අපට අඩු වයසින් හෘදයාබාධ හැදෙන්නේ ජාන සැකැස්ම නිසා

0
1377

හාට් ඇටැක් එකක්ද?
අද හදිසියේ කිසියම් කෙනකු මියගිය බව ඇසුණු සැනින් කවුරුත් අසන්නේ එහෙම ප්‍රශ්නයකි. ඒ තරමට හෘදයාබාධ අද සුලබය. මීට දශක කීපයකට ඉහතදී නම් එවැන්නක් ගැන අසන්නට ලැබුණේ කලාතුරකිනි. ඒ දවස්වල හෘදයාබාධවලින් බොහෝ විට මියගියේද විශ්‍රාමික සුවයෙන් කල් ගෙවූ වියපත් කෙනෙකි.

එහෙත් අද තත්ත්වය වෙනස්ය. හෘදබාධවලින් මියයන බහුතරය වයස අවුරුදු හතළිහත් හැටත් අතර රටට තවමත් වැඩක් කළ හැකි පිරිසකි.
ඒ නිසා අද හෘදයාබාධ යනු සමාජ ප්‍රශ්නයක් දක්වා ඔඩුදුවමින් පවතින රෝගයක් බවට පත්ව තිබේ. හෘදයාබාධ හේතුවෙන් මියයන පිරිස මේ තරම් වැඩිවන්නටත් හෘදයාබාධයකට අඩු සාපේක්ෂව අඩු වයසින් ගොදුරු වන්නටත් හේතු හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය.

මෙයට එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ (එනම් ශ්‍රී ලාංකිකයන්ට) උරුමව ඇත්තේ හෘදයාබාධයනට වැඩි නැඹුරුවක් ඇති ජාන සැකැස්මක් වීමය.
ලෝක ජනගහනයෙන් 20ක් නැතිනම් පහෙන් එකක් ජීවත් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ අපේ ශ්‍රී ලංකාව යන රටවල් හතර තුළය. ලෝකේ ජනගහනයෙන් එතරම් වැඩි පිරිසක් ජීවත් වන අපේ කලාපයේ මිනිසුන්ගේ ජාන සැකැස්මද ලොව අන් රටවල මිනිසුන්ගේ ජාන සැකැස්මට වඩා යම් වෙනසකින් යුතු වේ. උදාහරණයක් ගෙන හැර දක්වනවා නම් අපේ කලාපයේ අපගේ ශරීරයේ මේදය තැන්පත් වන්නේ කුස ප්‍රදේශය වටාය. එහෙත් යුරෝපීයයන්ගේ උරහිස් ප්‍රදේශයේ මේදය තැන්පත් වීම සිදුවේ. අපේ අයගේ බඩ ප්‍රදේශය දෙපස ටයර් ආකාරයට නෙරීම් හට ගන්නේත් යුරෝපීයයන් වඩා පුළුල් වූ උරහිස් වලින් යුතු වන්නේත් මේ මේද තැන්පත් වන දෙආකාරය නිසාය.

ලංකාව ඉන්දියාව වැනි රටවල මිනිසුන්ගේ මේ ජාන සැකැස්මේ ඇති අයහපත් වෙනස නිසා කිරීටක ධමනි අවහිරතා මෙන්ම හෘදයාබාධ වැළඳීමේ අවදානමද ඉහළය. ඒ නිසාම අප ප්‍රථම හෘදයාබාධයට ගොදුරු වීමේ සාමාන්‍ය වයස යුරෝපීයයන්ට ප්‍රථම හෘදයාබාධය වැළඳෙන වයසට වඩා දස වසරකින් අඩු බව තහවුරු වී තිබේ. ඒ අනුව යුරෝපීයයන්ට වයස අවුරුදු පනහෙදී ප්‍රථම හෘදයාබාධය වැළඳෙන විට ලාංකිකයෙකුට හෝ ඉන්දියානුවෙකුට එය අවුරුදු හතළිහේදී හට ගැනීමේ අවදානමක් තිබේ.
ජාන සැකැස්ම එසේ වුවද අපේ පැරැන්නන්ට හෘදයාබාධ සුලබ නොවූයේ කෙසේද?
හෘදයාබාධයකට වැඩි නැඹුරුවක් ඇති අපට උරුම මේ ජාන සැකැස්ම අපේ මුතුන් මිත්තන්ටද එලෙසම උරුමව නොතිබුණා නොවේ. එහෙත් ඔවුනට අද ජීවත්වන අයට මෙන් සුලබව සහ අඩු වයසින් හෘදයාබාධ වැළඳුනේ නැත්තේ ඇයි දැයි කෙනකු විමසිය හැකිය.

