සමාවෙන්න…. යන පාර වැරදුණාද?

0
802

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක්‌ සිදුවූ බව ඊයේ බොහෝ පුවත්පත් වාර්තා කර තිබිණි. එය පෞද්ගලික හමුවක්‌ ලෙස පුවත්පත් වාර්තා වල දක්‌වා තිබිණි. කුමන කාරණයක්‌ උදෙසා ජනාධිපතිවරු දෙදෙනා මුණගැසුණද එය යහපත් ප්‍රවණතාවක්‌ ලෙස අපි දකින්නෙමු.

විශේෂයෙන් ජනාධිපතිවරණයේදීත්, ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය දක්‌වා වූ කාලසීමාවේදීත්, ඇතිවූ යම් යම් අප්‍රසන්න සිද්ධි හා සළකා බලන විට මේ “හොරාට” මුණගැසීම බොහෝ සෙයින් වැදගත් බව අපේ අදහසයි. ජනාධිපතිවරයා නොඑසේනම් ශ්‍රීලනිපයේ සභාපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර “විරසකයක්‌Z ඇතැයි සිතීම පවා සමහරක්‌ දෙනකුට ප්‍රමෝදයක්‌ ගෙන දෙන කාරණයක්‌ව තිබුණු බව අමතක කළ යුතු නැත.

නව ආණ්‌ඩුවේ සංහිදියාව වඩාත් අර්ථවත් වන්නේද, ලස්‌සන වන්නේද මෙවැනි හමුවීම්වලින් බවද අමතක කළ යුතු නැත. දේශපාලනික වශයෙන් විරසකයක්‌ ඇතිවිට රටකට යා හැකි දුර අල්පය. අස්‌ථාවර බවක්‌ ඇති කිරීමට එයම ප්‍රමාණවත්ය. විශේෂයෙන් රට හමුවේ අප්‍රමාණ අර්බුද තිබියදීත්, ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්න තිබියදීත් වැදගත් පරිණත නායකයන් දෙදෙනකු හා පාර්ශව අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිව තිබීම යහපත් නොවේ. ඒ නිසාම මේ හමුව වැදගත් ලෙස සැළකිය යුතුය.

පොලිසි යා හැකි මට්‌ටමේ ආරවුලක සිටි එකම පක්‍ෂයේ නායකයන් අතර එවැනි සුහද හමුවක්‌ ඇතිවනවිට කාරණා දෙකක්‌ නිසා සම්මුතිවාදී ආණ්‌ඩුවක කාරණා දෙකක්‌ අරබයා යම් යම් අර්බුද නිර්මාණය වී ඇති බවක්‌ පෙනේ. පළමුවැන්න ජාතික ආණ්‌ඩුව හැදීමේ ‘භාරදූර’ කර්තව්‍යයට අතගසා සිටින පක්‍ෂ දෙකේ ඇමැති තනතුරු බෙදා ගැනීමේ සටනය. දෙවැන්න ‘ජාතික ලැයිස්‌තුවේ’ අර්බුදයයි. ඇමැතිධුර සටන මේ මොහොතෙහි ජාතික ආණ්‌ඩු සංකල්පය සමඟ රට ඉදිරියේ තිබූ චිත්‍රය විකෘති කරවන්නක්‌ බව කිව යුතුය. විශේෂයෙන් 19 වැනි සංශෝධනයට අනුව නියමිත ඇමැති ධුර සංඛ්‍යාවක්‌ සඳහන් වේ. ඒ අනුව පක්‍ෂ දෙක අතර බෙදී යා හැකි සංඛ්‍යාවක්‌ද වේ. එසේ තිබියදී ඒ යථාර්ථයට මුහුණ නොදී ෂයිලොක්‌ පන්නයේ කතන්දර කීම මෙවැනි මොහොතක නොගැලපෙන බව අපේ අදහසයි. නව අගමැතිවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් නම්‍යශීලී පිළිවෙතක්‌ අනුගමනය කරන බවට විවාදයක්‌ නැත. එහෙත් කවරකු හෝ වේවා මේ මොහොතේ බොරදියේ මාළු බාන්නට තැත් කිරීම නොකටයුතුය. ඒ නිසා ආරම්භ කළ දේශපාලනික සත්ක්‍රියාව සම්මුතිවාදය ආරක්‌ෂා කරන අන්දමින් කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමයි.

ජාතික ලැයිස්‌තු ප්‍රශ්නයද මේ ආකාරයට ජනතාව අපේක්‌ෂා නොකළ අන්දමේ ගැටළුකාරී තත්ත්වයකි. මෙය ජනතා පරමාධිපත්‍ය ඉක්‌මවා යැමකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තුන්වැනි වගන්තියේ සටහන් වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පර මාධිපත්‍ය අත්හළ නොහැක්‌කේය. පරමාධිපත්‍යට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද අයත් වන්නේය” යනුවෙනි.

ඒ අනුව ‘පරාජිතයන්’ හත් දෙනෙකු නැවත පාර්ලිමේන්තුවේ අසුන්ගැන්වීමට ක්‍රියාකිරීම මේ ජනමතය පරමාධිපත්‍ය බලයට අභියෝග කිරීමකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාපයේ පක්‍ෂයේ නායකයා ලෙස ලැයිස්‌තු මන්ත්‍රීවරුන් පත්කිරීමේදී ගත් තීරණය සෘජු එකකි. එය ප්‍රශංසනීය එකකි. අලුත් තරහකාරයේ බෝ කර ගැනීමේ පහසුම මාර්ගයක්‌ වුවද රනිල් ඒ ගැන තැකීමක්‌ නොකළේ ජනතා පරමාධිපත්‍ය ගැන ඇති ඉහළ අවබෝධය නිසාය. ජනතා විමුක්‌ති පෙරමුණද අනුගමනය කර ඇත්තේ උපායශීලී පියවරකි. එක්‌ පරාජිත මන්ත්‍රීවරයකු හා නිදහස්‌ වෘත්තිකයකු ලැයිස්‌තුවෙන් පත්කරන්නට ඔවුන් තීරණය කරන්නේ තත්ත්වය සමබර කරමිනි. සාමාන්‍යයෙන් ජාතික ලැයිස්‌තුව වෙන්වන්නේ දේශපාලන ක්‍රියාවලියට අවශ්‍ය විද්වතුන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් වැනි විශේෂ අයටය. එසේ තිබියදී ජනතාව අමු අමුවේම ප්‍රතික්‌ෂේප කළ පිරිස්‌ ජාතික ලැයිස්‌තුව හරහා පාර්ලිමේන්තුවට කැඳවීම, උගතුන්, විද්වතුන් පිරිසකට කළ යම් තරමක නිග්‍රහයක්‌ ද වේ.

මේ ජනතාව ප්‍රතික්‌ෂේප කළ පිරිස්‌ කළ කී දේ ගැන ජාතික ලැයිස්‌තුව හදන අයට වඩා දන්නේ ජනතාවය. කෙසේ හෝ දැන් ලැයිස්‌තුව හදා ඉවරය. එය මැතිවරණ කොමසාරිස්‌වරයාට ලිතව දන්වා ද අවසන්ය. දැන් කළ යුත්තේ ජනතාව පරමාධිපත්‍යයට යම් තරමක හෝ ගරු කිරීමක්‌ කරන්නට ඒ පිරිස නිසි තැන තැබීමය. ඒ පිරිසද ජනතා තීන්දුවට ගරු කරන්නේ නම් “මන්ත්‍රී ධුරයෙන් පමණක්‌” සෑහීමකට පත්වී රටට ගමට වැඩ කළ යුතුය.

Source : Divaina