විග්නේෂ්වරන්ලා කියන ආණ්‌ඩුව මුනිවත රකින වර්ග සංහාරයේ ඇත්ත කතාව..

0
787

හැමදාමත් කළු සුද්දන් මේ රට කරවන කල්හි අපේ ජාතිකාභිමානය කුණු මුල්ලට ඇද දැමිණ. එය අදත් සිදුවන්නේය. එසේ සිදුවෙමින් තිබෙන්නේ සුද්දන්ගේ ආරෙට හැදුණාක්‌ මෙන් කටයුතු කරන වත්මන් පාලකයනුත් ඒ අඩිපාරේම යමින් සිටින නිසාද?

මා එසේ විමසන්නේ නිකම්ම නොව, අද අපට ජීවය දුන් මේ පිං බිමට අපේ ඇස්‌ ඉදිරියේම සිදුවෙමින් තිබෙන දේ හමුවේය. අති උතුම් ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරන්නැයි දෙසූහ. නමුත් උන් වහන්සේ ඇතැමුන් තමන්ට ප්‍රේම නොකරන බව දැන සිටියහ.

එනිසාම අවසන් භෝජන සංග්‍රහය එළැඹි මොහොතේ ‘මෙතැන සිටින්නකු හෙට එළිවන්නට පෙර මා පාවා දෙන්නේ’ යෑයි උන් වහන්සේ සිය අනුගාමිකයන් අමතා වදාළහ. එය එසේම සිදු විය. ඒ පාවා දෙන්නා වූයේ අවසානයේ ගෙල වැල ලාගෙන සියදිවි නසා ගත් ජුදාස්‌ය.

එහෙත් ජුදාස්‌ලා සිටියේ එදා පමණද? නැත. එකල සිටියේ රන් කාසි සියයකට ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ පාවා දුන් ජුදාස්‌ පමණය. ඒකා කළ පවට එදා හෘද සාක්‍ෂිය හමුවේ දිවි නසා ගත්තේය. නමුත් වර්තමානයට ගැළපෙන පරිදි ටයි, කෝට්‌ සහ අව් කණ්‌ණාඩි සංස්‌කෘතිය සමඟ සසඳා බලන කල නම් අද අපට ජුදාස්‌ලා දුසිම් ගණන් සිටින්නාහ. ගැටලුව වී ඇත්තේ සැබෑ ජුදාස්‌ට පරිදි මුන්ට හෘද සාක්‍ෂියක්‌ නොවීමය.

ඉතින් ඔවුහු බොහෝ දේ සිදු කරමින් සිටින්නාහ. ඒ සියල්ල තුළ ඇත්තේ පාවා දීම් සහ මේ බිමට එරෙහි බලවේගයන්ගේ වුවමනාවන් වෙනුවෙන්ම පෙනී සිටීම බව බැලූ බැල්මට පෙනෙන්නකි. එහෙත් එසේ කරන දේට බාධකයක්‌ එල්ල වූ තැනදී මොවුන් හැසිරෙන්නේ ‘මරදානේ චොප්පෙලා’ පරිදිය. මේ අතරේ ඔලු ගෙඩිය තුළ තිබිය යුතු මොළ ගෙඩිය සුසුම්නාව දිගේ පහළට පැමිණ ඒ මත වාඩි වී සිටින්නාක්‌ මෙන් තමන් සුදනන් බව පෙන්වීමට විටින් විට තුට්‌ටු දෙකේ කතා පවසා ගොන් ආතල්ද දෙන්නේය.

අපරාදේ කියන්නට බැරිය. මේ කතා ඇසෙද්දී රටේ ජනතාවට බොහෝ දේ සිතෙනවා විය හැකිය. ඇතැම් විට නුදුරු අනාගතයේ හොඳින් කපුටන් ගැවසෙන විසල් ගසක්‌ යට එවන් උත්තමයන්ගේ පිළිරුවක්‌ තනා උපහාර දක්‌වන්නට ඔවුන් කල්පනා කරනවා විය නොහැකිද?

