මොලඩය වෙනස්‌ කර දරුවන් රැක ගනිමු – Save children in Sri Lanka

0
1080
children-of-sri-lanka

පසුගිය දිනෙක කොත්මලේ හෙල්බොඩවත්තේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ කළහකාරී ලෙස හැසිරුණු ආකාරය රූපවාහිනී නාලිකාවල විකාශය වූ ප්‍රවෘත්තිවල දැකගත හැකි විය. මේ කලබලයට හේතුවී තිබුණේ දැරියකගේ පාසල් නිල ඇඳුම් සමග පුද්ගලයකු හසුවීමය. පොලිස්‌ නිලධාරීන් පැමිණ අදාළ සැකකරුවා පොලිසිය වෙත රැගෙන යැමට උත්සාහ දරන විට ජනතාව හැසිරුණේ අදාළ සැකකරුවාට පමණක්‌ නොව පොලිසියට ද “දෙකක්‌ ඇණිය යුතුයි” යන ආකල්පයෙන් බව පෙනෙන්නට තිබිණි.

කෙසේ හෝ සැකකරුවකු අත්අඩංගුවට ගත්තද මේ වනතුරුත් ළමා අපචාරයක්‌ පිළිබඳව සිදුවීමක්‌ වාර්තා වී නැත.

මෙම සිදුවීමේදී ඉස්‌මතු වන ප්‍රධානතම කාරණා දෙකක්‌ තිබේ. පළමුවැන්න, මිනිසුන් කිසිදු වග විභාගයකින් තොරව කෙනකු ඝාතනය කරන්නට තරම් සැහැසිව සිටින බවයි. දෙවැන්න පොලිසිය (නීතිය හා සාමය) ගැන තඹ දොයිතුවක හෝ විශ්වාසයක්‌ ජනතාව තුළ නැති බවය.

එසේ වීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පසුගිය කාල වකවානුව පුරාම විවිධ අවස්‌ථාවල වාර්තා වූ ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර, ඝාතන සිදුවීම් රාශියකදී සාධාරණය ඉටු නොවුණු බවට සමාජයේ පිළිගැනීමක්‌ ඇති නිසාය.

මේ සමාජ විරෝධය වැඩි වශයෙන් ඉස්‌මතු වූයේ කොටදෙණියාව දැරියගේ ඝාතනයත්a සමගමය. එය නැවත ඉස්‌මතු කිරීමේ අවශ්‍යතාවක්‌ අපට නැත. එහෙත් රටේ ජනතාව තුළින් දැඩිව මතුව එන මේ විරෝධය සාධාරණ බව ඉඳුරාම කිව හැකි ප්‍රවෘත්තියක්‌ පසුගිය දිනක පුවත්පත්වල පළ වී තිබිණි. ඒ 2014 වර්ෂයේදී (පසුගිය වසරේ) ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක උපුටනයකි. ඒ වාර්තාවට අනුව එම වසරේ ළමා අපයෝජකයන් 2500 ක්‌ හඳුනාගෙන තිබුණ ද ඉන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හත්දෙනකු (07 ක්‌) පමණි. සිහිබුද්ධියෙන් කටයුතු කරන කවරෙකුට වුවද එක්‌වරම ඔලුව තෝන්තු වී පෙර කී කලහකාරී ජනතාව සමග එක්‌වී අදාළ වගකිවයුත්තන්ට ගල් ගසන්නට නොසිතුණොත් තමා පුදුමය. නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවේ යෑයි ජනතාව කල්පනා කරන්නේ මෙවැනි කාරණා නිසාය. වැලිකඩට “අලුගෝසුවන්” තෝරාගන්නටත් පෙර රටේ ජනතාව “අලුගෝසුවන්”, “වධකයන්” බවට පත් වන්නට පොරකන්නේ ඒ නිසාය.

මේ මොහොතෙහි අප සිටින්නේ, දරුවන් බිළි ගැනීමට මාන බලන වධකයන් හඳුනා ගැනීම මෙන්ම, ඒ වධකයන්ට දඬුවම් දීම පිණිස වධකයන් වීමට සැරසෙන මිනිසුන් බේරා ගැනීම ද යන මෙහෙයුම ඉදිරියේය. ඉහත සංඛ්‍යාලේඛනය 2014 වර්ෂයේදී නිකුත් කළ ඒවාය. එන හැටියෙන් පෙනෙන්නේ 2015 සංඛ්‍යාලේඛනවල තත්ත්වය ද එතරම්ම හොඳ තත්ත්වයක නැති බවය.

අපරාධකරුවන් (ළමා අපචාරවල යෙදෙන වධකයන්) අත්අඩංගුවට ගැනීම පසෙකින් තිබියේවා. අඩුම වශයෙන් දරුවන් සම්බන්ධයෙන් ඇසෙන නඩු විභාග ඉක්‌මනින් අවසන් කර අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම හෝ ඉක්‌මන් කිරීම කළ යුත්තකි. සැබෑ අපරාධකරුවා කවරෙකු ද යන්න හඳුනා ගෙන දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදය ඉක්‌මන් කිරීමේ විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව බොහෝ කලක සිට කතාබහ කරන මාතෘකාවක්‌ වුවද එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට නැත. දැන් ක්‍රියාත්මක ක්‍රමය අනුව ළමා අපයෝජනයක නඩු තීන්දුව ලැබෙනවිට දරුවා වැඩිහිටියකු වී අවසන්ය.

ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක්‌ ආරම්භ විය යුතුය. මෙවැනි ක්‍රියාවල වර්ධනයක්‌ සිදුවීමට හේතුව නිශ්චිතව විග්‍රහ කර ගත යුතුය. “ලැප්ටොප් පරිගණකවල නිල් චිත්‍රපට” තිබෙන්නේ ළමා අපයෝජකයන් ළඟය, යන මානසිකත්වයෙන් මිදී එය විග්‍රහ කරගත යුතු වේ. නගරයෙන් බොහෝ ඈත ග්‍රාමීය පෙදෙස්‌වල ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීමට හේතු වන්නේ එවැනි කාරණා නොවන බව පැහැදිලිය.

කෙසේ හෝ මේ නරක තත්ත්වය දුරදිග ගියා වැඩි බව අපේ විශ්වාසයයි. වගකිව යුතු සියල්ලෝම එකට එක්‌වී මේ සඳහා ඉක්‌මනින්ම විසඳුම් සෙවිය යුතුය.

ඒ හැමදාමත් සිදුවූ පරිදි දරුවන් වෙනුවෙන් ප්‍රදර්ශන “ව්‍යාපෘති” හදන මොඩලයෙන් නොව සැබෑ හැඟීමෙනි.

– Divaina