මව්බිමේ නිදහස පතා එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රික් දිවි පුදා (ජුලි 07) දිනට වසර ශතවර්ෂයක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විදේශ ආධිපත්‍යයට නතුවී පැවැති ආසියාවේ සියලුම රටවල් අතුරෙන් ලේ බිඳකුදු නොසොල්වා නිදහස ලබාගත් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ස්‌ථානයක් හිමි වේ.
යටත් විජිත පාලනයට ගොදුරු වී සිට මේ අන්දමට නිදහස ලබාගත් ආසියාවේ වෙනත් රටක් ගැන සිතීමට බැරි තරම්ය. බුරුමය, මැලේසියාව, සිංගම්පූරුව ආදී රාජ්‍යයන් ලේ හලන ගැටුමකින් තොරව තම නිදහස දිනා ගනු ලැබූ නමුත් දෙවැනි ලෝක සංග්‍රාමය පැවැති සමයේ ඒ රටවල් යටත් පිරිසෙයින් අවුරුදු 03 ක් පමණ ජපන් භීෂණ පාලනය යටතේ පැවැත්තේය. හින්දුන් හා මුස්‌ලිම්වරුන් අතරේ දීර්ඝ කාලයක් පැවැති ඝට්‌ටනය ඉන්දියානු උප මහද්වීපය, ඉන්දියාව, පාකිස්‌තානය යෑයි වෙන් වීම හා සම්බන්ධ ය. වාසනාවකට මෙන් මේ සියලු ම කරදර කලබලවලින් තොර වූ නිසා දෙවැනි ලෝක සංග්‍රාම සමයේ හෝ ඉන් පසුව කිසිදු කරදරයකට මැදි වීමට ශ්‍රී ලංකාවට සිදු වූයේ නැත.
19 වැනි ශත වර්ෂයේ පැවැති සිදුවීම් 20 වැනි ශත වර්ෂයේ පැවැති සිදුවීම්වලට වඩා වෙනස් ය. ඊට හේතුව 20 වැනි ශත වර්ෂයේ නිදහස් අරගලය අවුරුදු 100 ක් පමණ කාලයක් තිස්‌සේ පැවත ගෙන ආ කැරලි හා ජනතා නැඟීසිටීම්වල පරාවර්තනයක් වීම ය. ඉන්දියාව හැර සෙසු රාජ්‍යයන්ට එතරම් දීර්ඝ කාලයක් නිදහස සඳහා අරගල කිරීමට සිදුවූයේ නැත. එහෙත් බ්‍රිතාන්‍ය පාලනයේ ආරම්භක අවධියේ සිට ම ශ්‍රී ලංකාවේ කැරලි පැවැති බව පෙනේ. 1848 කැරැල්ලේ ප්‍රසිද්ධතම නායකයා වූ පෑලියගොඩ බණ්‌ඩා යන නමින් හැඳින්වුණු ගොන්ගාලේගොඩ බණ්‌ඩා කැරලිකරුවන් විසින් දඹුල්ලේ දී රජකමට පත්කොට ඔහුට ඔටුණු පැළඳ වීම ද කරන ලදී. ගොන්ගාලේගොඩ බණ්‌ඩා ප්‍රේලාස් පවුලෙන් පැවත එන්නෙකි. ඔහුට පෑලියගොඩ ප්‍රදේශයේ මෙන්ම මුළු රටේ ම පුළුල් සම්බන්ධතා තිබුණේ ය. කුඩාපොළ ස්‌වාමින් වහන්සේද 1848 කැරැල්ලට මූලික වූ හිමි නමකි.
මේ සියලුම කැරලිවලට නායකත්වය දෙනු ලැබුවේ විවිධ තරාතිරමේ කාර්යයන්හි නියුක්‌තව සිටි සිංහලයන් විසිනි. 19 වැනි ශත වර්ෂයේ පැවැති මේ කැරැලිවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකි වූයේ තම අධිකාරය රට පුරාම හොඳින් පවත්වාගෙන යැමට බ්‍රිතාන්‍යයන් සමත් වූ නිසාය.
