අට වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූයේ සැප්තැම්බර් 01 වෙනිදාය. මෙවර ඇරඹි නව පාර්ලිමේන්තුව තුළ අපූරු මානව සබඳතා රැසක් දක්නට ලැබුණේ පෙර නොවූ ආකාරයටය. පිය – පුතු, අයියා – මලෝ වැනි ඥාති සබඳතා ඒ අතර විය. ඒ අතරින් දක්නට ලැබුණු සුවිශේෂ සම්බන්ධතාව වූයේ වසර 30කට පසුව තේරී පත්වූ යුවළකගේ අඹු – සැමි සම්බන්ධතාවයි.
අඹු – සැමියන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුවට අමුතු දෙයක් නොවේ. ෆ්‍රැන්සිස් – ඇඩ්ලින් මොලමුරේ, පිලිප් – කුසුමා ගුණවර්ධන, ලෙස්ලි – විවියන් ගුණවර්ධන, ටී.බි. – තමරා ඉලංගරත්න, කේ.එම්.පී.- කුසුමා රාජරත්න සහ විජේසිරි යුවළ පාර්ලිමේන්තු ඉතිහාසයේ නොමැකෙන සලකුණු තැබූ අඹු සැමියෝය.1984 දී පාර්ලිමේන්තුව නියෝජනය කළ ආර්.පී. විජේසිරි මහතා සහ එල්.එම්. විජේසිරි මහත්මිය අවසාන වතාවට තේරී පත්වූ අඹු සැමි යුවළ වූහ.
ඊට තිස් වසරකට පසු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අඹු – සැමි යුවළ වන්නේ දිගාමඩුල්ලෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ එම පක්ෂයේම ජාතික ලැයිස්තුවෙන් දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසි අනෝමා ගමගේය.
සාමාන්‍යයෙන් එක් අයෙකු දේශපාලනය කරමින් මැති සබය නියෝජනය කරන විට අනෙක් පාර්ශ්වයට නිවසේ වැඩකටයුතු නොපිරිහෙළා ඉටුකළ හැකිය. එය තවත් විදිහකින් පවසන්නේ නම් දෙදෙනකුගේ කර මත පැවරී තිබෙන කුටුම්භ වගකීම් තනි පුද්ගලයෙකුගේ උර මතට පැවරෙනු ඇත. එහෙත් දෙදෙනාම පාර්ලිමේන්තුවට පත්වූ විට කුටුම්භ ජීවිතයේ යුතුකම් සහ වගකීම් ඉටු කෙරෙන ආකාරය දුෂ්කර විය හැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේත් අප හමුවූයේ ඔවුන්ගේ කුටුම්භ සංරක්ෂණය පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
ඩිලීෂියා හෝටලය සහ බේකරිය අම්පාරේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් බවට පත්වූයේ 1941දී හික්කඩුවේ තිරාණගම සිට කල්මුණේ බලා ගිය කේ.ජී. ෆ්‍රැන්සිස් අප්පුහාමිගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදු වන්නටය. එහෙත් ඔහුගේ හදිසි අභාවයත් සමග ව්‍යාපාර අඩපණ වී ගියේ මුළු පවුලම ආර්ථික අගාධයකට ඇද දමමිනි. එම ව්‍යාපාර යළි හිස එසවූයේ 80 දශකයේදීය. ඒ ගාමිණි සහ දයා යන දෙසොහොයුරන්ගේ කැපවීම නිසාය.
