ශිෂ්‍යාවන්ගේ ඔළු පලන පොලීසියේ අවම බලය – Police put powers on demonstrators

0
758
police-students

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියකුටම සාමකාමීව රැස්වීමේ නිදහස ද, සමාගමයේ නිදහසට ද ඇති අයිතිය සුරක්ෂිත කර දී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියකුටම සාමකාමී ලෙස රැස්වීමේ අයිතිය සුරක්ෂිත කර දී ඇත්තේ පුරවැසියන්ගේ අනෙකුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් එකතුවී සාකච්ඡා කරගැනීමටත්, එකී අයිතීන් දිනාගැනීමට පෙළඹවීමත් උදෙසාමය. පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨාමාලා ශිෂ්‍ය එකමුතුව සාමකාමී ලෙස එකතු වූයේ තම සාධාරණ අයිතීන් දිනාගැනීම වෙනුවෙනි. ඔවුන් පාරට බැස්සේ පවතින ආණ්ඩුව පෙරළීමට හෝ ‍පොලීසියේ බලය අත්පත් කරගැනීමට නොවේ. තමන්ගේ ඩිප්ලෝමාවට උපාධියක වටිනාකම දෙන්නැයි ඉල්ලමිනි. එහෙත් අවසානයේ ඒ අහිංසක දෙමවුපියන්ට සිදු වූයේ ඔළුව පලාගෙන සිටි තම දරුවන් බැලීමට රෝහලට එන්නටය. එහෙත් ‍පොලීසිය කියන්නේ තමන් මෙම උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා අවම බලය පාවිච්චි කළ බවය.

අවම බලය යනු කුමක්ද?

මා දන්නා තරමට ලෝකයේ කිසිදු රටක අවම බලය යන්නට නිශ්චිත නිර්වචනයක් දී නැත. මේ වන විට ලෝකයේ සෑම දියුණු රටකම භාවිතා කරනු ලබන්නේ අවම බලය  නොව “අවශ්‍ය බලය” යන වචනය වේ. එනම් රටක පුරවැසියන්ගේ ජීවිත හෝ දේපළ ආරක්ෂා කිරීම සඳහා යම් කැරැල්ලක්, අරගලයක් හෝ යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් පාලනය කිරීමට හැකි වන පරිදි බලය යෙදීම අවශ්‍ය බලය යෙදීම වේ.

උදාහරණයක් ලෙස ගතහොත් ‍පොලිස් නිලධාරියකු යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එකී සැකකරු ‍පොලිස් නිලධාරියාට පා පහරක් එල්ල කරන්නේ නම් ඔහුට වෙඩි තබා මරා දැමීම අවශ්‍ය බලය නොවේ. එවැනි අවස්ථාවකදී මනා හික්මීමක් හා මනා සංවරයක් පුරුදු පුහුණු කළ ‍පොලිස් නිලධාරීන් කළ යුත්තේ නොහික්මුණු අපරාධකරුවකු හැසිරෙන ආකාරයට මෙන් තමා එකී සැකකරුට වෙඩි තබා මරා දැමීම නොවේ. මාංචු දමා ඔහු අත්අඩංගුවට ගැනීමය. එසේම ‍පොලීසිය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු පැන දුවන්නේ නම් එකී සැකකරුගේ හිසට වෙඩි පහරක් එල්ල කර ඔහු මරා දමා අප අවශ්‍ය බලය යෙදුවා යැයි කියමින් එය සාධාරණීකරණය කිරීමට ‍පොලීසියට නොහැක. අපරාධකරුවන් හෝ යම් වරදකට සැකකරන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මනා පළපුරුද්දක් ඇති ‍පොලිස් නිලධාරීන් කළ යුත්තේ පැන දුවන සැකකරු ලුහු බැඳ ගොස් උහුව අත්අඩංගුවට ගැනීමය. එසේ පැනදුවන යම් සැකකරුවකු ‍පොලිස් නිලධාරියකුට ඒ අවස්ථාවේ සොයාගන්නා මුගුරකින් පහර දෙන්නට හදන්නේ නම් එම සැකකරුට වෙඩි තබා මරා දැමීම ‍පොලීසිය විසින් අවශ්‍ය බලය යෙදීමක් නොවේ. ඒ අවස්ථාවේදීද ‍පොලීසිය කළ යුත්තේ සැකකරු එල්ල කිරීමට යන මුගුරු පහරින් බේරීම සඳහා එනම් තම ආත්ම ආරක්ෂාව සඳහා වන ඒ හා සමාන ආයුධයක් පාවිච්චි කරමින් ඒ හා සමාන බලයක් යෙදවීමයි. එසේම යම් ‍පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවකු අත ගිනි අවියක් තිබෙන්නේ නම් එම සැකකරු දුවන ගමන් එකී ගිනි අවියෙන් ‍පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට හදන්නේ නම් ‍පොලීසිය එවිට එකී පුද්ගලයාගේ හිසට වෙඩි තබා මරා දැමීම අවශ්‍ය බලය යෙදීමක් නොවේ. ඒ සම්බන්ධයෙන් අප රටේ තීන්දු වූ වන්නකු තිසාහාමි නඩුවේදී අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ යම් සැකකරුවකුට වෙඩි තබා ඔහු මරණයට පත්කිරීම අවම බලය නොවන බවත් ‍පොලිස් නිලධාරීන් කළ යුත්තේ ඔහුගේ කකුල් දෙකෙන් පහළට වෙඩි තබා අදාළ අනතුරින් බේරීම බවත්ය.