ඉතුත් 2015 ජනවාරි අට වැනිදා සිට ගෙවී ගිය වසරකුත් මාස කිහිපයක කාලය තුළ සහජීවනය සහ සංහිඳියාව නමැති සර්ව පූට්‌ටුවේ සිරවී සිටින වත්මන් ආණ්‌ඩුවේ ඇතැමුන් අපේකම අමතක වූවාක්‌ මෙන් ඇඟට පතට නොදැනී කියන ලද එවන් එසේ මෙසේ නොවන කතා බොහෝ ය.

ඒ අතරේ එකී කතා අතරට තවත් කතාවක්‌ එකතු වූයේ ඉකුත් සතියේ කරළියට ආ තිස්‌ වසරක යුද්ධය නිමා කළ අපේ විරුවන් සමරන විජයග්‍රහණයේ සැමරුමත් සමඟය. පසුගිය 18 වැනිදාට එය යෙදී තිබිණි.

එහෙත් ඊට දෙදිනකට පමණ ඉහත මාධ්‍ය ඉදිරියට පැමිණි වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා රටේ ජනතාවට කියා සිටියේ කුමක්‌ද? සමරන්නට තරම් විජයග්‍රහණයක්‌ අපට නැති බව කී ඔහු එවන් සැමරුම් නිසා දෙමළ ජනතාවගේ සිත් පෑරී සංහිඳියාවට බාධා එල්ල වන බවත් සිදුවූයේ දෙරටක්‌ අතර පැවති යුද්ධයක්‌ නොවන බවත් සඳහන් කළේය.

එසේම කොටි ත්‍රස්‌තවාදීන් යනු අපේම පිරිසක්‌ බවද එහිදී ඔහු අලඡ්ජීව පැවසීය. ඒ රටේ ආරක්‍ෂක ලේකම්වරයාගේ තුන්කල් දක්‌නා දැක්‌මය. ඔහුට අනුව බලන කල දැන් කොටි යනු අපේ අයය. එසේ නම් අපිත් කොටි නොවන්නේද?

ප්‍රභාකරන් පව්ය. හරි අහිංසකය. ඌ වගේම ඒකා සමඟ සිටි කොටි රැලම කොටි නොව පූස්‌ පැටවුන්ය. මේ කියෑවෙන පරිදි ශාපලත් තිස්‌ වසරක කාලය පුරා මායිම් ගම්මානවල සිටි අසරණ මිනිසුන් කැති ගාමින් තැන තැන බෝම්බ අටවා මිනිසුන් මරා ඇත්තේ අපිමය. මහ බැංකුවට බෝම්බ ගසා ඇත්තේද අපිය. කොටින්ම කිවහොත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බෝම්බ ගසා ඇත්තේද අපිමය.

ආරක්‍ෂක ලේකම්වරයාට අනුව කොටි අපේ නම් අපිත් කොටි විය යුතු නිසා ඒ සූත්‍රයට අනුව බලන කළ සිදු වී ඇත්තේ එය නොවේද? ඉතින් අපි මොනතරම් කැත මිනිස්‌සුද? ප්‍රභාකරන්ට බනින එක මොන තරම් පව්ද? අනේ ආරක්‍ෂක ලේකම්තුමෝ, ඔබේ කතාව හරි අපූරුය. අති විශිෂ්ටය. මේවා ඇසෙද්දී තනි ඇහැට ඇඬෙනවා කියනු හැර වෙන කියන්නට දෙයක්‌ නම් දැන් ඉතිරිව නැත.

රටේ ආරක්‍ෂක ලේකම්වරයා මාධ්‍ය ඉදිරියට පැමිණ වත්මන් ආණ්‌ඩුවේ සංහිඳියා පූට්‌ටුවට අනුව මෙසේ පවසද්දී අද මෙරට බෙදුම්වාදී දෙමළ දේශපාලනය සහ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්, ශිවාජි ලිංගම් ඇතුළු පිරිස කරමින් සිටින්නේ කුමක්‌ද?

