අපට අද මේ රටේ විශ්වාස වන්තම පරිසර ඇමැතිවරයකු සිටියි. හේ අපට විශ්වාසවන්ත වන්නේ පරිසරය පිළිබඳ ඔහුට මනා දැනුමක් ඇති නිසාම නොවේ. පරිසරය හා පරිසර සංරක්‍ෂණය ගැන ඔහු වඩ වඩා කතා කරන නිසාද නොවේ. ඔහු අපට විශ්වාස වන්නේ පරිසර සංරක්‍ෂණය යථාර්ථයක් බවට පත් කළ හැකි අවශ්‍ය අධිකාරී බලයද ඇමැතිකම ද දෙකම ඔහු සතු නිසාය. කොටින්ම කිවහොත් ඔහු අපේ රාජ්‍ය නායකයා නිසාය.
මේ අයුරින් රටේ ජනාධිපති පරිසර ඇමැතිම වූ විට පරිසරය ගැන විචිකිච්ඡාවක් රටේ ජනතාවට ඇති නොවන්නේ, අන් ඇමැතිවරයන්ට වඩා ජනාධිපති තම විෂයය ගැන වැඩි උනන්දුවකින් හා උවමනාවකින් කටයුතු කරනු ඇති බවට ජනතාව තුළ තිබෙන බලවත් විශ්වාසය නිසාය. ඒ විශ්වාසය පිළිබඳ උරගා බලන්නට අවස්‌ථාවක් මේ ටික කල තුළ නොලැබීමද විශේෂත්වයක් ගනී.
එහෙත් පසුගිය සතියේ අපේ මුදල් අමාත්‍ය රවි කරුණානායක 2016 සඳහා වන අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිsපත් කිරීමත් සමගම පරිසරය පිළිබඳව අලුත් ප්‍රශ්න ගණනාවක් මතු විය.
විශේෂයෙන්ම පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් පරිසර ඇමැතිවරයා ද වන මේ රටේ රාජ්‍ය නායකයා තුළ තිබෙන දර්ශනයත් අයවැය යෝජනාත් අතර විශාල පරස්‌පරයක් ඇති බවට සැකයක් රටේ ජනතාව තුළ පහළ විය.
මෙබඳු සැකයක් පහළ වන්නට හේතු ගණනාවක් ම අයවැය යෝජනා තුළ තිබිණි. පළමුවැන්න වාහන දුම් පරීක්‍ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ගෙනැවිත් තිබෙන අයවැය යෝජනාවය. දෙවැන්න පරිසර හිතකාමී වාහන ලෙස රටේ ලෝකේa කොයි කවුරුත් පිළිගන්නා වාහන භාවිතය අධෛර්යයට පත්වන ලෙස රජය ගෙනැවිත් තිබෙන අයවැය යෝජනාය. තෙවැන්න ලංගම වාහන හා රජයේ වාහන සම්බන්ධයෙන් රජයේ ඇති ස්‌ථාවරයයි.
අපට මතක අයුරින් මේ රටේ දුම් පරීක්‍ෂාව කියා “බිස්‌නස් එකක්” මුළින්ම පටන් ගත්තේ අමාත්‍ය චම්පික රණවක පරිසර ඇමැතිවරයාව සිටින කාලයේය. අරමුණ හොඳය. වාහන දුම නිසා රථ වාහන තදබදයෙන් පීඩිත අපේ රටේ නාගරික මංමාවත්වල නහය කට ඇරගෙන යන්න බැරි ප්‍රශ්නයට ඉන් විසඳුමක් ලැබේ යෑයි බොහෝ අය සිතූහ. වාහනයක් වසරක් පාසා දුම් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් එම වාහනයෙන් පරිසරයට අහිතකර විෂ සහිත දුම් වර්ග නිකුත් වෙතැයි ද නැද්ද තීන්දු කළ හැකිය. විෂ දුම් සහිත වාහන නැවත අලුත්වැඩියා කර නියමිත ප්‍රමිතියට එනතුරු සාදාගත යුතුය.