1915 මාර්තු මස 2 වැනි දින වන විට මෙරට බ්‍රිතාන්‍ය පාලනයෙන් අවුරුදු 100 ක් සම්පූර්ණ විය. මෙසේ අවුරුදු 100 ක් ගතවෙත්ම ශ්‍රී ලංකාවේ නියම නිදහස් සටන ආරම්භ විය. තම රට විදේශීය ආධිපත්‍යයෙන් මුදා ගැනීමේ උතුම් අදහසින් ආරම්භ කළ මේ සටනට මුළපිරුණේ ජාතිවාත්සල්‍යයෙන් හෙබි සිංහල වීරයකු වූ එඩ්වර්ඩ් හෙන්රි ප්‍රෙද්‍රිස් වෙඩි තබා මැරීමට නියම කිරීමත් සමඟමය.
බ්‍රිතාන්‍යයන් ජර්මන්වරුන්ට විරුද්ධව කළ පළමු වැනි ලෝක මහා සංග්‍රාමය පසුබිම් කරගෙන ලංකාවේ නිදහස් සටන ආරම්භ විය. තමන්ට විරුද්ධව සටන් කරන ජර්මන්වරුන්ට තම යටත් විජිතවල ජනයා පක්‍ෂපාත වෙතැයි බ්‍රිතාන්‍යයෝ මහත් සැකයෙන් හා බියෙන් පසු වූහ. මෙය ශ්‍රී ලංකාවටද පොදු වූ ලක්‍ෂණයක් ලෙස සැලකූ බ්‍රිතාන්‍යයන් සිංහලයන් කෙරේ සැක ඉපිදවීම පුදුමයට කාරණයක් නොවේ. ලෝක සංග්‍රාමය පවතිද්දී ලංකාවේ පැවැති විවිධ සංවිධාන ගැන බ්‍රිතාන්‍යය සැකයෙන් පසුවිය. ස්‌වදේශිකයන් විරෝධතා පෑම හෝ ඉල්ලීම ඉදිරිපත් කරන විට ඒ නම් තම පාලනයෙන් වෙන්වීම සඳහා විවිධ ජන කොටස් කරන ව්‍යාපාරයක් යෑයි බ්‍රිතාන්‍යයෝ සිතූහ. අවාසනාවකට මෙන් පළමු වැනි ලෝක සංග්‍රාමය පවතින අවධියේ ම ශ්‍රී ලංකාවේ ආගමික කෝලාහල පැන නැංගේය. මේ නම් බ්‍රිතාන්‍යය පාලනය තම රටින් ඉවත්කිරීමට නැත්නම් ශ්‍රී ලාංකිකයන් ජර්මන්වරුන් හා එක්‌වීමට දරන උත්සාහයකැයි බ්‍රිතාන්‍යයෝ සිතූහ. මේ වූ කලී යටත්විජිත පාලනයක් වූ බ්‍රිතාන්‍යයන් විසින් තරුණ එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් අමානුෂික අන්දමින් වෙඩිතබා මැරීමට හේතු වූ සිද්ධි මාලාවේ පසුබිමය. යෞවනයේ දීම මරණීය දණඩනයට ගොදුරු වූ එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් යන නාමය අපේ රටේ නිදහස් සටනේ සදාතනික අන්දමින් නිදහස්‌ව පවතී. එතුමා වෙඩිතබා මරා දැමීමෙන් ඉක්‌බිති වූ අවුරුදු 33 ක කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාවේ නිදහස් සටන අඛණ්‌ඩවම ගෙන යැමට ලාංකික නායකයන් ප්‍රධාන වශයෙන්ම පෙළඹුණේ මේ අමානුෂික අයුක්‌ති සහගත වෙඩිතබා මැරීම නිසාය. බටහිර රටවල ප්‍රකාශයට පත්කොට ඇති ඉතිහාස පොත්වල දැක්‌වෙන අප හා සම්බන්ධයක් නැති වීරයන්ගේ ක්‍රියා ඇගයීමට වඩා තම රටේ ස්‌වාධීනත්වය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ අපේම වීරයන් ගැන බොහෝවිට සැලකිල්ලක් නොදැක්‌වීම අවාසනාවට කරුණකි.
