රණවිරුවන් සියගණනින් මැරුණු එදා ජයසිකුරු මෙහෙයුමේ ඇත්ත කතාව

0
2995

2020/06/28 ඉරිදා ලංකාදීප හි 6 වැනි පිටුවේ කරුණා අද පම්පෝරි ගහන අලිමංකඩ එදා බිහිසුණු ඝාතනය මැයෙන් පළ වූ විශ්‍රාමික රණවිරු සැරයන් සිසිර රංජිත් මධුරසිංහ විරුවාණන් විසින් පවසන ලද ජයසිකුරු මෙහෙයුමේ ඔහු නොදත් තවත් පැතිකඩක් අනාවරණය කළ යුතු යැයි හැඟුණ නිසාවෙන් මෙසේ ලියමි.

එදා එනම් 1997 මැයි 13 ජයසිකුරු මෙහෙයුම ආරම්භ කරන විට මම ද 6 වැනි ශ්‍රී ලංකා පාබල හමුදා සේනාංකයට අනුයුක්තව සේවය කළ සොල්දාදුවකු වෙමි. 6 ශ්‍රීලපහ සේනාංකයට අදාළ ආධාරක කණ්ඩායම නියෝජනය කරමින් ආධාරක අවි එනම් මැෂින් ගන් සහයක ලෙස මෙහෙයුමේ ඉදිරි පෙළ සිටියෙමි. වව්නියාව මුණ්ඩිමුරුප්පු සිට අරඹන ලද පළමු අදියර ඕමන්ත දක්වා අති සාර්ථක මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී අනුපමය මෙහෙයක් ඉටු කළ 6 ශ්‍රීලපහ සේනාංකය භාරව කටයුතු කළ අණ දෙන නිලධාරී මේජර් මුදලිගේය. පළමු මෙහෙයුම අති සාර්ථක වුවද එහිදී අප සොල්දාදුවන්ට මුහුණපෑමට සිදු වුණේ ඉමහත් අසීරුතාවයකටය. ඒ ආහාර හා බීමට ජලය නොමැති වීමයි. අලි මී හරක් ලැගි මඩ වළවල්වල අලිබෙටි ගොම බෙටි පසෙකට තල්ලු කොට ඇඳි වත තබා මඩ වතුර උරා බොන්නට අපහට සිදු විය. එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යව කටයුතු කළ අනුරුද්ධ රත්වත්තේ මහතා පළමුව සහ අවසන් වතාවට මා දුටුවේ ඕමන්ත පළමු නැවතුමේදීය. එතුමන්ගේ යුද කෞශල්‍යය කෙසේ වෙතත් පැවසූ වදන් නිරාහාරව හා පිපාසයෙන් පීඩිතව සිටි සොල්දාදුවන්ගේ කෝපය උත්සන්න කළ එකක් විය. එදින මේජර් මුදලිගේ මැතිඳුන් මැදිහත් නොවුණේ නම් එතුමන් ජීවග්‍රහයෙන් නොයන්නට ද ඉඩ තිබුණි. ඉන්පසු වසර දෙක හමාරකට ආසන්න කාලයක් පුරාවටම යුද භූමියේ දී කිසි දිනක එතුමන් මා දුටුවේ හෝ පැමිණි බවක් අසන්නට ලැබුණේ හෝ නැත.
ඕමන්ත අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමෙන් අනතුරුව අප ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක කළෙමු. එවකට 552 සේනාංකාධිපතිව කටයුතු කළ බ්‍රිගේඩියර් චන්දන රූපසිංහ යන යුද හමුදාවේ අනුපමය මෙහෙයක් ඉටු කළ අභීත සෙන්පතියෙකි.

ඕමන්ත සිට ඉදිරියට ක්‍ර්‍රියාත්මක මෙහෙයුමේ දී අප ශ්‍රී.ල.ප.හ. ඒකක නැවතත් අණදෙන නිලධාරි මේජර් ලැනරෝල්ගේ භාරයට පත්විය. එතැන් සිට අති සාර්ථක මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් සියලු හමුදාවන් පෙරට ඇදිණ. ඒ අතරතුර තවත් අකරතැබ්බයක් විය. අප විසින් අත්පත් කර ගත් ඕමන්ත පැති ආරක්ෂක වළල්ලෙහි ඩිෆෙන්ස් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබිණි. සියල්ල නොවුණත් සමහර පොලිස් නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපයන් හේතුවෙන් බොහොමයක් පොලිස් නිලධාරීහු ජීවිතක්ෂයට පත් වූහ. සමහර අයගේ කඳින් වෙන් වුණ හිස් කම්බි කණුවල උල ගසා තිබිණි. බොහොමයෙක් අයගේ කඳ කොටස පමණක් තිබෙනු දුටුවෙමි.

