ඇලඩින්ගේ පුදුම පහනට පොරේ…

0
860

ඊළඟ සතිය වනවිට අලුත් ආණ්‌ඩුවට සති දෙකක්‌ පිරේ. එතරම් කලක්‌ ගතවී තිබියදීත් තවමත් ඇමැති මණ්‌ඩලය දිවුරුම් දී නැත. පනතක්‌ ගෙන ඒමේදී හෝ යම් තීරණාත්මක කාරණයක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ප්‍රමාදයක්‌ මතුවීම අපට තේරුම් ගත හැකි වුවද ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට ප්‍රමාද වීම ගැන තේරුම් ගැනීම අපහසුය. මේ බාලගිරි දොaෂයට හේතුව රාහු කාලය නොවේ. නැකත් නැති වීමද නොවේ. අත්සන් ප්‍රශ්නයක්‌ ද නොවේ. ඇත්තේ බෙදා ගැනීමේ ප්‍රශ්නයකි. හරියටම කිව්වොත් “ෂයිලොක්‌ ව්‍යාපෘති” ක්‍රියාත්මක වීමය. දැන් අපට සිතෙන්නේ ජාතික ආණ්‌ඩු හැදීම මෙපමණ අමාරු නම් හැදූ පසු කරගෙන යැම කොතරම් අමාරුවේද යන්නය.

අද, හෙට, අනිද්දා, ලබන සතියේ වශයෙන් කල් යන මුත් තවමත් බෙදා ගැනීම අහවර වී ඇති බවක්‌ පෙනෙන්නේ නැත. ජනතාව මෙවැනි කඹ ඇදිල්ලක්‌ බලාපොරොත්තු වූයේ නැත. දින සියයේද යම් තරමක කඹ අදින ස්‌වභාවයේ වැඩ තිබුණත් ජනතාව ඒ ගැන එතරම්ම අවධානයක්‌ යොමු නොකළේ යම් තරමක ඉදිරිය ගැන විශ්වාසය තබා තිබූ නිසාය.

ඇමැති පොරයෙන් සිදුවන්නේ මේ විශ්වාසය යම් තරමක පළුදු කිරීමකි.

කාටත් පෙනෙන හැටියට මේ ඇමැති පොරයට හේතුව වී ඇත්තේ ජනතා සේවයට ඇති කැමැත්ත නොව බලයට වරප්‍රසාදවලට ඇති කෑදර කම යෑයි යමෙකුට සිතීම සර්ව සාධාරණය. රටට ගමට සේවය කරන්න ඇමැති කටු ඕනෑම යෑයි සිතෙන්නේ නම් ඕනෑම ඇමැති තනතුරක සිට ඒ කාර්යය කළ හැකි බව අපේ විශ්වාසයයි. එහෙත් මේ වන විට සිදුව ඇත්තේ හොඳම ඇමැතිකම සඳහා පොරයට වැටී සිටීමයි.

ජනතාව තම කතිරයෙන් ඇත්තෙන්ම පත් කරන්නේ ජනතා නියෝජිතයෙකි. ඒ තමා වෙනුවෙන් පාර ¨ලිමේන්තුවේ හඬ නගන්නට යන මන්ත්‍රීවරයාය.