දිනක් කිසිදා නොදුටු තරුණියක් ඩිලීෂියා හෝටලය හා බේකරියට පැමිණ ගාමිණි ගමගේ ගැන විමසුවේ ඇගේ මව්පියන් සමගිනි. ඈ මව්පියන් සමග පැමිණි නිසාම බාල සොයුරු දයා ගමගේට සිතුණේ සිය සොහොයුරා කුමක් හෝ පටලැවිල්ලක් හදාගෙන ඇති බවය. එම අවස්ථාවේ ගාමිණි ගමගේ එහි නොමැති බව දැන්වූ විට ඈ දයා ගමගේට ලිපියක් දිගු කළාය. එහෙත් එය ආදර හසුනක් වූයේ නැත. එය එවා තිබුණේ දයා සහ ගාමිණි දෙසොහොයුරන්ගේ වැඩිමල් සොයුරිය විසිනි. එම ලිපිය රැගෙන එන තරුණිය ඇගේ මිතුරියක් බවත් ඇයට බෝඩිමක් සොයා දෙන ලෙසටත් එහි සඳහන් වී තිබිණි. එදා පශු වෛද්‍යවරියක් ලෙස ප්‍රථම පත්වීම ලබා අම්පාරට පැමිණි තරුණියට දයා ගමගේ තරුණයා නවාතැනක් සොයා දුන්නේය. එහෙත් ඈ සිය ජීවිතය තුළ සදාකාලිකව නවාතැන් ගනීවි යැයි එදා දයා ගමගේ තරුණයාට සිහිනෙනුදු සිතුණේ නැත.
ඈ අනෝමාය. ගම මාතරය. ඇගේ මව්පියන් දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වූහ. ඒ නිසාම රාජ්‍ය සේවය ගැන ඇගේ සිත තුළ තිබුණේ ඉමහත් ගෞරවයකි. නමුත් දයා ගමගේ යනු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.
ඒ දවස්වල අපේ බේකරියට හැමදාම බිත්තර ගොඩාක් අවශ්‍ය වුණා. ඒ නිසා ඒ කාලේදී මම කුකුළු ගොවිපොළක් පටන් ගත්තා. ඒකේ කිකිළියෝ 5000ක් විතර හිටියා. ඒ වැඩේට මට උදව් කළේ අනෝමා. එහෙම තමයි අපේ ඇසුර පටන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ අතීතාවර්ජනයක යෙදුණේය.
ඔහුට අයත් කුකුළු ගොවිපොළ දිනෙන් දින සශ්‍රීක වන විට ඔවුන්ගේ ප්‍රේමයද දිනෙන් දින සශ්‍රීක විය. මේ අතරේදී දයා ගමගේ මහතා 1984 දී දයා කන්ස්ට්‍රක්ෂන් ආරම්භ කළේ කුකුළු ගොවිපොළ විකුණා දමමිනි. ඊට මුල් වී තිබෙන්නේ ඉතා සංවේදී කතාවකි.
කුකුළු ගොවිපොළක කිකිළියෝ නාකි වුණාම මරා දැමීම සාමාන්‍ය සිරිත. ඒ විදිහටම මගේ ගොවිපොළේ කිකිළියෝ නාකි වුණාම මරා දමන්න කියලා මට හුඟක් අය කිව්වා. මගේ තාත්තා නැති වුණේ මට වයස අවු. 3 1/2දී.
මගේ අම්මා නැති වුණේ මට අවු.6දී. ඊට පස්සේ අපේ භාරකාරයා වෙලා හිටපු බාප්පා නැතිවුණේ මම සාමාන්‍ය පෙළ පංතියේදී. මාත් එක්කම අම්පාරේ ව්‍යාපාර කරපු ගාමිණි අයියා නැතිවුණේ අයියාට අවු.28දී. මේ අවාසනාවන්ත සිදුවීම් නිසා මට සත්තු මරන වැඩේ කරන්න හිත දුන්නේ නැහැ ඔහු එම සංවේදී පුවත හෙළි කළේය.
1984දී සිය ව්‍යාපාරික ගමන් මග වෙනස් කරගත් දයා ගමගේ තරුණයාට සිය ජීවිතය විවාහයෙන් වෙනස් කර ගැනීමට කාලයක් බලා සිටින්නට සිදු විය. ඒ දෙමව්පියන් නැති පවුලේ දයා ගමගේ තරුණයාගේ වැඩිමහල් සොයුරියන් තිදෙනාම විවාහ කරදීමේ වගකීම ඔහු මත පැවරී තිබුණු නිසාය.
