ගෙවත්තේ ප්ලාස්ටික් පිලිස්සීම මාරයාට අතවැනීමක්

0
3680

ලංකාවේ දිනකට භාවිත කර ඉවතලන ප්ලාස්ටික්, ෂොපින් බෑග්, පොලිතින් හා ලන්ච් ෂීට් අති විශාල ප්‍රමාණයක් පොළොවට එකතු වේ. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් 2012 කරනු ලැබු සමීක්ෂණවලට අනුව පොළොවට මෙසේ එකතු වන අපද්‍රව්‍යවලින් මිලියන 15ක්ම ලන්ච් ෂීට්ය. ඉන් දිනකට ප්ලාස්ටික් හා පොලිතින් මෙට්‍රික් ටොන් 450ක් පමණ අපද්‍රව්‍ය ගොඩට එක් වේ. ඉන් අයිස්ක්‍රීම් හා යෝගට් වැනි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් ප්‍රමාණය ලක්ෂ 7 පමණය.

පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනයේ සිටම පරිසරයට අහිතකර වේ. පොලිතින් බෑග් 50,000ක් නිපදවන විට සල්ෆර් ඩයොක්සයිඩ් කි. ග්‍රෑ. 17ක් පමණ වායුගෝලයට එක් වේ. එය ජීවීන්ට විෂ වායුවකි.

ඉවතලන ප්ලාස්ටික් කෝප්පයක් දිරාපත් වීමට වසර 50 – 80 පමණ කාලයක් ගත වේ. ප්ලාස්ටික් ජෝගුවක ජීවිත කාලය වසර බිලියනයක් පමණ වන අතර ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීම නිසා මියයන සතුන් සංඛ්‍යාව මිලියනයක් පමණ වේ.

අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති හෙයින්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැර බොහෝ දෙනා ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ගෙවත්තේම පුලුස්සා දැමීම සිදු කරති. මෙම අපද්‍රව්‍ය දහනය වන ස්ථානයේ සිට කිලෝමීටර් ගණනාවක් දුරට එම දුම පැතිරී යයි. එහි උග්‍ර විෂ විශේෂයෙන් ඩයොක්සීන අඩංගු නිසා, විෂ දුම, ආඝ්‍රානය වීමෙන් ප්‍රජනක පද්ධථිය හා දරුවන්ගේ වර්ධනයට සම්බන්ධ ගැටලු පැන නඟී.

හෝමෝන පද්ධතියට හානිකරන නිසා සිරුරේ ප්‍රතිශක්තිය ද අඩු වේ. එසේම ප්ලාස්ටික් පොලිතින් පිලිස්සීම නිසා, උග්‍ර විෂ වායු දෙකක් වන ඩයොක්සීන් හා පියුරාන් පරිසරයට මුදා හරී. මේවා පිළිකා කාරක හා වෙනත් රෝගාබාධ සාදන වායු වර්ග වේ. මෙම දුම් ආඝ්‍රාණයෙන් හිසරදය හා ශ්වසන අපහසුතා ඇති වේ. මේ හැර ස්ට්‍රීන් සහිත වායුන් ඍජුවම සමෙන් හා පෙණහලුුවලින් උරා ගැනේ. එම මාත්‍රාව අධික වුවහොත්, ඇසට හා මෘදු ස්තරවලට හානිවීමට ඉඩ ඇත. දිගුකාලීනව මෙම වායුවලට නිරාවරණය වීම නිසා ස්නායු ආබාධ ඇතුළු බොහෝ දුබලතා ඇතිවීමට හේතුය.

මේ සම්බන්ධයෙන්, සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර පාලන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා සිළුමිණට මෙසේ විස්තර කළේය.

