වාණිජ්‍යමය ලිංගික ශ්‍රමිකාවියන් හෙවත් අබිසරුලියන් සොයා එන සේවාලාභීන් කියන කරන දේ ගැන ඔවුන් මට පැවසූ දේවල් ඔබ සමග කියන්නට මම පසුගිය ලිපියෙන් පොරොන්දු වුණෙමි. ඉදින් මම එය අද ඉටු කරමි. පසුගිය කාලයේ මම විවිධ පන්තීන්ට අයත් ගණිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සමඟ කතා කර ඔවුන්ගේ අදහස් විමසා සිටි අතර ඒ අය විසින් පැවසූ දේ සම්පිණ්‌ඩනය කර ජාතික පුවත් පතක ප්‍රසිද්ධියේ ලිවිය හැකි සිතෙන අවශ්‍ය සහ වැදගත් යෑයි හැඟෙන දේ පමණක් මෙහි ඉදිරිපත් කරමි.
“මට දැන් අවුරුදු 65 ක් වෙනව. වයස 24 ඉඳන් මම මේ රස්‌සාව කරනව. ඒ කියන්නේ අවුරුදු 40 කටත් වැඩියි. ඒ ගෙවුණු අවුරුදු 40 ට මට දහස් ගාණක් මහත්තුරු මුණගැහිල තියෙනව ඒ අයගෙන් වැඩි දෙනෙක්‌ගෙ මූණු මට අදටත් ඕන තැනක අඳුනගන්න පුළුවන් තරමට හිතේ මැවිල පේනව.”
මෙසේ කියන්නේ සෝමක්‌කාය. හැට පැන්නත් තාම රනිං කන්ඩිෂන් එකේ ඉන්න ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ගණිකාවකි 80 මැද දසකයේ අපි පාසල් සිසුන්ව සිටි කාලයේ පටන්ම මම ඇයව දනිමි. ඒ ඇය අප ජීවත් වුන නගරයේම ජීවත් වුණු මට නිතර උදේ හවා මුණ ගැසුණු ප්‍රියමනාප කාන්තාවක් වූ නිසා පමණක් නොව ඇගේ ඥාති සොයුරෙකු මාත් සමග එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ නිසාත්ය.
දැන් මා ඇයට සෝමක්‌කා කීවද එකල අපි ඇයට කීවේ සෝමා ඇන්ටි කියායි. මුලින්ම ඇය සේවය කළේ එවකට යටාරෝ කැෆටේරියා නමින් ඉතා ජනප්‍රියව තිබූ තිඹිරිගස්‌යායට එහායින් වූ අතුරු පාරක තිබූ හෝටලයකයිs. ඇය එහි සිටි රූමත්ම සහ නිරෝගීමත්ම ගණිකාව බවට එකල මතයක් පැවතුණි.
අප (මාත් නාලකත් භානුත් හර්ෂත් ඇගේ ඥාති මල්ලීත් යන පස් දෙනා) පාසල් ඉවර වී ගෙදර යන අතරමඟ මාසයකට පමණ වතාවක් තුන්මුල්ලෙන් බැස පොලිස් පාක් එක ඉදිරිපිට ඇති ගවර් වීදියේ යටාරෝ කැෆටේරියා එකට යන්නේ එහි තිබූ එකම සිසිල් බීම වර්ගය වන ලංකා කෝලා බීමට ඇති ආසාව නිසාම පමණක් නොව සෝමක්‌කා විසින් ඒවා අපට ඇය ගානේ අරන් දෙන නිසාත් එහි සිටින ඇස් තොල් නිය වර්ණ කර ගත් අත් නැති හැට්‌ටයෙන් සහ ඇඟෙන් අඩක් පමණක් වැසෙන පරිදි හිප්සටර් සාරි ඇඳගත් අප්සරාවන් සුරංගනාවන් වැනි ලලනාවන් දැක ඔවුන් සමග කතා බස් කිරීමටත් තිබූ ආසාව නිසාය. එම හෝටලය දෙපැත්තෙන් සොල්දර දෙකක් සහිත පැරණි විශාල දෙමහල් නිවසකි. ඇත්තටම මෙම ස්‌ථානයට යැම අපට ශෘංගාරය හෝ කාම තෘප්තිය ගෙන දෙන ක්‍රියාවක් නොවුණද ඔවුනගේ හැසිරීම සහ කතා බස් ඇසීමෙන් යම් සතුටක් විනෝදයක් ලැබූ බව කිව යුතුය. අනෙක් කරුණ වන්නේ මා එකලද කුඩා ප්‍රමාණයේ කාන්තා සහ තරුණයන්ගේ පුවත්පත්වලට ලිපි ලියමින් සිටි නිසා යටාරෝවෙන් ලද අත්දැකීම් ඒ ලිපිවලට බොහෝ දුරට කරුණු සැපයූ නිසාත්ය. (අප කොතෙක් ඔවුන් සමග කතා කළද ඇසුරු කළද කිසිදාක අපව වචනයකින් තබා බැල්මකින් හෝ වැරදි දෙයකට පොළඹවා ගන්නට එහි සිටි ලලනාවන් උත්සාහ නොකළ බවද මතක් කරමි. ඇත්තමට එතැන හිටි අය අපට සැලකුවේ දරුවන්ට මෙනි.)
