රාජ නීතිඥ
ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ලෝරන්ස් ද සිල්වා
2009 වසර වන විට ශ්‍රී ලංකා රජය, දෙමළ විමුක්‌ති කොටි සංවිධානය සමඟ එළැඹී තිබුණු අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට අවුරුදු 30 ක් සැපිරිණි. ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ස්‌ථාපිත කිරීම සඳහා ම්ලේච්ඡ බෙදුම්වාදී අරගලයක් කොටි සංවිධානය විසින් දියත් කර තිබුණි.
සාමය උදාකර ගැනීම සඳහා අනේකවාරයක් අසාර්ථක ලෙස උත්සාහ ගැනීමෙන් පසුව මේ සටන හමුදාවේ මෙන්ම සිවිල් වැසියන් ද දසදහස් ගණනක ජීවිත මත නිමාව දැකීය. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම අරබයා යුද මුක්‌ත කලාප රජය නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන් පළමුවැන්න පිහිටු වූයේ 2009 ජනවාරි මාසයේය. මෙවැනි යුද මුක්‌ත කලාපයකට යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල නොකරන බව අවබෝධ කරගත් එල්.ටී.ටී.ඊ. ය තම සේනාංක හා යුද උපකරණ සිවිල් වැසියන් අතරට ගෙනෙනු ලැබීය. මේ වූ කලී එල්.ටී.ටී.ඊ. ය සිදුකළ යුද අපරාධයකි. සටනේ අවසාන අදියරේ එල්.ටී.ටී.ඊය නිත්‍ය පරාජය අභිමුඛව සිටි අවස්‌ථාවේ සිවිල් වැසියන් මනුෂ්‍ය පලිහක් ලෙස යොදාගෙන යුද මුක්‌ත කලාපයේ සිට ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර එසේ කරනු ලැබුවේ යුද හමුදාව ලවා සිවිල් වැසියන් දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් යුද හමුදාව විසින් මරා දමන බවට චෝදනා කිරීමට මග පාදා ගැනීම පිණිසය. එපමණක් නොව එල්. ටී.ටී.ඊ. ය තම වැසියන්ට එරෙහිව ද ප්‍රහාර එල්ල කළ බවට සාක්‍ෂි මූලාශ්‍ර ගණනාවක් තුළින් ලැබී තිබේ. තම පරාජය හමුවේ ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ සලසනු පිණිස මාධ්‍ය චණ්‌ඩ මාරුතයක් නිර්මාණය කිරීම මෙවැනි සටනක උපයෝගී කරගන්නා ප්‍රකට සැලසුමකි.
එල්.ටී.ටී.ඊ. ය බලෙන් රඳවාගෙන සිටි සිවිල් පුරවැසියන් නිදහස් කර ගැනීමේ පරම වගකීම ශ්‍රී ලංකා ජනරජය සතුය. නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි එකී පුරවැසියන් නිදහස් වීමට උත්සාහ දැරූ අවස්‌ථාවන්වලදී ඔවුනට වෙඩි තබනු ලැබිණි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ ග්‍රහණයේ සිටි සිවිල් පුරවැසියන් බේරා ගැනීම සඳහා දියත් කළ ක්‍රියාවලියේදී සිවිල් වැසියන් 8000 ක් සිට 40,000 ක් අතර ප්‍රමාණයක් අනතුරට ලක්‌විය. මෙම සංඛ්‍යාවල නිවැරැදිතාවය කවරක් වුවත් එල්.ටී.ටී.ඊ. ය විසින් තම ග්‍රහණයට නතු කරගත් සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇත. මේ වූ කලී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. ය පරාජය කොට ලබාගත් මානුෂික විජයග්‍රහණයකි. එමගින් එල්.ටී.ටී.ඊ. ය එක පවුලකින් එක ළමයකු තම සේනාංකවලට බඳවා ගැනීමේ සුපුරුදු ක්‍රියාදාමය නිමා විය. යුද්ධයේ ප්‍රගමනයත් සමග එල්.ටී.ටී.ඊ.යේ මේ බඳවා ගැනීමේ ක්‍රියාදාමය තවත් උත්සන්න කළ අතර එය ම්ලේච්ඡ ලෙස ක්‍රියාවට නංවනු ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ එක පවුලකින් ළමයින් ගණනාවක් ස්‌වකීය සේනාංකයට බඳවා ගැනීමය. මීට අවුරුදු 14 ක් තරම් ලාබාල ගැහැනු හා පිරිමි දරුවන් ඇතුළත් විය.
එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව සිවිල් වැසියන් ඉලක්‌ක කරමින් නීති විරෝධී සමාන්තර හානි සිදුකළ බවට අනේක විධ චෝදනා එල්ල කිරීම ආරම්භ විය.
දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ පාවිච්චි කරනු ලැබූ පරමාණු බෝම්බ නිසා සිදුවූ හානිය පිළිගත හැකි සමාන්තර හානියක නිර්නායකයක් ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. මක් නිසාද යත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව මේ පිළිබඳ අදාළ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය වෙනස් වී තිබීමයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ වූ පිළිගැනීම වූයේ නීත්‍යනුකූල යුදමය ඉලක්‌කයක් සඳහා පහරදුන් අවස්‌ථාවක විශාල ලෙස සිවිල් පුරවැසියන්ගේ ඝාතන සිදුවූවත් එය නීත්‍යනුකූල බවයි. මෙම පුළුල් මතය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තියුණු ලෙස වෙනස් විය. ඒ අනුව වර්තමානයේ ජාත්‍යන්තර ප්‍රජාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය තවදුරටත් පුළුල් කර සන්නද්ධ අරගලයකදී සිදුකළ හැකි සිවිල් පුරවැසියන්ගේ ඝාතනයන් පිළිබඳව සීමා ඉහළ දමා ඇත.
වර්තමානයේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අනුව සන්නද්ධ අරගලයකදී සිදුවිය හැකි සිවිල් වැසියන්ගේ ඝාතන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ කරුණු 03 ක් පදනම් කරගෙනය. එනම්,
01. වෙන්කොට හඳුනා ගැනීම (Distinguish)
02. යුදමය අවශ්‍යතාවයන් (Military necessity)
03. සමානුපාතික භාවය (Proportionality)
යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ සිවිල් වැසියන්ගේ ඝාතනවල නීත්‍යනුකූලභාවය විමසීමේදී ඉඩදෙනු ලබන සමාන්තර හානිය කොපමණද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය වීමක් ලෙස සැලකෙනුයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර ඕනෑකමින් ප්‍රහාර එල්ල කර ඇත්නම් පමණි. (මෙය වෙන් කර හඳුනා ගැනීමේ මූලධර්මය කඩ කිරීමකි) එසේම යුදමය ඉලක්‌කයකට ප්‍රහාරයක් එල්ල කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා සිවිල් වැසියන්ගේ ඝාතනයක් සිදුවිය හැකි බව දනිමින්ම ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් එය ද ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමක් වනු ඇත. (මේ සමානුපාතික පිළිබඳ මූලධර්මය උල්ලංඝනය වීමකි)
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් පත් කළ විශේෂඥ කණ්‌ඩායමේ වාර්තාවට අනුව යුද්ධයේ අවසාන භාගයේදී තුන්ලක්‍ෂ තිස්‌දහසක් පමණ සිවිල් වැසියන් සිරවී සිටි අතර ඔවුන් මිනිස් පළිහක් ලෙස එල්.ටී.ටී.ඊ. ය හා ඉදිරියට එන ශ්‍රී ලංකා හමුදාව අතර රඳවාගෙන සිටින ලදී. 2009 පෙබරවාරි මස සිට එල්.ටී.ටී.