පේරාදෙනි සරසවියට නොකියාම ආ වසන්තය

0
1831

මීදුමින් මුළු පරිසරයම වෙලාගෙන. මීදුම් සළුව ඉරාගෙන මෝදු වෙන හිරු එළිය මොකක්‌දෝ අපුර්වත්වයක්‌ පරිසරයට එකතු කරලා. තෙත් වුණු තණ බිස්‌ස මත පිපිලා තිබුණු කහ පාට මල් දකිද්දී ගතට දැනුණු සීතල අඩුවෙලා මගේ හිත උණුසුම් වෙන්න ගත්තා. කොළ පාට තණ බිස්‌සේ මල් පිපිලා…. මට පුදුම හිතුණා. කවමදාවත් එහෙම අත්දැකීමක්‌ විඳලා තිබුණේ නෑ. ඒත් වසන්තය උදා වුණ මොහොතක පේරාදෙනි සරසවිය මගේ ජීවිතයට වසන්තය කැන්දාගෙන ආවා. තණ කොළවල මල් පිපිලා ද නැත්නම් ඒ දෙවියෝ ඉහළාවත් ද කියලා මගේ සිතට කුතුහලයක්‌ දැනුණා. මට එච්චරටම පේරාදෙනි සරසවි බිම දිව්‍ය විමානයක්‌ වගේ අපූර්ව සුන්දරත්වයක්‌ දැනෙන්න ගත්තා. බිම වැටිලා තියෙන මල් ඉස්‌ස දෙවියෝ බලන්න මම ඇස්‌ දෙක උස්‌සලා ඉහළ බැලුවා…………… දෙවියනේ….. මගේ හුස්‌ම නතර නොවුණ එකම ඇති. මේක සුරපුරයක්‌ තමයි. කහ පාට මල් වැල් වලින් විශාල ගස්‌ පිරිලා…. පිපුණු මල් හැමතැනම ඉහිරවලා දාලා…. හමන සීතල සුළඟ ඒ මල් එහාට මෙහාට පද්දලා හෙමීට බිම අත අරිනවා. වසන්තය හැමදාම නෑ වගේම තමයි මේ සාරි එලුවා වගේ ගස්‌ වගේම හැම කෙනාගෙම නෙත සිත උදුරගන්න කහ පාට මල් පිපෙන්නේ නෑ. මේ මල් මොනවාද? කොහොමද මේ සුන්දරත්වය යෞවනයට දැනෙන්නේ, ප්‍රේමයට දිව්‍ය බොජුනක්‌ වෙනවද කියලා හොයන්න මම උත්සාහ කළා. යෞවනයෙක්‌ සුන්දර තරුණියක්‌ දැකලා සතුටු වෙනවා. තමන්ගේ සිත් ගත්ත යුවතියත් එක්‌ක ප්‍රේමයෙන් වෙලිලා සරසවිය පුරා ඇවිදගෙන යන්න හීන මවනවා. ඒ ප්‍රේමයට සුන්දරත්වයක්‌ කැන්දාගෙන එන සරසවියට වසරකට එකම එක පාරක්‌ කඩාගෙන වදින ඒ අනංගයා කවුද කියන සැකය මගේ හිතේ ඇති වුණා.

නිවර්තන වියළි වනාන්තර මෙන්ම කැබිරියන් දූපත්, දකුණු, මධ්‍යම ඇමෙරිකාව වැනි මැදපෙරදිග රටවල වැවෙන ශාකයක්‌ ලංකාව වගේ රටක සුන්දරත්වය වැඩි කරන්න සමත් වෙලා. සුන්දර පේරාදෙනිය තවත් සුන්දර කරේ බිගෝනියා ශාකයක්‌. ඩොලි කැන්ඩ්‍රා උන්ගුයිස්‌ කැටි (Dදකසජය්බාර් මබටමසි-ජ්එස) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කහ පාට මල් වැල් පුනීළ වැල, බළල් අඩි වැල කියලත් හඳුන්වනවා. පේරාදෙනි සරසවියේ වැල් වල එතුණු මල් වගේම ගහ පුරාවටම පොකුරු පිටින් පිපෙන කහ පාට මල් ගසුත් දකින්න පුළුවන්. කහ පාට මල් අතරේ ලංකාවේ සකුරා මල් ගස්‌ යායක්‌ම රොබරෝසියා ගස්‌ සුන්දර සරසවිය තවත් සුන්දර කරනවා.