ඒ සෝමක්‌කා දැන් වයසට ගිහින් මා සමග මෙසේ අදහස් බෙදා ගනී.
“මම යටාරෝ එකේ අවුරුදු 10 ක් විතර වැඩ කෙරුවා. 88 89 භීෂණය කාලේ ඒක හමුදාවට අරන් එතන කෑම්ප් එකක් පටන් ගත්ත නිසා අපට පාරට බහින්න සිද්ධ වුණා. අපි එක්‌ක හිටපු මාලා, මැණිකේ, ආශා, කාන්ති ඔය කාටත් වුණේ පාරට බහින්නයි ඉතින් අපි තෝරගත්තෙ බම්බලපිටියෙ හන්දිය ඊටත් පස්‌සෙ අපිට යන එන මං නැතිවුණා. අපි නාකි වෙලා හම රැලි ගැහිලා අවලස්‌සන උණාම අපේ අගය අඩු වුණා. අපිට ආදායම නැති උණා. ඊට පස්‌සෙ තමයි වීදියටම බැස්‌සෙ දැන් ඒ ඔක්‌කොම නවත්තල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා.
අනේ මහත්තයෝ මම මිනිස්‌සු නම් ඕනි තරම් දැකල ඇති. ඇත්තටම මට ඒ අය ගෙන් වැඩි දෙනෙක් ගැන තියන්නෙ පුදුම දුකක් කලකිරීමක්. තමන්ගේ වැඩේ කරගන්න ඒ අය නොකියන බොරුවක් නැහැ. නොකරන දෙයක් නැහැ. මට පුදුම හිතෙනව සමහර අය තමන්ගේ කසාද ගෑනි ගැනයි ඒ අයගෙ පවුල් ජීවිතය ගැනයි කියන කතා ඇහුවම.”
සෝමක්‌කා පමණක් නොව මා සමග කතා කළ බහුතරයක් අබිසරුලියන් කියන්නේ ඔය ටිකය. ඒ සැමගේ පොදු මතය පිරිමින් යනු තම අවශ්‍යතාව ඉටු කරගනු. පිණිස ඕනෑම බොරුවක් කියන්නට සූදානම් පිරිසකි. මේ පිරිමින් විසින් එසේ ඔවුන්ට පවසන ලදැයි කියන අදහස් කීපයකි.
* අපේ වයිෆ් මාව තේරුං ගන්නෙ නැහැ එයාට දැන් මාව ඕනි නැහැ.
* මගේ ගෑනිට මට වඩා රස්‌සාවයි දරුවොයි ලොකුයි.
* එයා දැන් ලෙඩෙක් එයාට කිසිදෙයක් ඕනි නැහැ. ඉතිං මට එයා මගේ සතුට හොයාගන්න අවසර දීල තියෙනවා.
* මගෙ පවුල හරි නපුරුයි. කිසිම තෙතමනයක් නැහැ යක්‍ෂණියක් වගේ ඇඟටමයි කඩා පනින්නෙ.
* අපේ එක්‌කෙනාට ඕනි සල්ලි විතරයි. මා ගැන තැකීමක් නැහැ.
