බක්‌ පෝ දිනයේ අධිෂ්ඨානය හා ප්‍රාර්ථනය

0
928

අනගාරික ධර්මසේකර

අප මේ බක්‌ පෝදා ලිපියේ දාර්ශනික පදනම වශයෙන් යොදා ගන්නේ ධම්මපදයේ එන ”සබ්බ පාපස්‌ස අකරණං කුසලස්‌ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං” යන ගාථා ධර්මයයි. එම ගාථා ධර්මයෙන් කියෑවෙන්නේ සියලු පාප ක්‍රියාවන් නොකිරීමත්, කුසල් කිරීමත්, සිත දමනය කරගෙන පිරිසිදුව තබා ගැනීමත් බුදුන් වහන්සේගේ අනුශාසනය බවයි. මේ ගාථාව බුදුන් වහන්සේගේ අනුශාසනය සාරාංශ කර දැක්‌වීමක්‌ හා සමාන වේ. සියලු අයහපත් දෙයින් (පාපයන්ගෙන්) වැළකීමත්, යහපත් දේ (කුසල්) කිරීමත් සිත පිරිසිදුව තබා ගැනීමත් බුද්ධානුශාසනය වන්නේ නම් වත්මන් සමාජය වැටී ඇත්තේ කෙතරම් බිහිසුණු අගාධයකටද? යන්න ගැඹුරු අවධානයට ලක්‌විය යුතුව තිබේ. සමාජයේ බලවතුන්ගේ පටන් ඔවුන්ගේ අන්තේවාසික අනුගාමිකයන් දක්‌වා වන බොහෝ දෙනෙක්‌ ගව, එළු, කුකුළු, සා, මුව, ගෝන, තලගොයි හා ඉදිඹු ආදී අහිංසක සතුන් ඝාතනය කරවා ආහාරයට ගැනීමේ පටන් තමන්ට විරුද්ද මිනිසුන් ශාරිරිකව හෝ මානසිකව විනාශ කරවීම දක්‌වා විවිධාකාරයෙන් ඝාතනයේ යෙදෙති. කාම බල වඩා ගැනීම හා ධනය රැස්‌කර ගැනීම අරමුණු කරගෙන ප්‍රාණඝාතයේ යෙදෙන්නවුන් හා ප්‍රාණඝාත කරවන්නවුන් තුළ මෛත්‍රී කරුණාදී උතුම් ගුණ දහම් නැති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

බක්‌ පෝ දිනයේ පළමුවෙන්ම මතකයට නගාගත යුත්තේ හෙළ වංශ කතාව අර්ථවත් හරවත් ධර්මානුකූල මගකට හැර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමඟÊබුද්ධිමය සංවාදයක යෙදී අවබෝධයෙන් යුතුව ශ්‍රද්ධා සිතින් බුදු සමය පිළිගත් දේවානම්පියතිස්‌ස රජතුමාගේ නායකත්වයෙන් සිදු වූ සමාජ පරිවර්තනයේ ආගමික සංස්‌කෘතික ස්‌වරූපයයි. දඩයම විනෝද ක්‍රීඩාවක්‌ කරගත් නායකත්වයක්‌ සහිත අනුරාධපුර රාජධානියේ ජනතාව ප්‍රාණඝාතය පිළිකුල් කරන සමාජයක්‌ බවට වෙනස්‌ වන්නට ගත වූයේ දෙපෝයකටත් අඩු කාලයකි. සැප සම්පත් එක්‌රැස්‌ කර ගැනීමේ ආශාවෙන් තණ්‌හා ඕඝයේ ඇදී ගිය ජනතාවක්‌ අන්සතු දේ අයුතු ලෙස අත්පත් කර ගැනිම බරපතළ වරදක්‌ ලෙස සලකන සමාජයක්‌ බවට පත්වීම නැවත නැවතත් මෙනෙහි කළ යුතු මහා පින්කමකි. කාමභෝගී රජුන්ගේ නායකත්වයෙන් පැවැති සමාජයක්‌ කාම මිත්‍යාචාරය පිළිකුල් කරන තත්ත්වයට පත් වීම සිංහලේ සමාජ සුරක්‍ෂිතතාවයට ශක්‌තිමත් පදනමක්‌ විය. බොරු කියන්නට කළ නොහැකි පවක්‌ නැති බැවින් ජනතාව මුලා කරන බොරුව මහා පාපයක්‌ සේ සලකා මුසාවාදයෙන් වැළකීම සියලු පාපයන්ට වැට බැදීමක්‌ හා සමාන වේ. මදයට, පමාවට හේතුවන සියලු පාපයන්ට අනුබලයක්‌ වන අයුරින් සිහි නුවණ දුර්වල කරන සුරාවෙන් වැළකිSම සඳහා රජුගේම නායකත්වය ලැබීම මහා භාග්‍යයක්‌ විය. ලක්‌වැසි ජනතාව පන්සිල් රකින, පෝදා අටසිල් සමාදන් වී සිල්වත් සමාජයක්‌ බවට පත්වීම සිංහලේ මහා සංස්‌කෘතික පරිවර්තනය වූ බව නිසැකය.