1915 මැයි මස 28 වැනි දින මහනුවර දී ආගමික සිද්ධියක් මුල් කරගෙන වෙරළ මුස්‌ලිම්මුන් හා බෞද්ධයන් අතර ගැටුමක් පැන නැංගේය. මේ ගැටුම නොබෝ දිනකින් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද ඉතා ඉක්‌මනින් පැතිර ගියේය. කෝලාහලය ආරම්භයේදී ජනයාට හෝ දේපළවලට වැඩි විනාශයක් නොවූවත් එවක මේ රටේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාව සිටි රොබට් චාමස් අපරීක්‍ෂාකාරී කඩිනම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කොට යුද්ධ නීතිය පනවමින් දුටු තැන වෙඩි තැබීමට අණ දුන්නේය. මේ කලබලය බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට විරුද්ධව හටගත්තක් නොව හදිසියේ පැන නැඟුණ ජාතිවාදී වාණිජ වෛරය මුල් කොට ගෙන ඇතිවූවක් යෑයි යටත් විජිත කාර්යාලය ජුනි මස 07 වැනි දා වාර්තා කළේය.
ගම්පොළින් හා මහනුවරින් පටන්ගත් කැරලි කෝලාහලය මැයි මස අවසාන භාගය වන විට කොළඹ ට ද පැතිරී ගොස් එය සිංහල හා මුස්‌ලිම් කෝලාහලයක් බවට පරිවර්තනය විය. කඩසාප්පුවලට පහරදීම බොරැල්ලෙන් ආරම්භ වී පිටකොටුවට ද පැතිර ගියේ ය. සිංහල හා මුස්‌ලිම් කඩ සාප්පුවලට පහර දෙනු ලැබුව ද බඩු කොල්ල කෑමක් නම් නොවීය. කොළඹ නගරයේ කෝලාහලය ආරම්භ වීමත් සමඟම නොයෙක් විදියේ කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. අද මෙන් දියුණු පණිවිඩ හුවමාරු ක්‍රමයක් නොතිබුණු ඒ අවධියේ ආරංචි පැතිරගියේ කටින් කටමය. මහත් විපත්ති දායක ප්‍රතිඵල ගෙනදුන් එක් කටකථාවක් මෙසේය. මේ කටකතාව බ්‍රිතාන්‍ය පොලිස් භටයකු විසින් ගොතන ලද්දක් යෑයි කියවේ. කොළඹ නගරයට පහරදීම සඳහා වික්‌ටෝරියා පාලම අසලින් පැමිණි දාමරික කණ්‌ඩායමක් නගරාරක්‍ෂක කණ්‌ඩායමක් ද සහාය ඇතිව එකල නගරරාක්‍ෂක ස්‌වේච්ඡා බළකායේ කපිතාන්වරයකු වූ එඩ්වඩ් හෙන්ද්‍රි ප්‍රේද්‍රිස් වීරයා විසින් පලවා හරින ලද්දේ වුව ද කටකතාව වූයේ හෙන්ද්‍රි ප්‍රේද්‍රිස් අසුපිට නැඟී සිටිමින් දාමරිකකම් සඳහා ඒ පිරිස පොළඹවීය යන්නයි. එබඳු තවත් කටකතාවක් වූයේ පිටකොටුවේ කෙයිසර් වීදියේ ක්‍රිස්‌ටල් පැලස් නම් වූ ව්‍යාපාරික ස්‌ථානයට මුස්‌ලිම්වරුන් පහර දෙද්දී ඔවුනට හෙන්රි ප්‍රේද්‍රිස් විසින් වෙඩි තබනු ලැබූ බවයි. වෙඩි තැබීම කළේ තරුණ ජාතික වීර ප්‍රේද්‍රිස් නොවේය යන්න උසාවියේ දී පැහැදිලිව ඔප්පු විය. මෙවැනි කටකතා පැතිර යැමේ ප්‍රතිඵලයක් ලෙසින් නගා රාරක්‍ෂක හමුදාවේ කපිතාන්වරයකු වූ එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රිස් හිරභාරයට ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා තීරණය කළේය. 1915 ජුලි මාසයේ මුල් සතියේ දිනක හවස් භාගයේ පංජාබ් සොල්දාදුවන් කිහිපදෙනකු සමඟ ඩී. ඩී. ප්‍රේද්‍රිරිස්‌ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරීන් විසින් හෙන්රි ප්‍රේද්‍රිස් හිරභාරයට ගන්නා ලදී. ඒ සමඟම නිවාසයේ සිටියවුන් එළියට දමා දොර අල්මාරි කඩා බිඳ දමා ලියකියවිලි ආදිය දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්‌කරන ලදී. ප්‍රෙද්‍රිස් පවුලේ ඇතැම් සාමාජිකයන් බ්‍රිතාන්‍යයන් යුධ වැදී සිටින ජර්මන්වරුන් හා සම්බන්ධකම් පවත්වනවාද ඒ හා සම්බන්ධ රහස් ලියවිලි ඔවුන් වෙත ඇත්ද යන්න මේ පරීක්‍ෂණයේ අදහස විය.
ප්‍රේද්‍රිස් තරුණයා
එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රිස් 1888 අගෝස්‌තු මස 16 වැනි දා කොළඹ දී උපන්නේය. ගාල්ලේ දංගෙදර ඩී. ඩී. ප්‍රේද්‍රිස් හා මලුනොනා මොහුගේ දෙමාපියෝය. ගාල්ලේ සිට කොළඹට පැමිණි ඩී. ඩී. ප්‍රේද්‍රිස් ව්‍යාපාර කටයුතු යෙදී විශාල ධනවතෙක් විය. එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රිස් මූලික අධ්‍යාපනය ලැබුවේ අද රාජකීය විද්‍යාලය නමින් හැඳින්වෙන එකල කොළඹ ඇකඩමිය නම් වූ ආයතනයෙන් හා සාන්ත තෝමස් විදුහලෙන්. ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට දක්‍ෂකම් පෙන්වූ මොහු දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම හොඳ අශ්වාරෝහකයෙක්‌ද විය.
එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රිස්‌ගේ පියාට වුවමනා වූයේ තම පුතා උසස් පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයකු කිරීමටය. එහෙත් හෙන්රි ප්‍රේද්‍රිස් වඩා ප්‍රිය කළේ යුද හමුදා සේවයටයි. පසුව යුද හමුදාවට බැඳුණු ඔහු නොබෝ කලකින්ම නගරාරක්‍ෂක හමුදාවේ කපිතාන්වරයකු ලෙස උසස්‌වීම් ලැබ අණදෙන නිලධාරියෙක් ද විය.
තරුණ ප්‍රේද්‍රිස්‌ට යහළුවෝ සමූහයක් සිටියහ. ඔවුන් අතර යුරෝපීයයන්ද සිටිය නමුත් ප්‍රේදිරිස් කිසි විටකත් තම ගෞරවය ඔවුන් ඉදිරියේ අබමල් රේණුවකින් වත් අඩු කළේ නැත. මේ නිසා මෙරට සිටි බ්‍රිතාන්‍යයන් තුළ ප්‍රේද්‍රිස් කෙරේ තරමක අප්‍රසාදයක් ද තිබිණි. නගරාරක්‍ෂක හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ හෙන්රි ප්‍රේද්‍රිස් කෙරෙහි අප්‍රසාදයෙන් කටයුතු කළ හෙන්රි සිරභාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයෙහි කුඩා කුටියක රඳවා තබන ලදී.
