අහිමි වූ පුංචි අපගේ…. නිජබිම් කරා යන්නට යළිත් අපට ඉඩ දෙන්න – Elephants are in danger

0
901
elephant

උඩවලව ඇත් අතුරු සෙවණට වසර 20ක්‌ පිරීම නිමිත්තෙනි

“පටස්‌” හඬින් පරිසරයයේ නිහැඬියාව බිඳිණි. ඇය ක්‌ලාන්ත වූවාය. සිහිය ලැබ අවට විමසත්ම තම පිරිවර තමන් අතැර දමා ගොසින් ඇති බව අවබෝධ විය. තම කන්පෙති “පටස්‌” හඬින් අගුළු වැටී ඇත. මුව අරා නැඟෙනුයේ සිතිය නොහැකි වේදනාවකි. අපහසුවෙන් සොඬග මුවට ළං කළාය. සොඬ අගට තොල් පෙති, දත් හෝ දිව නොව හසුවනුයේ මහත් වූ විවරයකි. වේදනාව කැටි වූ මුවින් නොනවත්වා රුධිරය වහනය වේ.

මේ ඇතින්න ත්‍රිකුණාමලය – වෙල්ගම්වෙහෙර පූජා භූමිය සමීපයේ තුවාල සහිතව හැසිරේ. ඒ තුවාලය මිනිසුන් තණකොළ ගොල්ලේ තබා තිබූ හක්‌කපටස්‌ වෙඩිල්ලක්‌ මුවේ රුවා ගැනීමෙන් සිදුවූවකි.

මුවේ සිදුවූ දරුණු තුවාලය නිසා වේදනාවටත් අසරණ තත්ත්වයටත් පත්වූ ඈ සතිය, දෙක කුසට ආහාරයක්‌ තබා දිය බිඳකුදු ලබා ගත නොහැකිව පීඩා විඳිමින් පසුවූවාය. ඇය අලි රංචු විසින් අතැර දමනු ලැබ සිටින්නීය. තම කුස තුළ දඟලන සිඟිති පුතු දරුගැබ මෝරා නිසි කල මෙලොවට බිහි කිරීමට වූ නියමය අහෝසි කරමින්, පවත්නා අයහපත් වාතාවරණය හමුවේ කුස තුළ සිටීමට බැරි බව අඟවමින් දඟලයි.

විලි රුජාවෙන් බර වූ ඇතින්න නොකළ යුත්තම කිරීමට පෙළඹුණි. තමනට මේ හදිය සිදුකළේ මිනිස්‌ වෙස්‌ ගත් නොමිනිsසෙකි. නමුත් ඒ නොමිනිසුන් අතරේ මිනිස්‌කම් හඳුනාගත් උතුම් උදවියද සිටිති.

ගස්‌ – වැල් අතරින් පෙරී බේරී එන සඳකැන් එළියෙන් මුළු පරිසරයම බබළයි. ඇතින්න අමාරුවෙන් ගමන් ගත්තේ ත්‍රිකුණාමල, වෙල්ගම්වෙහෙර පූජා භූමිය සමීපයටය. මේ දිරිය මව සියලු බාධක අමතක කර ශක්‌තිය කැටිකර ගෙන මාස 22 ක්‌ පුරා තම කුස තුළ රඳවා ගෙන සිටි සිඟිති පැටවාට උපත ලබා දුන්නාය. තම පැටවාට අවැසි රැකවරණය කාරුණික මිනිසුන්ගෙන් ලැබෙතැයි යන විශ්වාසය ඇය සතු වන්නට ඇත.

අලුත උපන් පැටවා සිව්පා පොළොවේ ගසමින් නැඟී සිට පළමු කිරිවේල භුක්‌ති විඳීමට මවට ළං විය. කිරි බුරුල්ලට තම මුව ළං කර කිරි උරන්නට විය. නමුත් ඒ සිඟිති බඩගින්න නිවීමට හෝ ප්‍රමාණවත් කිරි බිඳකුදු මවගේ ළයෙහි උපදිනුයේ කෙසේද? හක්‌කපටස්‌ අනතුරින් පසුව ගෙවී ගිය සති කිහිපයක්‌ම ඇයට කෑමක්‌ තබා දිය බිඳකුදු නොවීය. මවකගේ තන පුඬු කිරි දියෙන් තොරය. බඩගිනි පුතු කිරි ඉල්ලා හඬයි.

