මාධ්‍ය සහ සන්නිවේදන තාක්‍ෂණය අද ඉතා දියුණු මට්‌ටමක පවතී. සංඥාවක් නිවේදනය කරනු පිණිස අද අනේක විධ දියුණු ක්‍රමවේදයන් පවතී. ඒ කුමන දෙයක් පැවතුණද පෝස්‌ටර් බැනර් සහ කටවුට් කලාව ඉහත කී සියල්ල අභිබවා තවමත් ඉදිරියෙන්ම සිටින බව රහසක් නොවේ.
අද අප රටේ බැනර් ගැසීම සඳහා වැඩිපුරම යොදාගන්නේ අමු පොප්ලින්, ටැපටා වැනි රෙදි වර්ගයි. නගරාසන්න පැතිවල ෆ්ලෙස්‌ක් කියා ඇමතෙන ප්ලාස්‌ටික් මිශ්‍රිත රෙක්‌සින් වැනි රෙදි වර්ගයක්‌ද මේ සඳහා යොදා ගනී. ඒවාට කියන්නේ ඩිජිටල් බැනර් කියායි.
කටවුට් යනු බැනරයක් වැනි මුද්‍රිත රෙද්දක් හෝ ෆ්ලෙක්‌ස් බැනරයක් වටා ලී හෝ යකඩ හතරැස් රාමුවක් ගසා මහජනයාට පෙනෙන ලෙස එල්ලා තබන තවත් ප්‍රචාරණ මාධ්‍යයකි.
පෝස්‌ටර් යනු බිත්තිවල තාප්ප වල ලයිට් කණු වල කෝච්චි බස් වැනි ලොකු වාහන වල අලවන කරදාසියෙන් නිපදවන දෙයක් බව පුන පුනා කීමෙන් පාඨකයාගේ දැනුම අවතක්‌සේරු කිරීමක් නොවන බවද මෙහිදී සිහි කරමි.
සාමාන්‍යයෙන් අප රටේ පෝස්‌ටර් මාධ්‍යයෙන් ජනතාව දැනුවත් කරන අය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා පෙන්විය හැක. ඒ නාට්‍ය චිත්‍රපට වැනි කලා නිර්මාණ කරුවන් පෞද්ගලික උපකාරක පන්ති කරන ටියුෂන් ගුරුවරුන් සහ දේශපාලනඥයන්ය.
මොවුන්ට අමතරව මරණ දැන්වීම් ප්‍රසිද්ධ දේපළ සහ රන් ආභරණ වෙන්දේසි රැකියා අවස්‌ථා නිවෙස්‌වල පරිහරණය කරන බඩු භාණ්‌ඩ විකිණුම් සේල්, නැතිවූ පුද්ගලයින් බඩු භාණ්‌ඩ සහ බල්ලන් පූසන් කුරුල්ලන් පුවත්පත් පිළිබඳ පූර්ව ප්‍රචාරණ සහ ආගමික රැස්‌වීම් වැනි දේ පිළිබඳවද කඩදාසි මත මුද්‍රිත කොල තැන් තැන්වල ඇලවීම අද සුලබ දසුනකි. ඇත්ත වශයෙන්ම මේ පෝස්‌ටර් නොව නෝටිස් හෙවත් දැන්වීම් කියා හැඳින්වුවොත් හරි යෑයි මම සිතමි.
මෙයට දසක දෙකකට පෙර චිත්‍රපට සහ නාට්‍ය පිළිබඳ පෝස්‌ටර් කලාව අප රට තුළ ඉතා ඉහළ මට්‌ටමක තිබුණු අයුරු මට මතකය. ගාමිණි, එඩී, ප්‍රෙඩී, ජෝ, ටෝනි, විජය, බැප්ටිස්, රුක්‌මනී, ක්‌ලැරිස් අනුලා, පුන්‍යා, මාලිනී, ගීතා, වැනි හෙල සිනමාවේ නලු නිළියන් අප හදවත් ආක්‍රමණය කළේ චිත්‍රපටය බලන්නටත් පෙර තාප්ප බිත්තිවල අලවා තිබූ ආකර්ෂණීය වෛවර්ණ ජීවමාන ප්‍රමාණයේ පෝස්‌ටර් සහ කටවුට් තුළිනි. නාට්‍යය ගැන කියන්නට ඇත්තේද එයමය. හුණුවටයේ කතාව, සිංහබාහු, මනමේ, හෙවනැලි ඇද මිනිස්‌සු, විකෘති, මෝරා, මකරාක්‍ෂයා, පැංස දෙකේ හංසයා, ලෝමහංස, සුබ සහ යස, නෙයිනගෙ සූදුව, වැනි නාට්‍යවල පෝස්‌ටර් එවායේ රඟපාන නලු නිළියන්ගේ රූප සහිතව තාප්ප වල බිත්ති වල එකල අලවා තිබුණු අයුරු තාම අප මනසේ හොල්මන් කරයි.