ඉර, හඳ, තාරකා, ගස්‌, ගල්, පර්වත දේවත්වයෙන් සලකන සමාජයක්‌ විශ්වන්තරවාදී විජයග්‍රහණය වූ සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගැනීමේදී සිදුහත් මහ බෝසතාණන් වහන්සේට සෙවන දුන් සුවිශේෂ වෘක්‍ෂය වු ඇසතු බෝධිය පුදන ජනතාවක්‌ බවට පත්වීම ගස්‌වැල් පැළෑටි ඇතුළුÊසොබා පරිසර සංරක්‍ෂණයට ලැබුණු ශක්‌තියක්‌ විය. ගෞතම බුදුන් වහන්සේ පිටදුන් බුද්ධගයා ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩමවා අනුරාධපුර මහ මෙව්නා උයනේ උත්සවාකාරයෙන් පිහිටුවා රාජ්‍යයෙන් පුදනු ලැබු තැන් පටන් ජාතියේ සජීවී ඓතිහාසික සංකේතය බවට පත් වූයේ අනුරපුර ජය ශ්‍රී මහා බෝධියයි. (ශ්‍රී මහා බෝධිය පිහිටවූ නිසාම රජරට පිහිටි රජ බවට පත් විය.) ජය ශ්‍රී මහා බෝධිය රැක ගන්නට වසර දෙදහස්‌ තුන්සියයක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් ලොව පැරණිම පූජනීය වෘක්‍ෂය සුරක්‍ෂිත කළ ජනකාය බවට සිංහල බෞද්ධයන් පත්වීම භාග්‍යයකි. දේවානම්පියතිස්‌ස රජතුමා උතුරේ දඹකොළ පටුනේ ජය ශ්‍රී මහ බෝධිය වඩා හිඳුවන ලද ස්‌ථානයේ ජම්බුකෝල විහාරයත්, යාපනේ තිස්‌ස විහාරයත් යාපන අර්ධද්වීපයේ ම ප්‍රාචීන විහාරයත් කරවීම රටේ ඒකීයභාවය සඳහා වූ ඓතිහාසික සාක්‍ෂි බවට ත් වී තිබෙන හෙයින් හෙළ සිරිත් නව පණ ගන්වන සිංහල අලුත් අවුරුද්දත් සමඟ උදාවන බක්‌ පෝ දිනයේ ඒ උතුම් උරුමය සිහි කිරීම ජාතික යුතුකමකි.