පසුගිය 29 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට එක්රැස්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයිතීන් උදෙසා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීමට පැමිණීම හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණ හඬක් නැඟීම දණ්ඩ නීති සංග්‍රහ පනතේ 138 වගන්තිය යටතට වැටෙන නීති විරෝධී රැස්වීමක් නොවේ. ඇතැම් විට එවැනි රැස්වීමක් තිබෙන විට එකී රැස්වීම පවත්වන ස්ථානයේ ඇති ‍පොදු මාර්ග පාවිච්චි කරන පුරවැසියන්ට අවහිරයක් විය හැකි නමුත්, එකී අවහිර වීම මතම එවැනි රැස්වීමක් නීති විරෝධි රැස්වීමක් යැයි අර්ථ නිරූපණය කිරීම සාධාරණ නොවේ. රටක ‍පොලීසියක යුතුකම හා වගකීම වන්නේ තම අයිතීන් වෙනුවෙන් සටන් කරන නැතහොත් හඬක් නඟන පුරවැසියන්ගේ හෝ සිසුන්ගේ ඔළු පලා මහා කලබගෑනියක් ඇති කිරීම නොව යම් රැස්වීමක් නිසා මහජනයාට අවහිරතාවක් වේ නම්, එම අවහිරය මඟහරවා අදාළ පාර්ශ්වය සමග සාකච්ඡා කර මහජනයාට සිදුවන අවහිරය අවම කිරීම වේ. මහජනතාවට යම් අවහිරතාවක් වන පමණින්ම එකී රැස්වීම නීති විරෝධි රැස්වීමක වන්නේ නම් මැයි දිනය දා විවිධ දේශපාලන පක්ෂවලින් යන දේශපාලන පෙළපාළිද නීති විරෝධි රැස්වීම් වේ. නැතහොත් යම් ආගමික පෙරහරක් හෝ අවමංගල්‍ය උත්සවයක් ද නීති විරෝධී රැස්වීමක් ලෙස දැක්විය හැක.

සාමාන්‍යයෙන් ‍පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ සිසුන්ගේ ඔළු පැලීම හෝ ඇස්ගෙඩි එළියට එනතුරු පහරදීම අවශ්‍ය බලය යෙදීමක් නොවේ. එය උපරිම බලය යෙදීමක් වේ. රතුපස්වලදී බිමට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයන් මරා දැමීමද තම කම්කරු අයිතීන් වෙනුවෙන් හඬක් නැඟූ රොෂේන් චානක මරා දැමීමද උපරිම බලය යෙදීමක් වේ. පසුගිය 29වන දින ‍පොලීසිය විසින් ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දෙන ආකාරය අප මාධ්‍ය හරහා දුටුවෙමු. සාමාන්‍යයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාන්තා ‍පොලිස් නිලධාරිනියක් සිටීම අත්‍යවශ්‍ය වේ. කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා කාන්තා ‍පොලිස් නිලධාරිනියක් එම ස්ථානයේ සිටින වග අප දුටුවේ නැත. සැබැවින්ම යම් උද්ඝෝෂණයක් හෝ යම් පුද්ගලයින්ගේ රැස්වීමක් නීති විරෝධී වුවද ‍පොලීසියට යෙදවිය හැක්කේ එකී රැස්වීම විසුරුවා හැරීමට අවශ්‍ය වන ප්‍රමාණයේ බලයක් පමණි.

ලෝකයේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ට සිදුවන අසාධාරණය සෘජුව ප්‍රකාශ කර සිටීමටත් ඒ අසාධාරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය ඒ රටවල නීතිය තුළින්ම පිළිගෙන ඇත. ‍පොලීසියේ රාජකාරිය වන්නේ පුරවැසියන්ට ඒ සඳහා අවශ්‍ය කරන අවශ්‍යතා සපුරාලීම විනා අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමී ලෙස රැස්වෙන පුරවැසියන්ගේ ඔළුගෙඩි පැලීම නොවේ. එහෙත් යම් රැස්වීමක් නිසා මහජන සාමයට හානි සිදුවේ නම්, මහජනතාවගේ ජීවිතවලට සහ දේපළවලට හානි සිදුවේ නම්, එකී නීති විරෝධී රැස්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තියට වැටෙන්නේ නම් පමණක්, අවශ්‍ය බලය ද අත්‍යවශ්‍ය වන්නේ නම් පමණක් යෙදවිය හැක. එකී බලය යෙදවීමට පෙර අදාළ පාර්ශ්වයන් සාමකාමී ලෙස අදාළ ප්‍රශ්නය විසඳා ගැනීමට උනන්දු කිරීමත්, අදාළ පාර්ශ්වයන්ට අවවාද කිරීමත් කළ යුතුය. ඒ කිසිදු ක්‍රමයකින් අදාළ නීතිවිරෝධී රැස්වීම විසුරුවා හැරීමට නොහැකි නම් ‍පොලීසියට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය බලය යොදා එම රැස්වීම විසුරුවා හැරීමට හැකිය. එසේම අදාළ නීති විරෝධී රැස්වීම නතර කර විසිරී යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පන්න පන්නා ‍පොලු පහර දෙන අයුරු ද අප දුටුවෙමු. එයද බරපතළ ලෙස රටේ නීතිය උල්ලංඝනය කිරීමක් වේ.
යම් නීති විරෝධි රැස්වීමක් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ‍පොලීසිය ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අංක ඒ 19 දරන ‍පොලිස් දෙපාර්තමේන්තු නියෝගවල  වන කොටසේ ‍පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති උපදේශයන් එම දෙපර්තමේන්තු නියෝගයෙන් උපුටාගෙන මෙහි සටහන් කරමි.

සෙනග එකතුවීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු පිළිවෙළ

(1) සන්සුන් පිරිසක් විසුරුවා යවන්නට ඇති හොඳම පිළිවෙළ නම් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම වේ. ආචාරශීලීව එහෙත් බුරුලක් නොදක්වා ඔවුන් සමග කතා කරන්න. ප්‍රසන්න අන්දමින් ඔවුන් නම්මවා ගන්න. කරුණු තේරුම් කර දෙන්න. කිසිසේත්ම ඉක්මන් කරවීමට උත්සාහ නොකරන්න. ඔබ කී දේ තේරුම් ගන්නට ඔවුන්ට කල් දෙන්න. ඔවුන් එකෙනෙහිම ඔබේ ඉල්ලීම අනුව ක්‍රියා නොකරතොත් ඒ මෝඩකම නිසා හෝ නායකත්වයක් නැතිකම නිසා බව අවසාන වශයෙන් මතක් කරන්න. සන්සුන් පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මිත්‍ර ලීලාවෙන් තොරව සොපාහාසව කථා කිරීමෙන් වළකින්න. සටන්කාමී ස්වභාවයක් හෝ උද්ධත ගතියක් නොදක්වන්න.
(2) මෙම උපක්‍රම ව්‍යර්ථව, පිරිසට බලය පාවිච්චි කිරීමට ‍පොලීසියට අවශ්‍ය වුවහොත් යෙදිය යුතු හොඳම උපක්‍රමය නම් පාරේ මුළු පළලට පෙල සෑදී අතිනත් අල්ලා ගැනීමයි. මෙහිදී “අත්පහුර” සෑදිය යුතුය. එනම් එකකු තමන් ළඟම සිටින අනිකාගේ අත මැණික් කටුව ළඟින් අල්ලා ගැනීමයි. අනතුරුව සෙනඟ එහා මෙහා කරන්නේ කුමක් නිසාද යනු ඔවුන්ට පහදා දෙමින් ඒ ගමන්ම ඔවුන් නම්මා ගන්නා අයුරු දිගටම කතා කරමින් මේ ‍පොලිස් භට පේලිය සෙමින් පෙළ නොකඩවා ඉදිරියට පිය නැඟිය යුතුය.අතරෙන් පැන යන්නකු ඇතොත් ඒ ගැන බලාගන්නට පේළියට පස්සෙන් අමතරව භටයන් දෙතුන් දෙනකු සිටීම ප්‍රයෝජනවත් වේ.

