කාම යන වචනයක් ධර්මයෙහි එයි. එම වචනයෙන් මතුකරන අදහසක් හෙවත් සංකල්පයක් තිබේ. කාම යන වචනය විස්තර කිරීම සඳහා සිංහල වචන කිහිපයක් භාවිත කළ හැකිය. එනම්, කැමැත්ත, ආශාව, ආදරය, ලෙන්ගතු කම, ලෝභකම, ස්නේහ වන්තබව ආදියයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ සහ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ඇතිවන ආරම්මන යන්නෙහි ලබන මානසික සතුටයි. කාමය යනු මානසිකව කෙනෙකු ලබන සන්තුෂ්ටියක් ලෙස බුදු සමයේ විග‍්‍රහ කරනු ලබයි.
බාහිර සමාජ වටපිටාව තුළ කාමයට උල්පන්දම් දෙන වස්තූන් මිස කාම වස්තු නොමැති බව දහමේ අදහසයි. (න තෙ කාමායාති චිත‍්‍රානි ලෝකේ – සංකප්ප රාගො පුරිස්ස කාමා) මිනිස් මනස තුළ පවතින සිතුවිල්ල වඩා වර්ධනය වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතන්නට යාමෙන්ය.
කාමයෙහි ඇලීම කාම රාගය ලෙස දක්වා තිබේ. සෑම සත්වයකුටම කාමරාගය නැත. එය පවතින්නේ සුවිශේෂ පිරිසකටය. ඇතැම්විට ඒ සඳහා මූලිකවන්නේ සංසාරගත හේතුන්ය. ඇතැම් විට සාමාජ වට පිටාවද හේතු විය හැකිය. කාමය කොටස් දෙකකි. එනම්, වස්තු කාම සහ ක්ලේශ කාම යනුයි. ධනය, වස්තුව, ගේ දොර, බඩු බාහිරාදිය, පිඟන් කෝප්ප, ඇඳ ඇතිරිලි, ගෘහ භාණ්ඩ, වතු පිටි, හරක බාන ආදී වස්තුව කෙරෙහි ඇති කරගත් අසාමාන්‍ය ආශාව වස්තු කාමය නම් වේ. කාම තෘෂ්ණාව, පංචකාම සම්පත්වල දැඩිසේ ඇලීම, රූපාදී අරමුණුවල ඡුන්ද රාග (දැඩි කැමැත්ත) වශයෙන් එල්බ ගැනීම ක්ලේශ කාමය නම් වේ. වස්තු කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැනගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධ ද ඇතිවේ. කෙලෙස් කාමයද සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය වේ. නමුත් සීමාව පැන ගිය විට බරපතළ අකුසලයක් බවට පත්වේ. සමාජ ප‍්‍රශ්නද මානසික අවුල්ද සමාජ අපරාධද ඇතිවේ.
මිනිස් මනසෙහි පවතින කාම සිතුවිල්ල සමාජ අපරාධ කිරීම කෙරෙහි මිනිසා නැඹුරු කරයි. බුදු සමයෙහි අපරාධකරුවා යන්නට භාවිත වන්නේ ආශුචාරි යන වචනයයි. බුදු සමයේ දැඩි අවධානයට ලක්කරනු ලබන්නේ අපරාධකාරී මානසිකත්වය පිළිබඳවයි. අපරාධකරුවකු බාහිර ලක්ෂණවලින් අඳුනාගත හැකි ආකරය කෙරෙහි අපරාධ විදා්‍යඥයන්ගේ අවධානය ලක්වී තිබේ. ලොම්බ්‍රෝසෝ නමැති අපරාධ විද්‍යාඥයා අපරාධ කරන්නන්ගේ බාහිර ස්වරූපය මෙබඳු යයි දක්වා තිබේ. එනම්,
1. හිස ප‍්‍රමාණයකට වඩා විශාල වීම, හිස් කබල පළල්ව පිහිටීම.
2. මුහුණ දෙපැත්තේ අසම්මිතික බවක් දක්නට ලැබීම.
3. හකු සහ කම්මුල්වල පියවි ස්වභාවය ඉක්මවා තිබීම.
4. ඇසේ ආබාධ සහ විශේෂතා බැලූ බැල්මට දිස්වීම.
5. කන් යුගල විශාල වීම, කුඩා වීම හෝ සතකුගේ මෙන් නෙරා තිබීම.
6. නාසය විරූපීව පිහිටීම, උඩුකුරුව හැරී තිබීම. (සොරුන්ගේනම් පැතලි වීම, මිනීමරුවන්ගේ නම් දිගවීම)
7. දෙතොල් මාංශපේසී මගින් පිරී ඉදිමී ඉදිරියට නෙරා තිබීම.
8. සතුන්ගේ මෙන් දෙකම්මුල දැඩිව වළ ගැසී තිබීම.
9. දිව මැදින් ඉරක් මෙන් දිව වළ ගැසී පිටතට නෙරා තිබීම.
10. දත්වල සාමාන්‍ය තත්ත්වයන් පැවතීම
11. නිකට විකෘතිව පැවතීම.
12. ඉසකෙස් අධික ලෙස රැුලි ගැසී පැවතීම.
13. බෙල්ලේ ඉතා අඩුවෙන් හෝ ඉතා වැඩියෙන් රැුලි තිබීම.
14. අත් අධික වශයෙන් දිගට පිහිටා තිබීම.
15. පාදවල ඇඟිලි කෙටිව පිහිටීම.
16. මොළයේ කොටස් අතර සමතුලිත බවක් නොමැති වීම.
බුදුසමය සහ අපරාධ විද්‍යාව.
පිට – 185
බුදුසමය දකින්නේ අයහපතට යෙදූ මානසිකත්වය මිනිසා අපරාධකරුවකු බවට පත් කරවන බවයි. එනිසා බුදු සමය මිනිසාට උපදෙස් දෙන්නේ අයහපත් සිතුවිල්ලක් මනසට පැමිණිවිට සහේතුකව එම අයහපත් සිතුවිල්ල මනසින් ඉවත් කර ගැනීමට මිනිසා සමත් විය යුතු බවයි. ඉන් ඉවත් නොවුනහොත් ඒ සිතුවිල්ලම වෙනත් ගැඹුරු ස්වරූපයක් ගනී. බොහෝ විට අපරාධ සිද්ධි අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන කරුණක් වන්නේ කිසියම් සිතුවිල්ලක් කාලයක් පැවතීම නිසා එකී අපරාධය දක්වා එය වර්ධනය වී ඇති බවයි. මනස හුදකලාව වරදේ බැඳේ. මනස කට සමග මිතුරු වී වරදේ බැඳේ. මනස කට හා කය සමග මිතුරු වී වරදේ බැඳේ.
ඇතැම් දරුණු සිතුවිලි ජීවත්වන කාලය පුරාම දුක් විපාක දෙමින් මනසද අවුල් කරමින් පවතියි. ඇතැම් ඒවා සංසාරය පුරාම අරගෙන එයි. නරකට යෙදවූ මනස යහපත් දෙයක් කිරීමට ඉඩ නොදෙයි. කරන්නේ අයහපතමයි. නමුත් තමා කරන්නේ අයහපත් වුවද කළ යුතු දෙයම යයි සිතයි. ඒ අපවිත‍්‍ර වූ මනසෙහි ස්වභාවයයි.
කාමය සහ කාම රාගය නිසා ඇති වන ඇතැම් අපරාධ පිළිබඳව බණ පොතෙහිද සඳහන් වෙයි.
– Lankadeepa