සමාජ සේවයේ හා අමද්‍යප ව්‍යාපාරයේ නියුක්‌ත වී සිටි නායකයන් හැට දෙනකු පමණ මේ වන විට සිර අඩස්‌සියට ගනු ලැබ සිටියහ. ඔවුන් අතර ඇµa. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩී. ඇස්. සේනානායක, ඩබ්ලිව්. ඊ. ඒ. පී. ද සිල්වා, දොස්‌තර සී. ඒ. හේවාවිතාරණ, නීතිඥ ජෝන් ද සිල්වා, ඊ. ඒ. පී. විජයරත්න ආදීහු ද සුප්‍රකට බත්තරමුල්ලේ හිමියෝද වූහ. සර්ව නිර්දොaෂි වූ තමන් නිදහස් කර ගැනීම සඳහා කිසිදු පරිශ්‍රමයක් නොදැරිය යුතු බවත් තඹ දොයිතුවක වන්දියක් නොදිය යුතු බවත් ජයතිලක හා සේනානායක දෙපළ අවධාරණයෙන් කියා සිටියහ. යුද්ධාධිකරණයකට පෙනී සිටීමට නියමව සිටි ප්‍රේද්‍රිස්‌ට විරුද්ධ චෝදනාව වූයේ රාජෙද්‍රdaහීකම, කඩසාප්පු ගිනි තැබීම හා මිනී මැරීමේ ෙච්තනාවෙන් වෙඩිතැබීමත් ය. නිකම්ම නිකම් තුන් දෙනකුගෙන් යුත් යුද්ධාධිකරණය ජුලි මස 01 දා තීරණය දුන්නේය, තීරණය වූයේ ඔහු වෙඩි තබා මරා දැමිය යුතුය යන්නය. වෙඩි තබා මැරීම දඩයකට හරවා ගැනීමට දැරූ සියලු උත්සාහ ව්‍යර්ථ විය. 1915 ජුලි මස 07 වනැ දා මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට අවසාන වශයෙන් තීරණය කරන ලදී. තමාට මරණීය දඬුවම පමුණුවන බව ස්‌ථිරවම දැනගත් ප්‍රේද්‍රිස් වීරයා මරණයට කිසිදු බියක් හෝ චකිතයක් නොදැක්‌වීය. වෙඩි උණ්‌ඩයට ළය දීමට ප්‍රථම ආගමික වතාවත් ඉටු කිරීම ආදී වූ කරුණු 05 කට තමාට ඉඩ දිය යුතු යෑයි ප්‍රේද්‍රිස් විසින් ඉදිරිපත් කරන ලදී. ඒවා නම් තම දෙමාපියන් අවසන් වරට බැහැ දැක අවසර ගැනීම. මහා සංඝයාට අටපිරිකර පූජා කොට ආගමික වතාවත් කිරීම, සුද්දන් ලවා නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා තමාට වෙඩි තැබවීම, යුද හමුදාවේ හිතවත් නිලධාරීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම හා තමාගේ මළ සිරුර පවුලේ සොහොන් භූමියේ තැන්පත් කිරීම යන කරුණු 05 ය.