පිරිසේ ඉදිරියෙන් සිටින අය පස්සට යන්නට ඉතාම කැමති බවත්, බොහෝ විට පිටිපසින් සිටින අයගේ තෙරපීමෙන් ඔවුන්ට එසේ කිරීමට නුපුළුවන් වන බවත් ‍පොලීසිය මතක තබා ගත යුතුය. එවැනි අවස්ථාවකදී ඉස්සරහින් සිටින අයගේ හිසට උඩින් කතා කර පිටිපසින් සිටින අයට පස්සට යන්නට සැලැස්වීම අවශ්‍යය. ‍පොලිස් නිලධාරීන් එක් කෙනෙකු දෙන්නකු පිරිස පිටුපසට වැදී තෙරපිල්ල අඩු කරන්නට උදවුවීම අවශ්‍ය විය හැකිය. එහෙත් එසේ කිරීමේදී හැකිතාක් අඩුවෙන් බලය පාවිච්චි කිරීමටත් පිරිසේ යම් යම් අය තරහ කරගැනීමෙන් වැළකීමටත් ඔවුන් සැලකිලිමත් විය යුතුය.

(3) ‍පොලීසිය තමන් අදහස් කළ පරිදි අවශ්‍ය තැනකට සෙනග ඉවත් කර ගත් පසු පුළුවන් අවස්ථාවල ඉදිරියෙන් සිටින අයට ඉඳගන්නට කිව යුතුය. පෙරහර, පෙළපාලි ආදිය ගමන් ගත් මාර්ගවල මෙසේ කරන්නට සැලැස්වුවහොත් ‍පොලීසියට අයත් කාර්යය බොහෝ දුරට පහසු වන්නේය.
(බි) අනිසි ලෙස හැසිරෙන කළහකාරී පිරිස් (1) නිසි පාලනයක් ඇති විනය සම්පන්න ‍පොලිස් කණ්ඩායමක් පැමිණි පමණින් බොහෝ විට අනිසි ලෙස හැසිරෙන පිරිසත් සන්සුන් වන බවත්, එහෙයින් බලය පාවිච්චි කිරීම අනවශ්‍ය බවත් පළපුරුද්දෙන් පෙනී ගොස් තිබේ. කර ඇති වරදකට පිරිසකට දඬුවම් නොකළ යුතු බවත්, බලය පාවිච්චි කළ හැක්කේ වරද සිදුකෙරෙන අවස්ථාවේ බවත් නිතරම දැන සිටිය යුතුය.

එසේම පසුගිය කාලයේ ‍පොලීසිය විසින් විවිධ පාර්ශ්වයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් ඒකරාශීවීම වැළැක්වීම උදෙසා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98 වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාගත් බොහෝ අවස්ථා අප දුටුවෙමු. එසේ නියෝග ලබාගෙන ඇත්තේ පුරවැසියන් විසින් අදාළ සාමකාමී ඒකරාශීවීම සිදුකර මහජන සාමයට බලපෑමක් ඇතිවීටත් පෙරය. යම් නීති විරෝධි රැස්වීමක් විසුරුවා හැරීමට නියෝග කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 95(1) වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයකුට අධිකරණ බලය ඇත. එහෙත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98(1) වගන්තිය ප්‍රකාරව, රටේ පුරවැසියන් පිරිසක් තම අයිතීන් වෙනුවෙන් සාමකාමීව එක්රැස්වීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් ලබාදීමට නොහැක.

