ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ මෙහෙමයි

0
712

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඇත්තේ හරියටම තවත් දින 08 ක්‌ පමණි. ඡන්ද විමසීම සිදුකරන ලබන 17 වැනිදා දිනට පැය 48 කට පෙර සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු නිසා දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට තමන්ගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ඉතිරිව ඇත්තේ හරියටම තවත් දින පහක්‌ පමණි.

මහ මැතිවරණයේ උණුසුම්ම කාල පරිච්ඡේදය ගත වන්නේ දැන්ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට ඉකුත් සතිය අවසන් වන තුරුම සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්‌ රටේ පැවතියද දැන් වන විට ඒ තත්ත්වයද ක්‍රමයෙන් මඟ හැරෙමින් පවතී. රටේ හැම ගම් නියම් ගම් කරා මැතිවරණයේ උණුසුම දැනී අවසන්ය. අපේක්‍ෂකයන්ගේ මුහුණුවලින් පිරි පෝස්‌ටර්, බැනර් හැම තාප්පයකම බෝක්‌කුවකම ප්‍රදර්ශනය වෙමින් පවතී. ඒවාද දිනෙන්දින අලුත් වෙයි. අපේක්‍ෂකයන්ගේ රුව සහිත දැවැන්ත කටවුට්‌ද නගරබදව ප්‍රදර්ශනය වෙයි.

මැතිවරණ කොමසාරිස්‌වරයා හා පොලිසිය මැතිවරණ නීතිය ආරක්‌ෂා කිරීමට දැඩි උත්සාහයක නිරත වුවද එම නීතිය ගණන් නොගන්නා හා නීතියෙන් රිංගා යන පිරිස්‌වල ප්‍රචාරක කටයුතුද අද දැකගත හැකි වෙයි.

පක්‍ෂ කාර්යාලයක්‌ නම් එහි ගොඩනැඟිල්ලක්‌ තිබිය යුතුයි. පුද්ගලයන් එහි රැඳී සිටිය යුතුයි. පෝස්‌ටර් කටවුට්‌ තම කාර්යාලයේ හෝ රැස්‌වීම් භූමියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ශබ්ද විකාශන යන්ත්‍ර පොලිස්‌ අවසරය සහිතව නියමිත දුරක්‌ ඇතුළත භාවිතා කළ යුතුයි. ගෙන් ගෙට යැමට පුද්ගලයන් 25 කට අඩු පිරිසක්‌ද, වාහන පහකට ආසන්න ප්‍රමාණයක්‌ද යොදවා ගත හැකියි. ඉහතින් දැක්‌වූයේ මැතිවරණ නීතිය යටතේ ගත හැකි ක්‍රියා මාර්ගයන්ය. මේ කරුණු අතරින් එකක්‌ හෝ කිහිපයක්‌ අනුගමනය කරන අපේක්‍ෂකයන් හෝ දේශපාලන පක්‍ෂ දැක ඇත්දැයි ඔබට සිතාගත හැකියි. රටේ පවතින නීතියට යටත්ව කටයුතු කරන්නේ දේශපාලනඥයන් කීයෙන්a කීදෙනා දැයි වටහා ගත යුතුය.

මේ වන විට බරපතළ අපරාධවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර අතට ගෙන ඇති බව පසුගිය දින කිහිපයේදී කොළඹ හා තදාසන්න නගරවල සිදුවූ සිද්ධීන් දුටු විට සිතාගත හැකිවෙයි.

පැµරල් සංවිධානයේ වාර්තාවන්ට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි දහසකට ආසන්න ප්‍රමාණයකි. එයින් මනුෂ්‍ය ඝාතන 02 ක්‌ද ඇතුළුව බරපතළ ගණයේ සිද්ධීන් 94 කි. බරපතළ පහරදීම්, පැහැරගෙන යැම්, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම්, ගිනි අවි භාවිත කර තර්ජනය කිරීම් හා බිය වැද්දීම්, නිශ්චල දේපළවලට හානිකිරීම්, චංචල දේපළවලට හානි කිරීම් ආදිය ද ඒ අතර වෙයි.

මේ මැතිවරණයේ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතයට අදාළ නීති උල්ංඝණය කිරිම් පිළිබඳ පැමිණිලි 116 කි. රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම, රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම, රාජ්‍ය නිලධාරීන් හා ආරක්‌ෂක අංශ නිලධාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනීම් ආදිය ඒ අතර වෙයි.

නීති විරෝධී ප්‍රචාරණ කටයුතු භාණ්‌ඩ බෙදාදීමද රැසක්‌ සුපුරුදු පරිදි මෙම මැතිවරණයේත් දක්‌නට ඇත. ඉකුත් මැතිවරණවලදී රාජ්‍ය මැදිහත්වීම් මත භාණ්‌ඩ බෙදාදීම් සිදු වුවද මෙවර පුද්ගලික මට්‌ටමින් හා වක්‍ර ආකාරයෙන් භාණ්‌ඩ බෙදාදීම් දක්‌නට ලැබුණි. පුද්ගලිකව කරන බෙදාදීම් වැළැක්‌වීමට අසීරු නමුත් මැතිවරණ නිලධාරීන් හැකිතාක්‌ ඒවා අවම කිරීමට පියවර ගනු ලැබීම කැපී පෙනුණි.

රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස්‌වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්‌ව ඇත. ඉකුත් පාලන කාලයේ මෙන් මේ කාලයේද රාජ්‍ය මාධ්‍ය හැසිරීමට කටයුතු කරන බැවින් තමාට ලැබී ඇති බලතල ප්‍රකාරව මැදිහත් වීමට සිදුවන බවට ඔහු අනතුරු අඟවා ඇත.

