කුණුහරුප උගන්වන කුණුවතුර නාවන සරසවියේ නවක වදය

0
2160

* නවක වදයේ ප්‍රතිඵලය සිත් රිදීමකි කලකිරීමකි කෙළවර වෛරයකි..
* පෙළක්‌ ළමයි හැඳි ගාපු නැති හොදි වගෙයි…
* රූපා රත්නශීලි රාමනාදන් ශාලාවෙන් පැන්නේ නවක වදය ඉවසීමට බැරිවයි…

වද දීම හෝ කාට හරි වදයක්‌ වීම එතරම් හොඳ දෙයක්‌ නොවන බව අපි දනිමු. අද සමාජයේ විවිධාකාර වදයන් දකින්නට ඇත. අනුන්ට වද දීම ඉන් ප්‍රධාන වන අතර තමාටම වදයක්‌ වීම එහි අනිත් ප්‍රභේදයයි. සමහරු තමන් රිදවා ගැනීමෙන් සතුටු වෙයි. එය ස්‌වපීඩාකාමුකත්වයයි. තවත් අය අනුන් රිදවා තුටු වෙයි. එය පරපීඩා කාමුකත්වයයි. මෙහිදී කාමුකත්වය යනු කැමැත්ත මිස රාගය ලිංගික ආස්‌වාදය නොවන අතර ශාරීරික අඩන්තේට්‌ටම් කිරීම මානසිකව රිද්දීම සමච්චලයට ලක්‌ කිරීම මනස සහ ශරීරය වෙහෙස කරවන ව්‍යායාම වල යෙදවීම ඒ සඳහා දෘෂ්ටාන්ත කීපයකි.

අනුන්ට වද දීමේ සංකල්පය තුළ ඇති තවත් එක්‌ ක්‍රියාවලියක්‌ වන්නේ නවක වදයයි. සමහරු මෙම නවක වදය යන ක්‍රියාව සාධාරණීය කරන්නට කොතරම් වලිකෑවත් එය අනුන්ට පීඩාවක්‌ ගෙන දෙන වේදනාවක්‌ ඇති කරන අපහසුතාවයට පත් කරන ක්‍රියාවක්‌ බව නම ඇසූ පමණින් ඕනෑම ගොනෙකුට තේරුම් යයි. සමහරු සිතන්නේ නවක වදය ඇත්තේ සරසවි හෙවත් විශ්වවිද්‍යාල තුළ පමණක්‌ බව වුවද මෙම නවක වදය පාසල් තුළ හමුදා පුහුණු කඳවුරු තුළ රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්‌ථා සහ රාජ්‍ය නොවන ආයතන බන්ධනාගාර පුනරුත්ථාපන කඳවුරු තුළ සහ සෙමනේරි, පන්සල් වැනි ආගමික ස්‌ථාන වලත් අඩු වැඩියෙන් දකින්නට තිබේ.

ශ්‍රී ලංකාව තුළ නවක වදය ගැන එතරම් දීර්ඝ ඉතිහාසයක්‌ නැත. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවල පසුගිය දසක හතරක පහක කාලයක්‌ තුළ මේ ගැන අසන්නට දකින්නට ලැබුණද අතීතයේ අප රට තුළ පරපීඩා දෙන නවක වදයක්‌ පැවති බවට සාක්‍ෂි නැත. තවත් බොහෝ අවර අසික්‌කිත අපචාර සිරිත් මෙන්ම අපට මේ නවක වදයද ආවේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී සමයේ දෙවන ලෝක යුද්ධය පවතින කාලයේ මෙහි පැවති හමුදා කඳවුරු තුළින් බවට සාක්‍ෂි තිබේ. යුද පිටියේ වැඩ පෙන්වූ සොල්දාදුවන් විවේක කාලය හමුදා කඳවුර තුළ ගත කරද්දී එහි එන නවකයන්ට තම බලය පෙන්වීමටත් ඔවුන්ව සමච්චලයට ලක්‌ කිරීමටත් තම පහත් ලිංගික ආසාවන් ඉෂ්ට කර ගැනීමටත් ඔවුන් මෙසේ ක්‍රියා කර ඇත. එමෙන්ම නවක වදය තුළින් නවකයන් ශක්‌තිමත් වන බවත් දිරිමත්ව පසුබට නොවී පාවා නොදී නිර්භීතව සතුරාට මුහුණ දීමට හුරු වන බවත් එම සොල්දාදුවන් විශ්වාස කළහ. පසු කලෙක මෙම නවක වදය හමුදා කඳවුරු තුළින් සරසවි වලටත් උසස්‌ අධ්‍යාපන ආයතනවලටත් ආ බවට විශ්වාස කළ හැකිය.