මේ තුළින් ලංකාවේ සුප්‍රකට සමාගම් දෙකක් ව්‍යාපාර කටයුතු පාදාගත්හ. දුම් පරීක්‍ෂාවට වාහනකරුවෝ ගෙවන මුදලින් ලොකු කොටසක් ඒ ව්‍යාපාරිකයෝ ලබා ගත්හ. එක්‌තරා කොටසක් රජයටද ලැබිණි. මේ ව්‍යාපාරිකයන් හා ඇමැති චම්පික රණවකගේ තිබුණ සම්බන්ධය කුමක්‌දැයි අපි නොදනිමු. එහෙත් ඒ ගැන නොයෙකුත් අය නොයෙකුත් කතා කීවත් කිසිවකු එය වැඩි ගණනකට නොගත්තේ වාහනවලින් පිටවන විෂ දුම වැළකීම පරිසරයට මිල කළ නොහැකි තරමේ ආයෝජනයක් යෑයි සිතූ නිසාය.
කල් යැමේදී මෙම වාහන දුම් පරීක්‍ෂාව රජයේ වාහනවලට ද ලංගමයේ බස් රථවලටද බලපානු ඇතැයි සමහරු විශ්වාස කළත් රජය කිසිවිටකත් එබදු පියවරකට ගියේ නැත. ජනතාවට ප්‍රශ්න මතු වන්නට පටන් ගත්තේ එතැන් සිටය. කර්මාන්තශාලාවකින් පිට කරන දුම්බටවලින් මෙන් පාරට කළු දුම් වළාකුළු අත හරිමින් පළාතම ගඳ ගස්‌සවමින් පාරේ ඒ මේ අත දුවන ලංගම බස් රථ තවමත් එහෙමමය. රජයේ වාහන තවමත් එහෙමය. මේවායෙන් පිටවන්නේ පරිසරය අපවිත්‍ර කරන දුම් වලාකුළු නොවේදැයි යන ප්‍රශ්නය අද මුළු රටම මේ බලධාරීන්ගේ පපුව හූරා අසා දැන ගත යුතුය.
අප විශ්වාසවන්ත පරිසර ඇමැති ද වන රාජ්‍ය නායකයාට තවමත් මේ පරස්‌පරය නොපෙනීම හෝ නොදැනීම ද පුදුමයට කාරණාවකි. වැඩේ පටන් ගත් ඇමැති චම්පික රණවකට ද රටේ දූෂණ හැම දෙයක්‌ම පෙනේ. මේ කාරණාව නම් නොපෙනේ.
සත්තකින්ම මෙහි යථාවබෝධය ජනතාවට දැනෙන්නට වූයේ පසුගිය දිනවල බළලා මල්ලෙන් එළියට අත හැරි අයවැය යෝජනාත් සමඟ ය. දුම් පරීක්‍ෂාව සැබැවින්ම හොඳ පරිසර සංරක්‍ෂණ ක්‍රියාන්විතයක් නොව, එය රජයේ හුදු ආදායම් මාර්ගයක් ම පමණක් බව මින් පැහැදිලි විය. නිකන්ම නිකන් ආදායම් මාර්ගයක් නොව, ජනතාවගෙන් ගසා කන ආදායම් මාර්ගයක් බව පැහැදිලිය.
ඒ ගැන මීටත් වඩා කවර නම් කතා ද, ගොයම් කන්නේ වැටත් නියරත් නම් ඒ ගැන අහන්නේ කවරකුගෙන් ද …
අපේ විශ්වාසවන්ත පරිසර ඇමැති ද වන රාජ්‍ය නායකයාගේ පරිසර සංරක්‍ෂණ ප්‍රතිපත්ති හා යහපාලන ආණ්‌ඩුවේ අයවැය අතර ඇති ලොකුම පරස්‌පරය අපට හමුවන්නේ පරිසර හිතකාමී වාහනවලට නියම කළ බද්ද නිසාය.
දුම් සහතික ගත යුත්තේ වාහනවලින් පිටවන “විෂ දුම්” ප්‍රශ්නය විසඳීමටය. විෂ දුම පිටවීම වැළැක්‌වීමටය. වාහනවලින්a කාබන්, කාබන් මොනොක්‌සයිඩ්, ඊයම් බඳු බැර ලෝහ සහිත ශරීරයට අහිතකර ද්‍රව්‍ය අංශු හා වායු කදම්භ නිකුත් වීම සාමාන්‍ය කරුණකි. එය සිදුවන්නේ පොසිල ඉන්ධන දහනය නිසාය.