“අසන් මිනිසුනේ ඒ ශෝකී හැඬුම” තම පැටවාට කිරි කඳුළක්‌ පොවා ගත නොහැකිව මවක්‌ විඳින වේදනාව.

බඩගින්න වන සතාටත් මිනිසාටත් පොදු බව එහි ගැබ්වී නොමැතිද? ඉනිදු නොනැවතී යටපත් කිරීමට යත්න දරනුයේ මවු සෙනෙහස අහිමි කළ සිඟිත්තෙකු, මවු සෙනෙහස අවැසිව හඬන හැඬුමක්‌ විනා තම මවට වින කැටිය නොමිනිසුන් හට කළ ශාප කිරීමක්‌ නොවන බව නම් අවධාරණයෙන් මතක්‌ කළ යුතුමය. එනමුත් එකී හඬ ඒ නොමිනිසුන්හට නම් නොඇසුණා විය හැක.

හක්‌කපටස්‌ අනතුරින් මුඛයට තුවාල සිදුවී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මයා ප්‍රමුඛ වනජීවී නිලධාරීන් විසින් ලබා දුන්න ද සිදුව තිබූ තුවාල බරපතළ සහ සුව කළ නොහැකි තත්ත්වයේ පැවතීම නිසා ඇය මියගියාය. දෙනෙතින් ගලා දෙකොපුලේ වියෑළුණු කඳුළු වැල්, කුසට අහරක්‌ පිපාසයට පැන් පොදක්‌ ලබා දෙනු නොහැකිව වෑරුණු සිරුරත්, නිරන්තරවම විවරව වේදනා දෙන මුඛයත් තවදුරටත් විඩා පත් කරනු නොරිසි ඇය, මේ කුරිරු සමාජයට දෙස්‌ දෙවොල් නොකියාම නිහඬවම මෙලොව අතැර ගියාය. තවද එය අරුමයක්‌ නොවන්නේමය. එවැනි වූ වනජීවිත තවත් කෙතරම් නම් නිස්‌කාරණේ මෙදියතින් නිහඬවම සමුගෙන ගියේද?

අවසන් හුස්‌ම වාතලයට මුදාහරින මොහොතේදීත් ඇගේ සිත තම පුතුගේ රැකවරණය පිළිබඳව තැවෙන්නට ඇත. මන්දයත් තම කුසින් මෙලොවට බිහි කළත් මවු සෙනෙහස තබා එක්‌ කිරි බිඳකුදු දීමේ හැකියාව නොමිනිසුන් විසින් මේ මවට අහිමි කර තිබුණි. මියයැමට පෙර තම පුතු මිනිසුන් ඇසුරේ ගැවසෙනුත්, මිනිසුන් විසින් ලබා දෙන කිරි ආහාරයට ගන්නා අයුරුත් අවසන මිනිසුන් එක්‌වී තම පුතු රැගෙන යන අවස්‌ථාවේදී (ඇත් අතුරු සෙවණට) පුතු කෑමොර දෙන අයුරුත් අසා සිටිමින් ඈ ඒ සියල්ලම නිහඬවම විඳ දරා ගත් අතරම ඒ කිසිවකට හෝ එරෙහි නොවූවාය.