ඉන් අනතුරුව 1988 වසරේදී විවාපත්වූ දයා – අනෝමා යුවළ කොළඹ පදිංචි වූහ. චමීන්ද්‍ර පුතු සහ මංජරී දියණියගෙන් ඔවුන්ගේ කැදැල්ල අලෝකවත් විය. දයා ගමගේ මහතාගේ ව්‍යාපාර කටයුතු පුළුල් වීමත් සමග ව්‍යාපාරික ලෝකයේ දිනෙන් දින හිණි පෙත්ත කරා එළැඹීමට ඔවුන්ට හැකි විය. පශු වෛද්‍ය වෘත්තියෙන් සමුගෙන සිය ව්‍යාපාරවලට සම්බන්ධ වන ලෙස දයා ගමගේ අනෝමාට ඇරයුම් කළේ එබැවිනි. එහෙත් අනෝමාව ඊට නම්මවා ගැනීමට නම් ඔහුට ලෙහෙසි පහසු වූයේ නැත. ඊට හේතු ඈ පැහැදිලි කළේ මෙලෙසිනි.
අපේ පරම්පරාවේ කිසිම කෙනෙකු ව්‍යාපාර කළේ නැහැ. හැමෝම රජයේ සේවකයෝ. මොකද ව්‍යාපාරවල ස්ථාවරත්වයක් නැහැ කියලා අපේ හිත්වල කා වැදිලා තිබුණා. රජයේ සේවයේ හිටියොත් විශ්‍රාම වැටුපක්වත් ලැබෙනවානේ. ඒ නිසා තමයි මම රජයේ සේවයෙන් ඉවත් වෙන්න අකමැති වුණේ. ඔය අතරවාරේ තමයි 1992 දී විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් රජයෙන් ගෙනාවා. එතනදී මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තා. හැබැයි මම ගත්තු වැටුප මම දයාගෙන් ඉල්ලා ගත්තා.
එතැන් සිට ඈ සිය ආදරණීය සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සහය දැක්වූවාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ හොඳම ව්‍යවසායකත්ව කාන්තාවට හිමි සම්මානය වසර තුනක් මුළුල්‍ලේ දිනා ගත්තාය.
(1997දී හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය දිනා ගත්තේ දයා ගමගේය.)
ව්‍යාපාරික කාන්තාවක් වූ ඇය බිරිඳක, මවක හා ගෘහණියක වශයෙන් සියලු භූමිකාවල නිරත වූවාය. මේ ආකාරයට ගලාගෙන ගිය ඔවුන්ගේ ජීවිතවලට දේශපාලනය ඇතුළු වූයේ 2005 දී පමණය. ඒ දයා ගමගේට එක්සත් ජාතික පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක තනතුර භාර ගැනීමට ආරාධනා කිරීමත් සමගය. අනෝමා ගමගේ සිය සැමියාගේ දේශපාලන ගමනට උදව් කිරීමත් සමග ඇයද දේශපාලන ලෝකයට ඇතුළු වූ බව අප හා පවසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ ඊට හරස් කැපුවේය.
ඔය බොරු කියන්නේ. මම දේශපාලනය කරනවා කියලා තරහට අනෝමා ළමයි දෙන්නාවත් අරං ඇමෙරිකාවේ ගියා. නාමයෝජනා දීම ඉවර වුණාට පස්සේ තමයි එයා ලංකාවට ආවේ. යනුවෙන් පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ සිය බිරිඳගේ ප්‍රකාශය දිය කර හැරියේය. ඇය ඊට හේතු දැක්වීමට උත්සාහ කළද එය වැළකී ගියේ ඔහු අනෝමා ගමගේ පරම්පරාවම උග්‍ර වාමාංශිකයන් බව හෙළි කිරීමත් සමගය.
සැබැවින්ම ඈ වාමාංශික දේශපාලනයේ නිතර වූයේ නම් ඔවුන්ගේ කැදැල්ල වාද පිටියක් වීමටද ඉඩ තිබිණි.
2008 පළාත් සභා මැතිවරණයටවත් අනෝමා මට උදව් කළේ නැහැ. හැබැයි ඒ මැතිවරණයේදී මැර ප්‍රහාර, කඩාකප්පල්කාරී වැඩ කීපයක් සිද්ධ වුණා. ඒ වෙලාවේ නම් අනෝමා මගේ ළඟින්ම හිටියා. 2010 දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට අනෝමාගේ නම මමයි දැම්මේ. දාලා ඉවර වෙලා ගෙදර ඇවිත් තමයි මම එයාට ඒ බව කිව්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ සිය බිරිඳ දේශපාලනයට අවතීර්ණ වූ අයුරු පැහැදිලි කළේය.