කෘෂිකාර්මික ජීවන රටාවක් උරුම වූ අපේ පැරැන්නන්ට වැඩිපුර වෙහෙස මහන්සි වීම උරුමය වූ නිසා අපේ ජාන සැකැස්ම එලෙස වූවා වන්නට ඇත. එහෙත් එදා ඔවුනට ඒ ජාන සැකැස්ම ගැටලුවක් වූයේ නැත. හේනේ කුඹුරේ වෙහෙස වෙමින් අප්‍රමාණ කාය ශක්තියක් වැය කරන්නට වූ ඔවුනගේ ශරීර තුළ අනවශ්‍ය මේද තැන්පත් වීමකට අවකාශ තිබුණේ නැත. සියල්ල ක්ෂණයකින් සිදුවන යන්තේ‍රා්පකරණද නොතිබුණ නිසා එදිනෙදා සියලු වැඩ කටයුතු කරන්නට සිදු වූයේද ගත වෙහෙසාය.
ඔවුන් එදා ආහාරයට ගත් බත්පතද ඉතා සරලය. එහි වූයේ ගෙවත්තේ කොරටුවේ වැවුණ ගුණදායක එළවළුවක් දෙකක් පළා මැල්ලුමක් නැතිනම් කොස් පොළොස්ය. තුන් වේලටම කොත ගැසූ බත් පිඟාන් කෑවද සිරුරට එන කැලරි ප්‍රමාණය වැය වන්නට ඇති තරම් ක්‍රියාකාරකම් වල ඔවුහු නියැළුණහ. ආහාරයට ගත් සරල දේ තුළින් අද මෙන් කොලොස්ටරෝල් ගැටලු පැන නැගුනේද නැත.

ඔවුන් හුරු වූ සරල ජීවන රටාව තුළ හඹා යන්නට අසීමිත ඉලක්ක නොතිබූ නිසා ඔවුහු ඉතා සැහැල්ලු මනසින් ජීවත් වූහ. ඒ නිසාම මානසික ආතතිය ඔවුන්ට ආගන්තුකය. කුඩා දරුවාගේ පටන් හුරු වූයේ මෙම සරල ජීවන රටාවටය. පාසල නිමවී නිවසට පැමිණි දරුවාට එතැන් සිට ඇත්තේ මනසට විවේකයකි. සවස් කාලය පුරාම දුව පැන ක්‍රීඩාවේ යෙදෙන දරුවාගේද කැලරි දහනය හොඳින් සිදු වූ නිසා අනවශ්‍ය තරබාරු බවකට ඉඩක් තිබුණේ නැත.
මෑතක පටන් දිනකට සිය දෙනකු මියයන තරමට හෘදයාබාධ සුලබ වූයේ කෙසේද?