මේ සුන්දරත්වය සුපෙම්වත් හදවත්වලට කොහොම දැනෙන්න ඇද්ද? අදක ඊයෙක සරසවිය ලස්‌සන කරන්න ආව අනංගයෙක්‌ නොවුණු මේ කහ මල් යාය තාරුණ්‍ය ඉකිබින්ද, ජීවිතය ඉල්ලලා වේදනාවෙන් කෑ ගැහුව, තමන්ගේ අය වෙනුවෙන් සටන් කරපු අතීතයෙත් නිසොල්මනේ සුන්දර සිනහවෙන් බලාගෙන උන්නා. 80 දශකයේ මුල් අවධියේත් සරසවියට පියමැන්න තාරුණ්‍ය මේ සරසවියේ වසන්ත සමයේ සුන්දරත්වය විඳගත්තා. අදත් එදා වගේමයි.

සරසවිය වයසට ගියේ නෑ. හිරිමල් තාරුණ්‍යයි ප්‍රේමයත් එක්‌ක සරසවි වසන්තයත් තව සුන්දර වුණා.

සරසවි මාවත් පුරා මම ඇවිදගෙන ගියා. සුපුරුදු විදියට තනිව නම් නෙවෙයි. තවත් දඟකාර තාරුණ්‍යත් එක්‌ක. එක එක කතන්දර, විහිළු ඒ හැමදේමත් එක්‌ක මම පරිසරයේ සුන්දරත්වය විඳගත්තා. ආන් ආන් අර බලන්නකෝ….මල්වල සුන්දරත්වය තනිව ගිහින් විඳගන්නවාට වඩා තවත් කට්‌ටිය එක්‌ක බෙදා ගද්දි තවත් සුන්දරව දැනෙනවා. තාරුණයා හිනාවෙලා බලාගෙන ඉන්නවා. අනිත් සගයා විහිළු කරන්න ගන්නවා.

සරසවිය ඇතුළෙම ජීවත්වෙන චරිත ත්‍රිත්වයක්‌ නොවුණු අපට මේ සුන්දරත්වය විඳගන්න බාධක එයිද කියන බයත් තිබුණා. ඒත් වසන්ත සමයේ දී කිසිම බාධාවක්‌ නැතිව පිටස්‌තර පුද්ගලයින්ටත් රිසි සේ පරිසරය විඳින්ට අවකාශ සැලසිලා තිබුණා. බැලු බැලු අත සුන්දරව පෙනෙන සරසවි බිම පුරාවටම මල් පිපිලා. කොළ පාට තණ බිස්‌ස සුන්දරව සිත්තම් කරලා. තම තමන්ගේ ලෝකවල තනිවුණ තාරුණ්‍ය වගේම මේ පරිසරය අපි වගේම පිටස්‌තර අයත් තම තමන්ගේ ලෝකවල තනිවෙලා වගේ. ඡායාරූප ගහනවා. මොන මොනාදෝ කිය කිය හිනාවෙනවා.

සරසවි වසන්තයේ දී තමන්ගේ ජීවිතේට අපූරු අත්දැකීම් එකතු කර ගත්ත සුපෙම්වතුන් පේරාදෙනි සරසවි භූමියේ ඇති තරම් ඇති. වසන්තය… හැමෝම අපූරු ලෝකයකට කැන්දාගෙන යන්න උත්සාහ ගද්දී සරසවි පෙම්වතුන්ට කොහොම හැඟීමක්‌ දැනෙන්න ඇද්ද? හැඟීම් කැටිවුණු තාරුණ්‍යයට සුන්දර පරිසරයේදීම තමන්ගේ අත්දැකීම් තවත් කෙනෙක්‌ එක්‌ක බෙදා ගන්න ලැබෙනවා නම්…..මම දොඩමළු වුණා. සරසවිය පුරා ඇවිදගෙන යන මට දන්න හඳුනන පෙම්වත් යුවළක්‌ මුණ ගැහෙන්නේ අහම්බෙන්. දැන හැඳුනුම්කමට දිගු ඉතිහාසයක්‌ නැතත් ඔවුන් මගේ ඇරයුම ආදරයෙන් පිළිගත්තා. යුවතියට ඒ වෙලාවේ තිබුණු දේශන මඟ ඇරගෙන දෙන්නම සරසවි බිමේ සුන්දරත්වය විඳගෙන යන ගමනට මම බාධා කරා.