පොලිස් බැරක්කයේ දී විඳින සැප පහසු දිවියක් ගතකිරීමට සමහර අය කටයුතු කොට තිබිණි. රාජකාරිය පසෙකලා සැප පහසු ඇඳන් මත තුවා ඉන දවටාගෙන තම නිවසෙහි මෙන් කාලය ගෙවන්නට ඔවුහු ආශා කළහ. සතුරා අවතක්සේරුවට ලක් කළ ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. එම හේතුවෙන් ඉදිරි මෙහෙයුම් මදකට නවතා අපට නැවතත් ඕමත්ත දක්වා ගමන් කිරීමට සිදුවිය.

ඕමත්ත පැති ආරක්ෂක වළල්ල ප්‍රකෘති තත්ත්වයට පත් කළ අපි නැවත ඉදිරියට ගමන් කළෙමු. අති සාර්ථක මෙහෙයුමකින් අපි ඕළුමඩු දක්වා බලය තරකර ගැනීමට සමත් වීමු. මේ ගමනේ දී අප සෑම මොහොතකම දිරිමත් කරමින් අපට සමගමීව නිරන්තරයෙන් කටයුතු කළ බළ සේනාංකාධිපති චන්දන රූපසිංහයන් සේම අප බළ ඇණිය අණදෙන නිලධාරී කර්නල් ලැනරෝල්, අනුකණ්ඩ නිලධාරි අණදෙන්නන් වන මේජර් අජිත් දිසානායක, කැප්ටන් වීරසූරිය, කැප්ටන් ගමන් අච්චි, කැප්ටන් ඇන්තනි, කැප්ටන් නිරාජ්, ලුතිතන් මහකුමාර, ලුතින් කලණ අමුණුපුර (මෑතක කර්නල් අමුණුපුර ලෙස මහත් ආන්දෝලනයකට තුඩුදුන් විරුවා), ලුතිනල් කොඩිතුවක්කු, ලුතිනන් කීර්තිරත්න ආදී අභීත නිලධාරීන් ගැන සිහිපත් නොකරම බැරිය.

වව්නියාව සිට කිලිනොච්චිය දක්වා ඒ-9 මාර්ගය අත්පත් කරගැනීමේ මෙහෙයුමේ දී අපගේ මීළඟ ඉලක්කය වුණේ පුලියන්කුලම් ටවුම අත්පත් කරගැනීමයි. එළාර යුද්දෙ කාලෙවත් පුලියන්කුලම දුන්නෙ නෑ. අද දෙන්නෙත් නෑ යි කී ප්‍රභාකරන්ට රිදෙන්න මරු පහරක් එයින් වැදුණි. ඉතාම දුෂ්කර මුත් මාරාන්තික සටනකින් බුරුතු පිටින් කොටි මැරී වැටෙද්දි පසු බසිනවා හැර ඔවුන්ට කළ හැකි අන් දෙයක් නොවිණි. එයින් අපේ සෙබළ සොයුරන් සිය ගණනක් අපට අහිමි විය. උදේ පාන්දර සිට රාත්‍රී 08.40 දක්වාම එකම මාරාන්තික යුද්ධයකි. කොතෙක් ජීවිත අහිමි වුවද එය යුද ඉතිහාසයේ අප ලද ප්‍රබල ජයග්‍රහණයකි. එහිදී මා ද තුවාල වූ නමුත් අප සතු වූ එකම MP MG මැෂින් ගන් ආධාරක අවිය එකම ශක්තිය බවට පත්විය. එය එසේ වූයේ අප සමග පැමිණි තවත් මැෂින් ගන් තුනක්ම ක්‍රියා විරහිත වීමත් එය රැගෙන ආ අය තුවාල වීමත් නිසාවෙනි. කෝප්‍රල් රංජිත් සහ මා එහි නියමුවන් වූ නිසාවෙන් ​කොටින්ගේ ප්‍රබල ඉලක්කයකට අප දෙදෙනා මැදිවිය. අප ඉලක්ක කර එවූ මෝටාර් බෝම්බ 4ක් අප වටකර හතර පැත්තේ පතිත වුණි. මතුපිටින් පස්වලින් වැළලුණ අයුරු සිහි වන විට අදටත් ලොමු ඩැහැ ගැන්වෙන සුලුය. එහෙත් එකාවන්ව සිටි අප දෙදෙනා ඉදිරියටම යන්නට පසුබට වූයේ නැත. අප හා ඇදෙන සෙබළ සොයුරන්ගේ එකම ආරක්ෂකයා අප දෙදෙනා සතු ආධාරක අවිය පමණක්ම විය. එහෙයින් අපි තවත් දිරිමත් වූයෙමු. මට වඩා වසර ගණනකින් සීනියර් අයකු වූ කෝප්‍රල් රංජිත් ද සොහොයුරකු මෙන්ම මා දිරි ගැන්වීය.

