උත්තරය මරණ දඬුවමද? – Death sentence

0
609
hang

එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ වන විට අපේ රටේ විශාල කතාබහක්‌ ඇති වී තිබේ මේ විදියට එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නැයි යන ඉල්ලීම කාලෙන් කාලෙට මේ රටට එන මෝසම් සුළඟක්‌ බවට පත් වී තිබේ. මෙය පසු ගිය අවුරුදු 20 තුළම සිදු වූ දෙයකි. මෙම ඉල්ලීම දෙස බැලූ විට මා දකින දේ වන්නේ මෙසේ එල්ලුම් ගහ ගැන කතා කිරීම වැඩිවන්නේ හේතු දෙකක්‌ මතයි. ඉන් පළමු වැන්න රටේ අමානුෂික අපරාධයක්‌ සිදු වීම. මේ වතාවේ එල්ලුම් ගහ යළි ගෙන එන්නැයි යන ඉල්ලීමට මුල් වී තිබෙන්නේ සේයා දැරියට ලිංගික අපරාධයක්‌ සිදු කොට මරා දැමීමයි. මීට කලිනුත් නොයෙක්‌ විදියේ මෙවැනි ප්‍රසිද්ධ අපරාධ සිදු වීම් නිසා එල්ලුම් ගහ ගැන නොයෙක්‌ කතා බහ ඇති විය. මතක්‌ කර බලන්න එදා උතුරේ යුද්ධය පැවති සමයේ තිබුණු එල්ලුම් ගහ ගැන කවුරුත් කතා කළේ නැහැ. ඒ වගේම ඡන්ද කාලය තුළ එල්ලුම් ගහ ගැන කාටවත් කිසිම වගේ වගක්‌ තිබුණේ නැහැ. එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නැයි කියා කිසිම ඡන්ද අපේක්‌ෂකයෙක්‌ ප්‍රකාශ කළේ නැහැ ඇයි ඒ? යුද්ධයක්‌ ඡන්දයක්‌ නැති තැන මාධ්‍යය වගේම දේශපාලනඥයොත් අපරාධයක්‌ සිදු වූ සැණින් එල්ලුම් ගහ ගැන කතා කරයි. දැන් අවුරුදු 20 ක්‌ තුළම මා දකින්නේ මේ තත්ත්වයයි. ඒ නිසා මෙම ලිපිය මඟින් මා අදහස්‌ කරන්නේ එල්ලුම් ගහ ගැන ජනතාව මඟින් පත්වූ රජයක්‌ එම රටේ පුරවැසියෙක්‌ මරණයට පත් කිරීම ගැන විද්‍යාත්මක විශ්ලේෂණයක්‌ කිරීමයිs.

අපරාධකරුවෙකු එල්ලුම් ගස්‌ යවන්නේ ඇයි?

මරණ දඬුවම් දීම මුලු ඉතිහාසය තුළම රජවරුන් විසින් සහ දරුණු පාලකයින් විසින් තම පාලනයේ අභ්‍යන්තර අභියෝග පැරද වීම සඳහා යොදා ගෙන තිබිණි. අදත් චීනය උතුරු කොරියාව වැනි රටවල රජයට විරුද්ධව වැඩ කළහොත් මරණ දඬුවම ලැබිය හැකියි. මෑතකදී උතුරු කොරියාවේ පාලකයා වන කිම් ජොං තම මාමා පවා මරණ දඬුවමට පත් කළා. නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාලකයෝ සිය පාලන බලය තබා ගැනීමට මරණ දඬුවම පාවිච්චි කරන්නේ නැහැ. රාජපක්‌ෂ පාලන සමයේ එසේ වුවාද යන්න සොයා බැලිය යුතු වී තිබේ. සේයා දැරියට සිදු කළා මෙන් බිහිසුණු අපරාධවලට පමණක්‌ මරණ දඬුවම සීමා කොට තිබේ. ලංකාවද ඇතුළු ආසියාවේ සමහර රටවල් මත් ද්‍රව්‍යය විකිණීම ද මරණ දඬුවමක්‌ දෙන අපරාධයක්‌ බවට පත් කොට තිබේ.

මරණ දඬුවම ගැන අද ලෝකයේ ඇති ප්‍රතිපත්තිය

අද වන විට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මරණ දඬුවම ඉවත් කරන්නැයි තම සංවිධානයේ රටවල්වලින් ඉල්ලා තිබේ. මෙය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ මානව හිමිකම් ප්‍රඥප්තියත් සමඟ ආ ඉල්ලීමකි. අප දැන් අවුරුදු 5 ක්‌ තිස්‌සේ නිතර කතා කරන UNHRC පවා 1999 දී මරණ දඬුවමට තහනම් වැටක්‌ බඳින්නැයි ඉල්ලා සිටියේය. දෙවැන්න වන්නේ යුරෝපයේ සියලු රටවල් ඇතුළත්ව 2009 වසර වන විට ලෝකයේ රටවල් 129 ක්‌ මරණ දඬුවම තම අපරාධ දණ්‌ඩණ පොත්වලින් ඉවත් කොට තිබේ. දැනට මරණ දඬුවම ක්‍රියාත්මක එකම බටහිර රට වන්නේ ඇමෙරිකාවයි. එහි ද දැන් ප්‍රාන්ත 50 න් 19ක්‌ම මරණ දඬුවම තහනම් කොට ඇත.

