අපේ රටේ සංචාරක කර්මාන්තයේ ස්‌වර්ණමය ආරම්භය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ අග භාගයේ පටන් “ඇල්ල පුරවරය” සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ ඊටම සුවිශේෂී අනන්‍ය හේතු කිහිපයක් නිසාය.
එකක් දක්‍ෂිණ ලංකාවේ සිට මධ්‍ය කඳුකරයට ඇදී එන ඓතිහාසික ප්‍රවේශ මාර්ගය වැල්ලවායේ සිට ඇල්ල මාර්ගය ඔස්‌සේ ඇල්ල කපොල්ල හරහා වැටී තිබීමයි. මෙමගින් ගමන් පහසුව ලැබුණාට අමතරව මග දෙපස භූවිෂමතාව හා පරිසර රටාව පිළිබඳ සුවිශේෂී හැගීමක් ද ඇති කරයි. මෙම මාර්ගය ඔස්‌සේ වියළි කලාපයේ සිට ඉතා ඉක්‌මණින් වෙනස් වෙමින් කඳුකර උණුසුම් කලාපය හරහා ශීත කලාපයට පිවිසීම තුළ ගතට සිතට දැනෙන සිහිල් සුවදායක බව සංචාරකයා අමන්දානන්දයට පත් කළේය. එපමණක් නොව, අපේ රටේ අතීත ශ්‍රී විභූතිය විදහාපාන රාවණ පුරාවෘත්තය හා සම්බන්ධ රාවණා ඇල්ල, රාවණ ගුහාවවත් ඓතිහාසික ස්‌ථාන රාශියක් මේ මග ඔස්‌සේ වැටී තිබීම නිසා සංචාරකයා අමන්දානන්දයෙන් මවිතයටත් මවිතයෙන් ප්‍රහර්ෂයටත් පත් කර ඇල්ල පුරවරයට මුදා හළේය.
අප මේ පවසන්නේ එදා 1976-77 කාලයේ අපේ රටේ නොබැඳි සමුළුවට ගෙන ආ 404 හෝ 504 පර්ජෝ කේම්බ්‍රිඡ් ආදී වර්ගවල කාර්වල තණමල්විල, වැල්ලවාය හරහා පැමිණි සුපිරි ගනයේ විදේශීය සංචාරකයන් ගැන පමණක් නොවේ. ඇල්ලට එන ප්‍රවේශ මාර්ගවලින් වැල්ලවාය මාර්ගය එකක් පමණි. සුපිරි ධනවත් සංචාරකයෝ සමහරෙක් සමුළු කාර්වල ඒ මගින් පැමිණි අතර හපුතලේ, බදුල්ල, බණ්‌ඩාරවෙල ආදී ප්‍රදේශවල සිට ආ අයද වූහ. ඊට අමතරව එදා “හිපියෝ” නමින් හැඳින් වුණ “අඩු වියදමින් ජීවත් වූ” සංචාරකයෝ ඇල්ලට ආවේ වැඩිමනක්‌ම දුම්රියෙනි. පුද්ගලික බස්‌රථ නොමැති එදා ලංගම බස්‌වල නැගී යෝධ ගමන් මලු කර එල්ලාගෙන පැමිණි සංචාරකයෝද පොදි පිටින් ඇල්ලට ආහ.