මවගේ කිරි අහිමිව කුසගින්නේ පසුවූ පැටවාට පශු වෛද්‍යතුමාගේ උපදෙස්‌ මත කිරි වේල් කිහිපයක්‌ම පැය 02 කට වරක්‌ ලබාදීමට කටයුතු කර ඇත. පැටවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර අවශ්‍ය රැකවරණය ලබා දී ආරක්‍ෂා කර ගැනීමට ඇත් අතුරු සෙවණට යොමුකර ඇත. අනාථව අසරණ තත්ත්වයට පත්වන වනජීවීන්හට, ඉනික්‌බිති ස්‌වකීය නවාතැන්පළ බවට පත් වන්නේ ඇත් අතුරු සෙවණය. තමන් වෙත අහිමි කළ නිජබිමේ අයිතිය යළිත් ලැබෙන තෙක්‌ ඔවුහු තාවකාලිකව එහි ලැගුම් ගනිති.

මෙහිලා පාදක කරගෙන පාඨක ඔබ වෙත සමීප කිරීමට උත්සාහ කර ඇත්තේ හදිසි අනතුරුවලට මුහුණ දී අකාලයේ මියයන වනජීවීන්ගේ, විශේෂයෙන්ම වන අලින්ගේ අසරණ වන කුඩා පැටවුන්ගේ අවිනිශ්චිත වූ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටිනා ඇත් අතුරු සෙවණ නමැති වනජීවී සංරක්‍ෂණ සංකල්පය පිළිබඳව වන පූර්විකාවක්‌ සඳහා වූ ප්‍රවේශයක්‌ පමණි. පෙර සඳහන් කළ ආකාරයේ බෙහෙවින්ම සංවේදී වූ කතාන්දර අපමණවත් වනපෙත් ආශ්‍රිතව නිරන්තරවම සිදුවේ. ස්‌වාභාවික හා මානව ක්‍රියාකාරකම් හමුවේ මවු රැකවරණය අහිමිව අන්ත අසරණ තත්ත්වයට පත්වන වන අලි පැටවුන් නේවාසිකව රඳවා තබා ගෙන උදේ, දිවා, රෑ අඛණ්‌ඩව දියර කිරි ලබා දෙමින් වනාන්තර ජීවිතයට හුරු කරමින් රැක බලා ගැනීම ඇත් අතුරු සෙවණේ මූලිකම කාර්යභාරය වේ. වනඅලි පැටවුන් කිරි වරන සමය සමීපවත්ම ක්‍රමානුකූලව වනපෙතට හුරුකොට, අනතුරුව යළිත් ස්‌වාභාවික පරිසරයට මුදාහැර ස්‌වකීය ජීවිතය සොබා හුරුතාවයෙන් ගත කරනා වන අලි පැටවුන් සියයකට ආසන්න ප්‍රමාණයක්‌ වර්තමානය වන විටදී උඩවලව ඇත් අතුරු සෙවණින් වනාන්තරයන් වෙත මුදාහැර ඇත. එය සැබැවින්ම සතුටට කරුණකි.

ඇත් අතුරු සෙවණෙහි මූලාරම්භය දිවෙන 1995 වසර සම්බන්ධයෙන් වන ප්‍රවේශයේදී පුරෝගාමී මෙහෙවරක්‌ ඉටුකළ එවකට සිටි වනජීවී සෞඛ්‍ය අංශ ප්‍රධානී වෛද්‍ය නන්දන අතපත්තු මහතා මෙකී කාර්යය අරබයා දැරූ අදහස මෙහිලා සටහන් තැබුම, ඇත්අතුරු සෙවණ යනු කුමක්‌දැයි යන්න නිර්වචනය කිරීම හා සම වෙතැයි මම සිතමි.

