එක් දිනක දී අප රටේ දරු කළල 800 ක් පමණ ගබ්සා වේ. ගබ්සා මධ්‍යස්ථාන සොය සොයා හිස් ලූ ලූ අතේ දිව යන අම්මාවරුන් ද අසරණය. හැඬූ කඳුලින් යුුතුව ඔවුන් කියන කතා අපේ රටේ සෑම අම්මා කෙනෙකු ම සෑම දියණියක ම විසින් කියවිය යුතු ය. පුතුන් සහ පියවරුන් ඒවා කියවා හඬා වැළපිය යුතු ය.
‘ඇය’ට ගැළපෙන්නේ මලක නමකි. ඇය එතරම් ම හැඩැතිය. සියුමැලිය. ‘සේපාලිකා’ යන නම වඩාත් ගැළපෙන්නේ යැයි සිතුණි. කොහොමටත් ඇය ව ‘ඇගේ නමින්’ ම හැඳින්විය නොහැකි නිසා, ඇයට ‘සේපාලිකා’ යැයි කියමු.
”සේපාලිකා මලයි
සුදුපාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි…” වැනි ගීත මුමුණන ‘කොළොම්පුරේ පෙම්වතා’ ඇයව සොයාගෙන ‘ගාලු පුරේ’ ඇවිත් තිබුණේ, හරියටම මීට අවුරුද්දකට පමණ පෙරය.
”ඒ අයියා මුලින්ම අපේ ගෙදර ආවෙ තාත්තා බලන්නත් එක්ක… මගේ තාත්තයි, ඒ අයියයි දෙන්නම හමුදාවෙ එකට වැඩ කරලා තිබුණා… එයා දැන් ‘හමුදාවෙ රෙජිමේන්තුවක’ ක්‍රිකට් ටීම් එකේ විකට් කීපර්… ”
සේපාලිකා මුලින්ම කතා කළේ, ඔහු හමු වූ ආකාරය ගැනය.
”මගේ තාත්තා ආබාධිත රණවිරුවෙක්… ඇත්තට ම එයා ‘එක්තැන්’ වුණු රණවිරුවෙක්… මගේ අම්මා තමයි, එයාවත්, මාවත්, මල්ලිවත් බලාගන්නේ… ඒ අතරෙ තමයි, ‘එයා’ අපේ ගෙදර යන්න එන්න පටන්ගත්තෙ… තාත්තා දන්න කෙනෙක් හින්දත්, එයාට හමුදාවෙ ස්ථිර රස්සාවක් තිබුණු හින්දත් අම්මත් කැමති වුණා… මං නං කැමති වුණේ එයා ‘ක්‍රිකට් ගහනව’ කියපු හින්දා… ඒ වගේම එයා මටත් ආදරේ වගේ පෙනුණා…”
‘ඔහු මුණගැහුණු හැටි’ කියද්දී ඇගේ මුහුණ විකසිතව තිබිණි.
”මං උපදිනකොටත් තාත්තා යුද්දෙ… මං බඩගාන කොට, දණගාන කොට, අල්ලගෙන නැඟිටින කොටත් තාත්තා යුද්දෙ… කොහොමින් හරි මං ලොකු ගෑනු ළමයෙක් වෙනකොට තාත්තා ගෙදර … ඒත් හරියකට ඇවිදගන්නවත් බැරි තත්ත්වයෙන්… ස්නායු ආබාධයක් හින්දා හරියකට කතා කරන්නවත් බැහැ… මේ විදියට මට කවදාවත් තාත්තා එක්ක ළඟ සම්බන්ධයක් තිබුණෙ නෑ… කොටින් ම අපේ ගෙදරට තාත්තගෙ මාසෙ පඩිය නොවරදවාම ලැබුණත් තාත්තගෙ ආදරේ නං ලැබිල ම නැති තරං… ”
සේපාලිකා කියන හැටියට මාසයකට දෙකකට වතාවක් ගෙදර පැමිණිණු තාත්තා ‘ගෙදර ගත කළ නිවාඩු කාලයේදීද, හැඩිදැඩිව ගෙදර පාලනය කළා මිස, බිරිඳ සහ දරුවන් සමග ‘හොඳින්’ කාලය ගත කර නැත.
”මට හිතෙන හැටියට, මං පස්සෙ කාලෙක ‘පෙම්වතෙකුගෙන්’ හෙව්වෙත්, තාත්තගෙන් නොලැබුණු ආදරේ…” සේපාලිකා කියන්නීය.
”ඉතිං ‘එයත්’ හමුදාවෙනෙ… නිතර නිවාඩු නැති ප්‍රශ්නෙ එයාටත් පොදුයිනෙ… තාත්තාගෙන් නොලැබුණු ආදරේ ඒ වගේ කෙනෙකුගෙන් ලැබෙයි කියල හිතුවෙ කොහොමද…?” අපි ඇසුවෙමු.
