මාරාන්තික වකුගඩු රෝගයෙන් ජනතාව මුදා ගැනීමට නම්… – Rajarata chronic kidney disease

0
779

වස විස රහිත ජලය ආහාර පරිභෝජනය කරමු

මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව පාරේ කිලෝමීටර් 03 ක්‌ පමණ ගිය විට හමුවන ඉහළ තම්මැන්නාව ගමේ වකුගඩු රෝගීන් 12 ක්‌ 2014 වසරේදී මියගොස්‌ ඇත. දැනටත් මේ ගමේ රෝගීන් 14 ක්‌ පමණ සිටිති. මීට යාබදව පිහිටි කොඩියබැන්දවැව ගමේ ජීවත්වන පවුල් විසිනවයක්‌ වකුගඩු රෝගයට ගොදුරුවී සිටිති. මේ හැම පවුලකම එක්‌ රෝගියෙකු හෝ සිටී.

රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එසේම 2002 පටන් මේ දක්‌වාම වකුගඩු අකුරණයේ මුල අග සොයන්නට විවිධ පර්යේෂණයන්හි නිරතවී සිටින වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයේ මුල අග මේ වන විට සොයාගෙන ඇත. වැඩි වශයෙන් රජරට පුරාවට ව්‍යාප්තවී ඇති වකුගඩු අකරණය පිළිබඳව ලෝකයේ විද්වතුන් හා පර්යේෂකයන් අතර වැඩිම පර්යේෂණ පත්‍රිකා සමූහයක්‌ නිකුත් කරමින් වකුගඩු රෝගයේ පතුලටම කි¹බැස ඇති වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයට අදාළව රැස්‌කරගෙන ඇති පර්යේෂණාත්මක තොරතුරු මෙසේ හෙළි කරයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලවාර්තාවලට අනුව මේ වන විට රජරට වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්‌මවා ඇත. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පමණක්‌ වකුගඩු අකරණයට ගොදුරුවී සිටින රෝගීන් සංඛ්‍යාව තුන් දහසකට වැඩිය. මැදවච්චිය නගරයේ පවත්වාගෙන යන කිඩ්නි කෙයා” සංවිධානයේ සභාපති සහ මැදවච්චිය රජයේ රෝහලේ වෛද්‍ය ඉඳුමිණ රූපසිංහ මහතා මේ සංඛ්‍යා තහවුරු කරයි.

මැදවච්චියේ සිට මන්නාරම් පාරේ කිලෝමීටර් 12 ක්‌ පමණ ගියවිට පෙරියකුලම ගම හමුවේ. පෙරියකුලම ගමේ එක පවුලක සිටින හත්දෙනාම වකුගඩු රෝගීන්. මෙයින් දෙදෙනකු මේ වන විට මියගොස්‌ ඇත. මේ ගම්මානයේ පමණක්‌ වකුගඩු අකරණයට පත්ව සිටින රෝගීන් පනහකට වැඩියි.

මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව පාරේ කිලෝමීටර් 03 ක්‌ පමණ ගිය විට හමුවන ඉහළ තම්මැන්නාව ගමේ වකුගඩු රෝගීන් 12 ක්‌ 2014 වසරේදී මියගොස්‌ ඇත. දැනටත් මේ ගමේ රෝගීන් 14 ක්‌ පමණ සිටිති. මීට යාබදව පිහිටි කොඩියබැන්දවැව ගමේ ජීවත්වන පවුල් විසිනවයක්‌ වකුගඩු රෝගයට ගොදුරුවී සිටිති. මේ හැම පවුලකම එක්‌ රෝගියෙකු හෝ සිටී.

අපේ තාත්තා වකුගඩු රෝගයට වසර දෙකක්‌ පමණ බේත් ගත්තා. ටිකෙන් ටිකම රෝගය මෝරන්න වුණා. අන්තිමට රුධිරකාන්දු කරණයක්‌ කළා. රුධිර කාන්දුකරණය ටික කලක්‌ කරගෙන යද්දී තාත්තා මැරුණා. මගේ මියගිය තාත්තා වෙනුවෙන් මම දැන් ඉහළ තම්මැන්නාව ගමේ පවුල් 250 කට පමණ පිරිපහදු කළ ජලය ලබා දෙනවා. කිඩ්නි කෙයා සංවිධානයේ භාණ්‌ඩාගාරික ජයන්ත විජයසිරි තරුණයා විස්‌තර කළේය.

