ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරු සමූල ඝාතනය කළ හැටි – End of Tasmanian Aboriginals

0
1751
tasmanian aboriginal

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු කෙළවර පිහිටි ඊඩන් හෝප් නගරයේ සිට සැතපුම් 250ක් පමණ ගෙවා මෙල්බන් නගරයට පැමිණි අපි ස්පිරිට් ඔෆ් ටැස්මේනියා නැමති නෞකාවේ නැගී ටැස්මේනියාව කරා යාත්‍රා කළෙමු. ස්පිරිට් ඔෆ් ටැස්මේනියා යනු තට්ටු දහයකින් පමණ සමන්විත වූ මිනිසුන් බඩු, වාහන සහ කන්ටේනර් ප්‍රවාහනය කරනු ලබන විශාල නෞකාවකි. ටැස්මේනියාවේ බොහෝ නිෂ්පාදන ඕස්ට්‍රේලියාවට සහ ටැස්මේනියාවට අවශ්‍ය බඩු බාහිරාදිය ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම අති විශාල වූ නෞකා මගිනි. අප හට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මෙල්බන් වරායේ සිට ටැස්මේනියාවේ ඩෙවෝන් ‍පෝර්ට් නැමති වරායට ළඟා වීමට පැය 12ක් පමණ ගතවිය.
මාගේ ලොකු දුව වීණා ඇයගේ සැමියා කැළුම් සහ පුංචි දුව අසාරියා ජීවත් වෙන්නේ ටැස්මේනියාවේය. අපි ටැස්මේනියාවට පැමිණියේ ඔවුන් දැක බලා ගැනීමටය.
ටැස්මේනියාව යනු ඕස්ට්‍රේලියාවේ දකුණු කෙළවර පිහිටි ලංකාවට වඩා තරමක් විශාල වූ දූපතකි. දැනට වසර 40,000කට පමණ පෙර එම දූපත ඕස්ට්‍රේලියා මහද්වීපයේ සිට පැමිණි ඇබොර්ජින්වරුන්ගෙන් ජනාවාස වූ අතර වසර 10,000කට පමණ පෙර  ඇති වූ හිම යුගයේ නිමාවත් සමග එය ප්‍රධාන භූමියෙන් වෙන්වී දූපතක් බවට පත් විය. ඉන්පසු එහි ජීවත් වූ ඇබොර්ජින්වරුන්ගේ ජීවන රටාව ඕස්ට්‍රේලියා මහද්වීපයේ ජීවත් වූ ඇබොර්ජින්වරුන්ගේ ජීවන රටාවෙන් වෙනස් විය. එබැවින් ටැස්මේනියාවේ ජීවත්වන ඇබොර්ජින්වරුන්ගේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට සිතක් පහල විය.
ටැස්මේනියාවේ ඇබොර්ජින්වරු ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින් වරුන්ට වඩා වෙනස්ලු නේද? මම වෛද්‍ය කැළුම්ගෙන් (බෑනාගෙන්) විමසුවෙමි. එහෙත් ඔහු  මට ලබා දුන්නේ මා බලා‍පොරොත්තු නොවූ පිළිතුරකි.
ටැස්මේනියාවේ දැන් එකම ඇබොර්ජින්වරයෙක්වත් නැහැ. අන්තිම ඇබොර්ජින්වරයා මිය ගිහිල්ලා තියෙන්නේ 1870 ගණන්වල.
එම ප්‍රකාශයෙන් මා සිත සලිත විය. ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරුන්ට සිදු වුණේ කුමක්දැයි සොයා බැලීමට සිතුනි.