අපට පෙනෙන හැටියට ජනතාවට සේවය කරන මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු අතර වැඩි වෙනසක්‌ නැත. සාමාන්‍ය මන්ත්‍රීවරයාගේ නිවසෙහිද මහජන දිනයට සෙනඟ පොදි බඳී. ඇමැතිවරයාගේ නිවසෙහිද මහජන දිනය දා තත්ත්වයෙහි වෙනසක්‌ නැත. එකම වෙනස ලැබෙන වරප්‍රසාද පමණි. ඇමැතිවරයකුගේ මාසික වැටුප රුපියල් 63,500 කි. ගෙවල් කුලී සඳහා ද රුපියල් ලක්‍ෂයක දීමනාවක්‌ ලැබේ. වාහන ඉන්ධන ලැබේ. පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා සෑම දිනයකටම රුපියල් පන්සියයක දීමනාවක්‌ද, සංග්‍රහ දීමනා ලෙස මසකට රුපියල් 20,000 ක දීමනාවක්‌ද ලැබේ. ඇමැතිවරයකු හදිසි අනතුරකින් මියගියහොත් පවුලේ අයට ලක්‍ෂ පනහක වන්දියක්‌ ලැබේ. එපමණක්‌ නොව වසරකට විදේශ සංචාර තුනක හිමිකම සමගින් එම සංචාර සඳහා රුපියල් ලක්‍ෂ පනහක දීමනාවක්‌ද ලබාදේ. එපමණක්‌ ද නොව කාර්ය මණ්‌ඩල, දුරකථන වියදම් මේ ආදී සියලු දේ ඇමැතිවරයාට හිමිය. මේ ඇමැතිකම නමැති ඇලඩින්ගේ පුදුම පහනින් ලැබෙන බොහෝ දේවලින් අල්පයක්‌ පමණි. ප්‍රශ්නය වන්නේ හොඳම අමාත්‍යාංශ සහ එතරම් කැපී නොපෙනෙන අමාත්‍යාංශයන්හි ඇමැතිවරයෙක්‌ ලෙස බේදයක්‌ නොමැතිව මේ වරප්‍රසාද හිමිවීමය. ඒ නිසාම හොඳම ඇමැතිකමකට පොර වැදීම අපි තේරුම් ගන්නේ බලයට ඇති ගිජු බව ලෙසය.

මේ වන විට පළමුවැනිදා ආරම්භ වීමට නියමිත 8 වැනි පාර්ලිමේන්තුවේදී ඇති කරගන්නා යෝජනා සම්මතයට අනුව අමාත්‍ය මණ්‌ඩලයේ සංඛ්‍යාව තීරණය කිරීමටද නියමිතව තිබේ.

පෙනෙන හැටියට යෝජනා වන්නේ සතුටු කිරීමේ අරමුණින් බොහෝ දෙනෙකුට ඇමැති තනතුරු පිරිනැමීමේ සූදානමක්‌ ඇති බවයි. ඒ අනුව ජනවාරි 8 වැනිදාට පෙර කිවූ පරිදි ඇමැති මණ්‌ඩලය සීමා කිරීමේ කතාවද යට යන බවක්‌ පෙනෙන්නට තිබේ. අපි වෙනත් රටවල ඇමැති මණ්‌ඩල සංඛ්‍යාව සමග මේ රටේ ඇමැති මණ්‌ඩලයේ සංඛ්‍යාව සසඳන්නට කිසිසේත් උත්සාහ දරන්නේ නැත. එහෙත් ඇත්තම තත්ත්වය මේ කුඩා දිවයිනට වඩා විශාල රටවල ඇමැති මණ්‌ඩලය බාගයටත් අඩු බවය.

එමෙන්ම මුළු පාර්ලිමේන්තුවම එකම ඇමැති මණ්‌ඩලයක්‌ කර ජාතික ආණ්‌ඩුවක්‌ නොව ඇමැති ආණ්‌ඩුවක්‌ පිහිටුවුවද අපට ප්‍රශ්නයක්‌ නැත. එකම ප්‍රශ්නය මේ ඇමැති රොත්ත නඩත්තු කරන්නට සිදුවන්නේ ජනතා බදු මුදලින් වීමය. කෙසේ හෝ මේ කොයි දේ වුවද ජනතාවට කියූ බොහෝ දේ සමග ගැලපෙන්නේ නැත. අන්තිමේදී ජනතා විශ්වාසය බිඳ ගැනීම අනාගතයට යහපත් නොවන බව සිහිපත් කරමු.
Source : Divaina