”මාත් එයාට ඕකම කිව්වා… ඒ හින්දම මං එයාව පොරොන්දු කරවගත්තා, තාත්තගෙ රස්සාවයි, රස්සාව හින්දා එයා හැඩගැහුණු විදියයි හින්දා අම්මයි අපියි විඳපු දුක් කවදාවත් මටවත් මගේ දරුවන්ටවත් දැනෙන්න දෙන්න එපා කියලා… ඒත් එයා කසාද බඳින්නත් කලිං මාවයි, අපේ දරුවවයි දාලා ගියා…” සේපාලිකා කියන්නී, මඳින් මඳ මිලාන වී යන මුවිනි.
”දැන් ඔයාට වයස කීයද…?” ඒ ප්‍රශ්නය අපෙනි.
”දහ නවයයි…” ඒ ‘කෙටි පිළිතුර’ ඇගෙනි.
”ඔයා අවුරුදු 19 වගේ පොඩි වයසක දි ‘අම්මා කෙනෙක්’ වෙන්න යන්නෙ නොදැනුවත්කමටද…? නැත්තං එයා බඳිනවමයි කියල පොරොන්දු වුණු හින්දා ද…?” අපි ඇසුවෙමු.
”ඉස්සර එයා ක්‍රිකට් මැච්වලට ගාල්ලෙ එන කොට, මමත් නොවැරදීම එයා සෙල්ලම් කරන මැච් බලන්න ගියා… අපේ ගෙදර හදන කෑමත් අරං ගියා… ඊට පස්සෙ හවසට කොටුවෙ හරි කොහේ හරි ඇවිදින්න යන එකත් පුරුද්දට ම ගියා… ඔය අතරෙ දවස් කිහිපයක් ‘කාමර වලට’ත් ගියා… ඇත්ත ම කිව්වොත් මං එයාට ආදරේ නිසා, එයා කියන කියන දේට අවනත වුණා මිසක්, ලිංගිකත්වය ගැන මට එච්චර දැනුමක් තිබුණෙත් නෑ… අනික එයා මාව කසාද බඳියි කියන විශ්වාසයත් තදින් ම තිබුණා…” සේපාලිකා කීවා ය.
”කොහොමහරි මගේ නොදැනුම හින්ද ම මාස පහක් යනකල්ම, මගේ කුසේ දරුවෙක් ඉන්න බව මම දැනගෙන හිටියෙ නෑ… ටික ටික බඩ ඉස්සරහට එන කොට අම්මට තමයි මුලින් ම සැක හිතුණෙ… ඇත්තටම මගේ ඇඟපතත් කෙට්ටු හින්දා තමයි අම්මට වුණත් වෙනසක් පෙනිලා තිබුණෙ… ඊට පස්සෙ අම්මා මාව බලෙන් ම වගේ ඩොක්ටර් කෙනෙක් ගාවට අරං ගියා… මුත්‍රා පරීක්ෂණයකුත් කළා… එතකොට තමයි දැනගත්තෙ…” සේපාලිකා කියන්නී බිම බලාගෙනය.
”ඉතිං… ඊට පස්සෙ පෙම්වතාටත් කිව්වද…?” ඒ ප්‍රශ්නය අපෙනි.
”කිව්වා… දැනගත්තු ගමන්ම කිව්වා… මං හිතුවා එයා සතුටුවෙයි කියලා… ‘ඉක්මනට බඳිමු…’ කියයි කියලත් හිතුණා… ඒත් එයා එහෙම කිව්වෙ නෑ… කිසිම දෙයක් කියන්නැතුව ‘ගල් ගිල්ලා’ වගේ හිටියා… පස්සෙ වෙලාවක කතා කරලා කිව්වා, ‘දරුවා නැති කරමු’ කියලා…”
සතිපතා ලියැවෙන මේ තීරුවේ බොහෝ කතාවල ‘පොදු බවක්’ ඇත්තේ මෙතැනය. එනම්, ‘සියයට අනූ පහක්’ ම කතාවල, ‘දරු කලල විනාශ කිරීමේ’ යෝජනාව ගෙනෙන්නේ පියවරුන්ය.
”ඇයි එයා එහෙම කිව්වේ…?”
”එයාට ක්‍රිකටර් කෙනෙක් හැටියට තවත් ඉහළට යන්න හීන තියෙනවා කිව්වා… ළමයෙකුත් එක්ක ගෑනියෙක් කරේ එල්ලගෙන ඒ කිසි දෙයක් කරන්න බෑ කිව්වා… දරුවා නැති කරන්න කියලා මට කරදර කළා… දවසක් මාව අම්බලන්ගොඩ තැනකට අරං යන්න ම හැදුවා… ඒක ‘ගබ්සා මධ්‍යස්ථානයක්’… නමුත් මං පැනලා ආවා… මට දරුවා ගැන වගේම මං ගැනත් බය හිතුණා… මට හිතුණා මං මැරෙයි කියලා…”
”අම්මයි තාත්තයි මොකද කිව්වෙ…?”
