ලෙනාඩ් වුල්ෆ් සහ කැප්ටන් රොම්ස් – Leonard Woolf and Captain Romes

0
1257
leonard-woolf

ප්‍රකට ලේඛක ලෙනාඩ් වුල්ෆ් සිවිල් නිලධාරියෙකු ලෙස යාපනේ සේවය කරමින් සිටියේය. ඒ අතර, ඔහුට පොලිස් රාජකාරි කිරිමට සිදුවූ අවස්ථාවක් ගැන අපූරු සටහනක් තබා ඇත. මේ සටහන අපූරු වන්නේ සාහිත්‍යමය හෝ පරිපාලන වශයෙන් නොවේ. එදා මෙදා අතර කාලය ගැන තක්සේරු කරන්නෙකුට එය වැදගත් සිද්ධියක් වන නිසා පමණකි. මට නම් මේ සිද්ධිය ගැන ඇති වන්නේ දැඩි කලකිරිමකි. හේතුව අපරාධය සහ දඬුවම යන ප්‍රකට වචන දෙකට සම්බන්ධ භාවිතය ගැන මිනිසුන් කල්පනා කරන ආකාරශි ගැනය. මේ සිද්ධිය හරහා ඇසට ඇසක් දතට දතක් න්‍යාය එදා මෙන් අදටත් වලංගුව පවත්නා බව තහවුරුවේ.

1905 වසරේ ජූනි මාසයේ දවසක ලෙනාඩ් වුල්ෆ්ගේ යාපනේ නිල නිවසට පොලිස් නිලධාරියෙක් පැමිණ අපරාධයක් වාර්තා කළේය. ඒ කුඩා දරුවෙකුගේ අතුරුදන් වීමකි. කන්කසන්තුරේ මුහුදු වෙරළේදී දරුවෙකු අතුරුදන්ව ඇති බව ඒ සිද්ධියයි. ලෙනාඩ් වුල්ෆ් පොලිස් රාජකාරිය පටන් ගත්තේය. වාර්තා අනුව නැතිවූ දරුවා තරුණයෙකු කරත්තයක දමාගෙන යනු දුටු බවට සාක්‍ෂි තිබිණ. වුල්ෆ් වහා පොලිස් නිලධාරියාද සමග බයිකලයකින් සිද්ධිය වාර්තාවූ ප්‍රදේශයට පිටත් විය. සිද්ධිය වූ ගම්මානයට ඇතුළු වෙත්ම තවත් පොලිස් නිලධාරියෙකු වුල්ෆ්ට එකතු විය. නිසි ආචාර සමාචාර පවත්වා ඔහු වාර්තා කළේ සිද්ධියට සැක කරන පුද්ගලයා හසුවී ඇති බවය. ඒ වනවිට සැකකරු ප්‍රදේශයේ මුලාදෑනියෙකුගේ අත් අඩංගුවට පත් කර තිබිණ.

එහිදී දැන ගත් සිද්ධිය මෙසේය. අතුරුදන්වූ ළමයා වෙරළ දෙසට ගමන් කළ කරත්තයක සැක කරු සමග සිටිනු දුටු බව ගම්මු කියා සිටිති. මේ තරුණයා විවාහකය. ඔහුගේ අඹුව නැට්ටුක්කාර තරුණියකි. ඒ නිසා ඔහුට වියදම් අධීකව ඇති බව ගම්මු දැන සිටියහ. මේ අනුව ළමයාගේ නෑයන් නගරයට එක්ව හමුවන හැම කරත්තයම පරීක්‍ෂා කර තිබේ. මේ පරීක්‍ෂාව අතර වෙරළ දෙසට යමින් සිටි පිරිසට මේ තරුණයා කරත්තය සමග හසුවි ඇත. ඒ වනවිට වෙලාව පාන්දර දෙකත් පසුවෙලාය. තරුණයා කරත්තයෙන් පිටතට ගත් අතුරුදන්වූ ළමයාගේ නෑයන් ඔහුව පරීක්‍ෂා කර තිබේ. ඒ අවස්ථාවේ අතුරුදන්වූ ළමයා පැලඳගෙන සිටි රන් ආභරණයක් ඔහු සන්තකයේ තිබි හසුවිය. හොර බඩු සමග අල්ලා ගත් සැකකරු ප්‍රදේශයේ ගම්මුලාදෑනියා භාරයට පත් වුණේ එසේය. ඔහු එහිදී කෝටු වලින් සහ කසවලින් පහරදී ඇත. දෑතේ ඇගිලි තුඩු වලට අල්පෙනෙත්තිවලින් ඇන තිබිණ. තරුණයා සිද්ධිය ගැන නිවැරදි තොරතුරු කියන තෙක් මේ ආකාරයට වද දී තිබිණ.