“1950 දශකයේ අග භාගයේ ලංකාව පුරා විසිර තිබුණු වනාන්තරවල අතරමංවී සිටියදී හමුවූ වන අලි පැටවුන් කිහිප දෙනකු දෙහිවල සත්ත්ව උද්‍යානයට රැගෙනැවිත් අවශ්‍ය රැකවරණය ලබාදීම සිදුවුණා. ඒ ආකාරයට අනාථ වන වන අලින්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා නම් එය ස්‌වාභාවික පරිසර පද්ධතියක්‌ තුළදී සිදුකිරීම හරහා එම සතුන්ට යහපතක්‌ සිදු වන්නේය යන තීරණයට එළැඹුණා. ඔය අතරේ දෙපාර්තමේන්තු ප්‍රතිපත්තිමය තීරණයක්‌ මත 1972 වසරේදී දෙහිවල සත්ත්ව උද්‍යානය භාරයේ සිටි වන අලි පැටවුන් විල්පත්තුව ජාතික උද්‍යානයට රැගෙනැවිත් අවශ්‍ය රැකවරණය ලබා දෙන්න තීරණය කළා. ඔය අතරේ එතැන හිටපු වනඅලි පැටවෙක්‌ රැකවරණයෙන් මිදිලා වනයට පැනලා ගියා. විපරම් කළත් සොයා ගන්න බැරි වුණා. පසුව ආරංචි වුණා කාලයක්‌ ගියායින් පස්‌සේ අර කලින් පැනලා ගිය වනඅලි පැටවා වෙනත් වන අලි රංචුවක්‌ එක්‌ක එකතු වෙලා ඉන්න බව. ඉතින් කලින් අප කා අතරත් තිබුණේ වෙනත් මතයක්‌. වනඅලි අම්මලා අතරේ ගැවසෙමින් මවුගෙන් කිරි උරා බොමින් උස්‌ මහත් වීමට නියමිත පුංචි වුන්ට මිනිස්‌ අතකින් කිරි පොවලා හදන්න පුළුවන්ය කියලා මතයක්‌ තිබුණේ නෑ. නමුත් අහඹු ලෙස සිදු වුණු ඒ සිද්ධිය නිසාවෙන් ඒ මතය වෙනස්‌ වුණා. අනාථ වුණු වන අලි පැටවුන්ට මිනිස්‌ අතින් කිරි පොවලා උස්‌ මහත් කරන්න විතරක්‌ නෙමේ ආපසු නියමිත කාල සීමාවක්‌ තුළදී කැලෑ ජීවිතයටම අනුගත කරන්නට පුළුවන්ය කියන ඇත් අතුරු සෙවණ කියන සංකල්පයේ මුල්ම බිජුවටය ඒ හරහා රෝපණය වුණා.”

එය සැබෑවක්‌ම නොවන්නේද? එකී බිජුවටය මේ දවසදී අතු ඉතිලා මහ වෘක්‍ෂයක්‌ හා සමව වැඩී ඇතිවා නොවන්නේද? විවිධ වූ අනතුරු සහ ආබාධ නිසාවෙන් මවු සෙනෙහස අහිමිව වනාන්තරයේ අතරමංව සරනා වන අලි පැටවුන් එක්‌ ස්‌ථානයකට රැගෙනැවිත් අවශ්‍ය රැකවරණය සහ නිසි පෝෂණය ලබා දීම අරමුණු කරගත් ඇත් අතුරු සෙවණ සංකල්පය යථාර්ථයක්‌ බවට පත් කරමින් මුලින්ම ආරම්භ කරන ලද්දේ 1995 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදාය. ඒ හරහා අනාථ වනඅලි පැටවුන් සංරක්‍ෂණය සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ගත් මෙකී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මුල් කාලීනව පරිසරවේදීන් විරුද්ධ විය. එහිලා ඔවුන් විසින් හේතු වශයෙන් දක්‌වා ඇත්තේ කුඩා වියේ සිටම මිනිස්‌ ඇසුරේ උස්‌ මහත් වන අලි පැටවුන් ඉනික්‌බිතිව වනාන්තරයන් වෙත නිදහස්‌ කිරීම සාර්ථක ක්‍රියාමාර්ගයක්‌ නොවන බවය.