වෙඩි තබා මරා දැමීමට නියමිත වූ ජුලි මස 07 වැනි දින උදැසන සොල්දාදු ඇඳුමින් සැරසී සිටි ඔහු වධ ස්‌ථානයට සොල්දාදුවන් විසින් ගෙන යන ලදී. සෘජු කායෙන් යුතුව සොල්දාදුවන්ගේ ගමන් විලාසයම අනුව අඩිය තබමින් වධකස්‌ථානයට ඔහු ගිය ආකාරය වීරයකුගේ ගමනේ විශිෂ්ට දර්ශනයක් විය. ඔහුට පුටුවක වාඩිවන ලෙස දැන්වූ සුපිරින්ඩන්ට් තැන මුහුණ වසා බැඳ ගැනීමට ලේන්සුවක් දුන්නේය. ඔහුගේ ලේන්සුවෙන් වැඩක් නැහැ. මම මරණයට බය නැහැ. මුහුණ වසා බැඳ ගන්නට මට වුවමනාවක් නැහැ. මම නිර්දොaෂී පුද්ගලයෙක් යෑයි ගාම්භීර ස්‌වරයෙන් කියූ හෙන්රි ප්‍රේද්‍රිස් එහි සිටි මර්ල් පෙරේරා දොස්‌තර මහතාට සෙසු මිත්‍රයන්ට ආචාර කළේය. ඉක්‌බිති ඔහුගේ දැතට මාංචු දමන ලදී. මෙතෙක් හිසෙහි පැළඳ සිටි යුද හමුදා හිස් වැස්‌ම එච්. එල්. ඩව්බිහින් විසින් ගලවා ඉවත් කරන ලදී. සෘජු උර්ධව කායයෙන් පුටුවේ වාඩි වී නොසැලෙන ඇසින් නිකුත් තියුණු බැල්මෙන් තමාට තුවක්‌කු එල්ල කරගෙන සිටින පන්ජාබ් සොල්දාදුවන් දෙස බැලූ හෙන්රි ප්‍රේද්‍රිස් මම සූදානම් වෙඩි තියනු යෑයි නොපැකිල තියුණු ස්‌වරයෙන් ප්‍රකාශ කළේය. ඒ ඔහුගේ අවසන් වචන විය. පුටුව මත ඇද වැටුණුq ජාතික නිදහසට ප්‍රාණය දුන් ඔහුගේ හදවත තවම නොනිසලව පවතී. අසලින් සිටි බ්‍රිතාන්‍ය යුද්ධ නිලධාරියාගේ රිවෝල්වරය වහාම ක්‍රියාත්මක විය. එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස්‌ගේ ප්‍රාණය නිරුද්ධ විය.
මැරී වැටුණ තරුණ හෙන්රි ප්‍රේද්‍රිස් සිරුරින් ගැලූ ලේවලින් තෙත්වූ පුටුව එවකට සිරගත කොට සිටි ඩී. බී. ජයතිලක, සේනානායක දෙසෙහොයුරන් එස්. ඒ. හේවාවිතාරණ, ඊ. ඒ. පී. විජයරත්න ආදී අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් ඉදිරියට ගෙන යන ලදී. මේ පුටුව ගෙන යා හැකි ගෙන යායුතු තවත් කොපමණ තැන් තිබුණි. එහෙත් එය මේ සිරගත කොට සිටි ජාතිමාමක දේශපාලන සිරකරුවන් වෙතම ගෙන ආවේ ඔවුනට ද හිමි විය හැකි දෛවය ගැන කල් තබා ඉඟියක් දීමටය. මේ වූ කලී තර්ජනය තම කෲරත්වය දැක්‌වීමට අධිකාරීන් යොදාගත් පහත් නීච ක්‍රියාවකි. අපේ නිදහස ගැන සටන් කළ මහා පුරුෂයා වූ ඇµa. ආර්. සේනානායක තම දිලිහෙන දෑස විහිදුවා තමා ඉදිරියේ රැස්‌වී සිටි කිහිපදෙනා අමතා බ්‍රිතාන්‍යයන් මේ කාර්යය හිතා මතාම කළේ අප බිය ගන්වන අදහසිනුයි ඔවුන්ට විශාල වැරදීමක් සිදු වී ඇත.