* මම බැඳල නැහැ.
* මම දික්‌කසාද වෙච්චි තනි වුණ මිනිහෙක්.
* මම කවදාවත් මේ වගේ දෙයක් කරල නැහැ. අද මුල්ම දවස.
බහුතරයක් පිරිමින් මෙසේ කියන්නේ බොරුවට බව ඔවුන් හොඳාකාරව දනී. නමුත් තම අරමුණ මුදල් ඉපැයීම මිස මනෝ විද්‍යාත්මක උපදේශන සේවා සැපයීම හෝ හිතට සහනය දීම නොවන නිසා සියල්ලට හා.. හූ.. ඇත්තද? හානේ? කියමින් ඉන්නා බව ඔවුන් පවසයි.
අගනුවර සුප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකින් ඉගෙන උසස් පෙළ සමත්ව ඉන්පසු තම පෙම්වතා නිසා මත්පැන් පානයට හුරුවූ ඊටත් පසු ගණිකා වෘත්තිය තෝරාගත් අද ඉහළ පෙළේ සේවාලාභීන් සනසන බම්බලපිටියේ වෙරෝනිකා නම් කියන්නේ පිරිමින් කියන කතාවල ඇත්තක්‌ද තිබෙන බවයි. ඇය මට මෙසේ කියා සිටියාය.
“මල්ලි මේක මෙහෙමම ලියන්න. ගොඩක් පිරිමි අපි හොයන් එන්නෙ ඒ ගොල්ලන්ට අවශ්‍ය ශාරීරික ඕනිකම් විතරක් නෙමෙයි. මානසික සහ ආත්මික සතුටත් ගෙදර ගෑනිගෙන් ලැබෙන්නෙ නැති නිසයි. මගේ කස්‌ටමර්ලගේ ඇත්ත ජීවිත ගැන මම හොයනව. සමහරු ඉන්නෙ ගෙදර නෙමෙයි, ගිනි ගොඩක, ගෑනියෙක් නෙමෙයි, කසාද බැඳල තියෙන්නෙ ලේ උරා බොන රීරි යකින්නක්. සමහර ගෑනු තමන්ගේ කසාද මිනිහට නපුරු විදියට බණිනව විතරක් නෙමෙයි. අතින් පයින්, ගෙදර බඩු මුට්‌ටු වලින් පවා පහර දෙනව. එහෙම වෙච්ච තුවාල මම දැකල තියෙනව.”
කොළඹ නගරයේ ඇති අධික මුදලක් අය කරන අති සුපිරි පන්තියේ ගණිකා නිවසක සේවය කරන ආශිකා තමා සොයා එන ක්‌ලයන්ට්‌ලා ගැනත් ඇයගේ ආයතනය සපයන සේවය ගැනත් මෙසේ තම අදහස් දැක්‌වීය.
“අපි ගාවට එන්නේ සිලෙක්‌ටඩ් කට්‌ටියක් ලොකු ගාණක් ගෙවල වෙලාව වෙන් කර ගන්න ඕනි. මෙහෙ ආවම එයාට කැමැති කෙනෙක් තෝරගන්න අවස්‌ථාව තියෙනව ඉස්‌සෙල්ලම අපි අපිට ලැබෙන ක්‌ලයන්ට් එක්‌ක කෝපි කෝප්පයක් හරි වයින් වීදුරුවක් හරි බොන ගමන් ටිකක් කතා කරනවා. එයාට දැනෙන්න සලස්‌සනව අපි එයාට ආදරෙයි. එයා ගැන තකනව එයාට ගරු කරනව කියල ඊට පස්‌සේ එයාගෙ අතේ කකුලේ නියපොතු කපනව. දත් මදින්න ඕනි නම් ඒකත් කරනව. එයා කැමතිනම් ඔලුවටයි උරහිසටයි හොඳ තෙල් මසාඡ් එකක් දෙනව අපේ තියෙන ස්‌ටීම් බාත් එකෙන් හොඳට නාන්න දෙනව ඇඳුම් එහෙම කිළුටු නම් ඒවත් හෝදල දානව අන්තිමට තමයි එයා එක්‌ක ශාරීරිකව එකතු වෙන්න යන්නෙ හැබැයි අයියෙ සමහර අය අඬනව සුසුම් හෙළනව