විශ්වයටම සෙතක්‌ ශාන්තියක්‌ වූ බුදු මෙහෙවරට ශක්‌තිය දුන් සම්බුදු සිරුරේ නොදිරන කොටස්‌ සර්වඥධාතු ලෙස සලකා ගෞරව භක්‌තියෙන් වන්දනා කරන, සර්වඥධාතු නිධන් කර තැනු චෛත්‍යයන් ජාතියේ මහා ආධ්‍යාත්මික සංස්‌කාතික සංකේතයන් සේ සලකා ගරු සම්මාන පෙරදැරිව සුරක්‍ෂිත කරන සමාජයක්‌ පුංචි ශ්‍රී ලංකාවෙන් බිහිවීම ජාතික ආරක්‍ෂාවට හේතු වන මහා භාග්‍යයක්‌ වී තිබේ. රුහුණේ මහා ඓතිහාසික දාගැබ වූ තිස්‌සමහාරාම චෛත්‍යය, සිංහලේ මහා ඓතිහාසික අධ්‍යාත්මික සංස්‌කාතික නිර්මාණය වූ රුවන්වැලි මහා සෑය, ලොව ලොකුම දාගැබ වූ අභයගිරිය මහා ස්‌ථූපය, ලොව උසම චෛත්‍යය වූ ඡේතවන මහා ස්‌ථූපය උතුරේ ඉපැරැණි නාගදීප විහාරය, රට මැද මහියංගන මහා සෑය, රටේ බස්‌නාහිර කැලණි ගඟබඩ උයනක්‌ මැද පිහිටි කැලණි චෛත්‍යය, නැගෙනහිර සුන්දර පරිසරයක පිහිටි සේරුවිල මංගල මහා චෛත්‍යය, සෝමාවතී චෛත්‍යය හා දීඝවාපි ස්‌ථූපය ආදී ඓතිහාසික සංස්‌කෘතික සංකේතත් සිංහල බෞද්ධ රාජ්‍ය උරුමයේ පූජනීය සංකේතය වූ දළදා වහන්සේත් රැක ගන්නට ඕනෑම සතුරු බලවේගයකට එරෙහිව ආත්ම පූජාවෙන් කැප වන්නට හා දිවි පරදුවට තබා සටන් කරන්නට ලක්‌වැසි බහුතර ජනතාව අධිෂ්ඨාන සහගත වීම ලොවටම ආදර්ශයකි. එය ලොවටම ආදර්ශයක්‌ වන්නේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී තම අධ්‍යාත්මික සංස්‌කෘතියක උරුමය රැක ගන්න සමත් වූ වෙනත් ජනතාවක්‌ ලොව කිසිම කලාපයක හෝ කිසිම මහාද්වීපයක නොවු හෙයිනි. සුවිශාල අප්‍රිකාවේ ද රුවන්වැලි මහා සෑය වැනි මහා ජාතික සංස්‌කෘතික නිර්මාණයක්‌ තිබුණා නම් අප්‍රිකාව අඳුරු මහාද්වීපය ලෙස හඳුන්වමින් කෝටි ගණන් නිග්‍රෝ ජාතිකයන් වහලුන් ලෙස යදම්වලින් බැඳ ඇමෙරිකාවට ගෙන යන්නට හැකි වන්නේ නැත. විශ්වන්තරවාදී බෞද්ධ දර්ශනය මත පදනම් වූ හෙළ ජාතික චින්තනය වැනි ප්‍රබල චින්තනයක්‌ තිබුණා නම් ලතින් ඇමරිකානු ජනතාවත්, යුරෝපයේ ආධ්‍යාත්මික සංස්‌කෘතික වහළුන් වන්නේ නැත.