අවසානයේදී දයා ගමගේ පළාත් සභා මන්ත්‍රී ධුරයේ සිටියදී ඔහුගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූවාය. කොහොමටත් දේශපාලනය කෙරෙහි එතරම් නැඹුරුවක් නොතිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තුවට ගිය මුල් වකවානුවේ එය කාලය නාස්ති කර දැමීමක් ලෙසට සිතුණු වාර අපමණ බවය. විවිධ කෑකෝ ගැසීම් හා බැණ වැදීම් මධ්‍යයේ පාර්ලිමේන්තුව ගැන නොපහන් සිතුවිලි ඈ තුළ පහළ වුවද කමෛන් කමෛන් ඈ එම පරිසරයට හුරු පුරුදු වූවාය.
දයා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී ධුරය හොබවන විට ඔහුගේ බිරිඳ පාර්ලිමේන්තුව නියෝජනය කළද ඔවුන්ගේ කැදැල්‍ලේ පිරී තිබුණු සතුට සොම්නස හා ආදරය කිසිම දිනෙක පලා ගියේ නැත. ඊට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ කොතරම් කාර්යබහුල වුවද ඈ මවක, බිරිඳක හා ගෘහණියක වශයෙන් සියලු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමය.
මම හැමදාම උදේට පිටත් වෙන්න ඉස්සෙල්ලා උයන පිහින දේවල් ගැන හොයා බලනවා. ගෙදරට ඕනෑ කරන එළවළු, මස්, මාළු, තුනපහ සියලුම දේවල් ගෙනෙන්නේ මමයි. මට ඒ දේවල් මගේ අතින්ම සිද්ධ වෙන්න ඕනෑ. කවුරුත් කළාට මගේ හිතට හරියන්නේ නැහැ යනුවෙන් පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ දෙල්කඳ පොළට යෑම පුරුද්දක් කරගෙන තිබේ. විටෙක සුපිරි වෙළෙඳසලකට ඇඳුම් සාප්පුවකට ගොඩ වැදුණු විට සමහරුන් ඈ දැක පුරුදු කෙනෙකු යැයි පවසන අවස්ථාද තිබේ. එවිට ඈ කරන්නේ සිනාවකින් පිළිතුරු දීම පමණි.
නෑදැ හිතමිතුරන්ද ඇසුරු කිරීමට වෙලාවක් යොදා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ මෙරට සිටින්නේ නම් ඔවුන්ගේ විවාහ මංගල උත්සව, ප්‍රිය සාද, පින්කම් වැනි සුවිශේෂී අවස්ථාවලට අනිවාර්යයෙන්ම සහභාගි වන බවද පැවැසුවාය. කෙටියෙන්ම කිවහොත් තෝරාගත් ටෙලි නාට්‍යයක් නැරඹීමටද ඈ අමතක කරන්නේ නැත.
මේ වන විට ළමයි ඉගෙන ගෙන ඉවර නිසා මට යම් නිදහසක් තිබෙනවා. දුව නම් පුංචි කාලේ ඉඳලම තනියම පිළිවෙළකට වැඩ කරගන්නවා. ඉගෙන ගන්නත් එහෙමයි. ඒත් පුතා නම් එහෙම නැහැ. පුතාගේ පිටිපස්සෙන්ම මම හිටියා. එහෙම ඉඳලා තමයි මම එයාට ඉගැන්නුවේ. දුවයි පුතයි දෙන්නාම ලන්ඩන් නගරයේ තිබෙන එල්.එස්.සී. විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. පුතා දැන් අපේ ව්‍යාපාර කරගෙන යනවා. පුතා විවාහ වෙලා ඉන්නේ. දුව නම් එංගලන්තයේ රැකියාවක් කරනවා. ළමයි ඉගෙනගන්න වයසෙ හිටියා නම් මම කීයටවත් දේශපාලනයට එන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ පැවැසුවේ සිය කුටුම්භයේ බර මඳක් සැහැල්ලු වීම ඇගේ දේශපාලන ගමන් මගට නිදහසක් වූ බව සඳහන් කරමිනි.