පාසලේ හත් අට වැනි පන්තියේ ඉගෙන ගන්නා කාලයේ පෝස්‌ටර් එකතු කිරීමේ සහ ඒවා ගෙනැවිත් කාමරය පුරා ඇලවීමේ උන්මාදයක් හෙවත් විනෝදාංශයක් මා තුළ තිබුණි. මගේ කාමරයේ එක් බිත්තියක් වැසී තිබුණේ සබන් දත් බෙහෙත් විනාකිsරි පපඩම් කිරිපිටි වැනි ආහාරපාන පිළිබඳව සිව් වර්ණයෙන් මුද්‍රණය කරන ලද කාඩ්බෝඩ් පෝස්‌ටර් වලිනි. නුගේගොඩ පරණ සරසවි පොත්හලට යාබදව තිබූ තොග සහ සිල්ලරට බඩු විකුණන මට මතක හැටියට ගමගේ ස්‌ටෝර්ස් නම් වූ කඩයේ මුදලාලි මට බොහෝ ප්‍රියව සිටි අතර අම්මා සහ කුඩා මම නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය එම කඩෙන් අරන් ගෙදර යද්දී මුදලාලි ගෝලයෙකු අප පසුපස එවා අම්මාගේ කුඩා මෝටර් රථයේ ඩිකිය ඇර එතුළට අපේ බඩු මල්ලත් මා ඉහත කී පෝස්‌ටර් මිටියක්‌ද ඇතුල් කරන අයුරු මට මතකය සමහර පෝස්‌ටර්වල දුඹුරු පැහැති ගම් වැනි දෙයක් තිත් තිත් ලෙස ඇලී තිබුණු අතර ඒ වෙන මුකුත් නොව මැස්‌සන්ගේ අසූචි බව අපේ අයියා මට කියා දුන් අයුරුත් මට මතකය.
මගේ කාමරේ අනෙක් බිත්ති පිරී තිබුණේ චිත්‍රපට සහ නාට්‍ය පෝස්‌ටර් වලිනි. ඒ අතර සිංහල ඉංග්‍රීසි දෙමළ ආදී සියලුම නළු නිළි රූප සහිත පෝස්‌ටර් දකින්නට විය. රාත්‍රියේ වර්ෂාව වැටෙන කල මාත් අයියාත් රේන් කෝට් දාගෙන කාටත් හොරා ජනේලයෙන් පැන නගරයට ගොස් තෙත් වී පෙඟුණු බයස්‌කෝප් පෝස්‌ටර් නොඉරෙන ලෙස සීරුවෙන් ගලවාගෙනැවිත් වියළා කාමරයේ අලවන්නට පුරුදුව සිටියෙමු. වරක් මට අපූරු පෝස්‌ටර් දෙකක් හමුවිය. ඉන් එකක් වූයේ බඹර පැටික්‌කී හෙවත් දැලිපිහියෙන් කිරි කෑ කොල්ලෙකුගේ කතාව නැමැති චිත්‍රපටයේ විශාල පෝස්‌ටරයයි අනෙක තාමත් විදේශ රටක ජීවත් වන දැන් වයස්‌ගත අප රටේ සරාගී කාමුක නිළියකුගේ නාභිය මලවිකරලිය දෙකලවා අඩක් වැසූ පියයුරු යටිබඩ ආදිය මනාව ප්‍රදර්ශනය වන කාමරැල්ලේ සිනමා පටයක වෛර්ණ පෝස්‌ටරයයි. ඒ දෙකම තාප්පයකින් ගලවා ගෙදර ගෙනත් වේළෙන්නට හැර බිත්තියේ අලවන්නට සැරසෙද්දීම තාත්තාගේ නෙත ගැටුණු නිසා මට සිදු වූයේ එම පෝස්‌ටර් දෙකට තිබූ ආසාව අත්හැර ඒවා කුණු කූඩයට දමන්නට පමණක් නොව බිත්තියේ තිබූ සියලු පෝස්‌ටර් ගලවා මගේ අපූරු විනෝදාංශයට සදාතනිකව සමුදීමටයි. දැලි පිහියෙන් කිරි කෑ කොල්ලාට හිටියේ රවීන්ද්‍ර රන්දෙණිය බව මට දැන් මතක්‌විණි.