“ආදරේ වෙනදටත් වඩා සුන්දරව දැනෙනවා. මල් පිපුනාම ලෙක්‌චර් කට්‌ කරගෙන මල් බලන්න යනවා. දවසක්‌ දෙන්නා තරහා වෙලා. කථා කරන් නෑ.

ගොඩක්‌ දුකෙන් හිටියේ. ඒත් දෙන්නම කථා නොකළත් මල් බලන්න ආවා. මල් දැක්‌කට පස්‌සේ දුකක්‌ දැනුණේ නෑ. දෙන්නම පොටෝ ගහන්න පටන් ගත්තා.

ලස්‌සනයි පරිසරය. ඒ සුන්දරත්වය සිත සතුටින් පුරවන්න ගත්තා. ඈත් වෙලා හිටිය දෙන්නා දන්නෙම නැතිව ළං වුණා…..”

කෙනෙක්‌ට හිතෙන්න පුළුවන් හැමදාම සරසවියේ ජීවත්වෙන අයට වසන්ත කාලෙට තමන්ගේ ආධිපත්‍ය පතුරුවන මේ කහ මල් යාය අරුමයක්‌ නෙවෙයි කියලා. ඒත් ඔවුනුත් මේ ආක්‍රමණිකයා වෙනුවෙන් සැදී පැහැදී බලාගෙන ඉන්නවා. අනෙක්‌ දිනවල දේශන වෙලාවටම සරසවියට පැමිණෙන විද්‍යාර්ථියා මල් පිපෙන කාලෙට උදෑසන 6.00 – 6.30 ඉඳලා රාත්‍රී වෙනකම්ම සරසවි බිමේ සැරිසරනවා. දේශන ඉවර වෙලා නේවාසිකාගාරයට යන, කැන්ටින් එකේ, බංකුවක කල්ලි ගැහෙන සාමාජිකයින් ඒ කාලෙට මල් එක්‌කම ජීවත් වෙනවා.

“වෙනදටත් වඩා ළමයි මේ දවස්‌ වලට කැම්පස්‌ එකේ ඉන්නවා. පෙම්වතුන් ගොඩක්‌ම දකින්න පුළුවන්. සුද්දෝ…. එයාලත් ඇවිත් පොටෝ ගහනවා. කැම්පස්‌ පාරේ මේ කාලෙට මල් බලන්න එන අය නිසාම වාහන තදබදයත් වැඩියි. වෙනදාට තණකොළ පාගන්න දෙන්නෑ. ඒත් මේ කාලෙට ඒ තහනම නිකම්ම අයින් වෙනවා. කැම්පස්‌ එකේ හැමතැනම මල් තිබුණත් වැඩියෙන්ම මල් පිපෙන්නේ ශාස්‌ත්‍ර පීඨයේ. මේ කාලෙට හැම ළමයෙක්‌ම ශාස්‌ත්‍ර පීඨයට එනවා. පොලොන්නරුව, මල් පාර, රස්‌තියාදුවත්ත, සනාතන මන්දිරය….. මේ තැන්වල තමයි ගොඩක්‌ම මල් පිපෙන්නේ.”

ශාස්‌ත්‍ර පීඨයෙන් අපි විද්‍යා පීඨයට ගියා. නෑ….. මල් පේන මානයේදිම ශාස්‌ත්‍ර පීඨය අසලදී අපිත් එක්‌ක විද්‍යා පීඨයේ පෙම්වතෙක්‌ දොඩමළු වුණා.