“බය වෙන්න එපා කොල්ලො මැරුණොත් අපි එකට මැරෙමු. එතකත් අපි එකට යමු” ඔහුගේ වදන් අදටත් මට සිහි වෙයි. අප ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයග්‍රහණවල රහස එයයි. එම සාමූහික බැඳීමයි. එදා අප ලද ඒ ජයග්‍රහණයේ විශේෂිතම දෙය වූයේ මුහුණට මුහුණ ගැටෙන මහා යුද්ධයක දී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටි කෙල්ලකු හා කොල්ලකු පණ පිටින් අල්ලා ගැනීමට හැකිවීමයි. ඔවුන්ගෙන් දෙමළ භාෂාවෙන් ප්‍රශ්න අසල ලද්දේ මා සහ තවත් සොයුරෙකි. එම කොටි සෙබළිය අවසානයේ පැවසූ දෙය පමණක් මෙහි ලියන්නට කැමැත්තෙමි. “ශ්‍රී ලංකා සිංහල හමුදාව මෙච්චර හොඳයි කියලා දන්නවා නම් අපි කවදාවත් අපිව මැරුවත් යුද්ධ කරන්නේ නෑ. අපට සමාවෙන්න.” එයයි අප හමුදාව සතු උතුම් ගුණාංගය කවදාවත් සතුරෙකුට වුණත් හිංසා පීඩා නොකිරීමයි.

සතුරා තවත් අඩපණ කොට ඔවුන් ප්‍රදේශ දෙකකට වෙන් කර පහර දීමට අප කටයුතු සූදානම් කර තිබුණි. ඒ අනුව ඔවුන් A-9 මාර්ගයෙන් වමට මන්නාරම් මාර්ගය තෙක් ක්‍රියාන්විතය ඇරඹුවා. අපේ අරමුණ කිතුනු බැතිමතුන්ගේ මුදුන් මල්කඩ බඳු වූ මඩුපල්ලි නිදහස් කර ගැනීමයි. මඩු පල්ලි අවට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් මෙන් රඳවාගෙන ඔවුන් අතර සාමාන්‍ය දමිළ වැසියන් මෙන් ගැවසෙමින් උන් සිරකොට තබාගෙන සිටි සාමාන්‍ය දමිළ වැසියන් දහස් ගණනකගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගනිමින් අසීරු ක්‍රියාන්විතයක් දියත් කොට මඩු පල්ලි දේවස්ථානයත් සාර්ථකව නිදහස් කර ගැනීම අප ලද ජයග්‍රහණයයි.

ඉදිරියට ඇදී ගිය අපගේ සෙබළ බළ මුළු මාන්කුලම් හන්දිය දක්වා සාර්ථකව ගමන් කළා. මේ කාලය තුළ අපට අපගේ සේනාංකයට ඉමහත් ශක්තියක් වූ අපගේ අණ දෙන නිලධාරි කර්නල් ලැනරෝල් මැතිඳුන්ගේ අභාවය හේතුවෙන් අපගේ නව අණ දෙන නිලධාරියා ලෙස මේජර් ඇහැලමල්පේ මැතිඳුන් පත්ව තිබුණි. එතුමන් ද යුද ශිල්පයේ හසල දැනුමක් සහ කාර්යශූර සෙන්පතියකු වීම අපට ඉමහත් රුකුලක් විය.