පළමුවෙන්ම ටැස්මේනියාව දුටු සුදු ජාතිකයා ඇබෙල් ටැස්මස්ය. ඔහු ලන්දේසියෙකි. ඔහු 1803දී එම දිවයින එකල විසූ ලන්දේසි ආණ්ඩුකාරවරයකු වූ වැන්ඩීමන්ගේ නමින් වැන්ඩීමන් ලෑන්ඩ් ලෙස නම් කළේය. එකල එම දිවයින තුළ ඇබොර්ජින්වරුන් 7000ක් පමණ ජීවත් වූ බවට ගණන් බලා තිබුණි. වැඩිකල් නොගොස් එම දූපත ඉංග්‍රීසින්ගේ යටතට පත් වූ අතර 1856දී එම දිවයින ටැස්මේනියාව ලෙස නැවත නම් කළේ එය මුලින්ම දුටු යුරෝපීය ජාතිකයා වන ටැස්මස්ට ගරු කිරීමක් වශයෙනි. ඒ වන විට බ්‍රිතාන්‍යයන් විසින් එංගලන්තයේ සිරකරුවන් 65,000ක් පමණ ටැස්මේනියාවට ගෙන්වා ගෙන තිබුණි. ඔවුන්ගෙන් කොටසක් සිරගෙවල්වල සිටි අතර ඉතිරි කොටස එංගලන්තයේ සිට පැමිණි මධ්‍යම පාන්තිකයන්ගේ ගොවිපළවල සේවකයන් ලෙස කටයුතු කරමින් සිටියෝය. දඬුවම් කාලය අවසන් වූවෝ බොහෝ දෙනෙක් එරටෙහිම ජීවත් වීමට තීරණය කළහ. මෙසේ ඕස්ට්‍රේලියාවට පැමිණි ඉංග්‍රීසි ජාතිකයන් බහුතරය පිරිමින් වූ බැවින් ස්වදේශීය ඇබොර්ජින් කාන්තාවන් සඳහා විශාල ඉල්ලුමක්ද පැවතුණි. එකල ටැස්මේනියාවේ ජීවත් වූ පිරිමින් සහ කාන්තාවන් අතර අනුපාතය පිරිමි දහසයකට එක් කාන්තාවක් (16-1) මට්ටමේ පැවතුණි. ඒ නිසාම ස්වදේශීය කාන්තාවන් ලබා ගැනීම සඳහා විදේශිකයන් පෙළඹීම නිසා හටගත් අර්බුදය වැඩිකල් නොගොස් සටනක් බවට පත් විය.
සුදු ජාතිකයෝ ඇබොර්ජින් කාන්තාවන් සහ දරුවන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් කාන්තාවන් ලවා ඔවුනගේ ලිංගික තෘප්තිය ඉටු කරගත් අතර දරුවන් මිෂනාරී අධ්‍යාපනය සඳහා යොමු කළහ. මීට අමතරව ඇබොර්ජින්වරුන් දඩයම් කළ බිම්වල සුදු ජාතිකයන් ගව හා  බැටළු ගොවිපළවල් ඇති කිරීම සුදු කළු අර්බුදය වැඩි වීමට හේතු විය. කැන්ගරු දඩයම සඳහා ඇති වූ තරගය නිසා ඇබොර්ජින්වරුන්ට ආහාර පමණක් නොව ශීත සෘතුවේදී ‍පොරවා ගැනීම සඳහා යොදාගත් කැන්ගරු  හම්ද නැතිවී ගියේය. ආහාරපාන සහ ඇඳුම් පැළඳුම් හිඟකම නිසා ඇබොරිජින්වරු සුදු ජාතිකයන්ගේ තිරිඟු පිටි, අර්තාපල් මෙන්ම සීතලට ‍පොරවා ගත හැකි බෙඩ්ෂීට් වැනි උණුසුම් ඇඳුම්ද සොරකම් කළහ. ඊට අමතරව ඇබොරිජිනියානුවන් සුදු ජාතිකයන් විසින් හඳුන්වා දුන් රම්, අරක්කු, වයින් බියර් වැනි මත්පැන් වර්ග සඳහාද තදින් ඇබ්බැහි විය.