“මගේ ප්‍රේමය පටන් ගන්නේ සරසවියට වසන්තය ආපු කාලෙක තමයි. මල් බලන්න ඇවිත්. අපි කට්‌ටියම මල් බලන්න ආවා. එයත් අපිත් එක්‌කම හිටියේ. වෙනදට වඩා මට එදා එයාව විශේෂයෙන් දැනුණා. හැමෝගෙම පොටෝ ගත්තේ මම. හැමෝගෙම පෝටෝ එකක්‌ ගන්න ගිහින් මම එයාගේ තනි පොටෝ එකක්‌ ගත්තා.” ඒ වසන්තයෙන් පටන් ගත්ත කථාව මල් බලන්නම ඇවිත් ගොඩනැගුණා. සරසවියේ සිව්වසරක ප්‍රේම කථාව වසන්තයක්‌ එක්‌කම ආයෙ අලුත් වෙනවා. දෙන්නත් එක්‌ක හැමදාම මල් පිපෙන කාලෙට මල් බලන්න එන්න අමතක කරලා නෑ කියලා අපිටත් තේරුණා.

වසරකට කීප වතාවක්‌ පිපෙන රොබරෝසියා වලට වඩා විද්‍යාර්ථින්ටත් කහ මල් විශේෂ වෙලා.

“ගහේ උඩ ඉදලා පහළට වෙනකම්ම සාරි එලුවා වගේ මල් පිපෙනවා. ඒ මල් හරි සුවඳයි. මේ හැමදේමත් එක්‌කම ආදරේ වැඩියෙන් දැනෙනවා…” තරුණයා තරුණිය දෙස ආදරෙන් බලාගෙන කීවා.

වෙනදට තනිවෙන්න හදන පෙම් යුවළ් හැමෝම නිදහසේ පරිසරය විඳගන්නවා. ටික වෙලාවක්‌ ගෙවෙද්දි ඔවුන්ට හැමදේම දැනෙන් නැතිව මල් එක්‌ක තනිවෙනවා. දෙන්නත් එක්‌ක නිදහසේ ඡායාරූප ගනිමින් පරිසරය විඳගද්දී ඇවිත් ඉන්න අනිත් අය ඒ පෙම් යුවල් එක්‌කම අපූරු ඡායාරූප ගන්නවා.

තනියම, මිතුරු සමූහයත් එක්‌ක වසන්තයේ මල්වල අපූර්වත්වය විඳ ගන්නවාට වඩා අපූර්වත්වයක්‌ සිය සහකරු, සහකාරි සමග විඳගත්දී දැනෙන බව සුපෙම්වත්තු කීහ.

වසන්තය ප්‍රේමයට සමාන කරද්දි නිමා වූ වසන්තය විරහවට සමාන කරන්න වෙනවා කියලා මට හිතුණේ නැවත මල් බලන්න සරසවියට යද්දි මල් හැලිලා කහ මල් ගස්‌ පාළුවෙන් වෙලිලා ඉන්නවා දකිද්දී. පාලු වෙලා ගිය ගස්‌ ටික දකිද්දී කලින් මල් දකිද්දී දැනුන අපූර්ව හැඟීමට පණ දෙන්න මට පුළුවන් වුණේ නෑ.

