ස්‌වයංපාලනය ඉල්ලන විග්නේශ්වරන්ගේ “තමිල් මක්‌කල් පෙරවි” සංවිධානය – Vigneshvaren New Front

0
758
Vigneshwaran-new-front

විග්නේශ්වරන් සිය නව සංවිධානය ගැන කරුණු හෙළි කරමින්.

“ද්‍රවිඩ ජනතාව ප්‍රතික්‍ෂේප කර කුණු බක්‌කියට දැමූ පිරිස්‌ මහ ඇමතිට සහය පළ කරනවා”

– ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්දන්

උතුරේ දේශපාලනය උදෙසා කොළඹ කුරුඳුවත්තේ සිට යාපනයට පැමිණි විග්නේශ්වරන් ද්‍රවිඩ සංවිධානය දැඩි අර්බුදයකට ලක්‌ කළේය. ද්‍රවිඩ සංධානය ගන්නා තීරණවලට එරෙහිව ඔහු වෙනත් තීන්දු ගත්තේය.

පසුගිය සෙනසුරාදා විග්නේශ්වරන් ද්‍රවිඩ ජනතාවගේ කටයුතු සොයා බැලීමට යෑයි කියමින් සංවිධානයක්‌ ස්‌ථාපිත කළේය. ඊට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරු කිසිවෙක්‌ පැමිණ සිටියේ නැත.

“තමිල් මක්‌කල් පෙරවි” යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම සංවිධානයේ සභාපති ලෙස පත් වූයේද විග්නේශ්වරන්ය.

මේ සංවිධානය ආරම්භ කිරීමේ රැස්‌වීමට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ඊ. පී. ආර්. එල්. එµa නායක සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද පැමිණ සිටි බව හෙළි විය. යාපනයේ මහජන පුස්‌තකාලයේ පැවති. එකී අවස්‌ථාවට මාධ්‍ය තහනමක්‌ පනවා තිබුණි. සියලු කටයුතු සිදුවූයේ රහසිගතව යෑයි හෙළි විය.

මෙලෙස විග්නේශ්වරන් ද්‍රවිඩ සංධානයට හොරෙන් ස්‌ථාපිත කළ සංවිධානය ද්‍රවිඩ ජාතික සංධානයට අභියෝගයක්‌ වී ඇත. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ද්‍රවිඩ සංධානය සමග අර්බුදයක්‌ ඇති කරගත් මුල් අවස්‌ථාව මෙය නොවේ. ඔහු තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා සමගද ගැටුනි. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට දේශීය යාන්ත්‍රණයක්‌ සුදුසු බව ද්‍රවිඩ සංධානය පවසද්දී ඔහු ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලමින් උතුරේ ජාති ඝාතනයක්‌ සිදු වූ බවට යෝජනාවක්‌ සම්මත කළේය.

ද්‍රවිඩ සන්ධානයට පින්සිදුවන්නට උතුරේ මහ ඇමැතිධූරයට පත් විග්නේශ්වරන් දැන් ආරක්‍ෂක හමුදාව සමගද එදිරිවාදිකම් ආරම්භ කර ඇත.

ඔහු පසුගිය සතියේදී ශ්‍රි ලංකා හමුදාවට අවමන් කරමින් කිසිදු රාජකාරියක්‌ නොමැතිව සිටින හමුදාව යොදවා උතුරු පළාතේ ඇළ මාර්ග හා කාණු පද්ධතිය පිරිසිදු කරගත යුතු යෑයි කියා සිටියේය.

ඒ සඳහා හමුදා බලධාරීන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම පළ කළේය.

උතුරේ කාණු සුද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නිදහස දුන් කෝටි 12000 ක පිරිස හා මෑතකදී නිදහස ලත් හිටපු කොටි ත්‍රස්‌තයන් යොදවා නොගන්නේ මන්ද?