එසේ නම් පොසිල ඉන්ධන දහනය කිරීමෙන් ධාවනය වන වාහන සියල්ල කොහොමත් පරිසරයට මහ වාතයකි. ලෝකයේ දැන් මේ ප්‍රශ්නය විසඳන්නට විසඳුම් සොයාගෙන අවසන්ය. අපේ රටට ද අද නූතන ලෝකය විසින් සොයා දෙනු ලැබූ විසඳුම් ආගන්තුක නැත.
පොසිල ඉන්ධන දහනය කරන වාහන පරිසරයට අහිතකර නම් සැබෑ පරිසර ප්‍රේමයක් ඇති පාලකයෝ කළ යුත්තේ රටට පොසිල ඉන්ධන වාහන වෙනුවට වෙනත් බලශක්‌ති ප්‍රභවයන්ගෙන් ධාවනය වන වාහන හඳුන්වා දීමය.
අපේ රටේ දැනට අති විශාල වශයෙන් භාවිත හයිබ්‍රිඩ් ගණයේ වාහන හා විද්යුතය භාවිතයෙන් දිවෙන වාහන මේ සඳහා හොඳම විසඳුම බව පහේ පන්තියේ කුඩා අයෙකුගෙන් ඇසුවත් දැන ගත හැකිය.
රටක පාලකයෝ සැබෑ පරිසර ප්‍රේමයකින් ක්‍රියා කරයි නම් රථ වාහන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය විය යුත්තේ පරිසර හිතකාමී වාහන භාවිතය රටට හඳුන්වා දීමය. පොසිල ඉන්ධන භාවිතය වෙනුවට විද්යුතය හා දෙමුහුන් වර්ගවල රථවාහන රට තුළ ප්‍රචලිත කිරීමය. මෙබඳු පරිසර හිතකාමී වාහන භාවිතය දිරිමත් වන අයුරින් රටේ ප්‍රතිපත්ති සකස් කිරීමය.
එහෙත් අපගේ විශ්වාසවන්ත පරිසර ඇමැතිතුමාගේ යහපාලන ආණ්‌ඩුවේ දෙවැනි අයවැයෙන් මේ කර ඇත්තේ කුමක්‌ද?…
විද්යුතය භාවිතයෙන් දිවෙන නිසාන් ලීµa වැනි පරිසර හිතකාමී වාහනවල බදු 50% කින් ඉහළ දමා වාහනයේ මිල ලක්‍ෂ 25 ක් පමණ ඉහළ යන්නට සැලැස්‌වීමය. එබඳු වාහන භාවිතය හෝ මිලදී ගැනීම රටවැසියාට එපා කරවීමය.
විද්යුතය භාවිතයෙන් දිවෙන වාහනය තරමට පරිසර හිතකාමී නොවුණ ද හයිබී්‍රඩ් (දෙමුහුන්) වාහනවලින් ද අපේ පරිසර ප්‍රශ්නයට ලැබුණ උත්තරය පුංචි පටු නැත. එම වාහනවල බද්ද ද ඉහළ දමන්නට මේ යහපාලන රජය අමතක නොකළේය. ඒ නිසා එම වාහනයේ මිල ද රුපියල් ලක්‍ෂ 5 ත් 7 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ලැබීය.
ඒ වූ කලී අපේ ආණ්‌ඩුවේ පරිසර සංරක්‍ෂණයේ තරමයි.
පරිසරය රකින වාහන දිරිමත් කිරීම හා එබඳු වාහන භාවිතය දිරිමත් කිරීම වෙනුවට මේ කර ඇත්තේ එබඳු වාහන භාවිතය සදහට ම සිහිනයක් වන තරමට ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති සකස් කිරීමය…
මේ සියල්ලෙන් රජය රටේ ජනතාවට දී ඇති පණිවිඩය කුමක්‌ද…… පරිසරයට වඩා මේ යහපාලන රජයට “මුදල” වටිනා බව නොවේද?……
විශ්වාසවන්ත පරිසර අමාත්‍යතුමනි, මේ පැනයට පිළිතුරක් දෙන්න.
බුලිත ප්‍රදීප් කුමාර
– Divaina