දිනපතා උදැසන මා “දිවයින” පුවත්පත් කාර්යාලය කරා පැමිණෙන්නේ කොහිලවත්ත දෙසින්ය. කැලණි ගංගාව ගලා බසින්නේ ඒ ඔස්‌සේ සේදවත්ත, තොටළඟ දෙසින්ය. කොහිලවත්ත මංසන්ධියට අඩි පහළොවක් පමණ පහළින් ගලා බසින කැලණි ගඟ හරහා එගොඩ කැලණියට සමහරු ගමන් කළේ පාරුවක් මතින්ය.
ඊයේ (17 දා) උදැසන කොහිලවත්ත හන්දියට මා පැමිණෙන විට කැලණි ගඟේ දියවැල මහා මාර්ගය මතින් යාබද ගෙවල් දොරවල් යටකර ගෙන ගලා යමින් තිබෙනු දකින්නට ලැබිණි. ගඟේ ජලකඳ අඩි පහළොවක් පමණ ඉහළට එසවී කොහිලවත්ත හන්දිය යට කළේ නම් කැලණි ගංගාව ගලා බසින ඉහළ ප්‍රදේශවල තත්ත්වය මොන තරම් බිහිසුණුදැයි එක්‌වරම මට සිතුණි. බොර පැහැති මහා ජලකඳ වියරු වැටුණ පරිද්දෙන් මහා වේගයෙන් ගලා බසින්නට වූයේ ඉවුරු දෙපස ගොඩ ගැසී තිබූ කුණු කඳුද රැගෙන බව පාවී යමින් තිබූ කසළ සාක්‍ෂි දරුවේය.
මිනිස්‌සු ගැහුනු සිය ගණනක් විශ්මයෙන් කැලණි ගංගාව දෙස බලා සිටිති. සමහරු ගංවතුරට යටවී තිබෙන ගේ දොර දෙස කම්පාවෙන් බලාගෙන හූල්ලති. ගෙවල් පේලි මැදින් වැටී ඇති අඩිපාර දකින්නට නැත. දියේ බැස දරුවන් වඩාගෙන පැමිණෙන පිරිමි සහ තවත් ගේ දොර කුඩා උපකරණ උසුලා ගෙන එමින් සිටි කතුන් රැසක් මගේ නෙත ගැටුණි.
ඒ මොහොතේම මම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත්තෙමි. ඒ බියගම පාරේ බණ්‌ඩාරවත්තේ පදිංචි මගේ ඥතියකු වන සිසිර කුමාර මහතාටය. මොහුගේ නිවසට යාබද ඇළ මාර්ගයකි. නිවස පිහිටි බිමේ සිට ඇළ මාර්ගයට අඩි දොළහක පමණ ගැඹුරක් තිබේ. ඇළ මාර්ගයට ගලන ජලය ගලා ගියේ කැලණි ගඟටය.
“ගේ ඇතුලේ අඩි පහමාරක් වතුර. කැලණි ගඟේ වතුර ඇළට ඇවිත් ඇළ පිරිලා. ගෙවල් යටවෙලා. මම උඩ තට්‌ටුවේ ඉඳලා සාලයට ආවා. ගිලෙයි කියලා මහා බයක් ආවා. µs්‍රඡ්, ටී.වී. ඔක්‌කොම ඉවරයි. µaලග් අස්‌සට වතුර ගිහිල්ලා. විදුලියත් නෑ.
තමන්ගේ නිවස තුළදීම ගිලී මිය යතැයි නිවැසියකුට සිහිනෙන්වත් පෙනෙන්නේ නැත. එහෙත් මෙවර වට මහ වැස්‌ස ගංගා ඇළ දොළ උතුරා පිටාර ගලා යන්නට සැලැස්‌වීය. මහා පස්‌කඳු ගෙවල් යට කරගෙන කඩා වැටෙන දර්ශන සී.සී.ටී.වී. කැමරා ඔස්‌සේ ලබාගෙන රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හැරිණි. ලංගම බස් රථයක වහලය පමණක් දකින්නට සලස්‌වමින් ජල කඳ වේගයෙන් ගලා යන අයුරු දුටුවේ සුනාමි ව්‍යසනයෙන් පසුවය.