මාන්කුලම් හන්දිය සාර්ථකව අත්පත් කර ගත් අපි කොටින් සතු වූ වාහන තොගයක් අත්පත් කර ගත්තා. අප විසින් අල්ලා ගත් ප්‍රදේශය මාන්කුලමට ආසන්නයේ දී කොටි ත්‍රස්තයන් විසින් පහර දී නැවත අල්ලා ගනු ලැබිණ. මෙයින් අප සෙබළ බළ මුළුවලට උග්‍ර ආහාර හිඟයකට මුහුණපාන්නට වුණි. ඒ වගේම උග්‍ර ජල හිඟයකුත් ඇති විය. අවසානයේ ආහාර වෙනුවට හාල් බැදගෙන කෑ අතර සොල්දාදුවන් රැසක් ඉන් රෝගාතුර වූහ.

අපට ආහාර රැගෙන එන වාහන ගණනාවක්ම කොටි ත්‍රස්තවාදීන් විසින් පහර දී විනාශ කොට දමන ලදී. තීක්ෂණ බුද්ධියකින් කටයුතු කළ අපගේ මේජර් දිසානායක විසින් මාන්කුලම් හි චොපර් පෑඩ් (හෙලිකොප්ටර් බාන ස්ථානයක්) නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගුවනින් ආහාර හා වියළි සලාක ගෙනවිත් එම ස්ථානයේ දී බෙද‌ා දෙන ලදී.

එහෙත් එම ස්ථානයටත් ත්‍රස්තයන් විසින් ආර්පීජී ප්‍රහාර එල්ලකර චොපර් විනාශ කර දැමිණ. ත්‍රස්තයන් පරාජය කොට එම ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමෙන් තත්ත්වය සමනය විය. ඒත් සමගම ඇති වූ අධික වර්ෂාව නිසා බොහොමයක් සොල්ද‌ාදුවන් රෝගාතුර වූ අතර වේගයෙන් පැතිරගිය මෙම උණ රෝගය සැරයන් සිසිර රංජිත් මධුරසිංහ පවසන අන්දමට ත්‍රස්තයන් විසින් විෂ වායුවක් හේතුවෙන් වූවක් බවට කට කථා පැතිර ගියත්, එය මාරාන්තික මැලේරියා රෝගය බවට පසුව හඳුනා ගැනිණ.

මෙතෙක් අප ආ මග මාන්කුලම් හන්දියෙන් නතර කොට එතනින් දකුණට මුලතිව් දක්වා ගමන් කිරීමට අපට ඉහළින් අණ ලැබිණ. ඒ වන විට A-9 මාර්ගයේ කිලිනොච්චි දක්වා තවත් අපට යාමට ඉතිරිව තිබුණේ කිලෝමීටර් 20ක් පමණයි. එහෙත් ඒ ගමන වෙනස් කොට මාන්කුලමෙන් දකුණට කි.මී. 20 දුර ඔඩ්ඩුසුඩාන් දක්වා ගමන් කිරීමට අපට අණ ලැබිණ. ඔඩ්ඩුසුඩාන් කියන්නෙ 1996 අපගේ රණවිරුවන් 1200 ක් අමු අමුවේ මරා දමමින් LTTE ත්‍රස්තයන් විසින් අත්පත් කරගත් මුලතිව් කඳවුරට කි.මී. 07 ක් මෙපිටින් වූ ත්‍රස්තයන් සතු ප්‍රබලම මුර කපොල්ලයි. එය එවකට ප්‍රභාකරන්ගේ වාසස්ථානය ද මුලතිව් කඳවුර බවට පත්ව තිබිණි. ඒ සඳහා උග්‍ර සටනක් කරන්නටත් අති විශාල ජීවිත ගණනක් බිලි දෙන්නටත් සිදු වුණි. කොටින් ඔවුන් සතු ප්‍රබලම අවිය යොදමින් අපට පහර දුන් අතර අපේ හමුදාවත් හැකි උපරිම බලය ඊට යෙදෙව්වාහ.

ඒ අනුව දරුණු සටනකින් පසු අපි ඔඩ්ඩුසුඩාන් හි බලය අත්පත් කර ගත්තෙමු. LTTE යට වැදුණ මාරාන්තිකම ප්‍රහාරය වූ මෙයින් අති විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණි. ඔළු කටු පොල්කටු ගාණට සවල්වලින් ට්‍රැක්ටර්වලට පටවන්න අපට සිදුවුණි. අපගෙත් විශාල පිරිසක් මියගිය අතර සෑහෙන පිරිසක් ආබාධිත වුණි. නමුත් සිදුවුණේ වෙනත් දෙයකි.