සමහර අමාත්‍යාංශ මැතිවරණයට ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බඳවා ගැනීම් සිදු කරනු දක්‌නට ලැබුණි. මේ වන විට ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මැතිවරණ දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශ 03 ක්‌ හා තවත් රාජ්‍ය ආයතන 03 ක්‌ සිදුකර ඇති නීති විරෝධී පත්කිරීම් පසුපස හඹායමින් සිටියි. දැනටමත් අමාත්‍යාංශ දෙකක ඉහළ නිලධාරීන් පරීක්‍ෂණ නිමවන තෙක්‌ සංචිතයට මාරුකර ඇති අතරම අමාත්‍යාංශ ලේකම්වරයකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඉකුත් ජුනි මස 26 වැනිදා වුවත් ඊට පෙර දින එනම් 25 වැනි දාතමින් පත්වීම් ලිපි නිකුත් කර තිබුණේය. මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේදී එම ලිපි මුද්‍රණය කර ඇත්තේ ජූලි 03 වැනිදා බවට එම ආයතනවල පරිකණක දත්ත මගින් තහවුරු කරගෙන ඇත. ඒ අනුව අදාළ වැරැදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයා සූදානම් වෙයි.

ඉදිරි දින කිහිපය රටේ දේශපාලනයේ උණුසුම්ම කාල පරිච්ඡේදය වන බව ස්‌ථිරය. ප්‍රධාන පක්‍ෂ සියල්ලක්‌ම තම උපරිම ශක්‌තිය යොදමින් ප්‍රචාරක ජාලය ක්‍රියාත්මක වනු ඇත. එසේ වුවහොත් ප්‍රචණ්‌ඩකාරී වාතාවරණයක්‌ හා මැතිවරණ නීති උල්ලංඝණය වීම් බහුලව සිදු විය හැක. මේ නිසා මැතිවරණ කොමසාරිස්‌වරයා පොලිස්‌ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු වෙයි. 14 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව එළැඹෙන පැය 48 ක කාලය තුළ මැතිවරණ කොමාසරිස්‌වරයා සිය බලය පාවිච්චි කරමින් මැතිවරණ රාජකාරි මෙහෙය වනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙයි.

ඉකුත් ජනාධිපතිවරණයේ දී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සියයට 80 ක්‌ පමණ ඡන්ද ප්‍රකාශ කළත් මෙවර එම ප්‍රතිශතය 60 ත් 65 ත් දක්‌වා අඩුවනු ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවල අදහස්‌ වී ඇත. දේශපාලන පක්‍ෂ උද්යෝaගයෙන් කටයුතු කළද ජනතාව නම් එතරම් මැතිවරණය කෙරෙහි උනන්දුවක්‌ නොදක්‌වන බවද ඔවුනගේ මතය වී ඇත. මේ නිසා හැකි තරම් ඡන්ද මධ්‍යස්‌ථාන වෙත ගොස්‌ තමන්ට කැමැති පක්‍ෂයකට අපේක්‍ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීමේ පරමාධිපත්‍යය බලය තවදුරටත් තහවුරු කිරීමත් වනු ඇත.

පාර්ලිමේන්තු මහ මැතිවරණයකදී ඡන්දදායකයන් සිය ඡන්ද පත්‍රිකාවේ ඇති දේශපාලන පක්‍ෂයේ නම හා සලකුණ ඉදිරියෙන් හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ අංකය හා සලකුණ ඉදිරියෙන් හෝa කතිර ලකුණක්‌ (X) යොදා ඡන්දය ප්‍රකාශ කළ යුතු වෙයි.

ඉන්පසුව එම පක්‍ෂයේ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් නාමයෝජනා කරන ලද අපේෂකයන් තිදෙනකුට නොවැඩි ගණනකට මනාප අංකය ඇතුළත් කොටු තුළ අදාළ අංක මත කතිර ලකුණ (X) යොදා සිය මනාපය සළකුණු කළ හැකිය.

කිසිම දේශපාලන පක්‍ෂයකට හෝ ස්‌වාධීන කණ්‌ඩායමකට ඡන්ද සළකුණු කර නොමැති හෝ පිළිගත් දේශාලන පක්‍ෂ එකකට වැඩි ප්‍රමාණයකට ඡන්ද සලකුණු කර ඇති හෝ ස්‌වාධීන කණ්‌ඩායම් එකකට වැඩි ප්‍රමාණයකට ඡන්ද සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ප්‍රතික්‌ෂේප වෙයි. එමෙන්ම පිළිගත් දේශපාලන පක්‍ෂ එකකට වැඩි හරියකට හෝ ස්‌වාධීන කණ්‌ඩායම් එකකට වැඩි ප්‍රමාණයකට හෝ ඡන්ද සලකුණු කර ඇති හෝ ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක්‌ ඡන්ද පත්‍රිකාවේ ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් හෝ ඡන්දය සලකුණු කර ඇත්තේ කුමන පක්‌ෂයකට හෝ කුමන කණ්‌ඩායමටද යන්න අවිනිශ්චිත නම් එම ඡන්ද පත්‍රිකාද ප්‍රතික්‌ෂේප වෙයි.

තවද කිසිම අපේක්‍ෂකයකුට මනාප සලකුණු කර නොමැතිනම් හෝ අපේක්‍ෂකයන් තිදෙනකුට වඩා වැඩි පිරිසකට මනාප ලකුණු කර ඇත්නම් හෝ මනාප ලකුණු කර ඇත්තේ කුමන අපේක්‍ෂකදැයි අවිනිශ්චිත නම් හෝ එම ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීම සඳහා වලංගු නොවෙයි.

* රනිල් ධර්මසේන
Source : Divaina