ඒ ගොල්ලො කියනව “අනේ නංගි මම කවදාවත් මෙහෙම සැලකිල්ලක් ලබල නැහැ. මට දැන් හොඳටම ඇති” කියල සමහරු ආපු වැඩේ කරගන්නෙ නැතිව අපිට වැඩිපුරත් ගාණක් දීල යන්න ගිය අවස්‌ථාත් තියෙනවා ඒ වගේම මෙහෙ ආපු කෙනෙක් නොවැරදීම කවද හරි ආයෙත් මෙහෙ එනව අපේ ලොකු මැඩම් අපිට හොඳට ගෙවන නිසා අපි කවදාවත් අපේ කස්‌ටමර්ලට බොරු කරල වංචා කරල සල්ලි කඩා ගන්න යන්නෙ නැහැ. අපේ මැඩම් අපිට නිතරම කියන්නේ මෙහෙ එන අය ලිංගික සුවය සොයාගෙන ආවට වැඩි දෙනෙක් ජීවිතය විඳින්නෙ නැති සහනයක් නැති මානසිකව වැටුණු රෝගීන් කියලයි ඒක ඇත්ත බව අපිට හොඳටම තේරෙනව.”
පූජා යන අන්වර්ථ නාමයෙන් සැරසී රාත්‍රි කාලයේ පිටකොටුව පළමුවැනි හරස් වීදියේ සැරිසරමින් සලෙලුන් පිනවන හැකි අවස්‌ථාවක ඔවුන් සුද්දෙ දමන සුද්දී නැමැති වීදි ගණිකාව තම අත්දැකීම් මෙසේ වමාරයි.
“අපි ගාවට ගොඩක් එන්නේ නාකි පඩංගුවොයි, හම්පඩ බේබද්දොයි, නිවාඩුවට ගමේ යන්න කොළඹ බහින ආමි කොල්ලොයි තමයි. හොඳින් අහිංසක කමට ආවොත් අපිත් හොඳින් සලකනව. හැබැයි හෙට්‌ටු කරල ගේම ඉල්ලල ආමි පාර්ට් දැම්මොත් අපිත් ඒමයි. ඒත් බොසා බීපු එකාට මොන සෙක්‌ස්‌ද? උට ඕනි බොරු සෙල්ලං දාන්නයි අපිව සැටිස් කරවන්නයි උගේ වැඩේ කරගෙන මාරු වෙන්නෙ නැතිව එනව අපිව සතුටු කරන්න මං වගේ නෙමෙයි මෙතන ඉන්න අනිත් මාරදූතියෝ සැට් එක බයියෙක් අහුවුණොත් සුද්ද කරලයි යවන්නෙ.
අනික කරටි කැඩෙන්න අරක්‌කු බීලා එහෙම නැත්තං මොළ කරවෙන්න ගංජ හරි කුඩු හරි ගහල අර වැඩේ කරන්න ආවම දන්නෙම නැතිව ඌට හිටගෙනම නින්ද යනව අපි ඉතිං උගේ ඉණ ඉහ අතගාගන්නව.”
රමෝනා යනු අද අප රටේ සිටින වැඩිම මුදලක් අය කරන ස්‌වාධීන ගණිකාවක් යෑයි කීවාට වැරදි නැතැයි සිතමි. ඇගේ පුංචි අම්මාද මෙයට දසක දෙකකට පමණ පෙර අප රටේ කොළඹ නගරයේ සිටි වැඩියෙන්ම ගාණකට අලෙවි වුණු තරු පහේ හයිෆයි
සුරූපී ගණිකා වකි. සිනමා නිළියක් කැබරේ
සහ ෆයර් ලිම්බෝ නම් ගිනි සරඹ නර්තන ශිල්පිනියක් මෙන්ම මෝටර් රථ ධාවන ශූරියක් වූ ඇය පදිංචිව සිටියේත් තම ගණිකා මඩම කරගෙන ගියේත් ලොන්ඩන් පෙදෙසේ පිහිටි ඇයගේම නිවස තළයි. අද ඇයත් එම නිවසත් එතැන නැති වුවද ඇගේ ඥාති දියණිය රමෝනා ඊට මඳක් ඔබ්බෙන් ඇති අති සුඛෝපභෝගී මහල් නිවාසයක සිට එම ව්‍යාපාරය ස්‌වයංව ඉදිරියට කරගෙන යයි.
