වන්දනාවේ යන සමනල්ලු – butterflies-fly-adamspeak

0
996
adams-peak-sunrise

මා පාසල් ගිය අතු පාර අද මීගහවත්ත පාර නමින් හැඳින්වෙයි. මා දැනුවත්ව එකල එම පාරට නමක් තිබුණේ නැත. දැනට රාජසිංහ පාර නමින් හඳුන්වන පාරට ද නමක් තිබුණේ නැත. ගම්මුන් මෙය හැඳින්වූයේ වනවාසලට යන අතු පාර නමිනි. එහි නැ‍ඟෙනහිර දෙසින් තිබූ එකම මිනිස් වාසය ව‍ූයේ කුරුඳුවත්ත ආවාසය පමණි. මෙම ආවාසය මගේ මතකයේ හැටියට, එක හිමි නමක් වාසය කළ කුඩා පැල්පතකි. ආවාසය අසල තිබූ ළිං කටින් අවුරුද්දේ සෑම දිනයක ම වතුර ගලා යයි. ළිඳ ඉතා ජනප්‍රිය විය. එහි වතුර ඉතා පිරිසිදු ය.

අවට කෙත් යායේ වැඩ කළ ගොවීහු මෙතැනට විත්, බාල්දියකින් අතින් වතුර ගෙන නා ගෙදර යාමට පුරුදු වී සිටියහ. අද ආවාසය අසල ඇති පිං ළිඳ මෙය විය හැකිය. දැන් එම ආවාසය වෙනුවට ආරාමයක් සාදා ඇත.

එය දැන් හඳුන්වන්නේ පෑලියගොඩ ශ්‍රී ධර්ම වික්‍රමාරාමය නමිනි. මීට අවුරුදු 70 කටත් පෙර මෙම ආවාසය පිහිටි ඉඩම, නේරිස් ධර්මවික්‍රම දේව මහතා විසින් අයගම දේවානන්ද හාමුදුරුවන්ට පූජා කර ඇති බව සඳහන් වේ. එකල එම කුඩා ආවාසය කුරුඳු වත්ත ආවාසය නමින් හැඳින්වීය.

දුටුගැමුණු බෞද්ධ මිශ්‍ර පාඨශාලාව තෙක් යාය මැදින් ගමන් කරන අපට, දකුණු දිසාවේ සිට නැ‍ගෙනහිර කෙත් යාය හරහා පියාඹන වෛවර්ණයෙන් යුත් දහස් ගණන් සමනල කැල දක්නට ලැබෙයි. මෙම සමනලුන් සමන් දෙවියන් වන්දනා කිරීමට යන බව ගොවියෝ කීහ.

“ළමයි සතුන්ට හිරිහැර කරන්ට එපා… ඔය සමනල්ලු යන්නේ සමන් දෙවියන් වන්දනා කරන්න. පේන්නේ නැද්ද දහස් ගණන් එක පැත්තට ම යන හැටි….? ඔවුන් සමන් දෙවියන් වන්දනා කර ගලේ හැපී මැරී වැටෙනවා… ඔය සතුන්ට හිරිහැර කිරීම මහා පාපයක්.”

දෙපස සිටින ගොවීන් මෙසේ අපට අවවාද කර ඇති නිසා, නිකමටවත් සමනලයකුට හිරිහැර කිරීමට උත්සාහ නො කරන්නෙමු.

දහස් ගණන් සමනලුන් කොහේ සිට එන්නේ දැ යි අපට අභිරහසක් විය. මෙවැනි සුන්දර දර්ශනයක් අද එහි සිටින ළමයින්ට දකින්නට ලැබීම කෙසේ වෙතත්, එවැනි දර්ශනයක් සිහිනයකින් වත් දැක ගන්නට පුළුවන් වන්නේ දැ යි සිතිය නො හැකි ය.

නොයෙක් පාටවලින් සමන්විත සමනල කැල, මහා කෙත් යාය උඩින් නැගෙනහිරට දේදුන්නක් මෙන් පාවී යන අයුරු කෙතරම් අපූරුද? අද මට සිතෙන්නේ මෙය ස්වභාව ධර්මයේ අරුම පුදුම මැවීමක් ලෙසයි.

අපගේ හිස උඩින් හා කන්වල ගැටි ගැටී යන සමනල කැල කිසි බියක් නැතිව ගුවනේ පාවී යයි. අහස පැහිදිලිව ඇති දවස්වල දී, නැගෙනහිරින් සමනල කන්ද පෙනේ. මේ මනරම් දසුන අප දකින්නේ උදේ පාසලට යන අතර වාරයේ දී ය.

පාසල් අවසන් වී ගෙදර එන විට, රන්වන් කරල්වලින් බර වී ඇති ගොයම, සුළං රැල්ල සමඟ එක ම දිශාවකට, නැගෙනහිර දක්වා මුහුදු පෙණ රැල්ලක් මෙන් කැරලි කැරලි ගැසී ලතාවකට නැවෙන ආකාරය අසිරිමත් දර්ශනයකි.

අද (වර්ෂ 2004 දී) මා එහි යන විට ඒ කුඹුරු යාය සදහට ම අතුරුදන් වී ඇත. එය අධිවේගී මාර්ගයක් තැනීම සඳහා කුණු කසලවලින් පුරවා ගෙන යති.

කෙත් යාය උඩින් අහස් යානා මෙන් පියාසර කරන එක ම උකුස්සකුවත් අද එහි නැත. ඔවුන් ගොදුරු සොයා පහළට බසින පිල්ලෑද අද මනුෂ්‍ය ග්‍රහණයට නතු වී ඇත.

නියර අද්දර ගස්වල බකතපස් රකින සුදෝ සුදු කොක් තාපසවරු හෝ පිළිහුඩුවා අද එහි නැත. එහි තිබූ මනරම් නියර ද නැත. අපට සිසිල දුන් මාදං, අඹ, දොඹ, ගොඩපර, ලුනු මිදෙල්ල, කහ ගොරකා, පේර හා කඩෙලාන පඳුරු අද එහි නැත. අද අපේ ගම කෝ?

ජිනදාස ජයවර්ධන ලියූ

‘‘මා දුටු සුන්දර ගම තෙලඟපාත’’ කෘතියෙනි.
Source : Silumina