ඖෂධ ලබාදීමෙන් සහ රුධිර කාන්දු කරණයෙන් කෙරෙන්නෙ රෝගියාට තව ටිකක්‌ ආයුෂ ලබාදීම පමණයි. රෝගය නිට්‌ටාවට සුවකරන්න බෑ. රෝගය නිට්‌ටාව සුවකරන්න නම් රෝගය ඉපිදවීමේ හේතු කාරකයන් හොඳින් දැනගෙන ඒවා නිෂේධ කිරීමට කටයුතු කළ යුතුයි. වෛද්‍ය චන්න විස්‌තර කළේය.

වකුගඩු අකරණය කියන්නෙ වකුගඩු ක්‍රියා විරහිතවීමයි. අපේ ශරීරයේ තියෙන්නේ 70% ක්‌ම ජලය. අපව ජීවත් කරවීමේ ප්‍රදාන නියමුවා ජලයයි. අපට වැළඳෙන අපමණ රෝගවල එක්‌ ප්‍රධාන සාධකයක්‌ වන්නේ ජලයයි. දූෂිත ජලය පානය කිරීමෙන් හට ගන්නා විවිධ රෝග නිසා ලෝකයේ ජනගහණයෙන් දිනකට හයදාහක්‌ පමණ අකාලයේ මිය යනවා. වකුගඩු රෝගය නිසා අපේ රටෙත් දැන් දිනකට 10 ක්‌ 12 ක්‌ මිය යනවා. පරිසර සාධක නොසලකා හැර මිනිසාගේ අවිධිමත්ව කෙරෙන ආහාරපාන සහ ජීවන රටාව නිසාත් සමතුළිත නොවන පාරිසරික ගනුදෙනු නිසාත් වකුගඩු අකරණය වැනි රෝග සමාජගත වෙනවා.

ඉතාමත් සුපිරිසිදු යෑයි සිතා බීමට ගන්නා ජල වීදුරුවක්‌ තුළ අපේ දැසට නොපෙනෙන කිසිදු ගඳක්‌, සුවඳක්‌, පාටක්‌, රසයක්‌ නැති අගුණදායක බැක්‌ටීරියාවන් බැරලෝහ රසායන ද්‍රව්‍ය මුහුවී තිබිය හැකියි.

හැටේ දශකයේදී හරිත විප්ලවය හරහා අපේ ගොවිතැනට ඇබ්බැහි කළ වල්නාශක හා කෘෂිරසායන නොමැතිව අද ගොවිතැන නොකළ හැකි තරමට ගොවි ජනතාව ඒවාට ඇබ්බැහිවෙලා. හරියටම වකුගඩු අකරණය හරහා මරණය ඉල්ලා කෑ ගසනවාක්‌ මෙන් දැන් බොහෝ ගොවීන් රසායනික පොහොර ඉල්ලා කෑගසනවා. මෙම කෘමිනාශක වල්නාශක රසායනික පොහොර ආදියේ ආසනික්‌ කැඩ්මියම් වැනි බැරලෝහමෙන්ම ශරීරයේ නිරෝගිතාව නැති කරන විවිධ සංඝටකයන් අඩු වැඩි වශයෙන් පවතිනවා. මේවා ශරීරයට අහිතකරයි. රුධිරය සමඟ මුහුව පවත්නා මෙම සංඝටකයන් ඉවත් කොට රුධිරය පිරිසිදු කරන්නට යැමේදී ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන වකුගඩුව ලෙඩවි අකරණයට පත්වෙනවා.

වකුගඩු සෑදී ඇත්තේ වෘක්‌කානු නමැති පෙරහන් ලෙස ක්‍රියා කරන ඉතාම සියුම් ඒකක මිලියනක පමණ එකතුවෙනි. වකුගඩුවේ ක්‍රියාකාරිත්වය වන්නේ පරිබාහිර ක්‍රියාවන් ගෙන් රුධිරයට එකතුවන අපද්‍රව්‍ය බැහැරකිරීමය. මුත්‍රා ලෙස පිටවී යන්නේ ඒ අපද්‍රව්‍යයන්ය. එක්‌ විනාඩියකට රුධිරය මිලිලීටර් 1300 ක්‌ පමණ වකුගඩු හරහා සංසරණය වෙනවා.