මේ වන විට ජීවිත අටක් ගංවතුර විසින් සිදුකරන ලද ව්‍යසන මගින් බිලිගෙන අවසන්ය. කඩුගන්නාව ප්‍රදේශයේ නාය යාමකින් අතුරුදන් වූ හය දෙනකු සොයමින් සිටින බව ඊයේ (17 දා) දහවල් නිවේදනය කෙරිණි.
මේ වන විට දිස්‌ත්‍රික්‌ක පහළොවක පවුල් අටදහසකට අයත් පුද්ගලයන් විසිපන් දහසකට අධික ප්‍රමාණයක් විපතට පත්වී සිටිති. මොවුන්ගෙන් සියයට අනූනවයක්‌ම එදිනෙදා රැකියාවක් කොට සිය අඹු දරුවන් සමග දිවි ගෙවූ උදවිය වෙති. චංචල දේපළ පමණක් නොව ජීවිත පවා අහිමිවී උන්හිටිතැන් නැතිව රේල් පාරවල ගැසූ කූඩාරම්වලට සහ රැකවරණ සහිත ස්‌ථානවලට කොටු වන්නට ඔවුනට සිදුවී තිබේ.
මහ වැසි ඇද වැටෙන්නේ ස්‌වභාව ධර්මයේ වෙනස්‌වීම් අනුවය. එහිදී පස් කඳු කඩා වැටෙන්නෙ, ගංගා, ඇළ දොළ උතුරා පිටාර ගලා යන්නේ කිසිම දැනුම් දීමක් නැතිවය. වේදනාවට කාරණාව නම් අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ දේපළ විනාශ වී යාමයි.
මෙම මහා වැස්‌ස හේතුවෙන් කැලණි ගඟේ ජල ප්‍රවාහයට සේදී යමින් මාර්ග කීපයක්‌ද ගිලා බසින්නට පටන්ගෙන තිබෙන බවක් නිවේදනය කෙරිණි.
ස්‌වභාවධර්මයේ විවිධ වෙනස්‌කම් විපත් බවට පෙරළෙන්නට හේතු රාශියක් බලපායි. එම හේතු පිළිබඳ සොයා බලා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැති ඇමැතිවරුන් සහ ආයතන රාශියකි. නමුත් විනාඩි පහළොවක වැස්‌සටත් මුළු කොළඹම යටවෙයි. එවැනි තත්ත්වයක් යටතේ මහවැලි, කැලණි, කළු සහ නිල්වලා ගංගාවල ජල දිය කඳ පිටාර ගලා ජීවිත හා දේපළ අහිමිවී යාම සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවෙක් පුදුම නොවන බව අපි දනිමු. දියවන්නාව උතුරා පාර්ලිමේන්තුවේ යට මහල යටවීම වැළැක්‌වීම සඳහා හමුදා සෙබළුන් වැලිකොට්‌ට 800 ක් පමණ අතුරන අයුරු ජනතාව දුටුවේ රූපවාහිනියෙනි. අවතැන් වූ පුද්ගලයකු සඳහා දිනකට ලබා දෙන රුපියල් 150 දීමනාව රුපියල් 225 ක් දක්‌වා වැඩි කිරීමට අදාළ හදිසි කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඊයේ (17 දා) දහවල් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
පවුල් 8000 කට වැඩි සංඛ්‍යාවක් මහා වැස්‌ස හේතුවෙන් විපතට පත්වී සිටිති. ජීවිත කාලය පුරාවට ඔවුන් දුකසේ උපයා හරි හම්බ කරගත් ඔවුන්ට වටිනා දේපළ රැසක් අහිමිවී ගොස් ඇත. අහිමි වූ දේපළවලට වන්දියක් ලැබේදැයි සැක සහිතය. අහිමිවූ ජීවිතවලට කිසියම් මුදලක් ප්‍රදානය කරන්නට ඉඩ ඇත. එහෙත් වන්දියකින් හෝ අවතැන් දීමනාවකින් පමණක් සෑහීමකට පත්විය හැකිදැයි සැක සහිතය. මන්ද හැම වැස්‌සකටම යට වන්නට ජනතාවට සිදුවී තිබෙන බැවින්ය.
* අනුර හොරේෂස්
– Divaina