ඇල්ලේදී මේ සියලුම දෙනා ලොකු පුංචි, දුප්පත් පොහොසත් භේදයකින් තොරව භුක්‌ති විඳි එකම දේ සොබාදහමේ සුවදායක බවයි. බලන බලන දසුනක් පාසා ඇඟ තැවරෙන සුළං රැල්ලක් පාසා ගන්නා හුස්‌මක් හුස්‌මක් පාසා ගතට සිතට දැනෙන මේ ආගන්තුක සුවදායක බව කුමක්‌ද. ඔවුන් තම මව් රටවලදී අත්විඳ නැති, ලංකාවේ මහනුවර, නුවරඑළිය, බදුල්ල, බණ්‌ඩාරවෙල ප්‍රදේශ වලදී හෝ කිසිම තැනකදී අත් නොදුටු මේ චමත්කාරයට, මේ අමුත්තට හේතුව කුමක්‌ද. ඈත දක්‍ෂිණ ලංකා තැනිතලාවේ සිට නිල්ල පිරුණු වන වියන උඩින් ඇල්ල දුර්ගය හරහා පුනීලයක හැඩයෙන් ස්‌වාභාවිකව පිහිටි කිරිඳිඔය නිම්නය දිගේ ඉහළට ඇදී එන වේගවත් සුළඟ ඇල්ල කපොල්ලෙන් උඩට පැමිණ ගෙන දෙන මිහිර කොතරම්ද. ගත දැවටෙන මදනල වුව දිවා කාලයේ උණුසුම් ය. හවස් වන විට සුවදායකය. රාත්‍රියට ගත ලොමුදැහැ ගැන්වෙන තරමට ශීතල ය. ඒ මදනලෙහි සුවදායක සිසිලස නාස් කුහර හරහා ආශ්වාදයේදී පපු කුහර පිරෙන විට දැනෙන මිහිර සුවදායක බව සිසිලස හා චමත්කාරය සැබැවින්ම කුමක්‌ද. ඇල්ලටම සුවිශේෂී වූ මේ සුවදායක බවට එදා සංචාරකයෝ හේතු හෙව්වේ නැත. ඔවුහු පැමිණ කඳු නිම්නවල විසිතුරු බැලූහ. පුරාවිද්‍යාත්මක වටිනාකම් සොයා සොයා සොබා සෞන්දර්ය සොය සොයා කඳු නැග ගියහ. නිම්න නෙරු හරහා ඇවිද ගියහ. කිරිඳි ඔයේ සිසිල් දිය දහරාවන්හි ගිලි ගිලී නෑහ. ගල් තලාවල වැතිර සිටියහ. හති වැටෙනතුරු ඇවිද්දහ. චමත්කාරය පමණක් හිතෙහි තබාගෙන ආපසු ගියහ.
එදා අද තරම් සුව පහසු ප්‍රවාහන පහසුකම් ඇල්ලට තිබුණේද නැත. කාපට් පාරවල් නොවීය. නවාතැන් සඳහා මුලින්ම තිබුණේ සුප්‍රකට ඇල්ල තානායම පමණකි. ඒ හැරුණු විට තවත් අඩු පහසුකම් සහිත ලැගුම්හල් කීපයක් හැරුණු විට නවාතැන් සඳහා සංචාරකයන් බණ්‌ඩාරවෙලටම යා යුතුය. නැත්නම් බදුල්ලට යා යුතුය. කෙතරම් දුෂ්කරතා තිබුණත් එදා ඇල්ලට ආ සංචාරකයන්ගෙන් නම් අඩුවක් නොවීය.
ඇල්ලට මෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬන්නට වූයේ වසර 30 ක් පුරා මුළු රටම කණපිට හැරවූ පිරිබාහරන්ගේ ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් නිසා බව මතක්‌කර දිය යුතුය.
රට කරවූ නායකයන්ගේ හා අභීත ආරක්‍ෂක හමුදාවන්ගේ නිර්භීත හා නිවැරැදි තීන්දු තීරණවලට පින්සිදු වන්නට 2009 වසරේ අග වන විට ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන්නට අපට හැකි විය. ඉන් පසු යළිත් අප සංචාරක ව්‍යාපාරයට ලබන්නට වූයේ අලුත් වසන්තයකි.
ඇල්ලේ මිහිරියාව හිතෙහි තබාගෙන 70-80 දශකවල යළි තම මව් රටවලට ගිය සංචාරකයන්ගේ දුවා දරුවෝ ඊළඟ පරම්පරාවේ තාක්‍ෂණය ද රැගෙන යළි පැමිණෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. යළි ඇල්ලට වසන්තය පැමිණ ඇත. මේ අලුත් පරපුර ඇල්ලේ මිහිරියාව, ඇල්ලේ සුවදායක බව, ඇල්ලේ චමත්කාරයට ප්‍රධාන හේතුව පරිසර චමත්කාරයම නොවන බව අද දනිති. ඔවුන් අද ඇල්ලට එන්නේ “ලොව පවතින හොඳම හා පිරිසිදුම ස්‌වාභාවික ඔක්‌සිජන් රැල්ලකින් ළය පුරවාගෙන සුව විඳින්නට බව ඇත්තටම දන්නෝ කීයෙන් කී දෙනෙක්‌ද? ඇල්ලේ එදා සිට මේ දක්‌වාව තිබෙන අනන්‍ය විශේෂත්වය එයයි.