නාට්‍ය සිනමා වැනි කලා කෘති පෝස්‌ටර් කෙමෙන් කෙමෙන් අඩුවෙද්දී ටියුෂන් සර්ලාගේ පෝස්‌ටර් බිත්ති සහ තාප්ප ආක්‍රමණය කරන්නට වූ හැටිත් මට මතකය. අප සහෘද ලේඛක අනාගතයේ ආසනයක් දිනන්නට සිහින මවන සන්නස්‌ගල සන්නිවේදකයා ටියුෂන් පෝස්‌ටර් කලාව උඩුයටිකුරු කළ පෝස්‌ටර්කාරයෙක් බව කීවොත් එය නිවැරදි බව මම සිතමි. පැදුරක් හෝ මාගලක් වැනි විශාල කොලයක පොල් ගෙඩි දෙල් ගෙඩි සයිස් එකේ අපේ සිංහල පන්තිය වැනි පෝස්‌ටරය දැක අනෙක් බොහෝ ටියුෂන් සර්ලා බයවෙන්නට ඇති බවත් එකී පෝස්‌ටරය සමග තරග කරන්නට ඔවුන්ට නොහැකි බවත් සිතෙන්නට ඇතැයි මට එකල සිතුණි.
කෙසේ වෙතත් හතු පිපෙන්නාක් මෙන් රටපුරා පෞද්ගලික අමතර පන්ති බිහිවෙන්නට වූ අතර ඊට සමගාමීව පෝස්‌ටර් යුද්ධයක්‌ද අරඹා තාප්ප පුරා බිත්ති පුරා පෝස්‌ටර් ඇලවෙන්නට පටන් ගති. අදටත් ඕනෑම නගරයක මෙකී ටියුෂන් පෝස්‌ටර් සිය දහස් ගණන් දකින්නට ඇති අතර ඒවායේ ගුරුතුමාගේ මුහුණ හෝ උඩුකය ඡායාරූපයක් දමන්නටද අමතක නොකරයි. මෙම පෝස්‌ටර්වල ඉන්නා සමහර තරුණ ගුරුවරුන්ගේ රූප සහ ඉදිරිපත් කරන ඉරියව් දකිද්දී තම ළමයා ඔහුගේ පන්තියට එවා ගෝලයෙක් කරනවා තියා අහලකින්වත් තියන්නට දෙමාපියන් කැමැතිවේදැයි සැකයක් මට ඇතිවෙයි. මෙකී බොහෝ පෝස්‌ටර් වල ඇති මුහුණ වලින් විද්‍යමාන වන්නේ නව යොවුන් දරු දැරියන් ආකර්ෂණය කරගන්නා අභිලාසයෙන් හැඟීම් බර මුහුණු පෙන්වන සමනලයන් බඹරුන්, දෙබරුන්, සල්ලාලයන් කවටයන් සහ නළුවන්ගේ චරිතයි දැන් දැන් නව පන්නයේ විලාසිතාවට අනුව හිස මුඩු කළ කට් කැපූ චීවරධාරීන්ද තම ටියුෂන් පන්ති අලෙවි කරනු පිණිස තම රූපය යෙදු පෝස්‌ටර් මුද්‍රණය කර ඇලවීම කොතරම් දුරට ආචාරශීලීදැයි මම නොදනිමි.
“මේ කවුද මොනවද කරන්නේ” යනු දේශපාලන ක්‍ෂේත්‍රයේ අමතක නොවන පෝස්‌ටරයක් බව අමුතුවෙන් කිවයුතු නැත. 88- 89 භීෂණය කාලයේ සුදු ඩිමයි කොලයත ලේ රත් පැහැයෙන් ලියවී එක් රැයකින් රට පුරා මෙය ඇලවුණු අතර බොහෝ අය සිතුවේ මෙය දේශප්‍රේමී විමුක්‌තිකාමීන්ගේ පෝස්‌ටරයක් කියායි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ සිරිසේන කුරේ විසින් ආර්. ප්‍රේමදාස වෙනුවෙන් මෙය රටපුරා අලවන්නට සැලැස්‌වූ එකක් බවයි. මෙම මේ කවුද පෝස්‌ටරයත් දේශපාලන ප්‍රචාරණ කලාව උඩුයටිකුරු කළ එකක් බව පෝස්‌ටර් පිළිබඳ විශාරදයෝ පෝස්‌ටරාචාර්යවරු පවසති.