”තාත්තා නං මේ කිසි දෙයක් දන්නෙවත් නෑ… එයා ඉතිං කාමරේ ම නෙ ඉන්නෙ… මමත් පහුගිය කාලෙම හිටියෙ මගේ කාමරේට කොටුවෙලා… අම්ම කිව්වෙ වෙච්චි දේ වුණා… දරුවෙකුත් මරලා පව් පුරවගන්න බෑ කියලා… අම්මා කිව්වා, පුළුවන් විදියට දරුවා හදමු කියලා… ඒත් මාව ගමේ තියාගෙන ඉන්න එක නං අම්මටත් ප්‍රශ්නයක් වුණා…මට බැණ බැණ මාව කාමරේම හිර කරලා තිබ්බෙ ඒ හින්දා වෙන්න ඇති… ”
එවන් කරදරයකට පත් වූ දියණියක සිටින අම්මෙකුගේ හදවත නොසන්සිඳෙන යමහලක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.
”අම්මා මට ලොකුවට බැන්නෙ නෑ… හැබැයි මාව බදාගෙන නොසෑහෙන්න ඇඬුවා… එයාගෙ නොසැලකිල්ල හින්දා මට මෙහෙම වුණා කියල, හුඟක් පසුතැවුණා… තාත්තා මේ කිසි දෙයක් දන්නෙත් නෑ… එයා කාමරෙන් එළියට එන්නෙ නැති හින්දා මටත් හැංගිලා ඉන්න පුළුවන් … එයා මේක දැනගත්තොත් සමහරවිට දුක් වෙයි… මොකද එයා හින්දමනෙ ‘අරයා’ අපේ ගෙදර ආවෙත්… නැත්තං අතට අහුවෙන දේකින් දමල ගහන්නත් පුළුවන්… මට හිතාගන්නවත් බෑ…”
‘තාත්තා පිළිබඳව පවතින සංකීර්ණ හැඟීම්’ විස්තර කරගත නොහී අසරණ වූ සේපාලිකාගේ ඇස්වල ‘අලුත් කඳුළු’ ය. ඒ කඳුළු පිස දමන්නට හැකි ‘එක ම එක්කෙනා’ ගැන තවදුරටත් විමසීමද කළ නොහැකිය. එහෙයින් ‘මේ කතාව’ තව දුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකිව අපිද අසරණ වුණෙමු.
”කොහොමින් හරි ‘අරයා’ව කසාදෙට කැමති කරගත්ත නං හරි නෙ… මම ඊට පස්සෙ පුළුවන් හැම විදියටම කිව්වා, මාව බඳින්න කියලා… මේ දරුවට තාත්තා වෙන්න කියලා… ඒත් එයා මඟ ඇරියා… මං දරුවා නැති කරගන්න අකැමැති වෙච්චි එකට එයාට හොඳටම තරහ ගියා… අන්තිමේදි එයා කිව්වා, එයාට ගෙදරින් යෝජනාවක් ගෙනාවා කියලා… ඒ මනමාලි ‘නර්ස්’ කෙනෙක් ලු… එයා ඒ ‘නර්ස්ව’ බඳිනවා කියලත් කිව්වා… අපේ පවුලත්, මාත් එයාට ගැළපෙන්නෙ නෑ කිව්වා… අන්තිමේදි එයා ෆෝන් එකත් ‘ඩිස්කනෙක්ට්’ කළා… ‘ෆේස් බුක්’ එකත් වැහුවා… මට මහන්සි වුණොත් එයාව ආපහු හොයාගන්න බැරිකමකුත් නෑ… ඒත් ඉතිං මාව මේ තරං අසරණ කරලා පැනල ගිය මිනිහෙක් පස්සෙ යන්නෙ මොකටද කියලත් හිතෙනවා… ඒ හින්දා අත්ඇරලම දැම්මා…”
ඇය ම ඉදිරිපත් වී ‘කියාගෙන කියාගෙන’ ගියේ, කම්මුල් දෙක දිගේ ගලමින් තිබුණු කඳුළු ඇලි දෙක ද පිසදා හරිමිනි.