2009 යුද්ධය හමාර වීමෙන් පසුව ඇල්ලේ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවන්නට පටන් ගත්තේය. ඇල්ල සුවිශේෂී තැනක් බව දැනගත් සංචාරක ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ ඇල්ලේ අලුත් හෝටල් හදන්නට පටන් ගත්හ. ඇල්ල තානායමද අද දියුණුය. ඒ හා සමානව නව හෝටල් රාශියක් ද අද ඇල්ලේ තිබේ. ඒවාට අමතරව ඇල්ලේ ජනතාව ද මේ වටිනාකම තේරුම්ගෙන තම තම නිවාස ද සංචාරකයන්ට පහසුකම් සලසන ලැගුම්හල්වල තත්ත්වයට දියුණු කරන්නට ගත් උත්සාහයන් ද සුළුපටු නොවන බව ඇල්ලට ගිය විට දැනගන්නට, දැක ගන්නට හැකිය.
මේ සංචාරක ව්‍යාපාරිකයන් අතර අපට අමුතුම තාලයේ මිනිසෙකු හමු වූයේ ඇල්ල නගරයේ සිට වැල්ලවාය පාරේ සැතපුම් 3 ක් පමණ පල්ලම බසිද්දී චමත්කාරජනක පරිසරයක පාර අද්දර පිහිටි එක්‌තරා සංචාරක නිකේතනයකදීය. එය නමින් “ඇල්ල මවුන්ට් හැවන්” නම් වීය. මේ පුද්ගලයා එහි හිමිකරු ඩබ්. ඒ. සරණපාල නම් වීය. කොයි කවුරුත් ඔහුට ඇමතුවේ උපාලි අයියා කියාය. ඇල්ලට සංචාරකයෝ කැමති ඇයි දැයි ඔහු විස්‌තර කළේ මෙසේය.
“හොඳ ප්‍රශ්නයක්. ඇල්ලට සුද්දොa බොහොම කැමතියි බදුල්ල, බණ්‌ඩාරවෙල, දියතලාව, නුවරඑළිය පළාත්වලට වඩා. මොකද දවල්ට හරි රස්‌නෙයි. හවසට සිසිලයි. රෑට සීතලයි. හැබැයි කටුක නෑ. අනිත් එක සංචාරකයා බලාපොරොත්තු වෙන්නේ ඇස් පිනවන පරිසරයක්. ඇවිදලා බලන්න සුදුසු ප්‍රදේශයක්. ඒ ටික මේ අවට තිබෙනවා. ඊළඟට ප්‍රියමනාප ආහාර වේලක්. ඒ වගේම රාත්‍රියේ සුවදායක නින්දක්. මම කරන්නේ මෙන්න මේ පහසුකම් ටික ලබාදෙන එකයි. උපරිමයෙන් ලබා දෙනවා.