අපට අකැප, නැතහොත් දෙමළ ජනතාවගේ සිත් රිදෙන බව ආරක්‍ෂක ලේකම්වරයා කියන විජයග්‍රහණයේ සැමරුමට ශීතල වැටක්‌ බැඳෙද්දී ඔවුහු ප්‍රභාකරන් සිහි කළහ. මුල්ලිවයික්‌කාල් කලපු තීරයට ගිය ඔවුන් මිය ගිය ඥාතීන් සමරන්නේ යෑයි කියමින් වේලූපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටින්ගේ ආත්මයන්ට පහන් දැල්වීය. කොටි ත්‍රස්‌තයන් සැමරුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවට ආණ්‌ඩුව තහංචි දමද්දීත් යාපනය විශ්වවිද්‍යාලය තුළ ඊළාම් සිතියමද සහිතව ඒ සැමරුම සිදු කෙරිණ.

ඉන් නොනැවතුණු උතුරු පළාත් සභා මන්ත්‍රි එම්. කේ. ශිවාජිලිංගම් ත්‍රිකුණාමලයටද පැමිණ පහන් දල්වා අවි අතට ගෙන ඊළම වෙනුවෙන් ත්‍රස්‌තවාදය වපුරවා පරලොව ගිය ඒ ඥාතීන් සිහි කළේය. එහෙත් ත්‍රස්‌තවාදීන් සැමරුවොත් නීතිය ක්‍රියාත්මක කරන්නේ යෑයි කී ආණ්‌ඩුව අද නිහඬය.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාට අනුව දැන් කොටි අපේ වී අපිත් කොටි වී තිබෙන නිසා ඒ නිහඬ බවේ අරුමයක්‌ද නැත.

එහෙත් ආණ්‌ඩුව එසේ මුනිවත රකිද්දී විග්නේෂ්වරන්, ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් අද තවත් ආකාරයකින් ඉස්‌මතු කරන්නට හදන බරපතළ කතාවක්‌ද ඇත.

ඒ ඉකුත් මානුqෂීය මෙහෙයුමද ඇතුළුව කාලාන්තරයක්‌ තිස්‌සේ මහ ජාතිය වූ සිංහලයා විසින් දෙමළ ජාතියට එරෙහිව වර්ග සංහාරයක්‌ කළේ යෑයි යන්න ලෝකයට පවසමින් සිටීමය. මතකයේ හැටියට මීට මාස දෙකකට පමණ ඉහතදී උතුරු පළාත් සභාව තුළ මෙකී වර්ග සංහාර කතාවට අදාළව යෝජනාවක්‌ පවා සම්මත කර ගන්නට මහ ඇමැති විග්නේෂ්වරන් ක්‍රියා කරනු ලැබීය.

එකී යෝජනා සම්මතයත් සමඟ ඉන්දියාවේ හින්දු පුවත් පත සමඟ සාකච්ඡාවකට එක්‌වූ රජයේ කැබිනට්‌ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනා රත්න මහතා එය සංහිඳියාවට බාධා පමුණුවමින් උතුරු පළාත් සභාව ගනු ලැබූ නිවැරදි නොවන තීන්දුවක්‌ බව සඳහන් කර තිබිණි. නමුත් ඉන් එහා ඒ පිළිබඳ ආණ්‌ඩුව කිසිවක්‌ම නොකීවේය. ඊට එරෙහිව කළ දෙයක්‌ද නැත.

මේ වර්ග සංහාරය යනු කුමක්‌ද? ගී්‍රක සහ ලතින් භාෂාවේ වචන දෙකක්‌ එක්‌වීමෙන් සැදී ඇති ජෙනසයිඩ් හෙවත් ජන සංහාරය නමැති වදනේ අර්ථය ඉක්‌මවා ගිය එකක්‌ වන වර්ග සංහාරය යන්න ජාත්‍යන්තර නීතිය හමුවේ බරපතළ කාරණයක්‌ ලෙස සැලකෙන්නකි.