කාණු ශුද්ධ කිරීම සඳහා සුදුසුම පිරිස හිටපු කොටි ත්‍රස්‌තයන් වේ. මන්ද ඔවුන් රටේ සම්පත් විනාශ කළ පුද්ගලයන් නිසාය.

එසේම උතුරේ හමුදාව රාජකාරියක්‌ නොමැතිව සිටින පිරිසක්‌ බවට විග්නේශ්වරන් චෝදනා කර ඇත.

හමුදාව උතුරේ සිදු කරන්නේ බෙදුම්වාදීන්ට යළි නැගිටීමට ඉඩ නොදීමේ රාජකාරි බව විග්නේශ්වරන්ට අමතක වී ඇත.

මෙලෙස විග්නේශ්වරන් ජයග්‍රාහී හමුදාව කාණු ශුද්ධ කිරීමට සුදුසු යෑයි කියද්දී අපේ දේශපාලනයන්ගෙන් මෙතෙක්‌ ඊට එරෙහිව හඬක්‌ නැඟê තැන. උතුරු මහ ඇමැතිට අවශ්‍ය නම් නිදහස්‌ වූ කොටි ලවා උතුරු පළාත් සභාවේ වැසිකිළිද ශුද්ධ කරගත හැකිය.

එසේම තමිල් මක්‌කල් පෙරවි හෙවත් ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ අරමුණ කුමක්‌ද?

මෙතෙක්‌ එකී අරමුණ වාර්තා වී නොතිබුණත් ඉන්දීය බලධාරීන්ට එම කවුන්සිලයේ අරමුණු අනාවරණය විය.

මෙහි දැක්‌වෙන්නේ එකී අරමුණියි

1. ද්‍රවිඩ අර්බුදයට විසඳුම් සඳහා වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීම.

2. ජිනීවා යෝජනාව ප්‍රකාර ඉටු විය යුතු කරුණු ගැන නිරීක්‍ෂණය කිරීම.

මෙම අරමුණුවලට සමගාමීව රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව සංවිධානයද විදේශ විනිසුරුවරුන් හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ස්‌ථාපිත කර ඔවුන්ටද පවරා තිබූ රාජකාරිය වූයේ ජිනීවා යෝජනාව මත ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන්නේද යන්න සොයා බලන ලෙසයි.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජිනීවා යෝජනාව ගැන කටයුතු කරන්නේ රජය නම් විග්නේශ්වරන් රඟ දක්‌වන නාටකය කුමක්‌ද යන්නයි. උතුරු පළාත් සභාව යනු ශ්‍රී ලංකාවේ පළාත් සභාවක්‌ය. වෙනම රටක්‌ නොවේ. එසේ නම් පළාත් සභා විෂය පඨය ඉක්‌මවමින් මෙවන් ද්‍රවිඩ කවුන්සිල ස්‌ථාපිත කිරීමට විග්නේශ්වරන්ට නීතිමය ඉඩක්‌ තිබේද?

විග්නේශ්වරන් ස්‌ථාපිත කළ මෙම තමිල් මක්‌කල් පෙරවි” නමැති සංවිධානයේ අරමුණු අතර ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය ලබාදිය යුතු බවත් ද්‍රවිඩ ජනතා අභිලාෂ ඉටු කළ යුතු බවටත් දැක්‌වෙන කරුණුද ඇතුළත් වී ඇත.

මෙම සංවිධානය පිහිටුවීමට හේතු වූයේ ද්‍රවිඩ සංධානය ද්‍රවිඩ ජනතාවගේ කරුණු ගැන නිසි අවධානයක්‌ යොමු නොකිරීම නිසා බවටද චෝදනා එල්ල විය. කෙසේ වෙතත් විග්නේශ්වරන් ප්‍රමුඛ මෙකී සංවිධානයේ අරමුණ ස්‌වයංපාලනයට මග පාදා ගැනීමක්‌ බව තහවුරු වේ.

කීර්ති වර්ණකුලසූරිය

– Divaina