1825-31 වකවානුවේදී ඇබොර්ජින්වරුන් සහ බ්‍රිතාන්‍යය ජාතිකයන් අතර ඇති වූ ගැටුම හඳුන්වන ලද්දේ  ඕඹ්ඒඛිම් එඒඅ හෙවත් කළු යුද්ධය ලෙසය. මෙම වකවානුව තුළ ටැස්මේනියාවේ පාලකයා වූ ජෝර්ජ් ආතර් ආණ්ඩුකාරයා හදිසි නීතිය හෙවත්
මාර්ෂල් ලෝ ක්‍රියාත්මක කළ අතර ඇබොර්ජින්වරුන් මරා දැමීම සඳහා සුදු ජාතිකයන්ට නීතිමය අවසරයද දුන්නේය. ඒ අනුව ඇබොර්ජින්වරුන් මරා දමමින් ඉතිරිය ටැස්මන් අර්ධද්වීපය දෙසට පලවා හරින ලදි. කළු යුද්ධයේ ප්‍රතිඵලයක්  ලෙස 1830 වන විට එහි වාර්තා වූ ඇබොර්ජින්වරුන් සංඛ්‍යාව 300 දක්වා අඩු වී තිබුණි. 1832දී කළු යුද්ධය අවසාන වන විට ටැස්මේනියාවේ ඉතිරි වී සිටියේ ඇබොර්ජින්වරුන් 200ක් පමණි. ආණ්ඩුකාර ජෝර්ජ් ආතර්ගේ නියෝගයකට අනුව මිෂනාරීවරයකු ජෝර්ජ් රොබින්සන් විසින් කළු සටනින් පරාජයට පත් වූ ඇබොර්ජින්වරුන් සියල්ල ප්ලින්ඩර් අයිලන්ඩ් නම් වූ කුඩා දූපතකට ගාල් කරන ලද අතර එහිදී බොහෝ දෙනකු මිය ගියේ ඉන්ෆ්ලුවන්සා වසූරිය, ක්ෂය රෝගය වැනි සුදු ජාතීන් විසින් බෝ කරන ලද රෝග වැළඳීමෙනි. 1847වන විට ටැස්මේනියාවේ ජීවත් වූ මුළු ඇබොර්ජින්වරුන්ගේ සංඛ්‍යාව 47 දක්වා අඩු වූ අතර ඔවුන් ටැස්මේනියානු අගනුවර වන හෝබාට් හි දකුණු කෙළවර වූ කඉඊජ්අ ඛිජ් නම් ස්ථානයට ගෙන ගිය අතර ඊපභඨචදඪද නම් අවසන් ඇබොර්ජින්වරයාද 1876දී රෝගාතුර වී මියයන ලදී. එතනින් ටැස්මේනියාවේ ශුද්ධ වූ ඇබොර්ජිනියානු පරපුර සහමුලින්ම වඳ වී ගොස් ඇත.
එතැන් පටන් ටැස්මේනියාවේ ඉතිරි වූයේ යටත් විජිත සුදු ජාතිකයන් සමග මිශ්‍ර වීමෙන් බිහි වූ ඇබොර්ජිනියානුවන්ගේ ජාන සහිත සුදු ජාතිකයන් පිරිසක් පමණි. ඔවුන් සුදු ජාතිකයන් මෙන් බටහිර ඇඳුම් පැළඳුම් අඳිමින් ඉංග්‍රීසි කතා කරමින් ඉංග්‍රීසි පන්නයට ජීවත් වූ අතර තම මව්බස ඇබොර්ජිනියානු භාෂාව පවා කතා කිරීමට නොදත් පිරිසක් බවට පත් වූහ.
ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරුන් නැති වී යාමට ප්‍රධානම හේතුව වුණේ ඔවුන්ට වෙඩි තබා මරා දැමීම නොවේ.  ඔවුන් සතු දරුවන් බිහි කළ හැකි වයසේ සිටි කාන්තාවන් පැහැර ගැනීමයි. එසේ පැහැර ගත් කාන්තාවන්ගේ ගර්භාෂ තුළින් දෙමුහුන් දරුවන් බිහි කිරීමයි. ස්වදේශීය ඇබොර්ජින්වරුන්ගේ ජනගහනය අඩුවීමට ඊළඟ හේතුව නම් යුරෝපීයන් විසින් බෝ කරන ලද වසංගත රෝග සුව කරගැනීම සඳහා ඔවුනට ප්‍රතිශක්තිකරණය නොතිබිමයි. නවීන සමාජ විද්‍යාඥයන් කරන ලද තක්සේරුවන්ට අනුව ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරුන්ගෙන් සියයට  අසූවක් (80) පමණ මියගොස් ඇත්තේ වසංගත රෝග වැළඳීම හේතුවෙනි.
අපි හෙට යන්නේ කොහෙද? මම වෛද්‍ය කැළුම්ගෙන් විමසුවෙමි. අපි යමු හෝබාට්වලට, ‍පෝට් අතර් කියන සුප්‍රසිද්ධ සිර කඳවුර බලන්න ඔහු යෝජනා කළේය. ‍පෝට් අතර් පිළිබඳව විස්තරය ලබන සතියේ.

( විශේෂඥ වෛද්‍යආරියසේන යූ.ගමගේ)

– Lakbima