යම් ජනවර්ගයක්‌, ජාතියක්‌, ආගමික කණ්‌ඩායමකට අයත් පිරිසක්‌ මරා දැමීම. ඔවුන්ට දරුණු වධ හිංසා පැමිණවීම, බරපතළ ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම, ශාරීරික වශයෙන් දුබල කිරීම, උපත් පාලනය කිරීම සහ බලහත්කාරයෙන් ළමුන් එක්‌ ජන කොටසකින් තවත් ජන කොටසකට මාරු කිරීම ලෝක නීතිය ඉදිරියේ වර්ග සංහාරය ලෙස අරුත් ගැන්වී ඇත.

1933 – 1945 අතර කාලයේ පැවති දෙවන ලෝක යුද සමයේ හිට්‌ලර්ගේ නාසි හමුදා යුදෙව්, රෝම සහ රුසියානු ජනතාවට එරෙහි කළ සංහාරය එවැන්නකි. සුප්‍රකට නියුරම්බර්ග් අධිකරණ ක්‍රියාදාමය සිදු වූයේ එහිදීය.

එසේම 1914 – 1923 කාලයේ සිදුවූ ආමේනියානුවන්ට එරෙහි තුර්කි වර්ග සංහාරයද එවැන්නකි. 1975 – 1978 සමයේ සිදුවූ කම්පූචියාවේ වියට්‌නාම් මුස්‌ලිම්, චීන සුළුතරයට එරෙහිව සිදුවූ සංහාරය මෙන්ම 1994 දී රුවන්ඩාවේ හුටු ගෝත්‍රික විරෝධීන් සහ ටුට්‌සි සුළුතරයට එරෙහිව සිදුවූ සංහාරය වර්ග සංහාරය යන්නට ලෝක ඉතිහාසයේ ඇති පැහැදිලි උදාහරණය.

මේවායෙහිදී බොහෝ දුරට සිදුව ඇත්තේ සමූල ඝාතන, අමානුෂික වධබන්ධනයන්ට ලක්‌ කිරීම, ශාරීරික වශයෙන් දුබල කිරීම ආදී ලෙසින් වූ ඉහත සඳහන් පරිදි ලෝකයා පිළිගත් වර්ග සංහාරයට අදාළ දේය. ඇමරිකාව සිදු කළ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීම වැනි දේ මෙකී අතීත සටහන් වලින් මඟහැරී ගොස්‌ ඇත්තේ ඇයිද යන්න මෙහිදී මතුවන ගැටලුවක්‌ බවද සඳහන් කළ යුතුය. ඇතැම් විට එසේ වූයේ එකී බෝම්බ ගැහුවේ ඇමරිකාව නිසා විය හැකිය.

එහෙත් අද විග්නේෂ්වරන්ලා මොර දෙන පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව මෙරට ඉතිහාසයේ කොතැනකදීවත් එවැන්නක්‌ සිදුව තිබේද? නැත. පැහැදිලිවම කිවහොත් ශ්‍රී ලාංකීය සියලු ජාතීන්ගේ වර්ග සංහාරකයා වූයේ වේලූපිල්ලේ ප්‍රභාකරන්ය.

ඔහු තැන තැන බෝම්බ පිපිරවීය. මිනිස්‌ බෝම්බ නිර්මාණය කළේය. ගම්මාන පිටින් කැති ගෑවේය. උතුරේ දෙමළ දරුවන්ගේ බෙල්ලේ සයිනයිඩ් කරල එල්ලා තුවක්‌කුව බලහත්කාරයෙන් අතට දුන්නේය. සිහින ඊළමක්‌ වෙනුවෙන් උතුරේ දෙමළ තාරුණ්‍යය විනාශ කළේ ඔහුය.