“පොලිතීන් කියන්නේ මනුෂ්‍යයාගේ ජීවන රටාව පහසු කරන දෙයක් ලෙස තමයි 1970 පමණ ලංකාවට මුලින්ම ගෙන්වනු ලැබුවේ. එහෙත් 1980 ගණන්වල පොලිතින් පිලිස්සීම අහිතකර බවට වෛද්‍ය පර්යේෂණවලින් සොයා ගනු ලැබුවා. පොලිතින් පුලුස්සන විට ඩයොක්සීන් හා ප්යුරාන් කියන ශරීරයට අහිතකර විෂ වායු දෙක නිකුත් කරන බව හඳුනා ගැනුණා. ඒවා පිළිකාකාරකයි. මේවා පුලුස්සන විට සෙන්ටිග්‍රේඩ් අංශක 400ට වඩා ඉහළ උෂ්ණත්වයකින් පුලුස්සනවානම් පිළිකා කාරක වායු නිකුත් වෙන්නේ නැහැ.

ශරීරයට හිතකර හා අහිතකර ලෙසින් පොලිතීන් වර්ග දෙකක් තියනවා. ෆුට්ග්‍රේඩ් ප්ලාස්ටික් කියන්නේ මිල අධික ලෝහයක්. එම ප්ලාස්ටික් අඩංගු අයිස්ක්‍රීම් හා වෙනත් ආහාර කල්තබා ගැනීමේ භාජන නිෂ්පාදනය කර තිබෙනවා. ඇත්තෙන්ම ඒවා හානිදායක නැහැ. ඒත් වර්තමාන වෙළෙඳ පොළේ ෆුට්ග්‍රේඩ් ප්ලාස්ටික් භාවිත කෙරෙන්නේ අඩුවෙන්.

අද බොහෝ දෙනා තමන්ගේ නිවෙස්වල එකතු වන ප්ලාස්ටික් පොලිතින් තම වත්තේම පුලුස්සා දමනවා. ඒ කියන්නේ තමන්ට තමන්ම පිළිකා හදා ගන්නවා වගේ දෙයක්. ප්ලාස්ටික් බේසම් හදද්දි විවිධාකාර රසායන ද්‍රව්‍ය එකතු කරනවා. මේවා ස්නානයට, රෙදි සේදීමට භාවිත කළාට කමක් නැහැ. ඒත් ආහාරපාන දැමීමට යොදා ගැනීම ඉතාම අහිතකරයි. මේ බාල්දි, බේසම්, කෝප්ප ලංකාවෙ හදන්නේ ඉවතලන ප්ලාස්ටික් උණු කරලා තමයි. සමහර විට වාහන අමතර කොටස් හා වෙනත් කාර්මික ද්‍රව්‍ය ප්ලාස්ටික් භාජන නිෂ්පාදනයන්ට යොදා ගැනෙනවා.

මිනිසුන් සෞඛ්‍යය ගැන නොසිතාම අඩු මිලට ගන්න හැකි නිසා බාල ප්ලාස්ටික් භාවිත කරනවා. ඇලුමිනියම් භාජනවලත් බැර ලෝහ අඩංගුයි. අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝගය බහුලව වැල‍ඳෙන්නේ මෙම බැර ලෝහ ශරීරයේ තැන්පත් වීම නිසයි.

ප්ලාස්ටික්, පොලිතින් නිවෙස්වල පුච්චනවා කියන්නේ පිළිකාවලට ආරාධනා කිරීමක්. පරිසරයට දැම්මොත් ඩෙංගු හැදෙන්න පුළුවන්. වළලා දැමීමත් පරිසර හානියක් වෙනවා. එම නිසා ප්‍රතිචක්‍රීයකරණය කිරීමයි සුදුසුම දෙය වන්නේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නගර සභාව මඟින් පොලිතින් හා පොලිතින් නොවන අපද්‍රව්‍ය වෙන්කර ලබා ගන්නවා. මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි වූ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කරන ආයතන තියෙනවා. ඊට අමතරව ප්ලාස්ටික් භාජන ගෙවල්වලින් එකතු කරන අයත් පැමිණෙනවා.

සෞඛ්‍යය අමාත්‍යාංශයේ, 2013 වාර්ෂික සෞඛ්‍ය වාර්තාවට අනුව වැඩිපුරම රෝගීන් මියයන්නේ හෘදයාබාධ හේතුවෙන්. දෙවැනි තැන ගන්නේ පිළිකාවයි.