”ගබ්සා කරන්නත් අකැමැති, හදාගන්නත් පුළුවන්කමක් නැති අම්මලගෙ දරුවන් භාරගන්න ‘සමාජීය පරිවර්තනයක් සඳහා වූ ජාතික සංවිධානය’ ගැන මං දැනගත්තෙ අහම්බෙන්… ‘ෆේස් බුක්’ එකෙන්… ඊට පස්සෙ මම අම්මත් එක්ක එතෙනට ගිහින්, මගේ දරුවා ලැබෙන තුරු එතන නවත්වාගන්න කිව්වා… ඒ වගේම දරුවා ලැබුණම, දරුවන් නැති ජෝඩුවකට මගේ දරුවව හදාගන්න දෙන්න කැමැතියි කියලත් කිව්වා… ඊට පස්සෙ තමයි මම කොළඹ එන්නෙ… මොනව වුණත්, මට දැන් ‘පුංචි බලාපොරොත්තුවක්’ තියෙනවා… දරුවා ලැබුණට පස්සෙ භාරගන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්න නිසා…” සේපාලිකා කියන්නී, උපේක්ෂා දෑස් දල්වාගෙනය.
‘සමාජීය පරිවර්තනයක් සඳහා වූ ජාතික සංවිධානයේ’ ප්‍රධාන විධායක නිලධාරී මංජුල ලසන්ත උක්වත්ත ද, ‘සේපාලිකාගේ කතාන්දරයට’ ඔවුන්ගේ සංවිධානය සම්බන්ධ වන තැන සිට ‘අලුත් පරිච්ඡේදයක්’ එකතු කළේය.
”එක අවුරුද්දකට අපේ රටේ නූපන් දරුවො දෙලක්ෂ අනූදාහක් විතර ගබ්සා වෙනවා… අවුරුදු 10 කට ගණන් බැලුවොත්, නූපන් දරුවො ලක්ෂ 29 ක් ගබ්සා වෙනවා… ඉතිං අපේ සංවිධානය තීරණය කළා, ගබ්සාවෙන දරුවන් බේරාගැනීමට අවුරුදු 10 ක් එක දිගට කැපවෙන්න… ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි, ගබ්සා වෙන්න යන දරුවන්ව බේරලා, දරුවන් නැති දෙමාපියන්ට නීත්‍යනුකූලව ඒ දරුවො භාර දෙන වැඩපිළිවෙළ සකස් කළේ… ‘සේපාලිකා’ වගේ අය ගොඩක් දැන් අපි ළඟට ඇවිල්ලා තියෙනවා… අපි ඒ අයව හැකි උපරිමයෙන් බලාගන්නවා… දරුවා බිහි කරලා අපට භාර දීලා, එයාලගේ සාමාන්‍ය ජීවිතයට යන්න අපි එයාලට උදව් කරනවා… ” මංජුල ලසන්ත උක්වත්ත අපට කීවේ ය.
”මේ දවස්වල මට හොඳටම ‘සීනි’ නැඟලා… පහුගිය කාලෙ ‘ගෙයි කාමරේ’ හිර වෙලා ඉන්නකල් ම කෑවේ රෝල්ස්, බනිස් වගේ පිටි කෑම නෙ… අනික මට ‘ලොකු ස්ට්‍රෙස් එකක්’ තිබුණනෙ, බබා ආපු එකයි, අරයා මාව දාලා ගියපු එකයි ගැන හිත හිතම ඉඳලා… වැඩිපුරත් අමාරු ඒකයි… සමහර විට බබාව ගන්න ‘සිසේරියන්’ කරන්න වෙයි කියලා දොස්තර මහත්තයා කියනවා… බයයිත් එක්ක… ”
රෝහල් ඇඳක් මත දිගා වී ‘ඉදිමුණු කකුල්’ පිරිමදිමින්ම ඇය අපට කීවාය.
” පායා නැගී ඒවි රන් තාරාකා
ඈ හා සිනාවෙන්නේ නෑ ආදරෙන්
දේදුන්න සේ මැකී වෙන්වෙලා
නාඩා ඉතින් ඉන්න සේපාලිකා…”
ලබන මාසේ දවසක, සේපාලිකා විසින් මුහුණ දෙන්නට නියමිත ‘සිසේරියන්’ සැත්කම, මාස කිහිපයකට ඉහත ඇය විසින් ප්‍රතික්ෂේප කළ ‘ගබ්සාව’ තරම් නම් ‘බිහිසුණු’ නොවනු ඇත. අපි ඇයට කීවෙමු.
”ඔව් ඒක නං ඇත්ත… මං දැන් ඒ තීරණයට එකඟ නොවිච්ච එක ගැන හුඟක් සතුටු වෙනවා… මට තාම 19 යි නෙ… බබා හම්බ වුණායින් පස්සෙ ජීවිතේ ආපහු පටන් ගන්නවා…”
‘ක්‍රීඩකයෙකු’ අතින් තැළී පොඩිවී ගිය සේපාලිකාගේ බලාපොරොත්තුව නැවත පිබිදෙන්නටය. අපි ඇයට සුබ පතමින් ම රෝහලෙන් පිටවී ආවෙමු.
සුරේඛා සමරසේන