මෙසමයෙහි හුදී ජනයා නොඅඩුව විහිළු රස විඳිමින් සිටින්නෝ ය. ඒවා නොයෙක නොයෙක ආකාරයේ විහිළු ය. නළු නිළියන් පරදවා රජ වාසල කවටයෝa විහිළු සපයමින් සිටින්නෝ ය. රාජ කවටයන්ට නොදෙවෙනි වෙමින් රාජ පුරුෂයන් ද විහිළු සපයති ය.
හැබැයි ඒවා ත්‍රාසජනක විහිළු ය. රාජ කවටයන් සපයන විහිළුවලට හුදී ජනයාගේ ඇඟේ මාළු ගඟේ නටන්නේ ය. එසේ ඇඟේ මාළු නටන වර්ගයේ එක් විහිළුවක් මෙසේ ය. කෙසේද යත්; බෝර තෛල මිල අඩු නොකරන්නේ මන්දැයි බෝර තෛල සහ අධෝවාත භාර කවටයාගෙන් ඇසූ විට ඒවා හදිසියේ කරන්නට බැරි යෑයි උහු පිළිතුරු දෙන්නෝ ය. එසේ වී නම් හදිසියේ වැඩි කරන්නේ කෙසේදැයි අසන්නට පෙර හමුව නිමවා හදිසියේම නැඟිට යන්නේ ය. හුදී ජනයා විසින් ගෙදර යෑවූ හිටපු කවටයෝ රාජ නායකයන්ට මුට්‌ටිය ඇල්ලීමේ ආනුභාවයෙන් රාජ කරුණායෙන් රජ සබයට රිංගා ඔය තොපි අපිට කොළා දැයි හුදී ජනයාට කෝචොක් දමමින් විහිළු කරන්නා හ. තව කවටයෙක් අප්පච්චි මළා යයි ද, නැවත උත්ථානය වූවා යයි ද, ඔළුව අත ගා ආශිර්වාද කළා යයි ද කියමින් මගේ චූන් මටම චූන් කීවා සේ තමාගේ විහිළුවලට තමා ම සිනාසෙමින් සිටින්නේ ය. මෙසේ නොයෙක නොයෙක විහිළු රස විඳිමින්, ඇඟේ මාළු නටමින්, දත් මිටි කමින් සිටින හුදී ජනයාට වෙනස් ආකාරයක විහිළු සපයන්නට අලුත් කවටයකු සබයට පැමිණෙනු පෙනෙන්නට තිබෙන්නේ ය.
මේ කවටයා වනාහී ජීවනෝපාය ලෙස භූමිය උලා කන්නෙකි. නොහොත් භූමිය නෙක නෙක කැබලි වලට කඩා අලෙවි කරන්නෙකි. මේ භූමි නාශකයා වාසි පැත්තට හෝයියා වර්ගයේ සත්ත්වයෙකි. උන්ගේ අතීත කතාව මෙසේ වන්නේ ය. ඒ කෙසේද යත්; පෙර රජ දවස, හිටපු නයුවකුට “සැමදා ඔබමය අපගේ ජනපති” යනුයෙන් පත් ඉරු පුරා දිනපතා දැන්වීම් පළ කෙරෙමින්, ප්‍රශස්‌ති ගයමින්, ඔහුව අන්දවමින්, වාසි ලබමින් සිට ඔහුගේ ඇවෑමෙන් ඉන්පසු පැමිණෙන රජවරුනට ඒ ඒ අනුව හේත්තු වෙමින් මඩිය තර කර ගත්තාහු ය.
වර්තමාන කතාව
ඉදින් කළින් සිටි නයුවාට හේත්තු වන්නට උපා ලෙස ජුගුප්සාජනක බාල පදවැල් බැඳ සබා මැද, සිය දියණිය ලවා එකී නයුවා අභිමුවේ ඇන්දවීමේ ගී ගායනා කැරවී ය. එසේ එකී නයුවා අන්දවමින් ලාබ සත්කාර ලබා ගත්තාහු ය. පදවි පවා ලබා ගත්තාහු ය. රජවරණයෙන් උහු පැරද ගිය කල්හි රාජසබාවරණයෙන් යුවරජවත් වේදැයි දෙගිඩියාවෙන්, තුමූ සතු මන්දිරයක් වාසය පිණිස දෙමැයි කිය කියා කල් මරන්නාහු ය. මැදි වෙදුන් නොහොත් අණ බෙරකරුවන් කැඳවා උන්ට සත්කාර කොට, තුටු පඬුරු පුදා මැදුර අද දෙමැයි, හෙට දෙමැයි, වස් නිවාරණු පිණිස ද්වාර වෙනස් කෙරෙමියි, නාන තොටට වැලි පුරවමියි ආදී නන් දොඩවමින් පුවත් මවන්නේ ය. රජසබවරණය පැවැත්වෙන තෙක් කල් මරන්නේ ය.
මෙසේ කල් ගත වන්නේ රජසබවරණයෙන් පෙර කී නයුවාට යුවරජ පදවියද අහිමි වන්නේ ය. එකල්හි භූමි නාශක කවටයාද සිරිත් ලෙස සිතන්නේ මොහුගෙන් මට දැන් පලක් නැත. අභිනව නයුවාට හේත්තු වන්නට උපා කවරේදැයි කල්පනා කරන්නේ මෙවන් නුවණක් පහළ වන්නේය කෙසේද යත්; මැදුර පෙර නයුවාට දුනහොත් මාගේ කුටුම්භය සුන් ය. මා ඇඹේණිය මගේ ඉහමොළ සූරන්නී ය. ඒ හෙයින් මැදුර උහු හට මළත් නොදෙමි ය. පෙර නයුවාගේ ස්‌වර්ණාභරණ ද, කහවණු ද මාගේ මැදුරෙහි නාන තොටෙහි වැලි යට සඟවා ඇතැයි ඕපයක් දනන් තුඩ තුඩ රැව් දෙන්නේ ය. මේ නිසා සොර සතුරන්ගෙන්, අසරණ මා හට විපතක් වේදෝයි බියක් ඇත්තේ ය යනුයෙන් රාජපුරුෂයන්ට පැමිණිළි කරන්නේ ය. අණ බෙරකරුවන් කැඳවා සිරිත් ලෙස කවා, පොවා, නහවා, තුටු පඬුරු පුද දී මෙපුවත පතළ කර යවන්නේ ය. හුදී ජනයාද මූ නන් දොඩවන්නේ මන්දැයි විමසන්නේ අප කුල්මත් කරනු වස් තවත් කවටයකු සබයට පැමිණ ඇති බව පසක් කර ගන්නෝ ය. පසක් කොට මූ මෙවර මොකාට එන්නේදැයි බලා සිටින්නාහු ය. ඇයි අවුල්ද?
නිමල් µ්‍රeන්සිස්
– Divaina