මේ සියල්ල උඩු යටිකුරු වීම හෘදයාබාධ පමණක් නොව බෝ නොවන රෝග ගණනාවකට මෙතරම් ජනතාවක් ගොදුරු වීමට ප්‍රධානම සාධකය වූවා නිසැකය. තෙල්, සීනි, ලුණු, අධික පරිභෝජනය හෘදයාබාධ ඇතුළු බෝ නොවන රෝග ගණනාවකට මූලික හේතුවක් බව කිව යුතු නොවේ. අද බොහෝ පිරිසක් හුරුව ඇති
ක්ෂණික කෑම කෘත්‍රීම රසකාරකවලින් රස ගන්වා තෙල්, සීනි, ලුණු අධිකව යොදා ආහාරය රූපවාහිනී තිරය මත දිග හැරෙන වෙළෙඳ දැන්වීම්වල කුඩා දරුවන් තළු මරන කෘත්‍රිම ආහාරවලට දරුවන් හුරුවන්නේ ඉතා කුඩා කාලයේදීමය. ඒ රසට ගිජුව ඊටම හුරු වූ දරුවා වැඩිහිටි වුවද ඉන් මිදෙන්නට හැකියාවක් නැත. අද බොහෝ පිරිසක් නියැළෙන්නේ ගත වෙහෙසන්නට වන රැකියාවල නොවේ. ඔවුන් බොහෝ විට තම වෘත්තීන්හි නියැලෙන්නේ එක තැන එකම ඉරියව්වකය.
ඔවුනගේ සිරුරට පිවිසෙන කැලරි ප්‍රමාණය වැයවීම සිදු වන්නේ මන්දගාමීවය. ව්‍යායාම මගින් කැලරි දහනය කරවීම අත්‍යවශ්‍ය වන්නේ එවිටය. සිරුර ක්‍රියාකාරකම්වලදී වෙහෙසුනද නොවුණද ව්‍යායාමවල නිරතවීම ආහාර පාන තරමටම වැදගත් බව බොහෝ අයට නොහැඟෙති. ව්‍යායාම නැති වීම සිරුරට ඇතුළු වන කැලරි ප්‍රමාණය නැවත වැය වන ආකාරයක් නැති නිසා සිරුර තරබාරු වීම නොවැළැක්විය හැකිය.

මේ ආකාරයට තවත් දස වසරක් ගත වන විට හෘදයාබාධයක් යනු අතිශ්‍ය සුලබ රෝගයක් වෙමින් වයස අවුරුදු දහ අටේ විස්සේ තරුණ පිරිස් ගොදුරු වන රෝගයක් වනු නියතය.

එවන් භයානක තත්ත්වයක විසඳුම් සෙවීමට දැනටමත් ප්‍රමාද වැඩිය. එහෙත් දැන් හෝ එය ආරම්භ කළ යුතුව තිබේ. දරුවන්ට ආදරේට යැයි රූපවාහිනියේ දකින දකින දේ ඉල්ලා සිටින දරුවන්ට ඒවා රැගෙන දෙමින් පුංචිම දරුවන්ට හෘදයාබාධයකට අඩිතාලම දමන්නේ මව්පියන්මය. කෘත්‍රිම ආහාර හේතුවෙන් අධික ස්ථුලභාවයට පත්වන දරුවන් දුව පැන ඇවිදින්නටවත් මැලි වෙති. රූපවාහිනියට පරිගණකයට වන ඇබ්බැහියාවද ක්‍රියාකාරකම් අඩු කරවමින් දරුවන් රෝගීින් බවට පත් කරවන්නට ඉවහල් වේ. තවත් පැත්තකින් ඔවුනට ක්‍රීඩාවේ නියැළීමට කාලයක්ද නැත. ඒ ඔවුන් පාසල් ඇරී නිවසට ආ වෙ‍ලේ පටන් අතිරේක පන්තිවලට මාරුවීමට සිදුවන නිසාය.

ව්‍යායාමවලට හුරුකරවීම කුඩා අවධියේ පටන්ම ආරම්භ කළ යුත්තකි. කුඩා කාලයේදී ව්‍යායාමයට පුරුද්දක් ඇති කරගත් විට හැමදාටම එහි අවශ්‍යතාවය දැනෙනු ඇත. එහෙත් වැඩිහිටි වූ පසුව ව්‍යායාම වලට හුරු පුරුදු වීම පහසු වන්නේ නැත.
අද ඔබේ දරුවා තවත් දස වසරකින් හෘදයාබාධයකට ගොදුරු වීමෙන් වළකාගන්නේ කෙසේද?
එවන් භයානක තත්ත්වයකින් අත් මිදෙන්නට නම් ආකල්පමය වෙනසකට යමින් සියල්ල නැවත නිවැරදි කර ගත යුතුව තිබේ. අද එය ආරම්භ කරන්නට සිදුව ඇත්තේ පුංචි දරුවාගේ සිටය. එය කළ හැක්කේ අම්මා තාත්තාට මිස විශේෂඥ වෛද්‍යවරයකුට නොවේ.

උත්පලා සුභාෂිනී ජයසේකර