අනුරපුර ශ්‍රී මහා බෝධියෙන් බිහි වූ අෂ්ඨඵලරුහ බෝධීන් හා දෙතිස්‌ පලරුහ බෝධීන් උතුරේ දඹකොළ පටුනේ පටන් කතරගම දක්‌වා රටපුරා සෑම ප්‍රදේශයකම රෝපණය කරවා යුද කළකෝලාහලවලින් තොරව ආගම දහම මගින් සොබා පරිසරවාදී ලෙස ජාතික සමගිය ගොඩනැඟීම ලොවටම ආදර්ශයක්‌ වන බව ද සිංහල අවුරුදු සමයේ උදාවන බක්‌ පෝ දිනයේ සත්‍ය ගරු කරන ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළ යුතුව තිබේ. දේවානම්පියතිස්‌ස රජුගේ ඇරයුමෙන් අනුබුදු මිහිඳු හිමියන් අනුරපුර නගරයට පිවිසුණු තැන පඨමක චෛත්‍යයත් රාත්‍රිය නැවතුන තැන නිවන්තක ෙච්තියත් රජ මැඳුරට නොදුරින් මහමෙව්නා උයනේ මහා විහාරයත්, ථූපාරාමයත්, මිහින්තලේ මිස්‌සක පව්වේ මිහින්තලා මහා සෑයත්, ඉසුරුමුණියත්, වෙස්‌සගිරියත් ගොඩනැඟෙන්නට වසර දෙසිය ගණනකට පෙර බුදුÊහිමියන් ජීවමානව වැඩසිටියදීම නාගදීප, මහියංගන, කැලණි චෛත්‍ය ගොඩනැඟූ බවත් මේ බක්‌ පෝදා සිහිකළ යුත්තේ ඒ නිර්මාණයන් ඉන්දියාවට පවා ආදර්ශවත් වූ හෙයිනි. නාගදීප, කැලණි, මහියංගන විහාර ඉන්දියාව පුරා විහාර දාගැබ් කරවූ අශෝක අධිරාජ්‍යයාට පවා ආදර්ශයන් වූ බව නිසැකය. ධර්මාශෝක අධිරාජ යුගයේ පටන් කිල්ජිභක්‌තියාර් ප්‍රමුඛ ඉස්‌ලාම් ආක්‍රමණ දක්‌වා බැබැළුණු දඹදිව බෞද්ධ උරුමය මෝගල් අධිරාජ්‍යයට යට වී වැනසී ගිය ද ඒ උරුමයට පණ දෙන්නට ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක බෞද්ධ වීරයා වූ ධර්මපාලතුමාට හැකි වූ බව වෙසක්‌ උදාවට කලින් එළැඹෙන බක්‌ පෝ දිනයේ සාදර ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

යුද්ධ මාර්ගය අතහැර ධර්ම විජය මඟට එළැඹුණු ලොව ශ්‍රේෂ්ඨතම රාජකීය නායකයා වූ අශෝක අධිරාජයාගේ අභාවයෙන් සහශ්‍ර වර්ෂයක්‌ ගත වී වැඩිකල් යන්නට පෙර ඉන්දියානු අර්ධ මහාද්වීපය මුqස්‌ලිම් ආක්‍රමණයට ගොදුරු වී මෝගල් අධිරාජ්‍යය බවට පත්වෙද්දී ඉන්දියන් සාගර කලාපයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන්නා වූ මධ්‍යස්‌ථානයක පිහිටි සුන්දර ශ්‍රී ලංකාව සුරක්‍ෂිත වූයේ දසමහා යෝධයන් ප්‍රමුඛ විධිමත් සේනාවක්‌ ගොඩනඟා ජාතික ආරක්‍ෂාවේ පදනම දැමූ ජාතියේ පියා වන් කාවන්තිස්‌ස රජතුමා, ජාතියේ මාතාව වූ විහාරමහා දේවිය, ජාතියේ අසහාය වීරයන් වූ ගැමුණු, වළගම්බා, ගජබා, ධාතුසේන, විජයබා, පැරකුම්බා වැනි වීරයන්ගේ නායකත්වයෙන් ගොඩනැඟුණු මහා දේශප්‍රේමී ජාතික, ආධ්‍යාත්මික සංස්‌කෘතික බලවේගය නිසා බව රටපුරා විහාරස්‌ථානවල එක්‌රැස්‌ වී සිහිනුවණින් යුතුව මෙනෙහි කිරීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ. සිංහලේ අධ්‍යාත්ම ශක්‌ති උල්පත විශ්වන්තරවාදී බුදු දහම පදනම් කරගත් ජාතික චින්තනයේ ශක්‌තියෙන් ගොඩනැගුණු මහා සංස්‌කෘතික උරුමයයි. ඒ මහා සංස්‌කෘතික උරුමයට අවශ්‍ය ආර්ථික ශක්‌තිය ලැබුණේ ජනතා ශ්‍රම ශක්‌තියෙන් තැනූ යෝධ වැව්, මධ්‍යම වැව්, ගම් මට්‌ටමේ කුඩා වැව්, යෝධ ඇළවල්, මධ්‍යම ඇළවල් හා හීන් ඇළවල් ඇතුළු දස දහස්‌ සංඛ්‍යාත වැව් ඇළ වේලි පදනම් කරගත් කුඹුරු යායවල් මගිනි. සිංහල අලුත් අවුරුද්දත් සමඟ උදාවන බක්‌පෝදා අප රට පුරා විහාර භූමිවල එක්‌ වී ඒ උරුමය සිහිකළ යුත්තේ ලොවටම ආශිර්වාදයක්‌ වූ ධර්මද්වීප දායාදයට තර්ජනයක්‌ එල්ල වන තත්ත්වයක්‌ දේශපාලන, ආර්ථික සංස්‌කෘතික යන සියලුම ක්‍ෂේත්‍ර තුළින් මතු වී ඇති හෙයිනි.