එයට ප්‍රතිපක්‍ෂව මම එකක් කියමි. මම මා ගැන සිතා මේ සන්සුන් පොරොන්දුව ඔබ ඉදිරියේ දී ප්‍රකාශ කරමි. පොල්කටුවක් ගෙන මහ පාරේ හිඟා කෑම තත්ත්වයට මා ඇද දැමුවත් මේ පුද්ගලයන්ට පාඩමක් ඉගැන්වීමට මම මගේ මුළු සේසතම වැය කරමි. මේ නම් මහා භාර දූරවත් විශිෂ්ට වූත් ප්‍රකාශයකි. හෙන්රි ප්‍රේද්‍රිස් මරා දැමීම ඇµa. ආර්. සේනානායක, ඊ. ඩබ්. පෙරේරා, ඩී. බී. ජයතිලක සහ ඩී. ඇස්. සේනානායක, සී. ඒ. හේවාවිතාරණ ආදී ජාති වාත්සල්‍යයෙන් පරිපූර්ණ නායකයන් ඇරඹි නිදහස් ව්‍යාපාරය නිශ්චිත සමාරම්භය විය. නිදහස දිනා ගැනීම අරබයා 1915 වර්ෂයට මෙහි පැවැතියේ අසංවිධිත ව්‍යාපාරයයි. නිදහස ගැන බොහෝ දෙනා කතා කරමින් සිටියත් අධිෂ්ඨානයකින් යුත්තව ක්‍රියාකිරීමට මූලික ජවය ලැබුණේ එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් තරුණයා අමානුෂික ලෙස වෙඩි තබා මරා දැමීම පදනම් කොට ගෙන බව නොරහසකි.
බ්‍රිතාන්‍යයන් විසින් කැරලිකාර සමයේදී කරන ලද දහස්‌ගණන් අමානුෂික අසාධාරණ අයුක්‌ති සහගත ක්‍රියා සහ හෙන්රි ප්‍රේද්‍රිස් වෙඩි තබා මරා දැමීම නිදහස් සඳහා සංවිධානය විය යුතු යන පණිවිඩය ලාංකිකයන්ට පැහැදිලි උච්චස්‌වරයෙන් අමතක නොවන අන්දමින් කියා පෑවේය. කැරලි සමයේ බ්‍රිතාන්‍යයන් විසින් මේ රටේ කරන ලද දරුණු අමානුෂික ක්‍රියා 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවීමට මඟ පෑදුවේය. මෙසේ පිහිටුවනු ලැබූ ජාතික සංගමය අපේ රටට නිදහස දිනා ගැනීමේ කාර්යයේ දී පෙරමුණගෙන ක්‍රියා කළේය. තම පුත්‍රයාගේ අකාල මරණයෙන් මහත් සේ කම්පාවට පත් එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස්‌ගේ දෙමව්පියෝ තම පුත්‍රයාට පිං පිණිස කොළඹ හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමය නම් වූ අංග සම්පූර්ණ විහාරය කරවූහ. එය ප්‍රේද්‍රිස් වීරයාගේ ශ්‍රී නාමයට කරන ලද උපහාරයකි.
එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් අනුස්‌මරණ සංගමය මගින් ඉසිපතන මාවත ආරම්භවන ස්‌ථානයෙහි වීරයාගේ පිළිරුවක් ඉදිකරවන ලදී. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමා විසින් 1978 ජුලි මස 07 වැනි දින මේ පිළිරුව විවෘත කරනු ලැබීය. හැව්ලොක් උද්‍යානයට එඩ්වඩ් හෙන්රි ප්‍රේද්‍රිස් උද්‍යානය යන නම එදිනම තබන ලදී.
ස්‌වකීය වීරත්වයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සසල කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මඟ හෙළි කළ එඩ්වර්ඩ් ප්‍රේද්‍රිස් ජාතික වීරයාට අමාමහ නිවන් සුවය ලැබේවා.
ජාතික භික්‍ෂු සම්මේලනයේ උප සභාපති
ශාස්‌ත්‍රපති ගලගම ධම්මරංසි හිමිපාණන්