“ලයිලාන්ටිට ක්‌ලයන්ට්‌ස්‌ලා සපයපු රොන් අංකල්ම තමයි. මටත් ක්‌ලයන්ට්‌ලා සපයන්නේ එයා ඉස්‌සර ඩාන්සිං ඩිරෙක්‌ටර් කෙනෙක්‌නේ. එයාට මාර කන්ටැක්‌ස් තියෙන්නේ. හරිම රිච් හරිම ඩීසන්ට් අය තමයි එයා මට සෙට් කරන්නේ අපෝ ෙෆaමස් ක්‍රිකටර්ස්‌ලා ස්‌පෝර්ට්‌ස්‌මන්ලා ඇක්‌ටර්ස්‌ලා බිස්‌නස්‌මන්ස්‌ලා විතරක් කෙමෙයි ඩොක්‌ටස්‌ලා ලෝයස්‌ලා මන්ත්‍රීලා ඇමැතිලා පවා මාව හොයං එනව. හැබැයි අයියෙ ඔය ඔක්‌කොම කියන්නෙ එකම බයිලා එක වයිෆa සලකන්නෙ නැහැ. ඕනි දේවල් ලැබෙන්නෙ නැහැ. අයි ලව් යූ. අයි. මිස් යූ. යු. ආර්. ග්‍රේට් අපි බඳිමුද? මම ඔයාට ඔතනින් ගොඩ එන්න හෙල්ප් කරන්නම්. වගේ සුරංගනා කතා තමයි වැඩේ ඉවර වුණාම මුකුත් මතක නැහැ ටක් ගාලා මාරු වෙනව.”
අපි දෙන්න කසාද බඳිමු කියා කීම ගොඩාක් සේවාලාභීන් විසින් කරන යෝජනාවක් බව කීප දෙනෙක්‌ම මට කියූ නිසා මම ඒ ගැන ආශාගෙන් විමසා සිටියෙමි. ආශා යනු තාම හොඳින් වැඩ කරන මට්‌ටමේ සිටින අත්දැකීම් බහුල කාන්තාවකි. ඇය ගෘහස්‌ථ, මඩම, වාහන, වීදි, හෝටල් ආදී පස් පංගුවේම සේවා සපයා හසළ අත්දැකීම් ඇති නමුත් මෑතක සිට ඒ ජීවිතයට සමු දී කුඩා ආපන ශාලාවක් පවත්වාගෙන යන හැඩකාර ස්‌ත්‍රියකි.
“සීයක් ආවොත් හැටක් කියන්නේ මම ඔයාට ආදරෙයි අපි කසාද බඳිමු කියලයි හැබැයි අපි දන්නවා කාගෙත් ඇවිටිල්ල කාරිය කෙරෙනතුරු විතරයි කියල. නමුත් අපි තේරුම් ගන්න ඕනි ඇයි මිනිස්‌සු මෙහෙම කියන්නෙ කියල. උන් ඇත්තටම ආසයි ආදරය කරන්න ආදරය ලබන්න ඒත් උන්ගෙ තියෙන වැරදි නිසා හරි පඩත්තරකම නිසා හරි වෙන මොකක් නිසා හරි උන්ට තමන්ගෙ ගෑනිගෙන් අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ ඒත් නැත්නම් ලැබෙන දේ මදි එහෙමත් නැත්නම් කසාදයක් බැඳල පවුලක් වෙලා නැහැ ඉතින් ඒකට අපි මොනා කරන්නද මහත්තයෝ.”