අද අධ්‍යාපන ආයතන තුළ දකින්නට ලැබෙන නවක වදය කොටස්‌ තුනකට බෙදා පෙන්විය හැකිය. ඒ වාචික, ශාරීරික සහ මානසික වද ලෙසිනි. විශේෂයෙන්ම මේවා දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉතා සුලබව පැවැත්වෙයි. හිටපු උපකුලපති කරුණාරත්න මහතා නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ දැනට වසර හතරක්‌ තිස්‌සේ නවක වදය එතරම් දරුණුවට ක්‍රියාත්මක නොවුණද නැත්තේම නැතැයි කියන්නට හැකියාවක්‌ නැත.

විශ්වවිද්‍යාල තුළ ඇති නවක වදය ගැන කතා කිරීමට පෙර අපි මේ නවක වදය ක්‍රියාත්මක වන වෙනත් තැන් ගැන මඳක්‌ බලමු. විශේෂයෙන්ම නගරබද පාසල් තුළද අද මේ නවක වදය ක්‍රියාත්මක වෙයි. බොහෝවිට ඒ සාමාන්‍ය පෙළ සමත්වී උසස්‌ පෙළ හැදෑරීම සඳහා ගමෙන් නගරයට එන සිසුන් වෙනුවෙනි. අප දන්නා පරිදි වැඩිපුරම උසස්‌ පෙළ කරන්නට ගමෙන් නගරයට එන්නේ ඉහළ ප්‍රතිපල ගත් මනා විනීත වැදගත් ගති ඇති ඈත ගම්වල විසූ ගොඩේ පහේ කබ්බන් හෙවත් බයි කොලිටියේ දරුවන්ය. මුලින්ම ඔවුන් ඉතා කුළෑටි ගති පාති. බහුතරයක්‌ දෙනා සමාජ භීතිකාවෙන් පෙළෙති. මේ බව දකින නගරයේ ඇම්බැට්‌ට වුණ කොලු තාත්තලා කරන්නේ තැලෙන යකඩය උඩ පැන පැන තලන්නාසේ එකී අහිංසක කොල්ලන්ගෙන් මුදල් හූරා කෑම, කප්පම් ගැනීම, කුණුහරුප කියවා ගැනීම, ශාරීරික අභ්‍යාස වල යෙදවීම, ගීත ගායනාව වැනි දේවල් කරවීමයි. සමහර නවක ළමයි මේවා ඉදිරියේ ඇඹරෙන අතර සමහරු ගාණට උත්තර බඳිති. බහුතරයක්‌ අඬමින් කඳුළු සලති.