මම මේක පැහැදිලි කරන්නම් මගේ හෝaටලයේ පිටිපස්‌සේ තියන නැරඹුම් මණ්‌ඩපයට ගිහින්. අර ඈතින් පේන්නේ තිස්‌ස කතරගම පැත්ත. අපි ඉන්න මේ මණ්‌ඩපයට යටින් තියෙන්නේ කිරිඳි ඔය නිම්නය. කිරිඳි ඔය ගලාගෙන ගිහින් එකතු වෙන්නේ රුහුණු දිග තැනිතලාවට. හරිම සරුසාර නිම්නයක්. ඔය පේන නිම්නයේ තැනිතලාවටත් ඈත මහ සාගරයේ ඉඳලා හමාගෙන එන සුළඟ පිරිසිදුයි. ඒ වගේම නොකිළිටියි. අන්න ඒ පිරිසිදු සුළං ප්‍රවාහය මේ පුනීලයක් වගේ පේන කඳුවැටි දෙක අතරින් නිම්නය දිගේ ඉහළට නගිනවා. අන්න ඒ සුළං ප්‍රවාහය මුලින්ම ආශ්වාස කරන පින තියන මණ්‌ඩපයක තමයි මේ අපි දැන් ඉන්නේ. දුමින්, දුහුවිල්ලෙන් නොකිලිටි, පිරිසිදුම ඔක්‌සිජන් දහරාවක් හුස්‌ම ගන්න තැනක ඉඳන් තමයි මගේ සංචාරකයෝ මේ ආහාර ගන්නේ”
ඇල්ලේ සුවදායක බව ගැන කියන්නට තවත් ඔහුගෙන් වචන අවැසි නැත. ඇල්ලට අද ලෝකයේ ධනවත්ම රටවලින් සුපිරි සංචාරකයෝ ඇදී එති. ඇමරිකාව, ජර්මනිය, රුසියාව, චීනය, වියට්‌නාමය, එංගලන්තය, ප්‍රංශය, මැදපෙරදිග, මෙන්ම අසල්වැසි ඉන්දියාවත් අද අපේ රටේ පරිසර සුන්දරත්වය හා සුවදායක බව සොයා මෙහි ඇදී එති. ලංකාවේ ලොකුම සංචාරක සමාගම් ඔවුන්ගේ සංචාරක පැකේජයන් ලබා දින 5 ට දින 7 ට දින 14 ට දින 21 ට මෙරටට පැමිණෙද්දී ඒ සෑම සංචාරයකටම ඇල්ල අමතක නොකරයි.
ඇල්ලේ සිට රාවණා ඇල්ල බලන්නට යන සංචාරකයන්ට මවුන්ට් හැවන් හෝටලය හමුවන්නේ ගමන අතරමැදය.
හොඳ ආහාර වේලක් හොඳ සත්කාරක බවක් හොඳ දර්ශනයක් මෙන්ම සුවදායක බවක් ලද හැකි නිසා සංචාරකයෝ එම ස්‌ථානයට ද වඩා කැමතිය. මේ සඳහා උපාලි අයියා සතු කාමර 35 ක අපූරු හෝටලයක් ඒ කඳු බෑවුමේ ඇති බව පෙනෙන්නේ උත්සාහයෙන් ඒ දෙස බැලුව හොත් පමණි. එය ඇත්තේ ඒ තරමටම නොබාදහම හා බද්ධවී නිසා එකපැහැර නොපෙනේ.
උපාලි අයියා හෝටල්කරුවකුට වඩා හොඳ ගොවියකු ලෙස පෙනී සිටින්නට කැමතිය. ඔහුගේ හෝටලයට පහළින් ඇති කිරිඳිඔය දක්‌වාම වූ අක්‌කර 15 ක ඉඩම ඔහු මුළුමනින්ම වෙන් කර ඇත්තේ ගොවිතැනටය. කෙසෙල්, දොඩම්, අඹ, අන්නාසි, ගස්‌ලබු ආදී පලතුරු භෝග ද ගම්මිරිස් වල්ලපට්‌ටා, කෝපි වැනි ආර්ථික බෝග ද එළවළු වර්ග ද සලාද මින්චි සේර වැනි කොළ පලා වර්ග ද ඔහු වවන්නේ හෝටලයේම ප්‍රයෝජනය සඳහාය. සංචාරකයෝ හෝටලයේ සිට ගොවිබිම හරහා වගාවන් බලමින් ගඟෙහි නාන්නට යැමට ද දක්‌වන්නේ පුදුමාකාර කැමැත්තකි.
ඇල්ලට එන සංචාරකයෝ ඇඟ වෙහෙසෙන ව්‍යායාම කටයුතුවලට ද හරි උනන්දුය.
කඳු නැගීම, කඳු සහිත පාරවල් වල සයිකල් පැදීම ද ඔවුනට ගෙන දෙන්නේ අපරිමිත වින්දනයකි. විශේෂයෙන්ම දුම්රිය ඔස්‌සේ ඇල්ලට එන අඩු වියදමින් ජීවත් වන සංචාරකයා ඇල්ල නගරයේ පහසුකම් සපයන ජනතාව හා සුළු ව්‍යාපාරිකයන් හා එක්‌ව කරන්නේ පා ගමනින් හෝ සයිකල් මතින් ගමන් කිරීමය. ත්‍රිවීලරය ඔවුන්ගේ ලෙන්ගතු ගමන් සගයාය.