ප්‍රභාකරන්ගේ බෝම්බවලට බිලි වී මවුපියන් මියයද්දී මේ රටේ දහස්‌ ගණනක්‌ දරුවෝ අනාථ වූහ. තවත් දහස්‌ ගණනක්‌ ආබාධිතයෝ වූහ. උතුරේ දෙමළ මිනිසාගේ පමණක්‌ නොව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය තිස්‌වසරක්‌ පුරා ප්‍රභාකරන් අඩපණ කළේය.

ඔහු ඉන් නැවතුනේද? නැත අවසන් සටනේදී උතුරේ අසරණ වූ දෙමළ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා මිනිස්‌ පළිහක්‌ ලෙස යොදා ගත්තේය. උතුරේ දෙමළ ජනතාවගේ පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලාංකීය ජාතීන්ගේ විනාශකාරී මාරයා වූයේ ප්‍රභාකරන්ය.

එහෙත් අප කර ඇති වර්ග සංහාරය කුමක්‌ද? ප්‍රභාකරන් අවි අතට ගෙන උතුරේ සටන් කරන අතරේ දකුණේ බෝම්බ පුපුරවා බිහිසුණු ඝාතන සිදු කරද්දීත් බෙහෙත් පෙත්තේ සිට සියල්ල ආණ්‌ඩුව විසින් උතුරට යෑවීමද?

ලොව පළමු වරට හමුදාවක්‌ ක්‍රියාත්මක කරනු ලැබූ ඉකුත් විජයග්‍රාහී මානුෂීය මෙහෙයුම මගින් ප්‍රභාකරන් ප්‍රණ ඇපයට ගෙන සිටි ලක්‍ෂ ගණනක්‌ වූ අසරණ දෙමළ ජනතාව මුදා ගැනීමද? එම ජනතාව අවසන් සටනේදී මුල්ලිවයිකාල් සිට ප්‍රභාකරන්ගෙන් බේරී හඬා වැළපෙමින් රජයේ හමුදා වෙත එද්දී ඒ සිත් සනසා කන්න බොන්න දී ඉන්න හිටින්නට තැන සපයා ඔවුන්ට යළි ජීවිතය ලබා දීම ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සිදු කළේ යෑයි අද විග්නේෂ්වරන්ලා කියන වර්ග සංහාරයද?

ශ්‍රී ලංකාව තුළ දෙමළ ජාතියට එරෙහි වර්ග සංහාරයක්‌ තිබුණේ නම් ප්‍රභාකරන් යුද වදිද්දීත් ඔහුගේ දේශපාලන අනුගාමිකයන් ලෙස පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් විසිතුන් දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කළේ කෙසේද? එසේම විග්නේෂ්වරන් මේ රටේ අගවිනිසුරු වූයේ කෙසේද?

බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් කියන පරිදි රජයේ හමුදා එදා දෙමළ ජාතියට එරෙහිව මේ රට තුළ වර්ග සංහාරයක්‌ කළේ නම් අද යළි යළිත් බෙදුම්වාදය ගැනම කතා කරන ආර්. සම්බන්ධන්ලා, විග්නේෂ්වරන්ලා, ශිවාජිලිංගම්ලා ඇතුළු සියලු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සිටිය යුත්තේ මළවුන් අතරය.

එසේම එදා හඬා වැළපෙමින් ප්‍රභාකරන්ගෙන් බේරී මුල්ලිවයික්‌කාල් සිට පැමිණි දෙමළ අසරණයන්ට එරෙහි රජයේ හමුදා සමූල ඝාතන ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළේ නම් අද අපේ ඉඩම් අපිට දියව් කියමින් උතුරේ කෑ ගහන්නට දෙමළ මිනිසකු ඉතිරි වන්නේද නැත.

එවැන්නක්‌ මේ රට තුළ සිදු වූයේද? අද ආර්. සම්බන්ධන්ලා, විග්නේෂ්වරන්ලා ආදී ලෙසින් වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් උතුරේ ජනතාව යළි කුලප්පු කරමින් යුද හමුදාව පලවා හැර අපේ ඉඩම් අපට දියව් කියමින් හඬ නගන්නේ එදා ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපකාරයන් වූ ඒ මිනිසුන් බේරාගෙන උතුරේ යළි පදිංචි කළ නිසාය.

