පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දොස්‌තර මහත්වරුන්ට සෑහෙන පමණට කේන්ති ගොස් තිබිණි. ඒ තමන්ගේ දරුවන්ට පාසලක් ලබාදීම අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රතික්‍ෂේප කිරීම නිසා ය. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් දොස්‌තර මහත්වරු සටනට බැස්‌ස ආකාරයම හොඳ නැත. අපේ විශ්වාසය මේ සටන මීට වඩා පිළිවෙළට කරන්නට හැකියාව තිබුණු බව ය. මේ ආණ්‌ඩුව බලයට පත්වූ විගස, මේ දොස්‌තර මහත්වරුම ඉතාම විධිමත් වර්ජනයක් දියත් කළේ ය. ඒ කාර් පර්මිට්, වැටුප් සහ වේතන වෙනුවෙනි. ඊට පරිපාලන සේවයේ නිලධාරීන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් රැසක් සම්බන්ධ වූ බව අපට මතක ය. මේ සටන දොස්‌තර මහත්වරු අනා ගත්තේ මේ සාමූහික බවින් මිදීම නිසා ය. මෙවැනි සටනක් කරන ආකාරය ජනතා විමුක්‌ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්‍ෂයෙන් මේ දොස්‌තර මහත්වරු අසා දැනගත යුතු ය. එසේත් නැත්නම් රට පුරා විවිධ පාසල් ගේට්‌ටු ළඟ දරුවන් සමඟ “දරුවාට පාසලක් දියව්” යනුවෙන් සඳහන් කුඩා බෝඩ් ලෑලි උස්‌සාගෙන උද්ඝෝෂණය කරන මවුපියන්ගෙන් අසා දැන ගත යුතු ය. අදාළ පාසල්වල ගේට්‌ටු අසලත්, කොට්‌ඨාස අධ්‍යාපන කාර්යාල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්‌ටු අසලත්, කළ යුතු උද්ඝෝෂණ මේ මෝඩ දොස්‌තර මහත්වරු කළේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ය. මෙවැනි වැඩවලින් උද්ඝෝෂණයකට මහජන සහයෝගය ලැබෙන්නේ නැත. අඩුම වශයෙන් මේ උද්ඝෝෂණ පවත්වන්නට තිබුණේa ලිප්ටන් වටරවුමේ ය.
කෙසේ හෝ දොස්‌තර මහත්වරුන්ට සිදුව ඇත්තේ බලවත් ම අසාධාරණයකි. මේ දොස්‌තර මහත්වරුන් බොහෝමයක් ඉගෙනුම ලබා ඇත්තේ මධ්‍ය මහා විද්‍යාල (ගමේ පාසල්වල) නිසා දරුවන් ද ඒ පාසල්වලටම යා යුතු යෑයි අධ්‍යාපන බලධාරීන් කල්පනා කරනවා විය යුතු ය. එය දොස්‌තර මහත්වරුන්ට කරන අසාධාරණයකි. දරුවන් සිටිය යුත්තේ මවුපියන් සමඟම ය. වෛද්‍යවරුන් මේ ගැන හොඳින්ම දන්නා උදවියයි. රජයේ සේවයේ, පෞද්ගලික අංශයේ සේවය කරන ලපයි සිපයි මේ මනෝ විද්‍යාත්මක සාධකය ගැන දන්නේ නැත. ඒ නිසාම දරුවාගේ පාසල වෙනුවෙන් දොස්‌තර මහත්වරු මෙන් මාරාන්තික සටනකට එළැඹෙන්නේ ද නැත. අධ්‍යාපන අමාත්‍යාංශයත්, කොට්‌ඨාස අධ්‍යාපන කාර්යාලයත්, විදුහල්පතිවරයාත් හොඳම පාසලට ළමයා ඇතුළත් කර ගැනීම ප්‍රතික්‍ෂේප කළ සැණින් ඒ මෝඩ රැළ කරන්නේ දරුවා ගමේ පාසලට (ළඟම පාසලට) ඇතුළත් කිරීම ය. ඒ අතින් දොස්‌තර මහත්වරු ගැන අපි බොහෝ සෙයින් ආඩම්බර වෙමු. දරුවන් පාසලට ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්‌ම තාත්තා කෙනෙක්‌ම දොස්‌තර මහත්වරු ආදර්ශයට ගත යුතු ය. දොස්‌තර මහත්වරු තම අවනඩුව කීවේ සෞඛ්‍ය ඇමැතිවරයාට ය. සෞඛ්‍ය ඇමැතිවරයා වැඩේ කරන්නට පොරොන්දු වී තිබේ. ඒ අනුව දරුවාට පාසලක් හොයන හැම අම්මා කෙනෙක්‌ම තාත්තා කෙනෙක්‌ම හමුවිය යුත්තේ අධ්‍යාපන ඇමැතිවරයා නොව තමන්ගේ පළාතේ මන්ත්‍රීවරයා ය. රජයේ සේවකයෙක් නම් විෂය භාර ඇමැතිවරයා ය. වැඩේ ටක්‌කෙටම හරි යන්නේ ය.
සමහර දොස්‌තර මහත්වරුන්ගේ දරුවන්ට මාස නවයක් පුරා පාසලක් නොලැබුණු බව කියති. මෙවැනි සංවේදී කතාන්දර අහන විට අධ්‍යාපන ඇමැතිවරයාට දුක හිතෙන්නේ නැද්දැයි අපි අසන්නට කැමැත්තෙමු. එවැනි දුක්‌මුසු කතා කිහිපයක් මෙසේ ය.
ෆ කුරුණෑගල පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට පොල්පිතිගම රෝහලට මාරුවීම නිසා දරුවාට කුරුණෑගල මලියදේව විදුහල ලබා දෙන ලෙස ඉල්ලීම.
ෆ මුල්ලේරියාව රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුවීම නිසා දරුවාට කොළඹ රාජකීය විදුහල ඉල්ලා සිටීම.
ෆ කොළඹ ළමා රෝහලේ සිට ජාතික රෝහලට මාරුවීම නිසා දරුවාට කොළඹ රාජකීය විදුහල ඉල්ලා සිටීම.
මේවා අසාධාරණ ඉල්ලීම් ද? ඉතිං මෙහෙව් රටකට හරියයිද?
– Divaina