මේ ආකාරයේ සංචාරකයන්ට පහසුකම් සැපයීමේදී “යම් යම් සීමාව ඉක්‌මවා යැම්”වලට ද දෙපැත්තේම අය පෙළඹී ඇති බව ද නොරහසකි. සංචාරක පුරවරයන්හි සුලභ මේ ගනයේ ක්‍රියාකාරකම් අද ඇල්ලටද පොදුය. එහෙත් මුදලට වඩා රට ජාතියේ අභිමානය උතුම්කොට සලකන ජනතාවක් තවම එහි බහුලව ජීJත් වෙති.
ඇල්ල අද ජනාකීර්ණය වී ඇත්තේ සංචාරකයන්ගෙන් හා ඔවුන්ට පහසුකම් සලසන්නන්ගෙනි. ඇල්ලේ ආර්ථිකය හසුරුවන්නේ අද මේ දෙගොල්ලාය. ඒ නිසා කොයි කාගේත් අත මිට සරුය. සමහරු මේ නිසා සංචාරකයන් නොමග යවන්නට කරන අහිංසක උත්සාහයන් ද හිඟ නැත. ඉරිඟු කරලක් තම්බා අලෙවි කර හෝ තැඹිලි ගෙඩියක් අලෙවි කර ඩොලරයක් දෙකක් ගන්නා අහිංසක ව්‍යාපාරිකයන් අතරේ පාට පාට තිරිවානා ගලක් හෝ ගලක් මුලක් විකුණා, ඒවා වතුරට දමා දිනයක් තබා පසුව බීමෙන් යම් යම් රෝග ව්‍යාධීන්ට ගුණදායක බව කියමින් අලෙවි කර ඩොලර් පහ -හය ගන්නා “ශූරචෞරයෝද” ඇල්ලේ සිටිති. රාවණ ඇල්ල අවට මේ ගනයේ පුද්ගලයෝ බහුලය.
අද ඇල්ල හොඳ නරක මේ කොහි කාගෙනුත් පිරි කාර්ය බහුල සංචාරක නගරයක් වී තිබේ. ඒ එහෙත් තවමත් අප නොදුටුවේ “ඇල්ලේ පිළිවෙළකි.” රජය, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව ඇල්ලෙන් හම්බකර ගන්නා මුදල් සම්භාරය අති මහත්ය. එහෙත් ඇල්ලට ඒ ආයතනයන් මගින් කර ඇත්තේ කුමක්‌ද? අඩුම තරමින් සංචාරකයන් බහුල මාර්ගයක් වන ඇල්ල – රාවණා ඇල්ල මඟ දෙපස විදුලි බල්බයක් දල්වන්නටවත් යමක් කර තිබේද?
කොටින්ම කිවහොත් දවසේ තුන් වේලටම සංචාරකයන් බහුල මවුන්ට් හැවන් හෝටලය පවා අද දුවන්නේ ජෙනරේටරයක් මගින් සපයන විදුලි බලයෙන් වීම පුදුමයකි. අඩුම තරමින් රටේ හැමටම විදුලි බලය දුන්නාය කියන රජය මේ පාරට කරන්ට් වයරයක් ඇද දෙන්නට පවා අසමත්ය. නගර සභාව අතමත්ය. පළාත් සභාව ද අසමත්ය. ඒත් සමඟම අද ඇල්ලට පොදු ප්‍රශ්නයක් වී ඇති කුණු කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලුවලටද මේ කිසිවකුට නිසි විසඳුමක් නැත. ඇල්ලේ සුන්දරත්වය අසුන්දර කරන අඳුරු කරන මේ අභියෝග සංචාරක කර්මාන්තය ඉදිරියේ ඇතිකර තිබෙන්නේ ඇල්ල දුර්ගය හා සමානම බාධකයක් නොවේද?
ඇල්ල සංචාරකයකින් පසුව ලියන ලද්දකි.
පින්තූර – තිස්‌ස ගුණතිලක
බුලිත ප්‍රදීප් කුමාර
තිස්‌ස ගුණතිලක
– Divaina