මරණ දඬුවමේ ආචාර ධර්ම

එදා පාලකයෝ මරණ දඬුවම තම බලය රැක ගැනීමට පාවිච්චි කළත්, එකල ආචාරධර්ම අතින් මෙය විනිශ්චය කරන්නට ඇත්තේ එකම දෙයකිනි. එනම් ඇසට ඇසක්‌ සහ දතට දතක්‌ කියන පළි ගැනීමේ සිද්ධාන්තයයි. එය මුලින්ම ඇති වූයේ යුදෙව්වන්ගේ ආගමේය. දෙවනුව පරණ ගිවිසුමෙන් ක්‍රිස්‌තියානි ආගම ද මෙම ඇසට ඇසක්‌ දතට දතක්‌ යන සිද්ධාන්තය අනුව ගමන් කළා. නමුත් අද කතෝලික පල්ලිය සහ ඇන්ග්ලිකන් පල්ලිය මරණ දඬුවමට විරුද්ධව ව්‍යාපාරයක්‌ ගෙන යමින් සිටී. අද මරණ දඬුවමට පක්‌ෂ වන්නේ ඉස්‌ලාම් ආගමත් සමහර ක්‍රිස්‌තියානි නිකායකයින් පමණයි. බුද්ධාගම ගැන කියන්නට විශේෂ දෙයක්‌ නැහැ. ඕනෑම ප්‍රාණ ඝාතනයක්‌ පවක්‌ ලෙස සලකන බුද්ධාගම මරණ දඬුවමට විරුද්ධ විශේෂ ආගමක්‌ ලෙස සැලකිය හැකියි.

මරණ දඬුවම නිසා අපරාධ අවම කළ හැකිද?

නැත. බොහෝ දෙනා බලාපොරොත්තු වන විදියට මරණ දඬුවම නිසා අපරාධ අඩු වන්නේ නැහැ. අද මරණ දඬුවම තහනම් කළ යුරෝපයේ මිනි මැරුම් සංඛ්‍යාවල මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක වන ඇමෙරිකාවේ මිනි මැරුම්වලට වඩා හතර ගුණයකින් අඩුයි. එසේම ඇමෙරිකාවේ ද මරණ දඬුවම තහනම් කළ ප්‍රාන්තවල මිනි මැරුම් රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වන ප්‍රාන්තවලට වඩා 25-46% දක්‌වා අඩුයි·

එසේ නම් මරණ දඬුවම අපරාධ අවම කිරීමට ආයුධයක්‌ නොවේ. මෙයට හේතුව කුමක්‌ද? මිනි මැරුම් හෝ සියදිවි නසා ගැනීමක්‌ කරන පුද්ගලයා සාමාන්‍ය මානසික තත්ත්වයක සිටින්නෙක්‌ නොවේ

මා දැන් අවුරුදු 30 ක තිස්‌සේ වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ මනෝ වෛද්‍යවරුන් විදියට පුහුණුව ලබන වෛද්‍යවරුන්ට උගන්වන දෙයක්‌ වන්නේ මෙයයි. මෙම සිද්ධාන්තයට ඇති එකම අත්හල යුතු දෙය වන්නේ මුදල්වලට කරන මිනි මැරුම් පමණයි· අද ලෝකයේ සිදු වන මිනී මැරුම් වලින් 80% ක්‌ම මෙසේ වියරු මානසික තත්ත්වයන් නිසා සිදු කළ මිනි මැරුම්ය. එසේ නම් වියරු මනසකින් ක්‍රියා කරන මිනිසෙක්‌ කෙසේ නම් එල්ලුම් ගහක්‌ ගැන සිතා තමන්ගේ ක්‍රියාවන් වෙනස්‌ කර ගන්නද? ඒ ගැන සිතීම ඔබට බාරයි. එසේ නම් තවත් මිනී මැරුම් කොටසක්‌ වනුයේ ත්‍රස්‌තවාදය උඩ ඇති වන ඒවායි. එවැනි අවස්‌ථාවක මරණ දඬුවම දීම ත්‍රස්‌තවාදය තව ඉහවහා යාමට හේතුවක්‌ බව සොයා ගෙන ඇත. මරණ දඬුවම කිසිම විදියකින් අපරාධ අඩු කිරීමට හේතු නොවන්නේ ඒ නිසයි.