හමුදාවට එරෙහිව ප්‍රභාකරන් සමඟ එක්‌ව සටන් වැද අවසානයේ අත්අඩංගුවට පත්වූ කොටි ත්‍රස්‌තවාදීන් දහස්‌ ගණනක්‌ පුනරුත්ථාපනය කර යළි සමාජගත කරන්නට එදා ශ්‍රී ලංකා හමුදා පියවර ගත්තේ අද විග්නේෂ්වරන්ලා කියන ආකාරයේ වර්ග සංහාරයක්‌ මේ බිම තුළ දෙමළ ජාතියට එරෙහිව ක්‍රියාත්මක වූ නිසාද?

නින්දිත ලෙස මෙසේ සත්‍ය යටපත් කර අද වර්ග සංහාරයක්‌ ගැන කතා කරන විග්නේෂ්වරන් ඇතුළු දෙමළ දේශපාලනඥයන්ගෙන් අසන්නට අපට එක ප්‍රශ්නයක්‌ ඇත. ඒ නුඹලා ඔය කතා කරන්නේ මුඛයෙන්ද නැතහොත් අධෝමුඛයෙන්ද කියාය.

මෙසේ දිගින් දිගටම සිදුවෙමින් තිබෙන වත්මන් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ නින්දිත වූ නැගී සිටීම හමුවේ අපට මතුවී තිබෙන බරපතළම ගැටලුව වී තිබෙන්නේ යහපාලනයේ නිහඬතාවය ය. දෙන්නට උත්තර බොහෝ තිබියදී ආණ්‌ඩුව මෙසේ බකන්නිලාගෙන සිටිනුයේ කුමක්‌ නිසාද? ඇත්තටම යහපාලනයට කොන්දක්‌ නැතිද?

වර්ග සංහාරකයන්ට දඬුවම් කිරීම සඳහා ලෝකයේ ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාදාමයන් කිහිපයක්‌ ඇත. සුප්‍රකට නියුරම්බර්ග් ක්‍රියාවලිය ඉන් එකකි. 1991 දී බොස්‌නියාවේ සිදුවූ ජන සංහාරය පිළිබඳ විභාගයට ක්‍රියාත්මක වූ පැරණි යුගෝස්‌ලෝවියානු අධිකරණ පර්ෂදය තවෙකකි. එසේම 1994 දී රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතන පිළිබඳ නඩු විභාග කළ රුවන්ඩා අධිකරණ පර්ෂදයද එවැන්නකි.

වර්ග සංහාර ක්‍රියාවලියකදී මෙවන් විශේෂිත අධිකරණ පර්ෂදයන්ට අමතරව වර්ග සංහාරය බරපතළ වරදක්‌ සේ සලකමින් අන්තර් ජාතික අධිකරණ ක්‍රියාවලියක්‌ තුළින් වරදකරුවන්ට දඬුවම් දීමේ හැකියාවක්‌ ද ඇත.

ජිනීවා මානව හිමිකම් කොමිසමට පසුගිය කාලයේ ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඇතුළු කරුණු කාරණා ඉදිරියේ අද අප සිටින්නේද එවන් ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමයක තර්ජනය අභිමුවේයට.

යථාර්ථය එය නම් සිදුවන සියල්ල ඉදිරියේ යහපාලනය මෙසේ මුනිවත රකිනුයේ ඇයි? ඒ තුළ ඇත්තේ තවත් දැවැන්ත පාවාදීමක පෙරනිමිතිද? සියල්ල දෙස විමසීමෙන් බැලීමේදී මේ මොහොතේ අප තුළ ඇති ප්‍රශ්නය එය වී ඇත. එයට දෙන්නට පිළිතුරක්‌ ආණ්‌ඩුවට තිබේද?

– Divaina