එද‌ා ඒ ජීවිත පූජා කරපු අතපය අහිමිව ආබාධිත වූ අපේ වීරෝදාර සොල්දාදුවන්ට ඔවුන්ගේ ආත්මවලට සාධාරණයක් ඉටුවෙයිද? වසර දෙකහමාරකට ආසන්න කාලයක් කරගෙන ආ සටනේ අරමුණ කුමක්ද? අප අල්ලාගත් බලය තහවුරු කර ගත් ප්‍රදේශවලට කොටි ත්‍රස්තවාදීන් රිංගුවේ නැත. රිංගුවේ අපේ රටේ බල තණ්හාවෙන් පොරකන තිරිසන් දේශපාලනයයි.

ඔඩ්ඩුසුඩාන් බලය අල්ලාගන්න අප ස්ථිර හමුද‌ාව එතන රැඳුණේ දින 3 කි. ඒ දින තුනම කම්බි පොටවල් 7කින් යුත් කම්බි වැටකුත් රේන්චස් එකකුත් මීටර් 20 ක් තාවකාලික බංකරුත් විතරයි අපිට හදන්න හැකි වුණේ. එතරම් ප්‍රබල සටනක් කරල අල්ල ගත්ත තැන මේ තත්ත්වයෙන් රැකගන්න පුළුවන් නම් ඕමන්ත වම් ආරක්‍ෂක වළල්ල කොටි බිඳ දැමුවේ කොහොමද?

අඩි 15ට වඩා උස පස් කන්දක් අධි ආරක්‍ෂිත බංකර් පෙළක් ඉදිරියේ මයින් පැටක් (බිම්බෝම්බ) එසේ තිබිලත් කොටි ඕමන්ත ලයින් එක කැඩුව නම් මේක මොන කජ්ජක් ද? නිත්‍ය හමුදාව එතන රැඳුණේ දින 3යි. අපිව නැවත කි.මී. 20ක් පසුපසට ගෙන්නුවා. සම්පූර්ණ ලයින් එක නාවික හමුදාවෙ අයට භාර දුන්නා.

එතන හිටියෙ අලුත බඳවගත්ත කිසිම අත්දැකීමක් නැති සොල්දාදුවො. ඉතිරි හරිය බාර දුන්නෙ කිසිම යුද පුහුණුවක් නැති GR වොලන්ටි (ස්ථිර නොවන) යුනිට් එකට. හරියටම කි.මී. 15ක් දිගට මීටර් 20න් 20ට පොයින්ට්වලට නේවි එකේ අය දාලා ඒ අයට අවශ්‍ය සියලුම අවි ආයුධ පතුරම් ලබා දීලා ලයින් එකේ මැප් එක ප්‍රභාකරන් අතට යැව්වේ කවුද? මුළු යුද හමුදාවම ප්‍රභාකරන්ට පාවලා දුන්නා.

දහස් ගණනක් ජීවිත පූජා කරල ලබාගත්ත ජයග්‍රහන දින 3න් ආපසු දුන්නෙ කොහොමද?

ඔඩ්ඩුසුඩාන් අල්ලාගෙන දින 3කින් ස්ථිර හමුදාව මාන් කුලම් දක්වා පස්සට අදින ලද කි.මී. 20ක් ඒ ලයින් එක නාවික හමුදාවටයි 2 GR යුනිට් එකටයි භාර දුන්නෙමු. අපිට සහයට හැමතැනකම ස්ථාන ගත කරල තිබ්බ සියළුම කාලතුවක්කු අනුරාධපුරට එනකම් ගෙනයන ලදී. ඉතිරි කළේ එක 130 ගන් එකක් විතරයි. ගුවනින් දෙන උදව් සියල්ලම අත්හිටවූ අතර අන්තිමට හිටපු සියලුම උසස් නිලධාරින් අනුරාධපුර දක්වා පසුබැස්ස වූහ. මුළු යුද හමුදාවටම සීනියර් ඔෆිසර් කෙනෙකුට සිටියේ අපේ යුනිට් එකේ (අණදෙන නිලධාරි) මේජර් ඇහැලමල්පෙ පමණි. එතුමන් හොඳටම උණ හැදිලයි හිටියෙ. ඒත් එතුමා අපව දාලා ගියේ නැත. රෙගුල හමුදාව පස්සට ගෙනල්ල එදාම රෑ හරියටම 12.40ට කොටි ගහන්න ගත්හ. කොටි තැනින් තැන ෂොට් දෙක ගහන කොට නේවි එක ලයින් එක අතහැරියා.