ඊට අමතරව ගේදොර වැඩකටයුතු සම්බන්ධයෙන් ඇයට හිමි වී තිබෙන්නේ පූර්ණ නිදහසකි. ඇගේ සැමියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ ඊට ඇඟිලි ගසන්නේම නැත.
අපි හිතමුකො දයා ගෙයක් හැදුවා කියලා. ඒ ගෙදරට ඕනෑ කරන මේස, පුටු, ඇඳ, අල්මාරි හැමදෙයක්ම තෝරන්නේ මම. දයාට ඒ ගැන වගක්වත් නැහැ. මගෙන් කිසිම දෙයක් අහන්නේවත් නැහැ. ඉඳගන්න ගියාම පුටුවක් තිබෙන නිසා එයා දැනගන්නවා පුටු අරං කියලා. එච්චරයි. සමහර වෙලාවට මට කියනවා 500කට කෑම ලෑස්ති කරන්න කියලා. ඒවා කොහොමද කරන්නේ, මොනවද කෑමට දෙන්නේ කියන දේවල් එයාට වැඩක් නැහැ. මම තමයි සියලුම තීන්දු තීරණ ගන්නේ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනෝමා ගමගේ විස්තර කරන විට ඇගේ සැමියා වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ ඊට ඌන පූරණයක් එකතු කිරීමට අමතක කළේ නැත. ඔහු පැවැසුවේ මේ අයුරිනි.
මම හැමෝවම මෙහෙයවනවා. කණ්ඩායම් හදලා ඒ කණ්ඩායම්වලට වැඩ පවරනවා. ව්‍යාපාරවලදීත්, දේශපාලනයේදීත් ගෙදරදීත් මම එහෙමයි. ඒත් අනෝමාට අනුන් කරනවාට වඩා එයාගේ අතින්ම කරන්න ඕනෑ. ගෙදර ඉන්න වෙලාවට අනෝමා උයනවා. ඇත්තටම අනෝමාට රසට උයන්න පුළුවන්.
දයා – අනෝමා ගමගේ යුවළ දේශපාලනයට එකතු වුවද ඔවුන් දෙදෙනාට අනුන් ගැන නොව ඔවුන් දෙදෙනා ගැන කතාබහේ යෙදෙන්නට වේලාවක් ඇත. එකට එකතු වී උණුසුම් තේ කෝප්පයක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කාලයක් ඇත. තුන් වේලෙන් එක වේලක් හෝ එකට වාඩි වී ආහාර ගැනීමට ඉඩකඩක් ඇත. ඒ ඔවුන් මනාව කාලය කළමනාකරණය කරන නිසාය.
අපි දෙන්නම සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වැඩිපුර පැය ගණනක් වැඩ කරනවා. අනිත් අය පැය 10ක් 12ක් වැඩ කරනවා නම් අපි පැය 16ක් වැඩ කරනවා. ඒ නිසා තමයි අපිට අපේ ජීවිත සාර්ථකව ගෙනියන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපිට ඇමැති ධුර ලැබුණොත් තත්ත්වය මීට වඩා වෙනස් වේවි. අපිට වැඩ වැඩි වේවි. එහෙම වුණොත් එදාටත් අපි කාලය කළමනාකරණය කරගන්නවා. එතකොට තමයි සේරම කටයුතු සමබරව ගෙනියන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ ඔවුන්ගේ කුටුම්භය ආරක්ෂා කරගන්නා රහස හෙළි කළේය.
මේ අනුව අඹු – සැමි යුවළම පාර්ලිමේන්තුව නියෝජනය කළද ඔවුන්ගේ ගෘහ ජීවිතය තුළ පවතින යුතුකම් හා වගකීම් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. ඒ ඔවුන් ඔවුන්ගේ කුටුම්භය සංරක්ෂණය කර ගැනීමේ කලාව හොඳින් දන්නා නිසාය.
හර්ෂා සුගතදාස
Source : Lakbima