වියලි කලාපයේ ජලය බොහෝවිට කිව්ල මුහුවී පවතිනවා. අප කාලයක්‌ තිස්‌සේ භාවිතයට ගන්නා පානීය ජලයේ බැරලෝහ කිව්ල සමඟ මුහුවීමෙන් ජලයේ සංයුතිය වෙනස්‌ වී එහි අඩංගු විෂකාරක වකුගඩු හරහා ගමන් කිරීමේදී වකුගඩුවේ වෘක්‌කානු දියවෙමින් මියයයි. ඒ නිසා වකුගඩුවේ ක්‍රියාකාරිත්වය අඩාල වේ. මෙසේ අකරණයට පත්වන වකුගඩු නැවත ඖෂධ මගින් සුවපත් කළ නොහැකිය. වෘක්‌කානු දියවී මියයන හෙයින් ඒවායේ සුවපත් කරන්නට ඉතිරිවන දෙයක්‌ නැත. මියයන හෙයින් ඒවායේ සුවපත් කරන්නට ඉතිරිවන දෙයක්‌ නැත. මියගිය ජීවිතයකට ඖෂධ මගින් යළි පණ ලබා නොදිය හැකිවාක්‌ මෙන් දියවී මියගිය වෘක්‌කානු නැවත පණගැන්විය නොහැකිය. වකුගඩු අකරණය ලෙස හඳුන්වා ඇත්තේ වකුගඩුවල වෘක්‌කානු මියගොස්‌ එහි ක්‍රියාකාරිත්වය අඩාල වීමයි. මෙහිදී අප කළයුතු එකම දෙය ආහාරපානවලින් පරිස්‌සම් වීමයි. එසේම අපේ සිරුර ගතකරන ආහාරපානවලින් වස විෂ මුසු බෝග ජලය ආදිය ඉවත්කිරීමයි. සියලු විෂ සහිත කෘෂි රසායන වර්ග ආහාරපාන සඳහා භාවිත කිරීම සපුරා ඉවත් කළ යුතු යෑයි අවධාරණය කරන්නේ ඒ නිසායි.

දැන් දැන් අපේ රටේ විශේෂයෙන් රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වන්නේ පෙරදා සිට පැවත එන පාරම්පරික වකුගඩු රෝගය නොවේ. එක එල්ලේම කැඩ්මියම් ආසනින් වැනි බැරලෝහ අඩංගු කෘෂි රසායන ආහාර බෝගවලට භාවිතා කිරීම නිසා එම විෂකාරකයන් පසට පොළවට වතුරට ආහාරබෝගවලට කාන්දුවීමෙන් ඒවා ආහාරපාන හරහා ශරීර ගතවීමෙන් රුධිරයට මුහුවී රුධිරය පිරිපහදු කරන වකුගඩුවල පවතින වෘක්‌කානු දියකිරීමෙන් වකුගඩු අකරණයට පත්කිරීම දැන් බහුල ලෙස ව්‍යාප්තවන වකුගඩු රෝගයයි. විස සහිත කෘෂි රසායන සපුරා භාවිතයෙන් බැහැර කරන තුරු වකුගඩු අකරණය නැවැත්විය නොහැකිය.

දැන් පවතින වකුගඩු අකරණය සිරුරේ පටන්ගත් හැටියේම බාහිර වශයෙන් දැනෙන්නේ නැත. රුධිරය පිරිසිදු කරන වෘක්‌කානු ක්‍රමයෙන් ටිකෙන් ටික දියවී යමින් බොහෝ කොටස්‌ මැරීගිය විට බාහිර වශයෙන් රෝග ලක්‍ෂණ මතුවේ එවිට රෝගය මෝරා හමාරය. මෙම සියලු තත්ත්වයක්‌ පාලනය කිරීමට ඇති නොවරදින මග වන්නේ විෂ සහිත කෘෂි රසායන ආහාරපානවලින් බැහැර කිරීමය. විශේෂයෙන් ආහාරපානවලට විෂකවන රසායනික පොහොර, රසායනික තෙල් ආදිය පොළවට වැක්‌කිරීම වහාම අත්හල යුතුය. කෘෂිරසායන වගාවට යෙදීමෙන් අපේ රටට කඩා වැටී ඇති වකුගඩු, හෘද, රුධිර ආදි රෝගවලින් වැළකීමට නම් විෂ සහිත රසායනික තෙල් පොහොර වගාවන්ට යෙදීම වහාම අතිහිටුවිය යුතුය.