ධර්මද්වීප උරුමය ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන යැම කාලීන ලෝක අවශ්‍යතාවක්‌ බවට පත් වී ඇත්තේ ඉස්‌ලාම් අන්තවාදයටත් වඩා බිහිසුණු තර්ජනයක්‌ ලෙස ලෝකාධිපතිවාදී ඇමෙරිකානු උත්තර බලවතා දකුණු චීන මුහුදේ මහා යුද අභ්‍යාස පවත්වන්නට තරම් දුර්දාන්ත වී ඇති හෙයිනි. හැටේ දශකයේ දී සමාජවාදී කියුබාවේ ආරක්‍ෂාව සඳහා කැරිබියන් මුහුදට සෝවියට්‌ යුද නැව් ගෙන යැමට එරෙහිව රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමට තරම් මුග්ධ හා අමානුෂික වූ තමන්ගේම මෑත අතීතය අමතක කරමින් ඇමරිකානු නායකයන් දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස කිරීම ලෝ දනන් සිත් සසල කරවන්නකි. ලෝක ජනතාවගේ ආරක්‍ෂාවට හේතු වන මේ සත්‍යයන් විශ්වයටම සෙතක්‌ ශාන්තියක්‌ වූ සම්මා සම්බුදුවරයකු බිහි වූ වෙසක්‌ පෝයට කලින් උදාවන බක්‌ පෝ දිනයේ ලක්‌වැසි බෞද්ධ අප ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළ යුතුව තිබේ. හෙළ අවුරුදු සිරිත් පණ ගන්වන සිංහල අලුත් අවුරුදු සමයේ උදාවන බක්‌ පෝ දිනයේ ගෙනහැර දක්‌වන මේ විශ්වන්තරවාදී සත්‍යය ධන තන්හාවෙන් හා බලකාමයෙන් නෙත් සිත් අඳුරු වූ අපේ රටේ දේශපාලන බලවතුන් ඇතුළු අඳුරේ අතපත ගාන සියල්ලන්ගේත් නව යටත්විජිතවාදී අධිපතිවාදී ලෝක බලවතුන්ගේත් ඇස්‌ අරවන අධ්‍යාත්මික සංස්‌කෘතික බලවේගයක්‌ වේවා· ලෝ දනන් සිත් නිවේවා· සකල ලෝකවාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා

– Divaina