2GR යුනිට් එක හුඟක් වෙලා ලයින් එක අල්ලාගෙන හිටියා. ඒත් ඔවුන්ට කරන්නට පුළුවන් දෙයක් තිබුණේ නැත. 2GR යුනිට් එකේ CO 2IC අජුමන් IO බලකණු හතරම එකම බංකරයක වූ අතර යුනිට් එක සී සීකඩ විය. සෑහෙන ප්‍රමාණයක් මිය යන අතර මුළු යුනිට් එකම විනාශ විය.

අන්තිමේ ඔවුන්ට රාත්‍රියේ ආයෙත් ඉදිරියට යන්න අණ ලැබුණා. ඒත් කි.මී. 15ක් ලයින් එක කඩාගෙන එන කොටි නතර කිරීම ගැටලුවක්. මේජර් ඇහැළමල්පෙ පුළුවන් තරම් එයාර් සපෝට් ඉල්ලුවත් ලැබුණෙ නැහැ. කාලතුවක්කු උපකාර ලැබුණ අතර රෙගුල හමුදාවක් වුවත් අන්ත අසරණ වුණා. අපේ පතුරම් ඉවර වූ අතර අපිට පසු පසින් කිසිම සහයෝගයක් ලැබුණේ නෑ.

අන්තිමේ අපි කොටි ත්‍රස්තයන්ට මැදිවීමු. අණදෙන නිලධාරිතුමාගේ තීක්‍ෂණ බුද්ධිය නිසා අද අපි ජීවත් වෙනවා.


වසර 2 1/2ක යුද්ධයක දී වැය වුණ මුදල් කෙතෙක්ද? අහිමි වුණ ජීවිත අත් පා අහිමිවීම ආබාධිත වූ දහස් ගණනගේ පැතුම් දින තුනකින් වතුරේ ගිය අතර ප්‍රභාකරන්ට වසර 20ක් යුද්ධ කරන්න අවැසි ඇමෝ (පතුරම්) ඇඳුම් පැලඳුම් අවි ආයුධ ආහාර පාන යුදමය වාහන හම්බ විය. අවසානෙ ඕමන්ත කල්මඩු දක්වා යුද හමුදාව පසු බැස්සා. මුළු යුද හමුදාවම කුපිත වූ අතර දහස් ගණනක් යුද හමුදාව අතහැර ගියා.

ඒ ඔඩ්ඩුසුඩාන් පාවාදීමෙන් පසු යුද හමුදාව ගැන කලකිරීමෙන් කල්මඩු ඉඳලා අපේ යුනිට් එක 2000 අවුරුද්දෙ යාපනයට ගියා. එතනින් අපට හිමි උනේ අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලයි. ඒ වෙනකොට මම මැලේරියා උණ රෝගයෙන් හෙම්බත් වෙලයි හිටියේ. අන්තිමේ අලිමංකඩ දී මට සරම්ප හැදුණා. සති 2ක් පලාලි රෝහලේ සිට සුව වී කඳවුරට ගිය දිනයෙම හවස පැපොල හැදුණා. නැවත පලාලි රෝහලට ඇතුළත්කර තව සති දෙකක් එහි සිට සුව වී ගෙදර පැමිණියෙමි.

මා රෝහල් ගතවෙලා ඉන්න අතරෙ කොටි අලිමංකඩට පහර දුන් අතර මගේ මුළු යුනිට් එකම (6 ශ්‍රී ල ප හ) විනාශ විය. කරුණා අද පම්පෝරි ගහන අලිමංකඩ එදා බිහිසුණු ඝාතනය තමයි ඒ.

එයින් පසු සිදු වූ දෑ රටට රහසක් නොවේ. යාපනය හමුදා බිඳවැටීම්වලින් පසු 2001 සාම සාකච්ඡා කාලය එළඹිණි. මා අදත් සිතන්නේ පාවාදීම් නොවුණේ නම් ප්‍රභාකරන්ගේ සටන අවසන් කිරීමට එදා අපට හැකියාව තිබූ බවය.

 

රණවිරු අජිත් හේමරත්න
Lankadeepa