88 – 89 භීෂණය සමයේ අඳුරු වැහිබර රාත්‍රියක කොහේදො අනවශ්‍ය ගමනක් ගොසින් මාත් මා මිතුරු නාලකත් පුංචි කෝච්චි පාර දිගේ පයින්ම ගෙවල් බලා එමින් සිටිද්දී අපව විමුක්‌තිකාමී දේශප්‍රේමී සහෝදරයන් කැළකගේ අතටම මාට්‌ටු වුණේ නාරාහේන්පිට පාලමට මඳක් ඔබ්බෙනි. අත් ඔසවන්නට කියා පපුවට ගිනි අවියක් එල්ලකොට අප පිරික්‌සාකොට අපෙන් හානියක් නැති බව තේරුම් ගියත් එතැන සිටි කීප දෙනෙක් කියා හිටියේ මුන්ව ඉවරයක් කර දැමිය යුතු බවයි. කල්ලි නායකයාගේ අදහස වූයේ කුමක් හෝ දඬුවමක් දිය යුතු බවත් ඒ දඬුවම විය යුත්තේ අප ලවා උන් අත තිබූ පෝස්‌ටර් මිටියම නාරාහේන්පිට සිට නුගේගොඩ දක්‌වා අලවලන්නට අවශ්‍ය බවයි. අප දඬුවම ඉත සිතින් භාර ගත්තේ අප තුළද දේශප්‍රේමය ඕජස් ගලන බවත් මවුබිම වෙනුවෙන් පෝස්‌ටරයක් ගැසීම මහලොකු ක-ජක් නොවන බවත් කියමිනි. මද වේලාවකින් ඔවුන් අත තිබූ පාප්ප හැදීමට ගෙනා පාන් පිටි කිලෝ දෙකත් සැදු පාප්ප එහෙ මෙහෙ රැගෙන යන්නට පාවිච්චි කරන උණුවතුර බෝතලය හෙවත් තර්මොස් ප්ලාස්‌කුවත් පෝස්‌ටර් මිටියත් අප අතට පත් කර ඔවුන් වාහන ශබ්දයක් ඈතින් ඇසුණු නිසා අඳුරට වැදී අතුරුදන් වූ අතර ඊට මඳ වෙලාවකට පසු මාත් නාලකත් එතැන සිට සිල්බර කොට සීයක් පමණ එහායින් ඇති අපේ වීදී සගයෙක් වන ජපන් අමරෙගේ ගෙදරට (මුඩුක්‌කුවට) ගොස් පිටි වලින් රොටි හදා කා ඉතා ඉස්‌තරම් උණුසුම් වතුර බෝතලය ජපන් අමරෙගේ රූමත් බිරිඳට තෑග්ගක් වශයෙන් ප්‍රදානය කොට පෝස්‌ටර් මිටිය නාරාහේන්පිට කුණු ඇළට හලා හොර බළල් ගමනින් පූර්වාරාම පාර තරණය කොට නිවසට ළඟා වීමටත් ක්‍රියා කළෙමු.
ඒ කාලයේම දවසක ඡන්දය ඉල්ලූ සෙල්ලසාමිගේ නෝනා අපේ මිතුරු බ්ලූමැන්ඩල් ෆ්ලැට් එකේ බෝම්බ විලී හමුවීමට කොළපාට පැජරෝවක ආ අතර ඇය වාහනයේ පසුපස තිබූ පෝස්‌ටර් තොගයක් රියෑදුරා ලවා බිමට බාවා ඒවා මුළු කොටහේන නගරය පුරාම අලවන ලෙස විලීට ඕඩර් කොට රුපියල් දාහේ කොල මිටියක් විලී අතට දි යළි පැජරෝවට නැඟී විදුලි වේගයෙන් පිටව ගිය අතර විලී කළේ අවට සිටි මිතුරන්, කොල්ලන්, අපතයන්, පාදඩයන් සියල්ල රැස් කර ඒ සියල්ලන් වෙනුවෙන් සෑම මත්ද්‍රව්‍යයක්‌ම මත් වතුරක්‌ම ඇතුළත් මස් බයිට් සෝඩා සපිරි ඉස්‌තරම් සම්භාෂණයක් සංවිධානය කිරීමයි. එකල මම ඒ අසල තිබූ කාන්තා පුවත්පතකට තීරු ලිපියක් ලියමින් සිටි අතර එදා එතැනින් ගමන් කරමින් සිටි නිසාත් විලී මගේ හා මා මිතුරු දැන් ප්‍රංශයේ ඉන්න පයිලට්‌ගේ මිතුරා නිසාත් එම අවස්‌ථාව සියෑසින්ම දැකබලා ගැනීමටත් සම්භාෂණයේ කොටස් කාරයෙක් වීමටත් අවස්‌ථාව උදාකර ගතිමි. බ්ලුමැන්ඩල් ෆ්ලැට් එකේ තරප්පු පෙළ යට ඇති ගුහාව වැනි කුඩා කාමරය එකල විලීගේ කාර්යාලය සහ නිදන කුටිය ලෙස පැවති අතර සෙල්ලසාමි මැඩම් ගෙනා පෝස්‌ටර් ලස්‌සනට පිළිවෙළට බිම එලා සුවපහසු සයනයක් නිර්මාණය කිරීමටත් එතන හිටි කොල්ලෙක් දායක විය.
