන් ඈත්ව බොහෝ දුරක්‌ පැමිණ ඇති අතර තවත් කි. මී. 2 ක්‌ පමණ එනම් ගමනෙන් හරි අඩක්‌ම යා යුතුව පැවතුණි.

විටෙක ගස්‌ වැල් අල්ලාගෙන සගයන්ගේ උදව් ඇතිව ඉදිරියට ඇදුණු අතර ජී.පී.එස්‌.(ඨඡී) තාක්‍ෂණික උපකරණ ආධාරයෙන් මාර්ගය නිවැරැදිව හඳුනා ගත්තෙමු. යන්තම් හෝ එළියක්‌ තිබුණද සුදු පාට මීදුම හරිත පැහැගත් තුරුලතා අතරින් පැමිණෙන්නේ අද්භූත චිත්‍රපටයක ගුප්ත පසුබිමක්‌ විලසිනි. අපට හැකි ඉක්‌මනින් ගස්‌ අතරින් යමින්ද සිග්සැග් ක්‍රමයට යමින්ද තුරුලතා ගල් කුට්‌ටි මතින් ඉදිරියටම ඇදුණු අප සැලකිය යුතු උසකට පැමිණ සිටියෙමු. යාන්තම් ගස්‌ අතරින් ඈත කඳු මිටියාවතත් ගම්මානත් දැක ගත හැකි අතර උඩරට මැණිකේගේ ශබ්දයද අපට යන්තමින් ඇසුණි. කෙසේ නමුත් පුරා පැය තුනකට අධික කාලයක්‌ වැය කරමින් සමස්‌ත කඳු ගැටයේ දුර වන කි. මී. 4 ක්‌ පමණ අප ආවෙමු. ගේ්‍රට්‌ වෙස්‌ටර්න් කන්දේ ආ හැකි ඉහළම ස්‌ථානය කරා අප පැමිණියෙමු. ඒ බව අපට සලකුණුවලින් දැකගත හැකි වූ අතර ඈතින් කඳු මිටියාවතින් ඔප්නැංවුණු සුන්දර ප්‍රදේශ දැකගත හැකි විය. දැත් දෙපා සමඟ සකල ශරීරයම උපයෝගී කරගනිමින් දැඩි වෙහෙසකින් පසුව අප පැමිණි නිසා තරමක දිගු විවේකයක්‌ ගත්තෙමු.

වැසි සමයේ මෙම කන්ද නැගීම නිශ්ඵල හා අසීරු කර්තව්‍යයක්‌ වන අතර තම ආරක්‍ෂාව පිළිබඳ නිතරම විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්ය. මෙම කැලය හරහා කඳු වළල්ලේ උතුරු දිශාවට ගමන් කළ හැකි අතර එම ප්‍රදේශයේදී නානු ඔය උල්පත් දැකගත හැකි බවට විශ්වාසයි. සුන්දර ඩන්සිනන් දිය ඇල්ලට දියවර සපයන මෙම කඳු වැටිය බොහෝදුරක්‌ යන තුරු තේජාන්විතව දැකගත හැකිය. කෙසේ හෝ නැවතත් හෝරා දෙකකට අධික කාලයක්‌ වැය කරමින් කන්ද බැසගත් අප රිදුම් දෙන දෙපා රේල් පාර දිගේ ගමන් කරවමින් නැවතත් දුම්රිය ස්‌ථානයට පැමිණියෙමු.
සංචාරක සටහන හා ඡායාරූප –

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
– Divaina