විශ්වවිද්‍යාල තුළ දෙන නවක වදය පාසල් නවක වදය තරම් සුන්දර නැත. “මල්සමය” තුළින් ආරම්භ වන සරසවි නවක වදය බොහෝ විට අවසන් වන්නේ සිත් රිදීමකින් කලකිරීමකින් හෝ වෛරයකිනි. බලහත්කාර ප්‍රේම සබඳතා මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන් හා ආත්ම විශ්වාසය සවිමත් කරගැනීම තුළින් ආරම්භ වන මල්සමයන්ද නැත්තේ නොවේ. මල් සමය යනු නවක සිසුවා හෝ සිසුවිය සරසවියට ආ මුල්ම සතියක දෙකක කාලයයි. ඒ කාලය තුළ අලුත් අයට අන්වර්ථ නාමයක්‌ පට බඳිනු ලබයි. එයට කියන්නේ කාඩ් එක කියායි. බොහෝ විටට මෙම මල්සමය එතරම් රලු හෝ වේදනාකාරී නොවේ. මල්සමයේදී තමාගේ කාඩ් එකත් බැච් µsට්‌ එක හෙවත් අලුතින් යාලුවන මිතුරාගේ නමත් ගමත් වෙනත් පෞද්ගලික විස්‌තරත් හොඳින් පාඩම් කරගෙන සිටිය යුතුය. එමෙන්ම අරුමෝසම් මෝස්‌තර විලාසිතා ආදිය මුල් කාලය තුළ නවකයන්ට තහනම්ය. කෙල්ලන් අඳින්න ඕනෑ චීත්ත මල් ගවුම්ය. රබර් සෙරෙප්පු පමණක්‌ පැළඳ කොණ්‌ඩය දෙකට බෙදා පීරා පටි වලින් ගැට ගසා ආ යුතුය. කොල්ලන්ටද සපත්තු දාන්න බැරිය. බෙල්ට්‌ නැත. සුදු හෝ ලා පාට ඇඳුමෙන් ආ යුතුය. නවකයන් ලෙස මුල් වසරට එන සිසු සිසුවියන්ට රැග් හෙවත් නවක වදය දෙනු ලබන්නේ දෙවන වසරේ හෙවත් ගිය අවුරුද්දේ සරසවියට ආ අයයි. තෙවන වසරේ හෝ අවසන් වසරේ එකෙක්‌ ඉඳහිට ඒ අසලින් යද්දී යම් විධානයක්‌ දෙකක්‌ දී පරුෂ වචනයෙන් බැණ කුමක්‌ හෝ ව්‍යායාමයක්‌ කිරීමට අණ කරනවා විනා දැඩි බලපෑමක්‌ නොකරති.

දෙවන වසරේ අය නවක වද දීම පිණිස ගමෙන් ආ අයට වඩා වැඩි අවධානයක්‌ යොමු කරන්නේ නගරයෙන් ආ උසස්‌ පන්තියේ අයයි. පෙනෙන නගරෙ පාසල් වලට ගිය නවකයන් වෙතයි. ඔවුන්ගේ ගමන බිමන උච්ඡාරණය සහ ඉරියව් දැඩි ලෙස වද බන්ධනයන්ට ලක්‌වෙයි.

“ළමයි වැඩි දෙනෙක්‌ සරසවියට එන්නේ මුකුත් දන්නෙ නැතිව අම්මගෙ තාත්තගෙ හුරතලේට හැදිල හරියට හැඳි ගාපු නැති හොද්දක්‌ වගෙයි. ඉතින් මේ නවක වදයෙන් කරන්නේ ඔවුන්ව හොඳට පදම් කරල තෙම්පරාදු කරල සාමාන්‍ය ජීවිතයට සහ සරසවි සමාජයට හැඩ ගස්‌සන එකයි. සමහර ළමයින්ට මේව දරා ගන්න බැහැ. ඒක නිසා රිඇක්‌ට්‌ (අනුගත නොවී ප්‍රතිචාර දක්‌වනවා.) කරනවා. එහෙම වුණාම පැරණි අය විරුද්ධයි. ඒ නිසා වදය දැඩි කරනව. දරාගන්න බැරි අය සටනට එනව, නැත්නම් දුර්මුඛ වෙනව. දෙවන වසරෙ කෙනා ටිකක්‌ හරි පරිණතයි නම් නවකයව තේරුම් අරගෙන ප්‍රශ්නෙට මුහුණ දෙනවා. නිකං හරි පරණ කෙනා මෝඩ ආවේගශීලි අයෙක්‌ නම් තත්ත්වය බරපතලයි. එලව එලව පහර දෙනව ඒක නිසා සමහරුන්ට සරසවිය එපා වෙනව සමහරු පිස්‌සු වැටෙනව සදාතනික ලෙඩ්ඩු වෙනව සමහරු සිය දිවි නසා ගන්නවා.”

ඒ වසර 18 ක්‌ පමණ ජ’පුර සරසවියෙ වැඩ කරන අනධ්‍යන සේවකයෙක්‌ගෙ අදහසයි. ඔහු කියන විදියට යම්තාක්‌ දුරට සරසවිය තුළ නවක වදය තිබිය යුතුයි.