ඊ. ය යුද කලාපයෙන් මිදීමට උත්සාහ කරන සිවිල් පුරවැසියන් අමු අමුවේ මරා දමනු ලැබිණි. යුද කලාපයෙන් පිටතදී ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමයි. අප්‍රේල් 03 වැනි සිකුරාදා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සිවිල් වැසියන්ට යුද කලාපයෙන් පිටතට ඒමට ඉඩදෙන ලෙස එල්.ටී.ටී.ඊ.යෙන් ඉල්ලා සිටින ලදී. ඔහු කියා සිටියේ කුඩා ප්‍රදේශයක් තුළ දැඩි ජීවිත හානියකට ලක්‌වීමේ අවදානම් ඇතිව බලෙන් සිවිල් වැසියන් රඳවාගෙන සිටීම ඔහුගේ කම්පාවට හේතු වී තිබෙන බවය. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙසේ සිවිල් වැසියන් විශේෂයෙන්ම දරුවන් බඳවා ගැනීමෙන් හා නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය එල්.ටී.ටී.ඊ.යේ දැඩි සීමාවන්ට නතු කරගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. මේ අනුව රජයේ පරම වගකීම වූයේ බලෙන් අල්ලා ගෙන සිටි මේ වැසියන් මුදා ගැනීමය. ඒ සඳහා සමානුපාතික නීති මූලධර්මයන්ට යටත්ව අවශ්‍ය බලය අවශ්‍ය පමණින් යොදා සතුරා පරාජය කිරීම සිදුකළ හැකිය. ඒ අනුව දෙලක්‍ෂ අනූ හය දහසක් ජනතාව මුදා ගනු ලැබිණි. මාගේ අදහසට අනුව මෙය යුදමය හා මානුෂික අවශ්‍යතාවක් වේ. සටනකදී සිදුවන ඝාතනය බලාපොරොත්තු වන යුදමය ක්‍රියාවලියක් සමානුපාතික නම් එය නීත්‍යනුකූල වේ.
රජය සිවිල් වැසියන්ගේ මරණ ප්‍රමාණය අවම තත්ත්වයකින් පවත්වා ගනිමින් අවශ්‍යතාව වෙන්කොට හඳුනා ගැනීම හා සමානුපාතික භාවයේ මූලධර්ම අනුගමනය කරමින් යුද්ධය නොපමාව අවසන් කිරීමට අවශ්‍ය බව මා තරයේ විශ්වාස කරමි. හැකි සෑම සිවිල් පුරවැසියකු බේරාගැනීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පලා යැම වැළැක්‌වීමත් අත්‍යවශ්‍ය වේ. මක්‌නිසාද යත් එසේ ඔවුන් පලා ගියහොත් ඔවුන්ට ලෝකයේ වෙනත් තැනක එකතු වී ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌තවාදී කටයුතුවල නිරත වීමට අවස්‌ථාව සැලසෙන නිසාය. පිටත සිට රජයකට එරෙහිව ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරතවීමේ සංකල්පයට 2001 දී නිව්යෝර්ක් නගරයේ ද්විත්ව කුලුනුq මත අල්කයිඩා සංවිධානය එල්ල කළ පහරදීම හා ඉන්දියාවේදී රජිව් ගාන්ධි මහතාගේ ඝාතනය කිරීම කදිම නිදසුනක් වේ. මෙම යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපළ හානිය පිළිබඳ කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු වන්නේ එය හුදෙක් සමාන්තර හානියක් බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ යුද අපරාධ සිදුකළ බවට රජයට චෝදනා නැගීම සිදුකළ නොහැක්‌කක් බවයි.
මේ පිළිබඳ හේතු සාධක මගේ තීරණයේ 9 හා 10 වගන්තිවල වැඩිදුරටත් දක්‌වා ඇත. මෙයින් මා අදහස් කරන්නේ තනි පුද්ගලයකු අතරින් යුද අපරාධ සිදුවිය නොහැකි බව නොවේ. නමුත් ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවලට අනුව සිදුවී ඇති සමාන්තර හානි මඟින් යුද අපරාධ සිදුකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් නොතිබුණ බවය. වෙනත් වචනවලින් කිවහොත් රාජ්‍ය අනුග්‍රහයෙන් යුද අපරාධ සිදුකළ බවට කිසිදු සාක්‍ෂියක් නැත.
– Divaina