මානසික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් විය යුතු ඇයි?

0
1680

යම් කිසි කෙනෙකුගේ හැසිරීමේ යම් කිසි වූ විපර්යාසයක් දැනේ නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් පැතීම රෝගියාගේ වගකීමක් වුවත් මානසික රෝගයකදී මෙම තත්ත්වය සිඳු නොවීම ඛේදවාචකයකි

පසුගිය සතියක සාකච්ජා කළ පරිදි ආයතනයේ අංශ ප‍්‍රධානියාගේ යම් යම් හැසිරීම් රටාවන් නිසා ඔහු හෝ ඇය යටතේ සිටින අනෙකුත් සේවකයන්ට ඔහුගේ මානසික ආතතිය නිසා ඇතිවන පීඩනය සම්පේ‍්‍රෂණය වීම නිසා ඔවුන් දැඩි සේ මානසිකව විඩාබර තත්ත්වයට පත්වීම පිළිබඳ අපි සාකච්ජා කළෙමු.

මෙහිදී තවත් පැතිකඩක් වන එම ආයතන අංශ ප‍්‍රධානියාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ඇතිවන ගැටලූ වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

මානසික සෞඛ්‍ය යනු අප සෑම කෙනෙකුගේම එදිනෙදා ජීවිතයේදී අප බලාපොරොත්තු වන ඉලක්ක කරා හඹා යෑමේදී එම ඉලක්ක තුළ තිබිය යුතු අති ප‍්‍රබල සාධකයකි. මෙය විවිධ හේතූන් මත උච්චාවචනය විය හැකිය. යම් කෙනකු තමන්ට විදීමට සිඳුවන දීර්ඝකාලීන ගැටලූවකට මැදිහත්වී සිටින්නේ නම් ඔහු හෝ ඇය ගේ මානසික සෞඛ්‍ය පිරිහීමකට ලක්විය හැකිය. එමෙන්ම ශාරීරික රෝග නිසා කෙනෙකුගේ මානසික සෞඛ්‍ය පිරිහීකට ලක්විය හැකිය.

තමන් ගන්නා කෑම බීම, අධික මානසික විඩාව, නින්ද අඩුකම, නිරන්තරයෙන් ආතතිය ජනිත කරවන පරිසරයකට නිරාවරණය වීම වැනි හේතු කාරණා එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීමේ මූලික හේතු සාධක ලෙස ගෙනහැර දැක්විය හැකිය.

මානසික සෞඛ්‍ය පිරිහීමේ ඊළග පියවර වන්නේ එම පුද්ගලයා තුළින් මානසික රෝගයක් වැළදීමේ ලක්ෂණ, නැතිනම් ලකුණු පහළ වීමයි.

මෙම මානසික සෞඛ්‍ය පිරිහීම නිවැරදිව හඳුනා ගත්තේ නම් ඒ හඳුනාගැනිම හරහා එය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය පසුබිම සහ පදනම මත ක‍්‍රියා කළේ නම් එය මානසික රෝග දක්වා වර්ධනය වීම වළක්වා ගත හැකිය.

අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන කාරණාවක් තමයි යම් පුද්ගලයන්ගේ විවිධාකාර හැසිරීම් රටා නිසා එම හැසිරීම් රටාවට නතුවන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම, එසේ නැතිනම් මානසික ආතතිය වැඩිවීම. මෙය නිවෙසක නම් නිවෙසේ ප‍්‍රධානියා විය හැකිය. ආයතනයක අංශ ප‍්‍රධානියා, පන්ති කාමරයක ගුරුතුමිය පමණක් නොව අප ඇසුරු කරණ මිතුරු මිතුරියන්, කාර්යාලයක එකට සේවය කරණ සගයන් විය හැකිය. අපි එම දරුවාට මිහිර යැයි කියමු. මිහිර මා වෙත යොමු වූයේ වික්ෂිප්ත වූ ස්වභාවයකිනි. මිහිරට වයස අවුරැුඳු 15 කි. ඔහු කොළඹ ප‍්‍රධාන පාසලක ඉගෙනුම ලබන දරුවෙකි. මිහිරගේ පන්ති භාර ගුරුතුමා ඉතාම සැර පරුෂ කෙනෙකි. ගුරුතුමාගේ ක‍්‍රියාකාරකම් මිහිරට පමණක් නොව පන්තියේ අනෙකුත් දරුවන්ටද තදින්ම බලපා තිබුණි. මෙම පීඩනයට හසු වූ මිහිරගේ ඉරණම වූයේ පාසල් අධ්‍යාපනය අතරමග නතරවීමයි.

මෙම ගුරුවරයා කෙතරම් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේද කීවොත් ඇතැම් අවස්ථාවල දඩුවම් ලබාදී තිබුණේ ඔහුගේ අත පය පවා පාවිච්චි කරමිනි. මෙම ගුරුවරයාගේ අධ්‍යාපන කාල පරිච්ජේදය තුළ පන්තියේ සිසුන් ඉතාම පීඩාකාරී ස්වභාවයෙන් පාඩමට යොමු වී සිටියේ හදවත තුළ පැවති තද පීඩනයක් හමුවේ බව දැනගැනීමට හැකිවූයේ මිහිර ගෙනි.