“ඉස්‌සර අලුතින් එන අයට පරණ අය ෆයිල් හතරක්‌ පිරෙන්න කුණු හරුප ලියන්න දෙනව. කුණුහරුප කතා පවත්වන්න කියනව. කුණුහරුප සිංදු කියන්න දෙනව ඒවයින් ළමයින්ගෙ බොරු ලැඡ්ජාව සබකෝළය නැතිවෙනව. මං දන්නවා සමහරු මෙහෙ එද්දී පොඩි කුණුහරුපයක්‌වත් දන්නෙ නැහැ. තොත්ත බබ්බු හැබැයි නියම විදියට ඉවසීමෙන් නවක වදයට මුහුණ දුන්නොත් පොත් පත් දැනුම වගේම නියම සමාජය කියන්නෙ මොකක්‌ද නපුරෙන් ජය ගන්නෙ කොහොමද කියලත් ඉගෙන ගන්නව. ඒවගේම රැග් කාලය තුළ විශ්වවිද්‍යාල සංස්‌කෘතිය ගහකොළ පුස්‌තකාල ශාලා වැසිකිළි ආදිය තියෙන තැන් ගුරුවරු දේශකයෝ ගැන විතරක්‌ නෙමෙයි. තෝරාගත යුතු විෂයයන් ගැනත් දැනුමක්‌ ලබා දෙනවා. ඒ නිසා මගේ අදහස රැග් එක අවශ්‍ය බවයි.”

බකට්‌ කිරීම හෝ බෞතීස්‌මය හෙවත් අපිරිසිදු ජලයෙන් නෑවීම කුණු හරුප සිංදු හෝ කතා කියන්නට අණ කිරීම පැරණි සිසුවෙක්‌ වෙත ගොස්‌ මම ඔයාට ආදරෙයි කියා කියන්නට කීම, ඩිප්ස්‌ ගැසීම, තෝප්පු ගැසීම, තනි කකුලෙන් සිටීම වැනි ශාරීරික අභ්‍යාස වල නිරත කරලීම, කුඩා කෝටුවකින් විශාල වර්ග මීටර් ප්‍රමාණයක්‌ මනින්නට අණ දීම, බිම පෙරළීම, බඩගෑම, දණ ගෑම වැනි දේවල් සරසවි තුළ ඇති සරල නවක වදයන්ය. මෙවැනි දේට සැනින් කීකරුව ඒවා ඉටු කිරීම තුළින් යම් සහන ලබා ගත හැකිය. විරුද්ධ වන අයට ඉන්පසු ලැබෙන දඬුවම් වැඩිය.

නේවාසිකාගාරවල දෙන නවක වදයන් මඳක්‌ වෙනස්‌ය. ඒවා තුළ ලිංගික ක්‍රියා පවා දකින්නට ලැබේ. කොල්ලන්ට ලැබෙන්නේ ප්‍රසිද්ධියේ අන් අය ඉදිරිපිට ස්‌වයං වින්දනයේ යෙදෙන්නයි. සමහර විට අනිකාගේ රහස්‌ අවයව පිරිමැදීමටද අණ ලැබේ. ගිහි පැවිදි කියා වෙනසක්‌ නැත. චීවරධාරියෝ පවා රහස්‌ අවයව පිරිමැදීම කළ යුතුවේ.

කාන්තා නේවාසිකාගාරවල පැරැණි සිසුවියෝa නව සිසුවියන්ට අණ කරන්නේ නිරුවතින් රැඟුම් පාන්නටත් සංවාස කරන ඉරියව් රඟදැක්‌වීමටත් එවන් අවස්‌ථාවල වෙන දෙබස්‌ ශබ්ද නාද සහ කෙඳිරිලි අනුකරණය කරන්නටත්ය. කීකරු වන අය ජය ලබති. බැහැයි කියන අය තවත් වද බන්ධනයට ලක්‌වෙති.

මෙවන් කරන්නට අසීරු අමානුෂික ක්‍රියා නිසා විපතට සහ අවාසනාවන්ත තත්ත්වයට පත්වූ තරුණ තරුණියන් ගැන අනන්තවත් සත්‍ය කතා සරසවි ඉතිහාසවල එයි.