ඇය එසේ කීවත් ගණිකා මඩමකදී හෝ මහමඟදී හමුව තාවකාලික සැප සොයා යහන්ගතව ඉන්පසු කුමන හේතුවක් හෝ මත දෙදෙනාට දෙදෙනා තේරුම් ගෙන ආදරය කරන්නට පටන්ගෙන පසුව විවාහ වී අද ඉතාම සතුටෙන් දරුවන් ලැබ පවුලක් ලෙස දිවි ගෙවන, මංමුළාවී පාර සොයා ගෙන හසරක් අසමින් යන ගමනේ මංමුළා වූ සමනලියකගෙන් පාර අසා හරි මාවත සොයාගත් සමනලයන් කීප දෙනෙක් ගැනද මම දනිමි.
සේවය පතා එන විකෘති ආසා ඇත්තවුන් සහ කාම රෝගීන් ගැන මම කරුණු විමසුවේ යළිත් සෝමක්‌කාගෙනි. ඇය ඒ ගැන මෙසේ කීවාය “හපෝ මහත්තයා ඒ ගැන නං කියල වැඩක් නැහැ. මොනා හරි පෙත්තක් ගහල එහෙම නැත්නං තෙලක් ගාගෙන සමහරු එනව. අපිට හරිම කරදරේ. ඒ වගේම මානසික රෝගීන් ආවමත් අපිට එපා වෙනව. ඒව මට කියන්නත් ලැඡ්ජයි. අනික මේව ළමයි ළපටි කියවන නිසා පත්තරවල ලියන්නත් බැහැනේ. ඒක නිසා සමහරු ඇවිල්ල අපෙන් කරන ඉල්ලීම් සහ අපිට කරන්න හදන ඒව හරිම විකෘතියි අප්පිරියයි කැතයි කියල විතරක් ලියන්නකෝ.”
මා මෙතෙක් කියන්නට උත්සාහ කළේ සමාජයේ දකින්නට ලැබෙන විවිධ පන්තීන්ට අයත් වාණිජමය ලිංගික ශ්‍රමිකාවියන් තමා සොයා එන සේවාලාභීන්ගේ අදහස් සහ ආකල්ප පිළිබඳ ඔවුන් දරන මතයන් බව යළිත් සිහි කරමි. එසේම ලිපිය අවසන් කිරීමට පෙර මගේ සටහන ද මෙසේ සඳහන් කරමි.
ගණිකාවන් ඇසුරු කිරීම බුදු දහමටත් කිතු දහමටත් ඉස්‌ලාම් දහමටත් සමාජ සම්මතයටත් අනුව වරදකි. පාපයකි. එහෙත් බොහෝ මිනිසුන් කාම සැප සොයා අනියම් ඇසුරටත් ගණිකා සේවනයටත් පෙළඹෙති. එසේ යැම වෙනුවෙන් බොහෝ හේතු දක්‌වති. බිරිඳගේ අඩුපාඩුකම් කියති. තනිකම පාලුව ගැන කතා කරති. මෙය වරදක් නොවන බවට තර්ක කරති. ගණිකා සේවනය සහ වෙනත් අනාරක්‍ෂිත ලිංගික කටයුතු නිසා සමාජ රෝග සහ ඒඩ්ස් වැනි මාරාන්තික රෝගවලට ගොදුරු වෙති. ඒවා සමාජය පුරා පතුරුවති. සදාචාරයට සම්මතයට ආචාර ධර්මයන්ට හානි කරති.
ඒත් එදා බුදුන් සමයේ භාරතයේ අම්බපාලි ජෝෂුවාගේ මෝසස්‌ගේ කාලයේ රාහබ් සහ ක්‍රිස්‌තු සමයේ මරියා වැනි ගණිකාවන් සිටියා මෙන් අදද සෝමක්‌කලා ආශිකාලා වෙරෝනිකාලා සුද්දිලා රමෝනාලා අනන්තවත් සිටිති. එමෙන්ම ඒ අය සොයා තරුණයන්, මහල්ලන්, බේබද්දන්, කාම රෝගීන් බුරුතු පිටින් එහි ඇදෙති. මෙය නැති කරන්නේ සමාජ ක්‍රමය වෙනස් කිරීමෙන්ද? පුද්ගල ආකල්ප වෙනස් කිරීමෙන්ද? එසේත් නැත්නම් වෙනස් නොකර මෙය විධිමත් කර නීතිගත කිරීමෙන්ද කියා ඔබගෙන් අසමින් ලිපිය නිම කරමි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
Source : Divaina