එක්‌සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය ශ්‍රී ලංකාවට යොමු කිරීමට උත්සාහ කළේ කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස සේවය කළ ප්‍රංශ පුරවැසි රාමා මානි ය. මෙම R2P සංකල්පය යනු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි. වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා රාමා මානි මෙකී සංකල්පය මෙරටට යොමු කිරීමට දැරූ උත්සාහය නිසා ඇයව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරුණි.
එහෙත් 2015 සැප්තැම්බර් 30 දා ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු යෝජනාවෙන් එකී R2P සංකල්පය නැවතත් මෙරටට යොමු කෙරී තිබේ.
මේ යෝජනාවට පසුබිම් වූයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසෙන්ගේ පිටු 261 ක වාර්තාවයි. එහෙත් මේ වාර්තාව යුක්‌තිසහගත නොවේ.
එකී වාර්තාවෙහි ඝාතන රැසක් වසන් කර ඇත. ජෝශප් පරරාජසිංහම්, සහ රවිරාඡ් ඝාතනය ගැන සඳහන් කරන එම වාර්තාව පහත දැක්‌වෙන ඝාතන ඊට ඇතුළත් නොකළේ මන්ද?
1. මඩකලපුව මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය 2004 ඔක්‌තෝම්බර් 19
2. දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානී පොලිස් පරීක්‍ෂක තාබෲ ඝාතනය
3.ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස් පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය
4.ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලබ්දින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම
5.කොළඹ ඩුප්ලිකේෂන් පාරේ දී ප්ලොට් මොහාන් ඝාතනය
6.වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලන්ගී සෙල්වරාජා සහ ඇගේ සැමියා ඝාතනය කිරීම
ඉහත කී කරුණු ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් නොකිරීමේ හේතුන් දැන් පැහැදිලිය. මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් තම වාර්තාවේ දක්‌වා තිබුණේ තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොලැබුනු නිසා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, මානව හිමිකම් ආරක්‍ෂකයන් සහ විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලින් තොරතුරු ලබාගත් බවයි.
එහෙත් එකී සංවිධාන ඉහත කී ඝාතන ගැන මානව හිමිකම් කොමසාරිස්‌ට වාර්තා නොකළේ එම ඝාතන කොටි සංවිධානය විසින් සිදු කළ නිසාය.
මේ නිසා මෙහි පරීක්‍ෂණ වාර්තාව ඒකපාක්‍ෂික වාර්තාවක් නොවන්නේද? මෙම පසුබිම මත
සෙයිද් හුසේන්ගේ පරීක්‍ෂණ වාර්තාවට සුදුහුණු ගෑමට විවිධ පාර්ශව උත්සාහ කරති.
එහෙත් වාර්තාවේ අඩංගු මුලාශ්‍ර නිරීක්‍ෂණයට ලක් කළහොත් රහස් පොලිසියේ වාර්තා පවා ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සපයා ඇතැයි අනාවරණය වේ.
එසේම සාක්‌කි 1985 ක් ලබාගෙන ඇත්තේ විද්යුත් ලිපිවලිනි. තවත් සාක්‌කි 1197 ක් තැපෑලෙනි. යුද අපරාධ සිදු කළ අයගේ ලැයිස්‌තුවක්‌ද තමන්ට ලැබුණ බව පරීක්‍ෂණ වාර්තාව සඳහන් කර ඇත.
මේ හැර මෙයට පෙර පැවැත් වූ දරුස්‌මාන් පරීක්‍ෂණ මණ්‌ඩලයෙන්ද තවත් තොරතුරු ලබාගත් බව පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.
එසේ වූවත් මෙකී ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට මෙරට යාන්ත්‍රණයෙන් නිසි ප්‍රතිචාර දක්‌වා නොමැත.
ජීනීවාහිදී ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්‍ෂකයන්ට තර්ජන එල්ල වී ඇති බවත් වාර්තාවේ සඳහන් වී තිබේ. එහෙත් එලෙස එල්ල වූ තර්ජන ගැන ස්‌විස් පොලිසියට හෝ මානව හිමිකම් කවුන්සිලයේ ආරක්‍ෂක අංශවලට හෝ මෙතෙක් පැමිණිලි කර නැත. අප මේ කරුණු සඳහන් කරන්නේ වගකීමක් ඇති වය.
මෙකී තර්ජන ගැන පරීක්‍ෂණ මණ්‌ඩලයට වාර්තා කර ඇත්තේ ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය නැමැති රාජ්‍ය නොවන සංවිධානයයි.
ඒ නිසා පරීක්‍ෂණ මණ්‌ඩලයද එකී තර්ජන එල්ලවීම සත්‍යයක්‌දැයි ස්‌විස් පොලිසියෙන් විමසා නැත.
එසේම එක් සාක්‌කිකාරියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බව කියා සිටියාය.
හමුදාව රසායනික අවි එල්ල කළා නම් එම අවි කුමක්‌ද සහ ඇය ඒ බව දන්නෙ කෙසේද යෑයි මානව හිමිකම් කවුන්සිලය ඇගෙන් විමසුවේ නැත. මේ නිසා ජිනීවා ගොස් ඕනෑම බොරුවක් කිමට ඉඩ ලැබුණි.
එසේම මෙරට ආරක්‍ෂක හමුදාව දැනුවත්ව මහා පරිමාණ අපරාධ සිදු කළ බවට වාර්තාවේ දක්‌වා ඇත. මෙම මහා පරිමාණ අපරාධ කුමක් දැයි වාර්තාවේ සඳහන් නොවේ.
මෙම පසුබිම මැද ජිනීවාහි පාකිස්‌තාන් තානාපති සමීර් අක්‌ක්‍රම් මානව හිමිකම් කොමසාරිස් වෙත ඇතුල් පහරක් එල්ල කළේය.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඔහුට ලැබී ඇති
වරය ඉක්‌මවා ක්‍රියා කරනවා යෑයි හෙතෙම චෝදනා නඟයි.
මේ තත්ත්වය මත සිදු වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමකි. එය නැතැයි කීමට කිසිවකුටත් බැරිය.
කීර්ති වර්ණකුලසූරිය
– Divaina