යම් පිරිසක් තම අයිතීන් වෙනුවෙන් සාමකාමීව එක්රැස්වීම, මහජන පීඩාවක් ඇතිවේ යැයි පූර්ව වශයෙන් නිගමනය කරන්නට ‍පොලීසියට දිවැස් නැත. රටක වගකිව යුතු ‍පොලීසියක් කළ යුත්තේ ඒ රටේ පුරවැසියන්ගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම සඳහා අධිකරණය නොමග යවමින් නියෝග ලබාගැනීම නොව, පුරවැසි කණ්ඩායමක් ඒකරාශී වීම තුළින් මහජන සාමයට තර්ජනයක් හෝ පීඩාවක් ඇති වේ යැයි සාධාරණ ලෙස නිගමනයකට එනු ලබන අවස්ථාවක එකී පීඩාව මැඩ පැවැත්වීම සඳහා හෝ අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමය. එසේ නොමැතිව අධිකරණය නොමඟ යවමින් නියෝග ලබා ගෙන සාමකාමී උද්ඝෝෂණ නතර කිරීම තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකයටම පුරසාරම්  දොඩන රටකට ගැළපෙන්නේ නැත. රටක පුරවැසියන් තම අයිතීන් වෙනුවෙන් සාමකාමීව ඒකරාශීවීම පෙළපාළි යාම විරෝධතා ව්‍යාපාරවල නිරතවීම ‍පොලීසිය විසින් අයුතු ලෙස යටපත් කිරීම තුළින් සිදුවන්නේ එකී අයිතීන්වලට සැබෑ අරුතක් නොමැති බව පසක් කිරීමත් ඒ සියලු අයිතීන් ‍පොතකට පමණක් සීමා වූ අයිතිවාසිකම් බව තහවුරු කිරීමත්ය.

ඉතිහාසය පුරා විවිධ පුද්ගලයින් සිදුකරන ලද අරගලවල ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට අප අයිතිවාසිකම් ගණනාවකට උරුමකම් කියන පුද්ගලයින් ලෙස ජීවත්වෙමු. බලය සහ අවි ආයුධ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මූලිකච මූලධර්මවල 13වන වගන්තියේ දක්වා ඇත්තේ සාමකාමී ලෙස සිදුකරන රැස්වීම නතර කිරීම සඳහා බලය භාවිතා කිරීම සපුරාම තහනමු කළ යුතු බවයි. එසේම එම මූලධර්මවල 14වන වගන්තියේ දක්වා ඇත්තේ මහජනතාවට හිංසා ගෙන දෙන හිංසාකාරී නීති විරෝධී රැස්වීම් සඳහා ආයුධ භාවිත කළ හැක්කේ ඊට වඩා අඩු බලයක් යෙදීමෙන් එකී රැස්වීම විසුරුවා හැරීමට නොහැකි නම් සහ එකී රැස්වීම විසුරුවා හැරීමේ ප්‍රමාණයට පමණකි. ජාත්‍යන්තර ප්‍රජාව අභියස මානව අයිතිවාසිකම් සුරකින රටක් ලෙස පෙනී සිටින අප රටේ කාලයක සිට සිදුවෙමින් පවතින ‍පොලිස් පහරදීම් දෙස බලන කල ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නේ අප ජාත්‍යන්තරය අභිමුවේ අපගේ ගෝත්‍රික තත්ත්වය ප්‍රදර්ශනය කරමින් සිටින බවය. යුද සමයේ වූවා යැයි කියන ඇතැම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්යෙන් අප මුහුණ දෙමින් පවතින තත්ත්වයන්ට 29වන දා විශ්වවිද්‍යාල සිසුන්ට ‍පොලීසිය කරන ලද පහරදීම කළු පැල්ලමක් එකතු කිරීමක් බව සටහන් කළ යුතුය.

 නීතිඥ දර්ශන කුරුප්පු
– Lakbima