විවිධ වූ බාධා කිරීම් මධ්‍යයේ ආරම්භ කරන ලද ඇත් අතුරු සෙවණට මුලින්ම රැගෙනැවිත් ඇත්තේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මීගලෑව වනගත ප්‍රදේශයේ මවු රැකවරණය අහිමිව අතරමං වූ වනඅලි පැටවෙකි. ඇත්අතුරු සෙවණේ රැකවරණය මධ්‍යයේ වනජීවී කාර්ය මණ්‌ඩලයේ ආදරය හමුවේ කොමලී නමින් උස්‌ මහත් වූ ඈ වනාන්තර ජීවිතයට හුරු වීමෙන් අනතුරුව ස්‌වකීය පැවැත්ම තනිවම ගෙන යැමට හැකි වයස්‌ සීමාවට ළඟා වූ වහාම වනාන්තරයට නිදහස්‌ කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. එසේම මේ අයුරින් රැකවරණය ලබා අනතුරුව වනාන්තරයට නිදහස්‌ වූ වන අලි පැටවුන් අතුරින් සෙසු වනඅලි රංචු හා සමග මුහු වීමෙන් අනතුරුව මවු පදවිය ලබා ඇති වනඅලි අම්මලා ගණන දහතුනකට ආසන්න වේ. 2000 වසරේදී වනයට මුදාහළ සඳමාලි, උඩවලව වනපෙතේ සැරිසැරූ හස්‌තිරාජයකුට දාව බිහිකළ බිලිsඳු ගජි¹ ඇත් අතුරු සෙවණ බිහි වූදා සිට එතෙක්‌ සපැමිණි ගමනේදී ලැබූ අනගි ජයග්‍රහණයක්‌ හා සම වන්නේමය. එලෙසින් මුදාහළ වනඅලි ගැහැනු සතුන් ඇසුරේ බිහි වූ වනඅලි පැටවුන් සංඛ්‍යාව පහළොවකට ආසන්න වේ.

අනාථ වන, වන අලි පැටවුන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙමින් රටේ අනාගත වනඅලි පරම්පරාවේ යහපැවැත්ම සඳහා ඇත් අතුරු සෙවණින් ලැබෙන දායකත්වය එබඳුය. එයම ඇත් අතුරු සෙවණේ ආරම්භයේදී එය අසාර්ථක ප්‍රයත්නයක්‌ බවට ඉඟි කරමින් මුසා බස්‌ දෙඩූවන්ගේ මුඛය සොබාදහම විසින් ලොප් කිරීමක්‌ හා සම නොවන්නේද? තවද සීමිත වූ සම්පත් සහ ශ්‍රම දායකත්වයක්‌ යොදා ගනිමින් අවතැන් වන වන අලි සම්පතේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් පුරා විසිහතර පැයම වෙහෙසෙන ලොව සාර්ථකම සංරක්‍ෂණ සංකල්පය උඩවලව ඇත්අතුරු සෙවණ බව නිතර වන ක්‍රියාකාරකම් හරහා ලොවට පෙන්වා හමාරය.

ඇත්අතුරු සෙවණේ රැකවරණය ලැබ උස්‌ මහත් වී වනාන්තර ජීවිතයට නිදහස ලබනා වන අලි පැටවුන් වනයට මුදාහැරීමෙන් පසුවද ඔවුන්ගේ ගෙල බැඳ ඇති රේඩියෝ සංඥ නිකුත් කරනා කර පටිය හරහා ඔවුන් ගැවසෙන ප්‍රදේශයන් පිළිබඳව නිරන්තර පසු විපරම් කටයුතු උඩවලව ඇත් අතුරු සෙවණ කාර්ය මණ්‌ඩලය විසින් සිදුකරනු ලබයි. එනම් එම සතුන් පරිසරයට අනුගත වන අයුරු පිළිබඳව වාර්තා සටහන් තබා ගැනුම හරහා ඇත්අතුරු සෙවණේ නේවාසික වන අලි පැටවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා භාවිත කළ යුතු ක්‍රමෝපායන් පිළිබඳව තීන්දු තීරණ ගනු ඇත.