එල්ලුම් ගහේ අනිසි ප්‍රතිඵල

මරණ දඬුවම ක්‍රියාත්මක වන විට ඇති විශාල අසාධාරණය වනුයේ අහිංසකයෝ එල්ලුම් ගස යෑවීමයි. මෙයට නොයෙක්‌ උදාහරණ ඇමෙරිකාවෙන් නම් ලැබී තිබේ. ඇමෙරිකානු අපරාධ විශේෂඥයෝ ගණන් බලා ඇති ආකාරයට එම රටේ මරණ දඬුවමට පත් කළ අය ගෙන් 7 න් 1 අයෙක්‌ අහිංසකයෝ බව සොයා ගෙන තිබේ. එසේම මරණ දඬුවමට නියම කළ සෑම 3 දෙනෙකුගෙන්ම 2 කුගේ මරණ දඬුවම ඉවත් කොට තිබේ. පොලීසියේ අසාධාරණ ඉදිරිපත් කිරීම් ඊට හේතුවයි. සේයා සදෙව්මිණි ඝාතනයෙන් පසු එම ප්‍රදේශයේ පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැන අලුතින් සඳහන් කළ යුතු නැත. අද ඩී. එන්. ඒ. සාක්‌ෂි නොතිබුණා නම් පොලීසිය වරදකරු කරන්නේ 17 හැවිරිදි පාසැල් ශිෂ්‍යයා හෝ කොණ්‌ඩයායි· එසේ නම් බුද්ධිමත් ජනතාව පොලීසියෙන් ඉදිරිපත් කරන සාක්‌ෂි අනුව යමෙක්‌ එල්ලුම් ගස්‌ යවන්න පක්‌ෂ වෙනවාද? මෙය ඔබ ඇසිය යුතු ප්‍රශ්නයයිග

මානසික රෝග සහ මිනිමැරුම්

මරණ දඬුවමට නියම කොට ඇති චූදිතයෝ වැඩි ගණනක්‌ මානසික රෝගීන් බව සමීක්‌ෂණ මඟින් සොයා ගෙන තිබේ. මීට අවුරුදු 10 කට පෙර වෛද්‍ය ගිහාන් අබේවර්ධන බෝගම්බර සිර ගෙදර සිදු කළ සමීක්‌ෂණයකින් හෙලි වී තිබුණේ එවැන්නකි. එසේම මා කලින් කී පරිදි අධික කෝපය, සැකය සහ ඊර්ෂ්‍යාව නිසා බොහෝ මිනි මැරුම් සිදු වේ. මේ සියල්ල එක්‌කෝ ප්‍රතිකාර කළ හැකි දේවල්ය. එසේ නැතිනම් අපගේ කෝපයට නොව අපගේ අනුකම්පාවට පත් විය යුතු මානසික තත්ත්වයන් ය. එසේ නම් මෙවැනි මානසික රෝගීන් කීදෙනෙක්‌ නම් එල්ලුම් ගස්‌ යවමුද?

දුප්පත්කම

ඇමෙරිකාවේ මරණ දඬුවමට නියම කොට ඇති අයගෙන් 50% ක්‌ම ඉතා දිළිඳු කලු ජාතිකයෝයි. එරටේ කලු ජාතිකයින් සිටින්නේ 13% ක්‌ පමණයි. නමුත් මරණ දඬුවමට නියම වූ අයගෙන් 50% ක්‌ම කලු ජාතිකයෝයි. ලෝකයේ ඕනෑම රටක මුදල් තිබේ නම් සුපිරි වෛද්‍යවරු වගේම සුපිරි නීතිඥයින්ගේ පිහිට ලබා ගත හැකියි. එසේ නම් නිවැරදි හේතුව නිසා හෝ වැරදි හේතුව නිසා එල්ලුම් ගසට යන්නේ එක්‌කෝ දුප්පතෙක්‌. එසේ නැතිනම් මානසික රෝගයකින් පෙළෙන්නෙක්‌. නොඑසේ නම් පොලීසිය සාවද්‍ය කරුණු රැස්‌ කොට ගොනු කරන නඩුවකට හසුවන්aනෙක්‌a.

එසේ නම් අපරාධ කෙරෙහි ජනතා තුළ ඇති වන අප්‍රසාදය පාවිච්චි කරමින් දේශපාලනඥයන් විසින් එල්ලුම් ගහ නැවත ගෙන එන්නට කොතෙක්‌ උත්සහ කළත් මෙවැනි අසාධාරණයක්‌ කෙසේ අප රටට නැවත ගෙන එන්නට ඉඩ දෙනවාද?

විශේෂඥ මනෝ වෛද්‍ය
රනිල් අබේසිංහ

– Divaina