මේ වසරේ පේරාදෙනි සරසවියට වසන්තය එන්න පටන් ගත්තේ 27 ඉඳලා. පෙම්වත් යුවළක්‌ සෙනසුරාදා දිනයේ සරසවියට එනවා. ඒ වෙද්දීත් මල් පිපිලා නෑ. නැවත සඳුදා දිනයේ සරසවියට එද්දී ඔවුන්ගේ නෙත් පුදුම වෙලා අපූර්ව ලෝකයකට කැන්දාගෙන යනවා. මිහිබට දිව්‍ය විමානයක අසිරිය ඔවුන් දකිනවා. සරසවියේ මල් පිපිලා. ඔවුන් ඒ සුන්දරත්වය විඳිනවා. හැමෝටම ඒ සුන්දරත්වයෙන් පලා යන්න බෑ. 28 වෙනිදා ඇදගෙන වැටුණු වර්ෂාවත් එක්‌ක 29 වෙනිදා අනිත් දවස්‌ වලටත් වඩා අපූරුවට මල් ගස්‌ සැරසිලා තමන් බලන්න එන අය වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. 30 වෙනිදා දවස උදා වුණා. සෙමින් සෙමින් සවස්‌ කාලය උදා වෙද්දී හුළඟ හෙමීට ලස්‌සනට පිපිලා තිබුණු මල් එකින් එක ගලවලා තණකොළ ගොල්ලට අත අරින්න පටන් ගත්තා. මල් ගහම පිරිලා තියෙන්නේ දවස්‌ තුනයි. වැස්‌සකින් පස්‌සේ ගස්‌ නිරුවත් වෙන්න ගන්නවා. මට විරහාවේදනාවක්‌ දැනෙන්න ගත්තේ ඒ නිරුවත් වෙලා තිබුණු මල් ගස්‌ දැකලා.

පේරාදෙනි සරසවියට වසන්තය එන්නේ මාර්තු, අප්‍රේල් මාසේ මුල. සතියකට ආසන්න කාලයක්‌ මල් දකින්න පුළුවන්. ඒත් රොබරෝසියා කියන්නේ වසරකට කීප වතාවක්‌ පිපෙන මල් වර්ගයක්‌. ඒකෙන් පරිසරයේ සුන්දරත්වය වැඩිකරනවා. කහ මල් යාය වගේම රොබරෝසියා මල් දඟකාර තාරුණ්‍යයේ සිත් වසඟ කරනවා. මේ ජපානයේ සකුරා වසන්ත සමය. ජපානයේ මිනිස්‌සු ඒ කාලෙට මල් බලන්න යනවා. පින්තූර ගන්නවා. ඒවා රස විඳිනවා.

පේරාදෙනියට වසන්තය ඇවිත් ආ පයින්ම නික්‌ම ගියත් ජපානයට එහෙම නෑ. සතියක්‌ වගේ මල් තියෙනවා. ඒත් ජපානයේ පහළ ඉඳන් ඉහළට මල් පිපෙද්දී එක්‌ පැත්තකට වසන්තය නිමා වෙද්දී අනිත් පැත්තට වසන්තය උදාවෙනවා. කාලයක්‌ කොහේ කොහේ හරි මිනිස්‌සුත් එක්‌කම වසන්තය රැඳිලා ඉන්නවා.

පේරාදෙනි සරසවියෙත් මල් ඉක්‌මනටම පිපිලා ඉක්‌මනටම පරවෙන් නැතිව තව තවත් තියෙනවා නම්, මගෙ හිත කෑ ගැහුවා. මිනිස්‌සුන්ගේ හැඟීම්වලට පණ දුන්න මේ සොඳුරු වසන්තය කවි, ගීත නිර්මාණ බිහි කළා. පේරාදෙනි වසන්තය ආයෙමත් ලබන වසරේ එනකම් මාත් බලාගෙන ඉන්නවා. නෙත් දෙකින් ඒ අපූර්වත්වය නොදකින අය ඡායාරූපයකින් වුණත් ඒ සුන්දරත්වය දකිනවා කියලා මම දන්නවා. සරසවි කුමරියගෙන් අපි සමුගත්තා. නිරුවත් වෙලා තිබුණු කහ මල් යායයි නිරුවත් වෙමින් තිබුණු රොබරෝසියා ගස්‌වලටත් මම සමුදුන්නේ විරහා වේදනාවෙන්. ඒත් ලබන වසරේ වසන්තය ඇවිත් මගේ හිත ප්‍රේමයෙන් සුන්දර කරන්න කියලා පැතුවා.

පේරාදෙනි සරසවියට නොකියාම ආ වසන්තය ආ පයින් නික්‌ම ගියා…. එහෙත් නෙකියාම විත් අනදි වෙස්‌ ගෙන නැවතත් සරසවිය සුන්දර කරනු ඇත.

මිථිලා හේමචන්ද්‍ර
– Divaina