නිදහස්‌ කළ වන අලි පැටවුන් පිළිබඳ විස්‌තරයන්

* 1998 වසර උඩවලව ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 04

* 2000 වසර උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 05

* 2002 වසර උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 08

* 2003 වසර – උඩවලව ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 11

* 2004 වසර උඩවලව ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 11

* 2006 වසර – උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 09

* 2007 වසර උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 10

* 2008 වසර උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 07

* 2010 වසර – ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 04

* 2010 වසර – මාදුරුඔය ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 04

* 2011 වසර – උඩවලව ජාතික උද්‍යානය – වන අලි පැටවුන් සංඛ්‍යාව 04

* 2012 වසර – මාදුරුඔය ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 05

* 2012 වසර – කුමන ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 04

* 2015 වසර – උඩවලව ජාතික උද්‍යානය – වනඅලි පැටවුන් සංඛ්‍යාව 10

ඉඳින් වසර විස්‌සකුත් ඉකුත්ව ගොස්‌ ඉනික්‌බිති විසි එක්‌ වැනි වසරට පා ඔසවන උඩවලව ඇත් අතුරු සෙවණ නිහඬවම නමුත් ඉටු කරනුයේ අනඟි මෙහෙවරක්‌ නොවන්නේද? සැබැවින්ම විය යුතු වන්නේද එයම වේ. මන්ද යත් මහා පරිමාණයෙන් ප්‍රචාරයන් සිදුකරමින් ආරම්භ වන සහ ඉටු වන කාර්යයන් වනාහි නිස්‌කාරණයේ කාලය මෙන්ම ශ්‍රමයත් නිසි ප්‍රයෝජනයේ වැය කිරීමක්‌ බව නොකිව මනාවේ. එබැවින් අදත්, හෙටත්, මතුවටත් නිහඬ වනජීවීන්ගේ සැබෑ හඬ නියෝජනය කරනා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රමය සහ දැඩි කැපවීම හමුවේ අනාථ අසරණ වන අලින් හා සෙසු වනජීවීනුත් වෙනුවෙන් ස්‌වකීය කාර්යභාරය නොපිරිහෙළා ඉටුකරනු ඇත. ඇත්අතුරු සෙවණ ඉනික්‌බිති සත් අතුරු සෙවණක්‌ වනවා නොඅනුමානය. වර්තමානය වන විටදීත් උඩවලව ඇත්අතුරු සෙවණේ වන අලි පැටවුන් හතළිස්‌ හතරකට ආසන්න ප්‍රමාණයක්‌ නේවාසිකව රැකවරණය ලබති. ඒ මතු දිනෙක යළිත් නිදහස්‌ වනපෙතේ ජීවත් වීමට අවැසි තෙක්‌ උස්‌ මහත්වනතුරු පමණි. නොයෙකුත් හේතූන් මත අනාථව අසරණ වුවත් ජීවත් වීමේ අයිතිය ඔවුන් සතුය. වනජීවීන් සතු එකී අයිතිය උදුරා ගැනීමට මනුසතුන් වන අපි කිසි ලෙසකින්වත් නොසිතිය යුතුය. මන්ද යත් සමස්‌ත පරිසරයේම තීන්දු තීරණ ගනු ලබනුයේ අප සැමගේම නිර්මාතෘ වන සොබාදහම විසිනි. එබැවින් මනුසතුන් වශයෙන් අපි අපට හැකි දෙය උපරිමයෙන් – වනසතුන් වෙනුවෙන් ඉටුකිරීමට නිරන්තරවම වෙහෙසෙමු. උඩවලව ඇත්අතුරු සෙවණ නිහඬවම අපට පවසනා කතාන්දරය එබඳුය. මාපිය සෙනෙහස අහිමිව අසරණ වූ පැටවුන්ගේ පෝෂණය උදෙසා හැකි පමණින් දායකත්වයක්‌ ලබාදීමට ඔබටත් අවශ්‍ය නම් උඩවලව ඇත් අතුරු සෙවණ තුළ ක්‍රියාත්මක කොට ඇති මාපිය කැපකරු ක්‍රමය ඔස්‌සේ ඒ සඳහා දායක විය හැකිය.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික – වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

– Divaina