මුලදී මෙම තත්ත්වය මිහිර දෙමාපියන්ටවත් පවසා තිබුණේ නැත. මිහිර දිනෙන් දින පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීමට වීම නිසාවෙන් මවුපියන් මිහිර පිළිබඳ සොයා බලන්නට විය. පාසල් ගමන ප‍්‍රතික්ෂේප වීමත් සමග මිහිරගේ සමාජශීලිත්වය අඩුවීම, මිත‍්‍රශීලිත්වය අඩුවීම, කතාබහ අඩුවීම, බලාගත් අත බලා සිටීම වැනි චර්යාත්මක විපර්යාසයන් පිළිඹිබු විම නිසා මිහිර පිළිබඳ සොයා බැලීමට දෙමාපියෝ උනන්දු වූහ.

මිහිර පාසල් යෑම ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ සොයා ගිය මිහිරගේ පියාට දැනගත හැකි වූයේ පන්තියේ දරුවන් කිහිප දෙනෙකුට මෙම ඉරණම අත්වී ඇති බවකි.

ඉන්පසු මිහිර මානසික ප‍්‍රතිකාර සඳහා යොමුකර තිබුණි. මිහිර ක්ලමථකාරී තත්ත්වයකට පත්වී ඇති බවත් එතුළින් ඔහු විශාද ජනක චින්තනයක් පිළිඹිබු කරණ බවත් වෛද්‍ය තීරණය විය. ඒ අනුව මිහිර ප‍්‍රතිකාර සඳහා යොමු කෙරුණි.

මිහිරගේ පන්තිභාර ගුරුතුමා පිළිබඳ තවදුරටත් සොයා බැලීමේදී මිහිරගේ පියාට දැනගත හැකි වූයේ මෙම ගුරුවරයාගේ පවුල් ජීවිතය අසාර්ථක වී දික්කසාදව සිටින අයෙක් බවයි. ඒ සමගම ඔහු අධික ලෙස මත්පැනට යොමු වී සිටි අතර කැසිනෝ ක‍්‍රීඩාවටද යොමු වී සිටින බව දැනගත හැකි විය.

මෙයින් අපට සනාථ වන්නේ සමාජයේ මානසික රෝග බෝකරණ මානසික රෝග වාහකයින් සිටින බවකි. ඇතැම් විටෙක ඔවුන් තූළින් බැලූ බැල්මට මානසික රෝග ලක්ෂණ නොපෙනුනත්, ඔහු හෝ ඇය වටා සිටින අන් අයට එය නොතේරුණත් එම පුද්ගලයාගේ ජීවිතය අභ්‍යන්තරයේ ක‍්‍රියාකාරකම් සොයා බැලීමේදී එම පුද්ගලයා මානසික රෝගයක සිටින බව පැහැදිලිව හඳුනාගත හැකිය.

මෙවැනි තත්ත්වයන්ට පත්වන පුද්ගලයන් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකිරීම තුළින් ඔවුන්ගේ මානසික රෝග තත්ත්වය යථා තත්ත්වයට පත් කළ හැකි වුවත් ඔවුන් රෝහලකට, වෛද්‍යවරයෙක් කරා ගෙන යෑමේ අපහසුතාව නිසා එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය නිසාවෙන් එම පුද්ගලයා වටා සිටින අනෙකුත් පුද්ගලයන් දැඩි සේ මානසික පීඩා විඳින තත්ත්වය දිගින් දිගටම ඇතිවේ.

මේ නිසාම යම් කිසි කෙනෙකුගේ හැසිරීමේ යම් කිසි වූ විපර්යාසයක් දැනේ නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් පැතීම රෝගියාගේ වගකීමක් වුවත් මානසික

රෝගයකදී මෙම තත්ත්වය සිඳු නොවීම ඛේදවාචකයකි. එයට හේතුව නම් මෙම චර්යාවේ ඇතිවන අපගමනය අසාමාන්‍ය යැයි නොසිතීමයි, නොපිළිගැනීමයි. එපමණක් නොව රෝගය ඒත්තු ගැන්වීමට පවා නොහැකිවීමයි. කායික රෝගයක් පිළිබඳ දැනුමක් තිබුණත් වැඩිමනක් මානසික රෝගවලදී තමන්ට මානසික රෝගයක් වැළදී ඇති බවට

රෝගීහු නොපිළිගනිති. මේ නිසාම සමාජයක් ප‍්‍රජාවක් හැටියට මානසික රෝග පිළිබඳ දැනුවත්ව සිටීම, මානසික රෝග ලක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම අප සැමගේ වගකීමක් වනු ඇත. එය සමෘද්ධිමත් රටක් බිහිකිරීම සදහා අප සැමගේ වගකීමක් යුතුකමක් වනු ඇත.