ඡන්දයක නාමයෝජනා භාර දුන් පසු තම මුහුණ හෝ පක්‍ෂය ප්‍රදර්ශනය වන පෝස්‌ටර් හෝ කටවුට් මහජනයාට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීම තහනම් දෙයක් බව අපි දනිමු. එසේ කළ හැක්‌කේ පක්‍ෂ කාර්යාලයක හෝ අපේක්‍ෂකයා ගමන් කරන වාහනයේ පමණි. නමුත් මේ නීතිය අද අමු අමුවේ උල්ලංඝනය කරන අයුරු අපට දකින්නට හැකිය.
මනාප ඉල්ලමින් විවිධ පක්‍ෂ වල අපේක්‍ෂකයන් තම මුහුණ සහ අංකය යෙදූ පෝස්‌ටර් තැන් තැන්වල අලවන්නේ ලක්‍ෂ ගණන් මුදල් වැය කරමිනි. පෝස්‌ටර් අලවන අතර කාලයේ පක්‍ෂ – පක්‍ෂ අතර ඇති වන කලකෝලාහල ගැටුම් හබ නිසා මනුෂ්‍ය ඝාතනද සිදු වෙයි. බොහෝවිට මෙසේ නගර ගම් පුරා පෝස්‌ටර් අලවන්නේ දාමරික සහ මැර කල්ලි බව නොරහසකි. ඔවුන්ට මුදලින් ගෙවන අතර අරක්‌කු කසිප්පු කුඩු ගංජා වැනි ඒ ඒ අයට අදාළ ඒ ඒ අයට අවශ්‍ය මත්ද්‍රව්‍ය වලින්ද පෝෂණය කිරීමට පෝස්‌ටර් හිමිකරුවෝ මැලි නොවෙති.
පෝස්‌ටර් මාරයා යනු නගර සභාව සහ පොලිසිය ඒකාබද්ධව කරගෙන යනු ලබන නීති විරෝධි පෝස්‌ටර් ඉවත් කරන වැඩසටහනේ ප්‍රධාන යන්ත්‍රයයි. වාහනයක සවි කර ඇති මෙයින් අධිබලැති ජලදහරාවක් නිකුත් කරන්නේ දඟරයක් ලෙසිනි.
මනාප ඉල්ලන පෝස්‌ටර්වල ඇති වදන් සහ ඒවායේ ඇති මුහුණු ඇත්තටම අප නොමඟ යවන්නට බොහෝ සමත්ය. හිත කීරි ගැසෙන ආදරය මෝදු වෙන ප්‍රේමය ගලාඑන ජාත්‍යාලය දෝරෙ ගලන වදන් දැක බහුතරයක් අමනයෝ ඒ පුද්ගලයාට ඡන්දය දී පාර්ලිමේන්තු එවති.
මැතිවරණ කොමසාරිස් වරයාගේ සහ ජනපතිතුමාගේ සෘජු මැදිහත් වීම නිසා මෙවර පෝස්‌ටර් යුද්ධය එතරම් බලවත් නොවන බව පෝස්‌ටරාචාර්යවරුන්ගේ මතයයි. නමුත් පෝස්‌ටර් දිහා බලා හෝ අපේක්‍ෂකයන්ගේ සීනිබෝල බස් අසා ඔබගේ මනාපය ලකුණු නොකර හදවතින් විමසා බුද්ධියෙන් අසා කතිරය ගසන්නේ නම් රටට වැඩදායි ආණ්‌ඩුවක් අපට ලබාගත හැකි බව මතක් කරන්නටද කැමැත්තෙමි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
Source: Divaina