තමා ළමයා කරත්තයෙන් කන්කසන්තුරේ වෙරළට ගෙන ගිය බව ඔහු පිළිගෙන තිබිණ. එසේ ගෙන ගිය දරුවා අපරාධකරු විසින් මිය යන තෙක් මුහුදේ ඔබා ගෙන සිටි බව කියා ඇත. මියගිය දරුවා පැළඳ සිටි රන් ආභරණය ගලවා ගත් සැකකරු මළ සිරුර මුහුදට විසි කළ බව පිළිගෙන තිබිණ. මෙය නිතිය අනුව පාපොච්චාරණයකි. විස්තර ඇසූ ලෙනාඩ් වුල්ෆ් පොලසියත්, මුලාදෑනියාත් සැකකරුත් මියගිය දරුවාගේ භාරකාරයන්ද කැටුව මුහුදු වෙරළට ගොස් බව ලියා ඇත. මේ වනවිට ඊළග දවස උදාවී තිබිණ. සැකකරු තමා දරුවා මරා මුහුදට විසිකළ ස්ථානය පෙන්වා තිබේ. ඒ තොරතුරු අනුව මුලාදෑනියා ප්‍රදේශ වාසින් විසි තිස් දෙනෙකු කැඳවා මහ මද්දහනේ මියගිය දරුවාගේ මළ සිරුර සෙවිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එහෙත් එය අසාර්ථක උත්සාහයක් විය. මේ සිද්ධීය නිරීක්‍ෂණය කළ ලෙනාඩ් වුල්ෆ්ට වෙනත් අදහසක් පහළ විය. ඔහු දැන සිටි පරිදි ඒ වනවිට මුතු කිමිදිම සඳහා රජය කැඳවා භාවිතා කළ නැවක් ගැන සිහිපත් විය. එය එස්.එස්. සෙරන්ඩිබ් නම් විය. වහාම නැවේ කපිතාන් වරයාට ලිපියක් යවන වුල්ෆ් දරුවාගේ මළ සිරුර සොයා දිමට සහාය වන ලෙස දන්වා සිටියේය. මේ කියන ලිපිය සෙරන්ඩිබ් නැවේ කපිතාන් වෙත යාමටත් ඊට පිළිතුරු ලැබෙන්නත් දින ගණනාවක් ගතවී ඇත. නැව් කපිතාන් ජේ.එච්.රෝම්ස් එවා තිබුණ ලිපිය මෙවැන්නකි. වුල්ෆ් කියන ආකාරයට සිද්ධිය වුණේ 1905 වසරෙහිය. ලිපියේ දිනය 1904 ජූනි 18 ලෙස සටහන් වී තිබුණ බව විශේෂයෙන් දක්වා ඇත. ලිපිය මෙසේය.

”ඔබගේ ලියුම අද උදේ ලැබිණ. මා වහාම මෙහි පැමිණී නමුත් ඒ වනවිට ඔබ යාපනය බලා ගොස් සිටියේය. සුළග බටහිර දෙසට වේගයෙන් හමන බැවින් සහ මුහුද රථ නිසාත් අද නැවතත් යාත්‍රා කළ නොහැකි බව මට පෙනිණ. එසේම නැවේ ගල් අගුරු ප්‍රමාණය ද අඩු වි තිබේ. දැනට පවත්නා තොගය යාන්තමින් අම්බානට යමට පමණත් ප්‍රමාණවත් බව පෙනේ. එහෙයින් මළ සිරුර සෙවීම සඳහා යන ගමන නිෂ්ඵල එකක් වනු ඇත. මා අදම ආපසු ගියහොත් වැඩිපුර ගල් අගුරු ලබා ගැනිම සඳහා ඩෙල්ප්ට් දූපතේ සිට කයිට්ස් වෙත ආපසු ඒමට සිදුවෙයි.

මම හෙට උදේ 6.00ට ඩෙල්ප්ට් බලා පිටත් වන්නෙමි. ඒ ගමනේදී මම මළ සිරුර ගැන සෝදිසියෙන් සිටින්නෙමි. සිරුර දිය මත පාවිමට තරම් කාලයක් තවම ගතවී නැත. එය ඈත මහ මුහුදට ගසා ගෙන යන්නට ඇතැයි මම අදහස් නොකරමි. රළ ප්‍රවාහය අනුවද, එය කවදා හෝ හමු වෙතොත් එසේ වනු ඇත්තේ වෙරළේදීම ය. ගෞරවයෙනි. ජේ.එච්.රෝම්ස් කපිතාන් පසුව ලියමි. මළ සිරුරක් දිය මතු පිටට ඒමට දවස් 7ත් 9ත් අතර කාලයක් ගතවේ. එහෙත් මේ ළමයා මැරූ තරුණයා මළ සිරුරට යම් බරක් එල්ලා තැබිය හැකිය. සිරකරු මගේ නැවට එවන්න. මම හෙට උදේ ඈත මුහුදට ගෙන ගොස් යකඩ බෝලයක් බෙල්ලේ බැඳ බඹ 9ක් දිය යටට ඔහු යවන්නෙමි.”