70 දසකයේ මැද භාගයේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කාෂිකර්ම පිඨයේ අධ්‍යාපන ලබමින් සිටි 22 හැවිරිදි රූපා රත්නශීලි නම් රූමත් තරුණිය රාමනාදන් ශාලාවේ පිහිටි නේවාසිකාගාරයෙන් බිමට පැන්නේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් විසින් ඇයගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක්‌ ඇතුළත් කිරීමට තැත් කිරීම නිසා බව ඇය සාක්‍ෂි දී ඇත. ඇය ඊට වසර 27 කට පසු එනම් 2002 දී රූපා සියදිවි හානිකරගන්නා තුරුම එදා ඒ සිදුවීම නිසා කොඳු ඇට පෙළ කැඩී ගොස්‌ ඔත්පලව එක්‌තැන්ව සිට ඇත.

රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා සිසුවාත් (1993) හක්‌මන ප්‍රසංග නිරෝශන සිසුවාත් 1997 දී 21 හැවිරිදි වරප්‍රකාෂ් සිසුවාත් (ඉංජිනේරු අංශය පේරාදෙණිය) මිය යන්නේ පැරණි සිසුන්ගේ කෲර නවක බවද බන්ධනයන්ගේ ප්‍රතිපල ලෙසිනි.

එමෙන්ම 1997 දී රුහුණේ ඉගෙන ගනිමින් සිටි පළමු වසරේ තරුණියක්‌ සියදිවි නසා ගත් බවටත් එම වසරේදීම අම්පාර හාඩි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි කැලුම් තුෂාර තරුණයා (බලත්කාරයෙන් අරක්‌කු පෙවීම නිසා යටගත් හදිසි අක්‌මා රෝගී තත්වයක්‌) නිසා මිය යන බවටත් සාක්‍ෂි වාර්තා ඇත.

2011 දී රුහුණ විශ්වවිද්‍යාලයේ මානව සහ සමාජ විද්‍යා පීඨයේ තවත් සිසුවියක්‌ එහි සරසවි ආපන ශාලාවේ ඇද වැටී සදාතනික අඩපන තත්ත්වයට පත්වන්නේද නවක වදයට හසුවීම නිසාය.

විශ්වවිද්‍යාල තුළ පවතින අමානුෂික නවක වදයට එරෙහිව නැගී සිට හඬක්‌ නැගූ කීප දෙනෙක්‌ ගැන සරසවි ඉතිහාස වාර්තා ඇති අතර, 2002 දී සාහසික ලෙස මරාදමන විඡේරාමේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට තුන්වන වසරේ සිටි සමන්ත විතානගේ ඉන් එක්‌ අයෙකි. ඔහු නවක වදයට ලක්‌ වන අසරණ සිසු සිසුවියන් ගැනත් නවක වදයට එරෙහිවත් සෘජුවම අභීත හඬක්‌ නැගීය. එහි ප්‍රතිපලය වූයේ තවත් මෘග අමන සමකාලීන සිසු පිරිසක්‌ විසින් ඔහුව විශ්වවිද්‍යාලය තුළදීම රැස්‌වීමක්‌ අතරතුර පරිගණක මොනිටරයකින් ඔළුවට ගසා මරා දැමීමයි.

ජ’පුර උපකුලපතිව සිටි මහාචාර්ය චන්දිම විඡේබණඩාරද නවක වදයට විරුද්ධව කතා කළ ක්‍රියා කළ අයෙකි. ඔහු 2006 දී තම ධුරයෙන් ඉල්ලා අස්‌ වන්නේ තමා නවක වදයට එරෙහිව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට එදා සිටි සිසුවන් සහ අදාළ පිරිස්‌ එකඟ නොවීමේ ප්‍රතිපලයක්‌ ලෙසිනි.

මෙතෙක්‌ අප ගෙනහැර ආ සිදුවීම් සහ සාක්‍ෂි මත නවක වදය හොඳද? නැත්නම් නරකද? කියා තීරණය කිරීම ඔබ සතුය. නමුත් එය නවත්වනවාද නැත්නම් දිගටම ක්‍රියාත්මක වන්නට ඉඩදෙනවාද කියා තීරණය කළ යුත්තේ වත්මන් රජය සහ අදාළ නිලධාරීන්ය.

මිත්‍ර ශ්‍රී කරුණානායක
– Divaina