මීට වසර 10කට පෙර පිළිකා තිබුණේ පස්වැනි තැනට. ජපානයේ මරණවලින් පිළිකා පළමු තැනට ඇවිත්. මීට හේතුව, පරිසර දූෂණයට හේතු වන ප්ලාස්ටික් පොලිතින් භාවිතයයි.

එදිනෙදා ජීවිතයට පහසුවක් වුවත්, ප්ලාස්ටික් පොලිතින් මේ වන විට විශාල සෞඛ්‍ය තර්ජනයක් බවට පත්වෙලා. මේ සඳහා කොපමණ නීතිරීති තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ බොහෝ සෙමින්, ඒ නිසා සමාජයේ හැමටම වගකීමක් තියනවා. ප්ලාස්ටික් හා පොලිතින් අවම වශයෙන් භාවිත කිරීමට මෙන්ම ඒවා බැහැර කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීමට. ලන්ච් ෂීට් ඉවත්කර ඒ වෙනුවට කෙසෙල් කොළ, කැන්ද කොළ, නෙළුම් කොළ, තල් කොළ, කොළපත් වැනි විවිධ දේශීය ඇසුරුම් භාවිත කරන්න පුළුවන්. එමෙන් ම පොලිතින් ප්ලාස්ටික් භාවිත නොකිරීමට ස්වයං විනයක් ඇති කරගත යුතුයි.

අගනගරය ආශ්‍රිතව, සමහර ජනතාව, ප්ලාස්ටික් හා සිලිසිලි බෑග්වල උණු තේ, පොල්තෙල්, බීම වර්ග වැනි දියර ගෙන යෑමටත් පුරුදු වෙලා. මෙය නරක ප්‍රවණතාවක්. පොලිතින් සිලි සිලි බෑග් නොමිලේ ලබාදෙන නිසා වැඩිපුර රැගෙන ගොස් පරිසරයට වැඩිපුර මුදා හරිනවා. වෙනත් රටවලනම් මෙවැනි ප්ලාස්ටික් පොලිතින් අපද්‍රව්‍ය ලෙස ඉවත් කිරීමේදීත් මුදලක් අය කෙරෙනවා. ඒ නිසා පාලනයක් සිදු වෙනවා. ලංකාවේ එවැනි පාලනයකුත් නැහැ. ස්වයං පාලනයකුත් නැහැ. නීතිය නිවැරැදිව ක්‍රියාත්මක වීමකුත් නැහැ.

ගම්වලට කුණු එකතු කරන වාහන යන්නෙ නැති නිසා ගෙවල්වල එකතු වෙන කුණු ටික ප්ලාස්ටික්, පොලිතින් ටික ගෙදරදීම පුච්චා දමන්න තමයි බොහෝ දෙනා උත්සාහ දරන්නේ. එම කුණු අතර කෘමිනාශක බෝතල්, කෘෂි රසායන ද්‍රව්‍ය, විෂ තෙල් වර්ග, බීම බෝතල්, ටයර් තියෙන්න පුළුවන්. ක්ෂණිකව, කුණු ඉවත් කරගන්න හැකි නිසා වත්තේ පුලුස්සා දමනවා. නමුත් දිගුකාලීනව සිදුවන හානිය ගැන හිතන්නෙ නැහැ. ඇත්තෙන්ම ගෘහාශ්‍රිතව පොලිතින් ප්ලාස්ටික් පිච්චීම, තම නිවසේ අයට මෙන්ම අසල්වැසියන්ටත් විශාල හානියක්. කොටින්ම කියනවානම් මාරයාට අත වැනීමක්.

ගම් මට්ටමින් සමිති සමාගම් පරිසර කමිටු පිහිටුවාගෙන නිවෙස්වල එකතු වෙන ප්ලාස්ටික්, පොලිතින් කඩදාසි එම මධ්‍යස්ථානවල වෙන වෙනම ගබඩා කර තබා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත ආයතනවලට ලබා දී මුදල් ලබා ගැනීමට හැකියි. අපද්‍රව්‍ය හිසරදයක් නොව ආර්ථික සංරක්ෂණ සම්පතක් කරගනිමු යන්න මධ්‍යම පරිසර අධිකාරියේ තේමාවයි.