මේ ලිපිය ගැන මානව හිතවාදි ලෙනාඩ් වුල්ෆ් මෙසේ ලියයි. ”මේ ලියුම ඉතා ලස්සන අත් අකුරෙන් ලියැවි තිබිණ. ළමයාගේ මළ සිරුර කවදා හෝ හමුවිද යන බවත් හෝ චුදිතයා එල්ලා මරණ ලද්දේ කවදාද යන වගක් හෝ මට මතක නැත. (ලෙනාඩ් වුල්ෆ් මේ සටහන තබන්නේ සිද්ධියෙන් අඩ සියවසකට පමණ පසුවය.) මුලාදෑනියාත් පොලිසියත් සැකකරු ගැන කටයුතු කළ ආකාරය ගැන මම බෙහෙවින් කම්පාවට පත් වුණෙමි. චුදිතයෙකුගෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා ශාරීරික වද හිංසා ඇතුළුව සිදු කරන නොඑක් බලපෑම් වැළැක්වීම සඳහා නිරන්තර එ‍ෙමන්ම අසාර්ථක අරගලයක් එදා පැවති බව ඉක්මනින්ම මට දැන ගන්නට ලැබිණ. එහෙත් අපරාධකරුට සැලකූ ආකාරය රෞද්‍ර වූවාක් මෙන්ම, ඔහුට ගොදුරුවුණු පුද්ගලයාට සැලකූ අන්දමද ඊට වඩා හොඳ එකක් නොවි ය.” එහෙත් නාවිකයා සැකකරු ගැන කළ සටහන ගැන වුල්ෆ් කිසිවක් ලියා නැත.

මේ ගෙවුණු සියවසේ මුල් කාලයේ යාපන අර්ධද්වීපයේ අපරාධයක් සහ ආනුසංගික තොරතුරු වේ. සිද්ධිය මෙයින් වසර 110කට පමණ පෙර සිදුවූවකි. එහි අපරාධකාරයා ගැන ඥාතින් නොවන පාර්ශ්ව දක්වන ලද අකාරුණීක සැලකීම් දැක්වේ. අත් අඩංගුවට පත්වූවන් ගැන ක්‍රියා කළ යුතු ආකාරය ජිනීවා ප්‍රඥප්තියෙහි මැනවින් විස්තර කර ඇත. එහෙත් වසර සියයකට පෙර පැවති ලංකාවේ තත්වය අදට වඩා වෙනස් නැත. එදා අපරාධකාරයා ගැන ඥාතින් නොවන පාර්ශ්ව දක්වන ලද අකාරුණීක සැලකීම්, යටත්වූ සැකකරුට මුලාදෑනියාත් පොලිස් නිලධාරින්ද කළ පීඩා වුල්ෆ් මැනවින් විස්තර කරයි. වෙනසකට ඇත්තේ මිරිස් ගෝණියකට ඔළුව දමා පහර දීම හෝ ආයුධ සෙවිමට ගොස් මැරුම් නොකෑම පමණකි.

1971 කැරැල්ලට සම්බන්ධ මහ නඩුවේදී ප්‍රශ්න කරන අතර, පොලිසිය තමන්ට පහර දුන් බව චුදිතයෙක් සාක්‍ෂි දෙමින් කීය. රජයේ නීතිඥයා එහිදි ඇසුවේ අත් අඩංගුවට ගත් සැක කරුවෙකුට වද දිය නොහැකි බවට ජිනීවා ප්‍රඥ්ප්තියෙහි ඇති බව දන්නවාද කියාය. මට මතක හැටියට චුදිත විජේවිර විය හැකිය. සාක්‍ෂිකරු ”මම එය දනිමි. ඒ බව කීවා නම් මට තවත් වරුවක් ගුටි කන්ට සිදුවන නිසා ඒ ගැන සඳහන් නො කළෙමි.” පිළිතුරු දුන්නේය. එය ඇසූ අධිකරණය සිනාසුණ බව පුවත්පත් වාර්තා කර තිබිණ. එ් සිනාසුණේ ජිනීවා ප්‍රඥප්තියටද? අපේ පොලිසියටද? අර පිළිතුරටද? වර්තමානයේ පොලිසිය වටකොට ජනතාව සැකකරු ඉල්ලා සිටින්නේ ජිනීවා ප්‍රඥප්තිය ගැන නොදැන විය හැකිය. නඩු නොඅසා ප්‍රදීප් එක්නැලිගොඩට දඬුවම් කළේ ඒ නිසාය.