මේ පිළිබඳව දසවසරකට වඩා වැඩි කලක්‌ පර්යේෂණ පැවැත්වීමෙන් පසු අණාවරණය කරගත් කරුණු අනුව කෘෂි රසායන නොමැතිව දේශීය වී වගා කිරීමේ වැඩසටහනක්‌ අත්හදා බැලීමේ පදනමක්‌ මත 2014 මහ කන්නයේදී රජරට ගොවිපවුල් පනස්‌ දහසක්‌ සම්බන්ධකරගෙන පවත්වනු ලැබීය. මෙහිදී රජය පුරෝගාමී මෙම ගොවි පවුල් පනස්‌ දහසට රත්සුවදැල්, කළුහීනටි, බෙහෙත්හීනටි, සුදුරු සම්බා, කුරුළුතුඩු, මඩතවාලු වැනි දේශීය වී වර්ග කිලෝ පහළොව බැගින් බිත්තරවී සඳහා රජයේ වියදමින් ලබාදී ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක්‌ද පිහිටුවනු ලැබීය. කෙසේවුවද ආණ්‌ඩු පෙරළීයැමත් සමඟ ඒ වැඩ පිළිවෙළද පෙරළී ගියේය. මේ වන විට දේශීය වී වගා ව්‍යාපෘතිය කඩා කප්පල්වී ඇත.

රෝගය සෑදීමෙන් පසු අසාර්ථක ප්‍රතිකාර කරනවාට වඩා කළයුතුව ඇත්තේ රෝගය නිවාරණය කිරීම සඳහා රෝගය උපදවන විෂ සහිත කෘෂිරසායන වගාවට භාවිතා කිරීම අත්හිටුවීමය. ජාතික ධනය කෝටිගණනින් වැයකොට විදේශීය ඖෂධ හා රුධිරකාන්දුකරණ යන්ත්‍ර ආනයනය කොට රෝගීන් සඳහා යොදා ගනු ලැබුවත් ඒ ක්‍රියාමාර්ගවලින් රෝගීන්ට ටික කලකට ආයුෂ දෙනවා හැරෙන්නට රෝගීන් මරණයෙන් බේරාගැනීමට නුපුලුවන. ඔව්හු ඒකාන්තයෙන්ම මෙම රෝගයෙන් අකාලයේ මියයති. එසේනම් රජරට ජනතාවට ජීවිතදානය දීමට නම් කළයුතු එකම ප්‍රතිකර්මය වන්නේ විෂ කාරක අඩංගු කෘෂි රසායන වගාවට යෙදීම අත්හිටුවීමය. මේ දිනවල කොළඹ රටේ නිතර කතාබහ කරන දේශපාලන හෙයියම්මාරුවට වඩා වකුගඩු රෝගයට ගොදුරුවී සිටින රජරට ජීනජීවිත ගැන රජයේ අවධානය යෙදවීම වඩාත් ජන හිතකාමි වේ. ගොවිජනතාව උසිගන්වා ගෙන සමහර සංවිධෘන මගින් රසායන පොහොර ඉල්ලා කෑකොස්‌සන් ගසන නමුත් වකුගඩු, පිළිකා, හෘද ආදී බෝනොවන රෝග ජනතාව වෙත කැන්දාගෙන එක කෘෂි රසායන ආහාරබෝග වලින් ඉවත් කිරීමට කාලය පැමිණ තිබේ. මේ නිසා අතීත චෝල ආක්‍රමණයේදී මෙන් වර්තමානයේ වකුගඩු මාරයා ගෙන් රජරට ජන ශූන්‍ය වන්නට ඉඩ නොදී විෂකාරක කෘෂිරසායන ගොවිතැනින් ඉවත් කිරීමට රාජාඥවක්‌ නිකුත් කරන්නේ නම් අකාලයේ මියයන ජන ජීවිත බේරාගත හැකිය.

දශකයකට වැඩිකලක්‌ රජරට වකුගඩු අකරණය පිළිබඳ විවිධ පර්යේෂණ පැවැත්වූ

රජරට වෛද්‍ය විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වෛද්‍ය චන්න ජයසුමන
සාකච්ඡා කළේ
එප්පාවල රත්න බී. ඒකනායක
– Divaina